මහ බැංකු අධිපති ධුරය භාර ගන්න කීවේ රනිල්
අර්ජුන මහේන්ද්‍රන් බැඳුම්කර කොමිසමේදී පිළිගනියි

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සරත් ධර්මසේන

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස තමාට කීවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (22 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ පිළිගත්තේය.

අගමැතිවරයා තමාට ඒ බව කීවේ 2015 ජනවාරි 08 වැනි දින සවස විය හැකි බව ද මහේන්ද්‍රන් මහතා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කොමිසමට කියා සිටියේය.

මෙහිදී දප්පුල ද ලිවේරා මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා 2015 අප්‍රේල් 16 වැනි දින අල්ලස්‌ කොමිසමට සිංහලෙන් ලබා දී ඇති ප්‍රකාශයක්‌ සාක්‍ෂිකරුට ඇසෙන්නට කොමිසම හමුවේ කියවන ලදී. ඒ මෙසේය.

'මා ඩුබායි රටේ රැකියාවක නිරතව සිටියදී 2015 ජනවාරි 09 වැනි දින හෝ ඊට ආසන්න දිනක රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් අමතා පවසා සිටියා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ හැකිද කියා.'

මේ ප්‍රකාශයේ අදහස දප්පුල ද ලිවේරා මහතා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ද කොමිසම හමුවේ කියවනු ලදුව එය සත්‍ය බව අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (22 දා) කොමිසම හමුවේ පිළිගත්තේය.

තමා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව දන්නා බවත් තමාට මහ බැංකු අධිපති ධුරය භාරගන්න කියා ඔහු කීවේ බැංකුකරුවකු ලෙස තමාට තිබූ දිගුකාලීන අත්දැකීම් නිසා කියා තමා සිතන බවත් මහේන්ද්‍රන් මහතා කීවේය.

තමා අගමැතිවරයාගේ ඉල්ලීමට එකඟ වී 2015 ජනවාරි තුන්වැනි සතියේ ලංකාවට පැමිණි බව ද ඒ අනුව 2015 ජනවාරි 23 දින (සිකුරාදා) තමාට මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමේ ලිපිය ලැබී 2015 ජනවාරි 26 දින (සඳුදා) මහ බැංකු අධිපතිවරයා ලෙස මුලින්ම රාජකාරියට වාර්තා කළ බව ද මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ (22 දා) කොමිසමට සාක්‍ෂි දෙමින් කීවේය.

තමා ඊට පෙර ඩුබායි බැංකුවක ප්‍රධාන ආයෝජන නිලධාරි ලෙස සේවය කරමින් සිටි බව ද මහේන්ද්‍රන් මහතා වැඩිදුරටත් කීවේය.
 


 

 

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.