පාසලට ගංජා ගෙනගිය සිසුන්ට
අධිකරණයෙන් දැඩි අවවාද


නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා

"ඉගෙන ගන්න අවධියේදී මෙසේ නීති විරෝධී වැඩවලින් වැළකී ඉගෙනීමේ කටයුතුවල නිරත වී තම අනාගතය සාර්ථක කරගැනීමට කටයුතු කරන ලෙස" දැඩිසේ අවවාද කොට පාසල් සිසුන් දෙදෙනකු මුදා හැරීමට තඹුත්තේගම මහෙස්‌ත්‍රාත් ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.

පසුගියදා නොච්චියාගම ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනකු පාසල තුළට කංසා රැගෙන විත් තිබියදී නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා මෙසේ දැඩිසේ අවවාද කළේය.

පාසලට කංසා රැගෙනවිත් ඇති බව දැනගත් විදුහල්පතිවරයා පොලිසියට
ඒ බව දැන්වීමෙන් පසු සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් නොච්චියාගම පොලිසිය ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍රී ලාල් මහේෂ් තලංගල්ල මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්‌වමින් පවසා සිටියේ මෙම සිසුන් දෙදෙනා මීට පෙර මෙවැනි වැරදි කිසිවකට හසුවී නැති බවත් පාසල් යන සිසුන් දෙදෙනකු නිසා ඔවුන්ගේ අනාගතය ගැන සිතා බලා සුදුසු ක්‍රියාමාර්ගයක්‌ ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත්ය. මෙම සියලු කරුණු සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියේ ද කරුණු විමසීමෙන් අනතුරුව අවවාද කොට සිසුන් දෙදෙනා මෙසේ මුදාහැරීමට නියෝග කළේය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.