මහනුවර - කොළඹ බස්‌ කාලසටහනට කිපී
ගමනාගමන කොමිසමේ සභාපතිට පහර දෙති


අජිත් අලහකෝන්, සමන් ගමගේ, අකිත පෙරේරා

අවුරුදු විස්‌සකට පසුව මහනුවර කොළඹ සුඛෝපභෝගී බස්‌ රථවලට චක්‍රීය කාලසටහනක්‌ හඳුන්වා දීම පිළිබඳ උරණවූ මැරයන් පිරිසක්‌ ඊයේ (28 දා) ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට තර්ජනය කර පහරදී ඇත.

ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයේදී තමන්ට මෙම බස්‌ මැරයින් තර්ජනය කර පහර දුන් බව පවසමින් සභාපති එම්. ඒ. බී. හේමචන්ද්‍ර මහතා එම අවස්‌ථාවේදීම නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කර තිබේ.

මහනුවර කොළඹ සුඛෝපභෝගී බස්‌ රථ සේවාව දේශපාලකයන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනකුගේ ඒකාධිකාරිය ලෙස වසර විස්‌සක සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ 'දිවයින' ට කීවේය.

මෙම මාර්ගයේ බස්‌රථ ගමනාගමනය චක්‍රීය කාලසටහනක්‌ අනුව ධාවනය කිරීමට ගමනා ගමන කොමිෂන් සභාව කිහිප අවස්‌ථාවකම උත්සාහ කළද දේශපාලන හිතවත්කම් ඇති පුද්ගලයන් කිහිප දෙනකු එම කාලසටහන හඳුන්වාදීම නතර කර ඇත. වසර විස්‌සක්‌ පුරා කාලසටහනකින් තොරව බස්‌ රථ ධාවනය කරන ලංකාවේ එකම මාර්ගය කොළඹ - නුවර නිසා විධිමත් කාලසටහනක්‌ සකස්‌ කර ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිසම තීරණය කළ බව ද ඉහත ප්‍රකාශකයා කීවේය.

මීට එරෙහිවූ පිරිසක්‌ ඊයේ ජාතික ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සභාපතිවරයාට තර්ජනය කර පහර දුන් බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පහරදීම සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.