රටට බත සැපයූ විද්වත්තු - 05
උතුර දකුණ දෙකටම
රෝස කැකුළු බත් බෙදූ විද්වතා
කෘෂි විද්‍යාඥ ජී.ඒ. ජිනදාස
මාස දෙකහමාරේ වී වර්ග වල අඩිතාලම ඔහුගේ
රෝස කැකුළු ඇමරිකාවෙත් වෙළෙඳසල්වල
වසර 33 සේවාකාලයෙන් 30ක්‌ම කුඹුරේ වැඩ

ශ්‍රී ලංකාවේ දකුණු පුරවරය අලුයම හිරු කිරණින් උණුසුම් වෙමින් තිබිණ. ඒ අනූව දශකයේ මුල්භාගයේ හිමිදිරි උදෑසනකි. අම්බලන්තොට නගරය පසුකොට කතරගම දෙසට මීටර් කීපයක්‌ යනවිට හමුවෙන වී පර්යේෂණායතනයට වියළි ගොයම් කරල් කීපයක්‌ අත මිට මොලවාගෙන පැමිණි අමුත්තෙක්‌ ආයතනයේ ස්‌ථානභාර පර්යේෂණ නිලධාරිවරයා වෙත හෙමින් සීරුවේ කිට්‌ටුවිය.Ñ"මහත්තයෝ දවස්‌ 55 න් බත්" යයි පවසා ඔය ටික වැඩි දියුණු කරලා ගන්න මහත්තය කියමින් යන්නට ගියේ නිලධාරියාව අන්ද මන්ද කරමිනි. ගොයමක්‌ පැසී අස්‌වැන්න දෙන්නට දින අනූවක්‌වත් ගතවෙත්දී, දින පනස්‌ පහකින් කැපෙන කුඹුරක්‌ ගැන අසා නොසිටි ඔහු සැකයත් පුදුමයත් සිතෙහි නලියත්දී තමා වෙතින් නික්‌ම යන අමුත්තා දෙස මඳ වෙලාවක්‌ නිසොල්මන්ව බලා සිටියේය. එම සැකය හා පුදුමය නිලධාරියා තුළ අදටත් ඉතිරිව තිබේ. ඔහු කවුද, පැමිණියේ කොහි සිටද, යන්න ඔහු තවමත් නොදන්නේ තොරතුරු කිසිවක්‌ පවසන්නේ නැතිවම අමුත්තා එදා පිටව ගිය බැවිනි. කඳසුරිඳුන්ගේ අඩවියේදී හදිසියේ ලද මෙම වී කරල් අහුර දෙවියන්ගෙන් ලද ත්‍යාගයක්‌ සේ පිළිගත් ඔහු, ඉතා පරිස්‌සමෙන් එය ක්‌ෂේත්‍රයේ වගා කර පිරික්‌සීමේදී දුටුවේ ඇත්තටම ඉතා කෙටි කාලයකින් තම ජීවන චක්‍රය අවසන් කරන ගොයමකි. මූලික නිරීක්‌ෂණයන්ගෙන් පන්නරය ලද තරුණ පර්යේෂකයා, තම විෂයානුබද්ධ දැනීම, කෙතෙහි සුවඳ හා මුසුවූ අත්දැකීම් හා සංකලනය කරමින් එම ගොයමේ තවත් පරම්පරා කීපයක්‌ම ඉදිරියට රැගෙනයමින් ක්‍රමවත් විද්‍යාත්මක අධ්‍යයනයක නිරත විය. එහි අවසන් ප්‍රතිපලය වූයේ අඩු වයසින් පූදින ස්‌ථායී දරුවෙකු වෙන්කර ගැනීමයි. එයට ඒ. ටී. 4 යනුවෙන් තාවකාලික නමක්‌ ඔහු විසින්ම ලබාදුනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් දැනට නිර්දේශ කර ඇති මාස දෙකහමාරේ වයස්‌ කාණ්‌ඩයට අයත් අතිලඝූ හෙවත් අතිශයින්ම කෙටිකාලීන වී ප්‍රභේද හතරෙන්, තුනක්‌ම බිහිවී ඇත්තේ ඒ. ටී. 4 වර්ගය භාවිතයට ගනිමිනි. නාඳුනන අමුත්තා රැගෙන ආ වී කරල් මිටෙන් ඒ. ටී. 4 නිපැයූ කෘෂි විද්‍යාඥයා කේ. ඒ. ජිනදාස මහතායි.

"මම අම්බලන්තොට සේවා කාලය නිමකරලා ලබුදූව පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා වෙලා යනකොට ඒ. ටී. 4 සාම්පලයක්‌ අරගෙන ගියා. අවුරුදු 15 ක්‌ විතර මේ වී වර්ගයේ දරු පරම්පරා ගැන මම පර්යේෂණ කළා. අන්තිමට 2013 දී මම විශ්‍රාම ගිහිල්ලත් වසර හතරකට පස්‌සේ 2016 අන්තිමට තමයි එල්. ඩී. 253 නම සහිතව, ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගැලපෙන, මාස දෙක හමාරේ, වී ප්‍රභේදයක්‌ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිදහස්‌ කළේ. මෙය සුදු දිග හාල් ඇටයක්‌ සහිත වී වර්ගයක්‌. මම විශ්‍රාම යනකොට නිර්දේශයට අවශ්‍ය බොහොමයක්‌ කටයුතු අවසන් කරලයි තිබුණේ."

වා තලය හා මුසුවෙන ඔහුගේ දිගු සුසුමෙන් කියාපාන්නේ වී අභිජනනයේ භාරධූර කතාන්තරයයි. ජිනදාස මහතා සඳහන් කරන ආකාරයට එදා ඔහු තෝරාගත් ඒ. ටී. 4 සාම්පලයක්‌ බතලගොඩ වී පර්යේෂණායතනයටද රැගෙන ගොස්‌ ඇත. එය පාදක කොටගෙන වෙනම විද්වත් කණ්‌ඩායමක්‌ විසින් එහිදීද අභිජනන වැඩසටහනක්‌ අරඹා ඇති අතර, ජිනදාස මහතාටත් කලින් ඔවුන් ප්‍රතිපල නෙලාගෙන තිබේ. බතලගොඩට අදාළ බී. ජී. සංකේතය යටතේ බී. ජී. 250 නමින් මාස දෙක හමාරේ වී ප්‍රභේදයක්‌ කලකට ඉහතදී කලඑළි බසින්නේ ඒ අනුවය. ඔවුන් මේ සඳහා එතරම් කල් ගත්තේ නැත.

"ඒගොල්ල මට වඩා වාසනාවන්ත ඇති." මගේ විමසීම හමුවේ ඔහු අහිංසකව සිනාසෙයි.

"වාසනාව විතරක්‌ නෙවෙයි. පාරිසරික සාධකත් ඒ ඉක්‌මන් වීමට බලපානවා. කොහොමත් ශාක අභිජනනය හදිස්‌සිය තිබුණට, තරගෙට කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි." අහිංසක සිනහව පසුපස කාලෝචිත පැහැදිලි කිරීමක්‌ද පෙළගැසේ. මෙම කෙටිකාලීන වර්ග දෙකට අමතරව තවත් කෙටිකාලීන වර්ගයක්‌ ජිනදාස මහතා බිහිකළ ඒ. ටී. 4 පූර්වජයා ඇසුරෙන් බතලගොඩ විද්‍යාඥයින් විසින් බිහි කර ඇති අතර එය බී. ජී. 252 නම්වන රතු සම්බා වර්ගයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිහිකළ සිවුවැනි අතිලඝූ වර්ගය වන බී. ජී. 251 නම් නිපදවා ඇත්තේ විදේශික වී වර්ගයක්‌ ඇසුරෙන්ය.

තිදෙනෙකුගෙන් යුත් පවුලක බඩපිස්‌සා ලෙස ඉපිද, ප්‍රාථමික අධ්‍යාපනය ගාල්ල නරාවල මහා විද්‍යාලයෙනුත්, උසස්‌ අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙනුත් ලබාගන්නා ගොඩකන්ද ආරච්චිගේ ජිනදාස, 1974 - 78 කාල පරාසය තුළ පේරාදෙණිය සරසවියේදී කෘෂිකර්ම උපාධිය හදාරා තිබේ. රැකියාවක්‌ ලෙස ඔහු මුලින්ම පිවිසෙන්නේ ගුරු වෘත්තියටයි. ඒ වාරියපොළ ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ කෘෂිකර්මය සහ උද්භිද විද්‍යා ගුරුවරයා වශයෙනි. ඉන් අනතුරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එවකට පැවති තනතුරක්‌ වන පරීක්‌ෂණ නිලධාරි පත්වීමක්‌ ලබන ඔහුගේ පළමු සේවා ස්‌ථානය වන්නේ අම්බලන්තොටය. රෝහණ පුරවරය කළඹන සහල් විප්ලවයක ආරම්භය සනිටුහන්වන්නේ ඔහුගේ අම්බලන්තොට සම්ප්‍රාප්තියත් සමගිනි.

"මම එක දිගට අවරුදු දාහතක්‌ එතන සේවය කළා. ඒ අතරතුරේ අවුරුදු දහයකට පස්‌සේ 1992 දී පර්යේෂණ නිලධාරියෙක්‌ වශයෙන් උසස්‌ වීමක්‌ ලැබුවා. පසුකාලීනව අම්බලන්තොට වී පර්යේෂණ ස්‌ථානයේ ප්‍රධානියා ලෙස ද පත්වුණා."

උස්‌බිම් වී වගාව සහ දෙමුහුම් වී පිළිබඳව පිලිපීනයේ ලොස්‌ බානියෝස්‌හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණායතනයේදී අවස්‌ථා දෙකකදී පුහුණුව ලබා ඇති ජීනදාස මහතා තම තවත් ජයග්‍රහණයක්‌ සනිටුහන් කළ රෝස කැකුළු අන්දරය දිග හැරීමට සැරසෙයි. එම කතා පුවත වර්තමානයට මෙතරම් වැදගත් වන්නේ බෝ නොවෙන රෝගයන්ගේ ඉහළයැම පිළිබඳව වෛද්‍යවරුන් රතුඑළි දල්වා ඇති පසුබිමකය. කෙනෙකුගෙන් කෙනෙකුට බෝ නොවුනත් මෙවැනි රෝග පැතිරීම සමාජයක්‌ තුළ නම් ඉතා වේගයෙන් සිදුවෙන බව සැවොම දන්නා කරුණකි. මේ අතරින් මුල් තැනක සිටින දියවැඩියාව නම් රෝගය, පාලනය කිරීමෙහිලා පාලිත ආහාර රටාවන් අනුගමනය කිරීම ඉතා වැදගත්ය.

"දියවැඩියා රෝගීන්ට වඩාත්ම යෝග්‍ය වෙන්නේ බාස්‌මති හෝ රතුහාලේ බත්. බාස්‌මති ශරීරය තුළදී ජීර්ණය වෙන්නේ හෙමිහිට. ඒ නිසා රුධිරයට සීනි එකපාරටම නිදහස්‌ වෙන්නේ නෑ. ඒත් බාස්‌මති මිල වැඩියිනේ, බොහෝ දෙනෙකුට එය දරන්න අමාරුයි. එහෙනම් විකල්පය තමයි රතු හාල්. ඒකෙ නිවුඩ්ඩ තියෙන හින්ද ඒකක බරක තියෙන පිටි ප්‍රමාණය අඩුයි. එතකොටත් රුධිරයට සීනි නිකුත්වෙන්නේ අඩුවෙන්. දකුණේ මිනිස්‌සුනම් කොහොමත් රතුහාල් වලට කැමතියි. මේ නිසා මම හිතුව, දකුණට විතරක්‌ නෙමෙයි මුළු රටටම ගැලපෙන ඉහළ අස්‌වැන්නක්‌ දෙන රතු හාල් වර්ගයක්‌ හදන්න ඕනැ කියල. 2002 දී මගේ අරමුණට මම ළඟා වුණා. ඒ තමයි ඒ. ටී. 362 කියන වී වර්ගය බිහිකිරීම. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව වගා වපසරිය අනුව අද තුන්වෙනි තැන ඉන්නෙ මෙම වී වර්ගය. මීට අමතරව මම වී වර්ග 12 ක්‌ නිපදවල තියෙනවා."

අභියෝග ජය ගනිමින් රටට බත සැපයූ විද්වත් කණ්‌ඩායමේ ඔහු දෙවැනි වී ඇත්තේ බී. ජී. 300 සෑදූ ආචාර්ය ධනපාලටත්, බී. ජී. 352 සෑදූ ආචාර්ය තිස්‌ස රාජපක්‌ෂටත් පමණි. තුන්වෙනියා වුවත් එහි යම් සුපිරි බවක්‌ද සැඟවී ඇති බව පෙනේ. මන්ද යත් පළමු දෙදෙනාම සේවය කර ඇත්තේ බතලගොඩ වැනි ප්‍රධාන පර්යේෂණ ආයතනයක ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ අධීක්‌ෂණය සහ මග පෙන්වීම යටතේය. ප්‍රායෝගිකව වී අභිජනනය ගැන කිසිවක්‌ නොදැන, සරසවි අඩවියේදී ලියාගත් අභිජනන සටහන් කඩදාසි මිටියකුත් කිහිලිගන්වාගෙන, අම්බලන්තොට හුදකලා ගොඩනැගිල්ලක්‌ තුළට පිවිසෙන මේ තරුණයා ඇතැම් ප්‍රායෝගික අභිජනන තොරතුරු දැනගත්තේ එහි සිටි කම්කරු සේවකයින්ගෙනි. ස්‌වයංඅධීක්‌ෂණයකින් තම කුසලතාවයන් මුවහත් කරගත් ඔහුගේ කාර්යසාධනයේ සුපිරිබව එයයි.

ඔහු බිහි කළ මෙම වී වර්ගයෙන් අක්‌කරයකට බුසල් 215 ක්‌ දක්‌වා ඉහල අස්‌වැන්නක්‌ වාර්තා කර ඇත. රතු, සුදු කුමන වර්ගයක්‌ ගත්තද ශ්‍රී ලාංකික පරිසර තත්ත්වයන් යටතේ ලබාගත හැකි ඉහළම අස්‌වැන්නකි මෙය. අදටත් ගාල්ල, මාතර, හම්බන්තොට හා මොනරාගල වැනි දිස්‌ත්‍රික්‌කවල 95% ක පමණ වගාකරන්නේ මෙම ප්‍රභේදයයි. මෙම වී වර්ගය සොබාදහම විසින් බන්දේසියක තබා ඔහු වෙත පිළිsගැන්වුවක්‌ නොවේ. මවු ශාකය වූ ඒ. ටී 85-2 සහ පියා වූ බී. ජී. 380 සමඟ කළ පළමු මුහුමෙන් ලැබුණු දරුවන් වසර ගණනක පර්යේෂණවලින් පසුව වුවද අතහැර දැමීමට සිදුවූ බව ඔහු පවසයි.

"මුලින් තෝරපු දරු ශාකයේ හාල් ඇටය කැඩෙන සුළුයි. අනෙක්‌ ලක්‌ෂණ සියල්ල හොඳ උනත් වැඩක්‌ නෑනේ. ඒක අතහැරලා දාල එම දෙමවුපියන්ගෙන්ම නැවතත් මුල සිට පටන් ගත්ත. මෙය තමයි ඒ දුෂ්කර ගමනේ ප්‍රතිපලය. වෙළඳපොලේ තිස්‌ස හාල් කියල අලෙවිකරන්නේ මේ වර්ගය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීපු නම තමයි රෝස කැකුළු. ගමේ ගොවිමහතුන් "අණ්‌ඩ" කියලත් මේ වී වර්ගය හඳුන්වනවා. ඇමරිකාවේ සුපිරි වෙළෙඳසල්වලත් මෙය තිබෙනවා. ඒවා බාස්‌මතිවලට වඩා දෙගුණයක්‌ විතර මිලෙන් වැඩියි. ලංකාවේ මුදලින් කිලෝව රුපියල් 600 ක්‌ විතර වෙයි. අනුරාධපුරෙන් එහාට උතුරු පළාතෙත් රෝස කැකුළු ජනප්‍රියයි. උතුරු දකුණු දෙපළාතේ සිරිත් විරිත් වෙනස්‌ උනත් පොදු ප්‍රධාන ආහාරය වන රෝස කැකුළුත් එක්‌ක කෑම මේසයේදි දෙගොල්ලන්ම එකතුවෙනවා."

බත්පත හරහා උතුර දකුණ යා කළ විද්වතාණන් කිනම් විරුවෙකු සේ නම් කළ යුතු දැයි අපැහැදිලි වුවත්, රෝස කැකුළු රස විඳින දෙකොට්‌ඨාසයටම එය බිහිකළ දෑත හඳුන්වා දෙන්නට ලැබීම කෙතරම් භාග්‍යයක්‌ දැයි මට සිතුනි.

"එකපාරක්‌ දැනට අවුරුදු තුන හතරකට කලින් අම්පාරෙත් මේවා වවලා ලංකාවේ රතුහාල් වැඩි උනා. මේ මොනවා කෙරුවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නම් මට ලොකු සැලකිලි ලැබුණේa නෑ."

සුන්දර කතා පොතක අමිහිරි පිටු කීපයක්‌ පෙරළීමට ඔහු සැරසෙයි. මා නියම පුද්ගලයෙක්‌ වෙත පැමිණ තිබේ. මේ ලිපි පෙළෙහි මුලික අරමුණ වන්නේද, කෘෂිකාර්මික ප්‍රගමනයේ පතාක යෝධයින් යයි රටට කියාපාමින්, සංදර්ශන පවත්වමින්, දෙපාර්තමේන්තුවේ සාරය උකහා ගන්නා ඇතැම් ඊනියා විද්වතුන් මගහැර, කිසිදු විශේෂ ප්‍රතිලාභයක්‌ ගැන නොසිතා රට දැය උදෙසා වැඩ කළ, වචනයේ පරිසමාප්තියෙන්ම කෘෂි විද්‍යාඥයින්වූ චරිතයන් සමාජයට නිරාවරණය කිරීමයි. මෙම චරිත ලක්‌ෂණයන් තමා තුළට ආරෝපණය කරගැනීමට සිතන එක්‌ තරුණ විද්වතෙක්‌ හෝ මේ හරහා බිහිවේනම් එය අපගේ අරමුණ ඉටුවීමකි. අඳුරට කෑමොර දෙනවා වෙනුවට එක්‌ පහනක්‌ හෝ දැල්වීම යහපත් නිසාය.

"මගේ සේවා කාලය අවුරුදු තිස්‌ තුනක්‌. ඒකෙන් තිහක්‌ම මම හිටියේ කුඹුරේ මඩේ. අද සමහරුන් බූට්‌ස්‌ නැතුව වෙලට බහින්නත් බයයි. මට නම් කවදාවත් බූට්‌ස්‌ තිබුණේa නෑ. ඔය කියන ලෙඩ ජාති කිසිවක්‌ හැදුණෙත් නෑ. රැස්‌වීම්වලට වැඩිපුර ගිහින් පුරසාරම් දෙඩුවේ නැති හින්ද මා ගැන දෙපාර්තමේන්තුවේ වැඩිදෙනෙක්‌ දන්නෙත් නෑ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රස්‌සාවට ආවනම් බෝග පැලෑටි එක්‌ක ජීවත් වෙන්න ඕනෑ. උදේ හවස පැළෑටි ළඟට වෙලා ඒවත් එක්‌ක හුස්‌ම ගන්න ඕනෑ. විශේෂයෙන් අභිජනන කටයුතු කරන අය."

තම ගම්පළාතේ පිහිටන පර්යේෂණ ස්‌ථානයකට හේත්තුවී කල්මැරීමට සිහින මවන ඇතැම් නූතන පර්යේෂකයින්ට ජිනදාසයන්ගේ මේ ප්‍රකාශය අතුල් පහරකි. උදේ හවස තම පැලෑටි සමග කතා කළ යුතුයයි ජිනදාස මහතා වැනි පරිනත විද්වතුන් පවසද්දී, තම ගම් ප්‍රදේශය වන සුවදායී තෙත් කලාපයේ සතියකට දින දෙකකුත්, නිත්‍ය සේවාස්‌ථානය වන වියළි කලාපයේ ඉතිරි දින තුනත් ගතකරන පර්යේෂණ නිලධාරීන්ද අද බිහිවී සිටී. ඔවුන්ගේ කාර්ය සාධනය කෙසේ විමසන්නේද යන්න පාලකයෝවත් නොදනිති. වඩාත්ම අවාසනාවන්ත තත්ත්වය නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙසේ සුබසාධන කඳවුරක්‌ බවට පත්වෙත්දී එවැනි නිලධාරි ඉල්ලීම්වලට එකපයින් අනුමතිය දෙන පාලන තන්ත්‍රයක්‌ද දෙපාර්තමේන්තුව තුළ බිහිවී තිබීමයි. නමුත් එදා එසේ නොවීය.

අනූව දශකයේ මුල් භාගයේදී ඇමරිකාවේ ආචාර්ය උපාධිය හදාරා පැමිණි නවක නිලධාරියෙකුට, තම ආචාර්ය උපාධි නිබන්ධනය ප්‍රකාරව රනිල බෝගයන්හි ව්‍යාධි විද්‍යාව වෙනුවෙන්, අවම වශයෙන් වසර පහක්‌ අරලගංවිල පර්යේෂණ ස්‌ථානයේ සේවය කරන ලෙස එවක සිටි අධ්‍යක්‌ෂවරයෙක්‌ විසින් නියම කෙරිණ. වර්තමානයේ මෙන් ජංගම දුරකථන, කාපට්‌ ඇතිරූ මංමාවත් සහිත ප්‍රවාහන පහසුකම් ආදිය නොතිබූ එදා, එම තීරණය වසර ගණනක්‌ ඇමරිකානු පහස විඳි පුද්ගලයෙකුට ඇත්තටම දුෂ්කර සේවයකි. නියෝගයට බියවූ නිලදරුවා රටෙනුත් පලාගොස්‌ අදටත් විදෙස්‌ගතව ජීවත්වේ. ඔහුගේ සේවය රටට අහිමිවීම වෙනම කතාවකි. ඉගෙනගත් දෙයින් බැහැරවී තමා කැමති තැනක සේවය කරන්නට ඉඩ දුන්නානම් සිදුවන්නේත් ඒ ටිකමය. ඔහු රට හැරදා යනතුරුත් එම එඩිතර අධ්‍යක්‌ෂවරයා තම තීරණය හකුලාගත්තේ නැත.

"මගේ වැඩවලට ලොකු දිරිගැන්වීම් නොලැබුණත්, ආචාර්ය ජෙරී ජයවර්ධන, ආචාර්ය සරත් අමරසිරි වැනි අධ්‍යක්‌ෂ ජනරාල්වරුන් යටතේ, ඔවුන්ගේ කාල වකවානුවල සේවය කරන්න ලැබීම සතුටක්‌. ඉඳහිට හෝ හමුවූ විට, ඒ කාලේ මේ දෙදෙනාම මගේ වැඩ කටයුතු ගැන විමසලා, පිටට තට්‌ටුකරලා වචනෙකින් හරි දිරිගැන්වීම් කළා. මගේ ජයග්‍රහණවල පිටුපස තිබූ බලය තමයි ඒ වචනවල ශක්‌තිය."

දෙපාර්තමේන්තුව තුළින් සුවිසල් ඇගයීමක්‌ නොලැබුණත් ජාතික මට්‌ටමෙන් නම් ඔහු වෙත ජනාධිපති සම්මානය පවා පිරිනමා තිබේ. 2004 වසරේදී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනයක මැතිනිය විසින් ජිනදාස මහතාත්, ඔහු හා එක්‌ව පර්යේෂණ පැවැත්වූ ආචාර්ය සුමිත් විඡේසිරිවර්ධන මහතාත්, සම සම්මානලාභීන් කොට එම සම්මානය පිරිනැමුණේ දේශීයව බිහිකළ ප්‍රථම බාස්‌මතී වර්ගය වන "ලංකා සමෘද්ධි" හෙවත් ඒ. ටී. 405 වී ප්‍රභේදය වෙනුවෙනි. පසු අවස්‌ථාවක කෘෂි විද්‍යාඥ පතිනායක මහතා විසින් රතු බාස්‌මතී නිපදවීම උදෙසා මවු දර්ශයක්‌ ලෙස භාවිත කළේද ලංකා සමෘද්ධිය. මුලදී සම්මාන ලැබුණත්, කුඩා කල හුරතල් බස්‌ දොඩන පොඩිත්තෙක්‌ උස මහත් වීමේදී ඇතැම්විට මුරණ්‌ඩු වීමට ඉඩ ඇත්තාසේ, ලංකා සමෘද්ධිද අනුයාත පරම්පරා ගත වීමේදී ක්‍රමයෙන් අහිතකර ලක්‌ෂණ පෙන්වන්නට වීම නිසා ගොවි ප්‍රජාවගෙන් ලැබුණේa අඩු පිළිගැනීමකි. ගොක්‌ මැස්‌සාගේ හානියට පාත්‍රවීමත්, බත ඇලෙනසුලු වීමත්, වී කරල සම්පූර්ණයෙන් පිටතට නොපැමිණ සිරවීමත් මෙම දුර්වලතා අතරින් කැපී පෙනුනි.

"ඒ උනාට මේ සහලේ වැදගත් ගතිගුණ සැඟවී තිබෙනවා. කර්මාන්ත ක්‌ෂේත්‍රයේ ලංකා සමෘද්ධි වලට හොඳ පිළිගැනීමක්‌ ලැබෙනවා. අද ප්‍රධාන බිස්‌කට්‌ සමාගමක්‌, සහල් පිටි වලින් සාදන බිස්‌කට්‌ නිපදවන්න ගන්නේ මෙම සහල්. ඒ සඳහා ඔවුන් කොන්ත්‍රාත් ගොවීන් තෝරාගෙන, මෙම වර්ගය විශේෂයෙන් වගා කරවමින් වැඩි මිලක්‌ ගෙවා මිලදී ගන්නවා".

ඔහු ලංකා සමෘද්ධියේ හොඳ පැත්ත ගැන කතා කරයි.

"රටේ කෘෂිකර්මය කඩා වැටිලා කියල හැමතැනම කතාවෙනවා. සමාජ වෙබ් අඩවිවලටත් මේ කතිකාව රිංගලා. ඇත්තටම කියනවනම් අපේ කාලේ පටන්ගත්ත වැඩවල ප්‍රතිපල තමයි තවම අලුත් දේ හැටියට පිටවෙන්නේ. මම හදපු තවත් වී වර්ගයක්‌ දැනටත් මග එනවා. ඉදිරියේදී එයත් නිදහස්‌ වේවි. අලුත් නිලධාරීන්ට තම වගකීම ගැඹුරින් පෙන්වාදෙන පරිපාලනයක හදිසි අවශ්‍යතාවයක්‌ මට පෙනෙනවා. ජනප්‍රියවාදී තීන්දුවලට නොයන පරිපාලනයක්‌ යටතේ නවකයින්ගේ ආකල්ප වෙනස්‌ වනවිට යළිs පුබුදින කෘෂිකර්මයක ගුණ සුවඳ, හෙම්බත්වී සිටින අහිංසක ගොවියාට දැනේවි. මම ගතින් විශ්‍රාම ගියත් හිත තුළ තවමත් අලුත් අදහස්‌ උපදිනවා. හුඟක්‌ ගොවි ගැටලුවලට විසඳුම් ඒ අතර තියෙනවා. 0713995792 අංකයෙන් මා අමතනවානම් ඕනෑම කෙනෙකුට උදවුකරන්න මම සූදානම්."

වසර තිහක්‌ මඩේ සිටියත් ඔහුට හතිවැටී නැත්තා සේය. තවමත් ඔහු ජනතා සේවය උදෙසා සිහින දකියි. කන්දක්‌ විලිලා ඇත් පැටවකු වැදූකළ එය මී පැටියෙකු තරමටවත් නොතකන රට කරවන්නන් සමග අප ජීවත්වෙමු. මේ තවත් එවැනි පුවතකි.

මීට වසර තුන හතරකට පෙරදී අම්පාර දිස්‌ත්‍රික්‌කයේද වැඩි අස්‌වනු විභවයක්‌ සහිත රෝස කැකුළු වගා කිරීමේ ප්‍රතිපලයක්‌ ලෙස, වී අතිරික්‌තයක්‌ ඇතිවී තිබේ. ඇතැම් දේශපාලන බලවතුන් අතිරික්‌තයට හේතුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් විමසා, මෙවැනි අතිරික්‌තයක්‌ ඉදිරියේදී ඇති නොවන්නට හේතුවන වැදගත් උපදෙසක්‌ දෙපාර්තමේන්තුව වෙත ඒවා තිබිණ. එනම් මෙවැනි වැඩි අස්‌වැන්නක්‌ දෙන මාදිලි ඉදිරියේදී වගා නොකරන ලෙසයි. කාලගුණය හෝ හරස්‌ වී දිගින් දිගටම රට හාල් බුදින්නට ලාංකිකයාට උරුම වූයේ මෙවැනි මෝඩ තකතීරු අදහස්‌වල සාපය නිසාද?

(තාක්‌ෂණික තොරතුරු ගවේශනයේදී සහය දුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික විද්‍යාඥ සහකාර ප්‍රසාද් වික්‍රමසිංහ සහ යාන්ත්‍රික ඉංජිනේරු චන්දන ලාල් රාජපක්‌aෂ යන මහතුන් වෙත විශේෂ ස්‌තුතිය පිරිනමමි.)

සනත් එම්. බණ්‌ඩාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.