බිසෝගම හෙවත් බියගම
ගණේවත්ත පුරාණ රජ මහ විහාරය

පූගොඩ - සරණපාල නුවරපක්‌ෂ

ගණේවත්ත පුරාණ රජමහා විහාරස්‌ථානයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ගණින්නාන්සේලා කණ්‌ඩායමක්‌ මෙම ස්‌ථානයේ වාසය කිරීම නිසා ගණේවත්ත නමින් ප්‍රසිද්ධියට පත් මෙම විහාරස්‌ථානය නව නුවර පාරේ බියගම ජනජය මාවතේ මඳ දුරක්‌ ගිය විට හමුවේ.

සීතාවක රාජසිංහ රජුගේ බිසෝවරු පිරිසක්‌ මෙම විහාරස්‌ථානය පිහිටි ප්‍රදේශයේ විසූ හෙයින් මෙම ප්‍රදේශය බිසෝගම හෙවත් බියගම නමින් ප්‍රකට වූ බව ද ජනවහරේ පවතී.

දුර්ලභ වූ කිරිගරුඩ පිළිම වහන්සේ නමක්‌ තැන්පත් කොට තිබූ වංකගිරිය නමින් වූ විහාර ගෙයක්‌ පැවති බවටත් සාධක පවතින බැවින් මෙම විහාරස්‌ථානයෙහි ඓතිහාසික වටිනාකම මැනවින් පැහැදිලි වේ. විහාර භූමියේ තැනින් තැන සිටුවා ඇති ගල් කුලුනු වලින් ඒ බැව් සනාථ වේ.

බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම් වලට ලක්‌වූ ඓතිහාසික බෝධි වෘක්‌ෂය බැතිමතුන්ගේ ප්‍රාර්ථනා සඵල කරවයි.

මෙම ඓතිහාසික විහාරස්‌ථානය දහනවවැනි සියවස වන විට පරිහානි තත්ත්වයට පත්ව තිබුණි. වටරැක උපතිස්‌ස ස්‌ථවිරයන් වහන්සේ ගණේවත්ත රජමහා විහාරස්‌ථානයේ ආදි කර්තෘවරයාණෝ වෙති. වටරැක උපතිස්‌ස හිමියන්ගේ ප්‍රිය ශිෂ්‍ය හිමි නමක්‌ වන අහුගම්මන සීලරතන හිමියන් 1920 වර්ෂයේදී මෙම විහාරස්‌ථානයට වැඩම කරවීමෙන් පසු උන්වහන්සේ මෙම විහාරස්‌ථානයේ සංඝාවාසය ප්‍රතිමා ගෘහය ධර්ම ශාලාව, චෛත්‍යය ඇතුළු විහාරාංග සම්පූර්ණ කිරීමට සමත් වූහ.

වර්ෂ 1974 දී අහුගම්මන සීලරතන හිමියන්ගේ අපවත් වීමෙන් පසුව ආටිගල ගුණරතන හිමියෝ මෙම විහාරස්‌ථානයේ විහාරාධිපතිත්වයට පත්වූහ. උන්වහන්සේගෙන් පසුව වර්තමාන විහාරාධිපති වශයෙන් වටරැක සිරිරතන හිමියෝ පත්වූහ.

ගණේවත්ත පුරාණ රජමහ විහාරය සෙවණගල 8 කණුව ඵුqස්‌සදේව රජමහ විහාරය පානළුව සිරිනිවාසාරාමය, ආටිගල කැළුම් පිටියාගොඩ ශ්‍රී විවේකාරාමය, බටවල වල්පිට බෝධි රාජාරාමය යන පංච මහා විහාරාධිපති වටරැක සිරිරතන හිමියන් මෙම විහාරස්‌ථානයේ විශාල වැඩ කොටසක්‌ සිදුකොට ඇත. අමිල කිරිගරුඬ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රතිමා ගෘහයක්‌ කරවා එම බුද්ධ ප්‍රතිමාව එහි තැන්පත් කිරීමට ද උන්වහන්සේ කටයුතු කළහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.