The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Lolc mCash 365x90 S

UPali

guru1උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් මහාචාර්ය සමන්ත හේරත්, මහාචාර්ය ආරියරත්න ඇතුගල හා ආචාර්ය එඩ්වින් ආරියදාස යන අය විසින් අභිනවයෙන් සම්පාදනය කළා යෑයි කියන විෂය නිර්දේශය මේ වන විට උසස්‌ පෙළ මාධ්‍ය ගුරුවරු දැඩි ලෙස ප්‍රතික්‌ෂේප කර ඇත. ඔවුන්ගේ විරෝධය නාමිකව අත්සන් සහිතව මේ වන විට ජනාධිපති, අගමැති, අධ්‍යාපන ඇමති, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර, ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ සභාපති කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුවේ ජ්‍යෙaෂ්ඨ කථිකාචාර්ය උපාලි මාම්පිටිය යන මහත්ම මහත්මීන් ඇතුළු වගකිවයුත්තන්ට හා දැන ගත යුත්තන්ට මේ වන විට යවා ඇත. එහි පිටපත් මාධ්‍ය වෙත ද ලැබෙමින් පවතී.
 
 උසස්‌ පෙළ මාධ්‍ය ගුරුවරුන් ඉල්ලා සිටින්නේ මෙම ඊනියා අභිනව විෂය නිර්දේශය අවලංගු කරන ලෙසට ය. ශ්‍රී ලංකා අධ්‍යාපන ඉතිහාසයේ ගුරුවරුන් විසින් විෂය නිර්දේශයකට එරෙහිව මේ ආකාරයේ විරෝධයක්‌ පළ කරන ලද පළමු අවස්‌ථාව මෙය බව මගේ හැඟීමයි. එහෙත් ගුරුවරුන් නාමිකව ඉදිරිපත් කර ඇති විරෝධය නොසළකා හරිමින් ඒකාධිපති ලෙස මෙම විෂය නිර්දේශය බලහත්කාරයෙන් පන්ති කාමරයට ගෙන යැමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කර ඇති බව පසු ගිය දා දිවයින පුවත්පතේ මුල් පිටුවේ මේ සම්බන්ධයෙන් පළ වූ පුවතින් හෙළි කර ඇත.
 
 ජාතික අධ්‍යාපන ආයතනය යනු එහි අධ්‍යක්‌ෂ ජනරාල්ගේ හෝ ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ සභාපතිගේ පවුලේ බූදලයක්‌ නොවේ. එය මේ රටේ මහජන මුදලින් පවත්වා ගෙන මහජන ආයතනයකි. එයට නෛතික වශයෙන් පැවරූ වගකීම් හා කාර්යයන් තිබේ. ඒවා නිසි අවංක ෙච්තනාවකින් හා උපරිම සද්භාවයෙන් යුතුවද, උසස්‌ ශාස්‌ත්‍රීය ප්‍රමිතියකින් යුතුව ද ක්‍රියාත්මක කිරීම ජාතික අධ්‍යාපන ආයතනයේ සමස්‌ත වගකීමයි. ජාතික අධ්‍යාපන ආයතනයේ සභාපති ලෙස නිල බලයෙන් කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයාය. ඔහුගේ සභාපතිත්වයෙන් යුත් පාලක සභාවක්‌ විසින් ජාතික අධ්‍යාපන ආයතනයේ සියලු කටයුතු මුදුන් මට්‌ටමින් නියාමනය කරනු ලැබේ.
 
 ජාතික අධ්‍යාපන ආයතනයේ අභ්‍යන්තර නිලධාරීන්ගේ මූලිකත්වයෙන් සම්පාදනය කරන ලද විෂය නිර්දේශ හෝ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ හෝ ඒවාට සම්බන්ධිත ලේඛන මුලින් අදාළ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ විසින්ද දෙවනුව අදාළ පීඨයේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් හා පීඨ සභාව විසින්ද, ඉන් පසු අධ්‍යක්‌ෂ ජනරාල් විසින් ද අනුමත කරනු ලැබීමෙන් පසු ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයට ඉදිරිපත් කළ යුතුය. ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු එය පාලක සභාව විසින්ද අනුමත කළ යුතුය.
 
 ගුරුවරුන්ගේ විරෝධයට තුඩු දී ඇති උසස්‌ පෙළ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනයේ අභිනව යෑයි කියන විෂය නිර්දේශය ද, ඒ සඳහා සම්පාදනය කරන ලද ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයද මෙම ගමන් මාර්ගයේ පැමිණීමෙන් පසු අගෝස්‌තු 29 වැනි දින ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. එසේ නම් ගුරුවරුන් විරුද්ධ වන්නේ කුමක්‌ නිසාද?
 
 මාධ්‍ය ගුරුවරුහු යනු සාමාන්‍ය පෙළ සමත් වූවෝ නොවෙති. ඔවුන් සියල්ලෝම ජනසන්නිවේදනය හෝ ජනමාධ්‍ය හෝ විෂයය සහිත උපාධිධාරීහුය. එපමණක්‌ නොව මෙම ගුරුවරුන්ගෙන් වැඩි දෙනෙක්‌ පසුගිය වසර දහය පුරා සන්නිවේදනය විෂයය උගන්වා ඇත. තවත් බොහෝ දෙනා අවුරුදු නවය, අට, හත, හය ආදී වශයෙන් වෙනත් කාල සීමාවක්‌ තුළ මාධ්‍ය විෂයය උගන්වා අත්දැකීම් ලබා ඇත. ඔවුන්ගෙන් ද වැඩි දෙනෙක්‌ විභාග ඇගයුම් සඳහා සහභාගි වෙති. එපමණක්‌ නොව මෙම ගුරු භවතුන්ගෙන් සෑහෙන පිරිසක්‌ ජනසන්නිවේදනය විෂයයෙන් ශාස්‌ත්‍රපති මට්‌ටමේ උපාධි ලබා ඇත. විෂය නිර්දේශයේ ගුණ දොස්‌ නිවැරදිව දකින්නට ඔවුහු සමත් බවට කිසිදු සැකයක්‌ නැත.
 
 එහෙත් මෙම අභිනව යෑයි කියා ගන්නා නව විෂය නිර්දේශය සම්පාදනයට මුල් වූවෝ කවරහුද? එම ඉතිහාසය සංක්‌ෂිප්තව මෙසේය.
 
 2013 වර්ෂයේ ජුනි 30 වන දින මා ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයෙන් විශ්‍රාම ගිය පසු මගේ රාජකාරි කටයුතු සඳහා බඳවා ගනු ලැබූ තැනැත්තියට අවම වශයෙන් උසස්‌ පෙළ හෝ සාමාන්‍ය පෙළ හෝ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයය උගන්වා පළපුරුද්දක්‌ තිබුණේ ද නැත.
 
 භාෂා, මානව ශාස්‌ත්‍ර හා සමාජීය විද්‍යා පීඪය යටතේ වූ සිංහල දෙපාර්තමේන්තුවට අයත් ව තිබූ සන්නිවේදනය විෂයය මේ නිසා එයින් ඉවත් කෙරිණි. මෙවැනි ශාස්‌ත්‍රීය දූෂණයක්‌ ජාතික අධ්‍යාපන ආයතනයේ සිදු වූ පළමු වතාව මෙයයි. විද්යුත් ප්‍රචාර දෙපාර්තමේන්තුවේ රාජකාරිය වන්නේ ගුවන් විදුලි හා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය කිරීම වන අතර එම දෙපාර්තමේන්තුව යටතේ විෂය නිර්දේශයක්‌ සම්පාදනය කළ නොහැකිය.
 
 ගුරුවරුන්ගේ විරෝධතා ලිපිවල එක්‌ එක්‌ ආකාරයෙන් දක්‌වා ඇතත් ඒ සියල්ලේ සමස්‌තය වන්නේ මෙම ඊනියා අභිනව විෂය නිර්දේශය උසස්‌ පෙළ පන්තිවල ඉගැන්වීම සඳහා අයෝග්‍ය බවයි. ඔවුන්ගේ එම මතය බැහැර කර හිතුවක්‌කාර ලෙස හා ඒකාධිපති ලෙස කටයුතු කිරීමේ අයිතියක්‌ හෝ බලයක්‌ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල්ට හෝ ශාස්‌ත්‍රීය කටයුතු මණ්‌ඩලයේ සභාපතිට හෝ අධ්‍යාපන ලේකම්ට හෝ නැත.
 
 ඊනියා අභිනව විෂය නිර්දේශයේ පහත සÔදහන් වෙනස්‌කම් කරන ලද්දේ කුමන ශාස්‌ත්‍රීය පදනමකද යන්න විවෘතව ප්‍රකාශ කිêම මෙයට සම්බන්ධ සියලූ පාර්ශ්වයන්ගේ වගකීමකි.
 
 1. පෙර විෂය නිර්දේශයේ එක්‌ පාඩමකට පමණක්‌ සීමා කර තිබූ සන්නිවේදන න්‍යාය හා මූලධර්ම ආදිය සම්බන්ධ විෂය කරුණු පාඩම් තුනක්‌ දක්‌වා පුළුල් කරන ලද්දේ කුමක්‌ නිසාද? එම පාඩම් තුන තුළ ඇත්තේ එකම කරුණු පුනරුක්‌ති වීමක්‌ නොවන්නේද?
 
 2. සංවර්ධන සන්නිවේදනය හා සංවර්ධන සන්නිවේදන ව්‍යාපෘතිය යන පාඩම් දෙක මුළුමනින්ම ඉවත් කරන ලද්දේ කුමක්‌ නිසාද?
 
 3. මාධ්‍ය සාක්‌ෂරතාව පාඩම ඉවත් කර එය භාෂාව සමග සම්බන්ධ කර පටු කරන ලද්දේ කුමක්‌ නිසාද?
 
 4. සහජීවනය සඳහා සන්නිවේදනය පාඩම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලද්දේ කුමක්‌ නිසාද?
 
 5. උසස්‌ පෙළ සිසු දරු දැරියන් සන්නිවේදන පර්යේෂකයන් බවට පත් කිරීම විෂයයේ අරමුණක්‌ කරන ලද්දේ හා සන්නිවේදන පර්යේෂණ නම් වූ පාඩම් කොටසක්‌ එක්‌ කරන ලද්දේ කුමක්‌ නිසාද?
 
 මෙම දූෂිත විෂය නිර්දේශය ඇගයුම ස`දහා දස පුද්ගල කමිටුවක්‌ පත් කරන ලද බව ජාතික අධ්‍යාපන ආයතනය විසින් ජනාධිපති කාර්යාලයට යෑවූ වාර්තාවක සඳහන් කර ඇත. එම දස පුද්ගල කමිටුව යන්න ව්‍යාජයකි. එයට ඇතුළත් වූ අයගෙන් පස්‌ දෙනෙක්‌ම ඒ සඳහා නිශ්චිතව නුසුදුස්‌සෝය. තිදෙනෙක්‌ විෂය නිර්දේශය සම්පාදනයට සහභාගි වූ අයයි. තමන් සකස්‌ කළ විෂය නිර්දේශය ඇගයුම් කමිටුවේ ඒ අයම කටයුතු කිරීම ශාස්‌ත්‍රීය විහිළුවකි.
 
 එපමණක්‌ නොව දෙවන පාසල් වාරයේ උසස්‌ පෙළ නව පන්ති ආරම්භ කරන ලද බවත්, ඒ අනුව තිබූ විෂය නිර්දේශය මාස දෙකක්‌ ඉගැන්වූ බවත් නොසලකා ජාතික අධ්‍යාපන ආයතනය අගෝස්‌තු 29 වන දින ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය අන්තර්ජාලයට එක්‌ කරන්නේ සියලූ දෝෂ නිවාරණය කර ගැනීමටය. ගුරුවරු සිය විරෝධය ඉදිරිපත් කරන්නේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි.
 
 මේ සම්බන්ධයෙන් ගත යුතු එකම ක්‍රියා මාර්ගය වන්නේ මේ වන විට උසස්‌ පෙළ පන්තිවල උගන්වමින් සිටින තිබූ විෂය නිර්දේශය තව දුරටත් වලංගු කොට ඊනියා අභිනව විෂය නිර්දේශය අවලංගු කිරීමයි. එසේ අභිනව විෂය නිර්දේශය අවලංගු කළ යුත්තේ එහි ඇති වූ ප්‍රමාද නිසා නොවේ. එය කිසිසේත්ම උසස්‌ පෙළ පන්තියට උචිත නොවන නිසාය.
 
 ජාතික අධ්‍යාපන ආයතනයේ මෙම අශාස්‌ත්‍රිය කටයුතු හුදෙක්‌ අහම්බෙන් ඇති වූ ඒවා නොව දිගු කාලයක්‌ තිස්‌සේ පැවතෙන ඒවාය. එපමණක්‌ නොව උක්‌ත ගැටලුව පැන නැගී ඇත්තේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයට වුවත් අනෙක්‌ විෂය නිර්දේශ හෝ ගුරු මාර්ගෝපදේශ ප්‍රශස්‌ත ඒවා යෑයි එයින් නොකියවෙන බවත් මෙහි ලා සඳහන් කළ යුතුය.
 
 ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා අධ්‍යාපන අමාත්‍යතුමන් මැදිහත් වී මෙම ශාස්‌ත්‍රීය අපරාධය නැවැත්විය යුතුය. එය කිසිසේත් බැහැර නොකළ යුතු වගකීමකි. එසේම ජාතික අධ්‍යාපන ආයතනයේ සමස්‌ත ශාස්‌ත්‍රීය කටයුතු පිළිබඳ සැබෑ විමර්ශනයක්‌ කිරීම ද මෙහිදී කළ යුතුය. මහාචාර්ය එපිටවත්ත කමිටු වාර්තාවේ දක්‌වා ඇති නිරීක්‍ෂණ අනුව එහි ඇතැම් නිලධාරිනියන්ගේ දූෂිත තනතුරු සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් නිසි පියවර ගනු ලැබුවේ නම් මෙම අර්බුදය පැන නො නගින්නට ඉඩ තිබුණි.
 
 බන්දුල පී. දයාරත්න
 ජාතික අධ්‍යාපන ආයතනයේ
 මාධ්‍ය අධ්‍යාපන ව්‍යාපෘතියේ හිටපු ප්‍රධානී
 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

dil250

නවලිය

nava250

දියග

gaga250

මීවිත

rana250

More Articles