බෞද්ධ සූත්‍ර හ`දුනාගනිමු - 1

දෘෂ්ටි ජාලයෙන් මිනිසා
මුදා ගැනීමට දේශනා කළ බ්‍රහ්මජාල සූත්‍රය


රංග බුද්ධික කංකානන්ගේ
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

බුදුන් වහන්සේ පන්සාළිස්‌ වසක්‌ මුළුල්ලේ දේශිත ශ්‍රී සද්ධර්මය සංගීතිකාරක භික්‍ෂුන් වහන්සේලා විසින් පසුකාලීනව ත්‍රිපිටකය ලෙසින් සංග්‍රහ කළ බව බෞද්ධ ඉතිහාසයෙහි ස`දහන් ය. එහි දී විනය, සූත්‍ර, අභිධර්ම ලෙසින් පිටකත්‍රයකින් යුක්‌තව ගොඩන`ගන ලද බුද්ධ දේශනාව අතර දහම් කරුණු සරලව පැහැදිලි කළ කොටස්‌ සූත්‍ර පිටකයට අයත් විය. ඒ තුළ දීඝ, මජ්Cධිම, සංයුක්‌ත, අංගුත්තර, ඛුද්දක යනුවෙන් නිකාය පහකට සූත්‍ර වෙන් කරනු ලැබුවේ එම සූත්‍රයන් හි ස්‌වභාවය සලකා ය. ඒ අනුව සාපේක්‍ෂව දීර්ඝ සූත්‍ර 34ක්‌ දීඝ නිකායට ඇතුළත් වූ අතර ඒ තුළ සීලය මුල් කොටගත් සූත්‍ර 13ක්‌ සීලCඛන්ධ වර්ගය ලෙසින් ද, මහා යනුවෙන් විශේෂණ නාමයකින් හැඳින්වූ සූත්‍ර 10ක්‌ මහා වග්ගය ලෙසින් ද, පාඨිත සූත්‍රයෙන් ඇරඹෙන සූත්‍ර 11ක්‌ පාඨිත වග්ගය ලෙසින් ද අන්තර්ගත වේ. දීඝ නිකායේ මෙන් ම සීලCඛන්ධ වග්ගයේ ද එමෙන් ම සූත්‍ර පිටකයේ ද පළමු සූත්‍රය වනුයේ අද අපගේ විමසීමට ලක්‌වන බ්‍රහ්මජාල සූත්‍රය යි.

බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කරනු ලැබුවේ රජගහනුවර හා නාලන්දා නුවර අතර පිහිටි අම්බලට්‌ඨිත නම් උයනෙහි රජුන් උදෙසා තැනූ රාජගාරක නම් ශාලාවෙහි මණ්‌ඩලමාලා නම් රැස්‌වීම් ශාලාවේ දී ය. එහිලා නිදාන වූයේ සුප්පිය පරිව්‍රාජකයා හා ඔහුගේ අතවැසි බ්‍රහ්මදත්ත නම් තරුණයා අතර ඇති වූ සංවාදය යි. මෙම සංවාදයේ දී සුප්පිය තෙරුවන් හි නුගුණ ප්‍රකාශ කරද්දී බ්‍රහ්මදත්ත තෙරුවන් හි ගුණ කීය. මෙම සංවාදය අසා සිටි භික්‍ෂුන් වහන්සේලා ඒ පිළිබ`ද සාකච්ඡා කරමින් සිටියදී එහි පැමිණි බුදුන් වහන්සේ එකී කථාව අසා ඒ පිළිබ`ද දැක්‌වූ අදහස බ්‍රහ්මජාල සූත්‍රයෙහි ඇතුළත් වේ.

බ්‍රහ්මජාල සූත්‍රය බුqදුන් වහන්සේ විසින් අFථජාල, ධම්මජාල, බ්‍රහ්මජාල, දිට්‌ඨිජාල, අනුත්තරසංගාම විජය යන නම් වලින් හ`දුන්වා ඇති අතර සංගීති කාරක භික්‍ෂුන් විසින් බ්‍රහ්මජාල යන නාමය තෝරාගෙන ඇත. මෙකී සූත්‍රය බ්‍රහ්මයා පෙරටු කරගත් දෘෂ්ටි ජාලයෙන් මිනිසා මුදවාගනුවස්‌ දේශිත හෙයින් හෝ බුදුරදුන්ගේ සුවිශාල ඥාන දැලට හසු නොවන කිසිවක්‌ නොමැති බව හැ`ගවීමට හෝ එකී නාමය තෝරාගන්නට ඇති බව විචාරක මතය යි. සූත්‍ර නාමය කෙසේවතදු බ්‍රහ්මජාල සූත්‍රය බුදුසමයේ පරම නිෂ්ඨාව වන නිර්වාණය සාක්‍ෂාත්කරණයෙහිලා වන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය වෙත මිනිසා ප්‍රවේශනය කිරීමේ අරමුණින් දේශිත බව පැහැදිලි ය. එහෙයින් ම එය සූත්‍ර පිටකයේ පළමු සූත්‍රය වන්නට ඇතැයි යන්න සිතිය හැකි ය.

සූත්‍ර දේශනාවේ සැකැස්‌ම මනා ක්‍රමවේදයක්‌ ඔස්‌සේ ගොඩන`ගා තිබේ. එහි දී පළමුවෙන්ම පුද්ගලයාගේ කය වචනය සංවර කොට සීලයෙහි පිහිටුවා තිබේ. අනතුරුව සිතේ එක`ගබවට එනම් සමාධියට බාධා පමුණුවන දෘෂ්ටිගත වීමෙන් පුද්ගලයා මුදවා ගනු වස්‌ විවිධ දෘෂ්ටීන් තුළ පවත්නා සාවද්‍ය බව පෙන්වා දී තිබේ. ඒ සම`ගින් ම පටිච්චසමුප්පාදය තුළින් යථාර්ථාවබෝධය පිණිස පුද්ගලයා යොමු කොට තිබේ. ඒ අනුව මිනිසාගේ ප්‍රඥාව ප්‍රමුදිත කොට අවබෝධය ඇතිකරලීමෙහිලා බ්‍රහ්මජාල සූත්‍රය මැනවින් සකස්‌ වී ඇති බව පැහැදිලි ය.

මෙහි දී පුද්ගලයා සීලයෙහි පිහිටුවනුයේ වක්‍රාකාර මානසික බලපෑමකිනි. ඊට හේතුව මෙකී සූත්‍රය සෘජුව ම දේශනා කරනුයේ විවිධ දෘෂ්ටීන්වලට එළඹ සිටින පුද්ගලයින්ට වීමයි. ඔවුන් කිසිවිටක සෘජුවම සීලයට යොමු කරවා ගැනීම අපහසු ය. එබැවින් චූල, මජ්Cධිම, මහා යනුවෙන් සීලය විග්‍රහ කොට එකී සීලය බුදුරදුන්ගේ සීලය හා සස`දන කළ අල්පමාත්‍රයක්‌ බව දක්‌වයි. එසේ ම එකී ස්‌වල්ප වූ සීලය පමණක්‌ සාමාන්‍ය ජනයා දකින බවත් එබැවින් ම බුදුරදුන් පසසන බවත් දක්‌වයි. බුදුරදුන්ගේ සීලය හා සැස`දීමෙන් එහි අගය පෙන්වා දී එහි අල්ප බව දක්‌වා රැකීමට පහසු බව හ`ගවයි. එසේ ම සාමාන්‍ය ජනයාට ගෝචර වන හෙයින් එය මිනිසාට පහසුවෙන් ළ`ගා කරගත හැකි බව පෙන්වා එකී සීලයෙන් යුක්‌තවීම පැසසීමට හේතු වන බව දක්‌වා පුද්ගලයා සීලයහි උනන්දු කර තිබේ. කායික වාචසික සංවරය ස`දහා සූත්‍රාගත සීල විග්‍රහය බෙහෙවින් උපකාරී වන බව පෙනෙන්නට තිබේ.

සූත්‍රාගත සීලය ප්‍රධාන කොටස්‌ තුනකින් යුක්‌ත ය. එනම් චූල, මජ්ජිම, මහා යන කොටස්‌ තුනයි. චූල සීලය, දස සීලය ඉක්‌මවනුයේ සුළු වශයෙනි. එබැවින් සාමාන්‍ය ජනයාට මෙකී සීලය එතරම් අපහසු ව්‍යායාමයක්‌ නොවනු ඇත. චූල සීලය තුළ ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාම මිත්‍යාචාරයෙන්, මුසාවාදයෙන්, පිසුණා වාචයෙන්, පරුෂ වචනයෙන්, හිස්‌ වචනයන්, විකාල භෝජනයෙන්, නැටුම් ගැයුම් වැයුම් දැකීමෙන්, මල් සුවද ආලේපන ගැල්වීමෙන්, උස්‌ අසුන් මහ අසුන් ගැනීමෙන්, ගස්‌ වැල් විනාශ කිරීමෙන්, රන්, රිදී, ධාන්‍ය, මස්‌, ස්‌ත්‍රීන්, දැසි දසුන්, සතුන්, කෙත්වතු ආදිය පිළිගැනීමෙන් යනාදියෙන් වැළකීම ප්‍රධානය. ඊට අමතරව දූත මෙහෙවරෙහි නොයෙදීම, අධාර්මික වෙළදාම්, හොරට බඩු කිරීම, වංචාව, කපටිකම, මංපැහැරීම, ගෙවල් බිදීම ආදී සාහසික ක්‍රියාවන්ගෙන් වැළකීම ද චූල සීලයට ම අයත් ය.

මජ්ජිම සීලය චූල සීලය ඉක්‌මවනුයේ ම`ද වශයෙනි. ඒ තුළ චූල සීලයෙහි ඇතුළත් බොහෝ අංග තවදුරටත් විස්‌තර විග්‍රහ කර තිබෙනු මෙන් ම නව අංග කිහිපයක්‌ ඇතුළත්ව තිබීම ද දැකිය හැකි වේ. ඒ අනුව ගස්‌ වැල් නොනැසීම, විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම් දැක්‌මෙන් වැළකීම, මල් සුව`ද ආලේපන ගැල්වීමෙන් වැළකීම, උස්‌ අසුන් මහ අසුන් ගැනීමෙන් වැළකීම, දූත මෙහෙවරෙහි නොයෙදීම යන චූල සීලයෙහි ඇතුළත් අංග තව දුරටත් විස්‌තර විග්‍රහ කර මෙහි ඇතුළත් කර තිබේ. නව අංග වශයෙන් දෙතිස්‌ තිරශ්චීන කථාවන්ගෙන් වැළකීම, වාද විවාද කිරීමෙන් වැළකීම, ලාභ අපේක්‍ෂාවන්ගෙන් කරන කුහන ලපනාදියෙන් වැළකීම යනාදිය ඇතුළත් වේ.

මහා ශීලය වෙන් වී තිබෙනුයේ තිරශ්චීන විද්‍යාවන්හි නියෑලීමෙන් මෙන් ම ඒවා ම`ගින් මුදල් ඉපයීමෙන් වැළකීමටත්, වැරදි ජීවනෝපායන්ගෙන් වෙන්වීමටත් ය. මෙහි දී අංග ශාස්‌ත්‍රය, හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ගෘහ වාස්‌තු ශාස්‌ත්‍රය, නැකත් කීම, අංජනන් බැලීම, පේන කීම, ගුරුකම්, ශාන්තිකර්ම, වශීකරණය ආදිය තිරශ්චීන විද්‍යා ලෙසින් දක්‌වා තිබේ.

මෙසේ ත්‍රිවිධ අංගයන් යටතේ විග්‍රහ වන සීලය තුළ කය සහ වචනය සංවර කර ගැනීමෙහිලා අවශ්‍ය බොහෝ අංගයන් ඇතුළත් වෙයි. ඒ අනුව බොරු නොකීම, කේළාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස්‌ වචන නොකීම තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සම්මා වාචා හෙවත් යහපත් වචනයෙන් යුක්‌ත වීම සපිරේ. එමෙන් ම ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමමිත්‍යාචාරයෙන් වැළකීම තුළින් සම්මා කම්මන්ත හෙවත් යහපත් ක්‍රියාවන්හි නියෑලීම සම්පූර්ණ වේ. අධාර්මික වෙළදාමෙන් වෙන්ව ධාර්මිකව මුදල් ඉපයීමත් එහි දී ලාභ අපේක්‍ෂාවෙන් වැරදි දේ නොකොට අවංකව වෙළදාමෙහි නියෑලීම ආදිය ම`ගින් සම්මා ආïවය හෙවත් යහපත් ජීවනෝපාය යන අංගය පරිපූර්ණ වේ. පැවිද්දන් විෂයෙහි ලාභ සත්කාරයෙන් මිදී ධාර්මිකව සිව්පසය ලබා ගැනීමේ යෙදීමෙන් මෙම අංගය සපිරේ. ඒ ස`දහා වන සීල අංගයන් ද මෙහි ඇතුළත් වේ. ඒ අනුව බ්‍රහ්මජාල සූත්‍රයේ අඩංගු චූල, මඡ්Cධිම, මහා ආදී සීලයන් තුළින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇතුළත් ත්‍රිශික්‍ෂාවෙහි පළමු පියවර වන සීලයෙහි අංගයන් වන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ත්‍රිවිධ අංගයන් සම්පූර්ණ කරලීමෙහිලා අවශ්‍ය ම`ග පෙන්වීම ලබාදෙයි.

අනතුරුව සූත්‍රයෙහි අවධානය යොමු වන්නේ මිනිසාගේ සිත එක`ග කර ගැනීමට බාධා පමුණුවමින් සිත විසිර යන දෘෂ්ටිගත වීම වෙත ය. දෘෂ්ටිගත වීම ම වරදක්‌ බව පෙන්වා දෙන බුදුන් වහන්සේ මිනිසා තුළ පවත්නා දෘෂ්ටි 62 ක්‌ එකළ සමාජය තුළින් ගෙනහැර දැක්‌වූහ. සැබැවින් ම මිනිසා එළඹෙන බොහෝ දෘෂ්ටීන් මෙම දෘෂ්ටි 62 තුළ ඇතුළත් වන බව පෙනේ. ඒවා, සාස්‌සතවාද 04, ඒකච්චසාස්‌සතවාද 04, අන්තානන්තිකවාද 04, අමරාවික්‌ෙ€පවාද 04, අධිච්චසමුප්පන්න වාද 02, සඤ්ඤීවාද 16, අසඤ්ඤීවාද 08, නෙවසඤ්ඤානාසඤ්ඤාවාද 08, උච්ඡේදවාද 07, දිට්‌ඨධම්මනිබ්බාණවාද 05 ලෙසින් පෙන්වා දී ඒවායේ සාවද්‍ය බව ද පෙන්වා දී තිබේ.

ලෝකය හා ආත්මය සදාකාලිකය යනු සාස්‌සත දෘෂ්ටිය යි. ඉක්‌ කොටසක්‌ සදාකාලිකය යනු ඒකච්චසාස්‌සත දෘෂ්ටිය යි. ලෝකය අන්ත හෝ අනන්ත බව පිළිගැනීම අන්තානන්තික දෘෂ්ටිය යි. කිසිවකට පිළිතුරු නොදී ලිස්‌සා යාම අමරාවික්‌ෙ€පවාදය යි. ලෝකය හා ආත්මය ඉබේ හටගත්තේ යෑයි දෘෂ්ටියට එළඹීම අධිච්චසමුප්පන්න දෘෂ්ටිය යි. මරණින් මතු ආත්මයක්‌ ඇත යන සඤ්ඤාව දරන්නෝ සඤ්ඤීවාදීහු ය. එසේ ආත්මයක්‌ නැත යන සඤ්ඤාව ඇත්තෝ අසඤ්ඤීවාදීහු ය. මරණින් මතු ආත්මයක්‌ ඇත්තේ ද නොවේ නැත්තේ ද නොවේ යන සඤ්ඤාව දරන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤාවාදීන් ය. ආත්මය පිළිනොගන්නෝ උච්ඡේදවාදීහු ය. කෙලෙස්‌ සහිත සත්ත්වයා නැවත නූපදී යන දෘෂ්ටිය දිට්‌ඨධම්මනිබ්බාණවාද දෘෂ්ටිය යි.

මෙසේ විග්‍රහ කරනු ලබන දෘෂ්ටීන් සියල්ලෙහි ම සාවද්‍ය බව සහේතුකව පෙන්වා දෙන බුදුරදුන් ඒවා ජාති ජරා මරණාදී දුක්‌ පිණිස පමණක්‌ හේතු වන බව පෙන්වා දෙයි. එසේ ම යථාර්ථාවබෝධයට මෙසේ දෘෂ්ටිගත වීම බාධාවක්‌ ලෙස පෙන්වා දෙන බුදුරදුන් දෘෂ්ටි ප්‍රහාණය අනුමත කරයි. භාවනාවෙන් සිත දියුණු කොට අභිඥා උපදවා ගැනීමෙන් හෝ තර්කයෙන් හෝ අනුශ්‍රැතියෙන් හෝ මෙසේ ඇතිකරගන්නා දෘෂ්ටි පිළිබ`දව ඉතා මැනවින් දන්නා බව පවසන බුදුරදුන් තමන් වහන්සේ ඊට වැඩි යමක්‌ දන්නා බව වදාරයි. එනම් පටිච්චසමුප්පාදය තුළින් දෘෂ්ටි ප්‍රහාණයෙන් යථාර්ථය දැකීමයි. ඒ ස`දහා වන මාර්ගයේ දී නිවැරදි දැකීමක්‌ හෙවත් සම්මා දිට්‌ඨියට පැමිණීම යනු මෙසේ දෘෂ්ටි ප්‍රහාණයෙන් යථාර්ථය දැකීමයි. ඒ ස`දහා බ්‍රහ්මජාල සූත්‍ර මනා පිටුබලයක්‌ සපයයි.

මේ අනුව බ්‍රහ්මජාල සූත්‍රය මිනිසා තුළ පවත්නා වැරදි දෘෂ්ටීන්ගෙන් ඔහු මුදවාලීමටත් දෘෂ්ටිගතවීමෙහි වරද පෙන්වා ඉන් වළක්‌වාලීSමටත්, කය වචනය සංවර කර ගනිමින් සීලයෙහි පිහිටුවීමටත් උපකාරී වෙයි. එසේ ම සූත්‍රාගත සීල විග්‍රහය යහපත් ජීවිතයක්‌ ගොඩන`ගා ගැනීමට වත්මනෙහි වුව ද බෙහෙවින් උපකාරී වෙයි. ඒ එකිනෙක අංග ජීවිතයට එක්‌ කර ගනිමින් කය වචනය සංවර කර ගනිමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඇතුළත් ත්‍රිශික්‍ෂාවේ පළමු පියවර වන සීලයට ප්‍රවේශනය වීමට බ්‍රහ්මජාල සූත්‍රය මනා ප්‍රවේශයක්‌ ලබාදෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ආර්ය මාර්ගයේ පියවරයන් තුන අපහසු ව්‍යායාමයක්‌ නොව සාමාන්‍ය ïවිතය තුළ මැනවින් ගොඩන`ගා ගත හැක්‌කක්‌ බව මෙහි අවධාරණය කරයි.

එහෙත් සීලයෙහි පිහිටා දෘෂ්ටිගත වුවහොත් එය මහා විනාශයකි. සූත්‍ර දේශනාව අනුව එය ජාති ජරා මරණා දී දුකට මිස අනු යමකට හේතු නොවේ. වත්මන් සමාජය තුළ බොහෝ දෙනා මෙකී දෘෂ්ටීන්වල එළැඹ සිටින බව අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන කරුණකි. එහෙත් බෞද්ධයන් වශයෙන් කළ යුතු වන්නේ කිසිදු දෘෂ්ටියකින් දෘෂ්ටිගත නොවී ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. එනම් යථාර්ථාවබෝධය ලැබීමයි. ඒ ස`දහා දෘෂ්ටි ප්‍රහාණය අත්‍යවශ්‍ය වෙයි. එසේ නොමැති වූ විට ත්‍රිශික්‍ෂාවෙහි දෙවන පියවර වන සමාධියට එනම් සිතෙහි එක`ග බවට පැමිණීමට නොහැකි වෙයි. එබැවින් හසරක්‌ නොදත්තන් ලෙස ඒ ඒ දෘෂ්ටි කරපින්නාගෙන ඒ මත වාද විවාද කර ගනිමින් නොසිට දෘෂ්ටි ප්‍රහාණය කොට යථාර්ථය දැකීමට නොවළහා ක්‍රියා කළ යුතු වෙයි. ඒ ස`දහා පටිච්චසමුප්පාද ධර්මය තුළින් ලබන දැකීම හැර අනු ම`ගක්‌ නොවන බව නැවතත් සිහිපත් කරමි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.