නූතන බණ දෙසුම් සහ ඇසුම්

මිනිසුන් යහපත් දෙය, අයහපත් දෙය කුමක්‌ද යනු වටහා ගන්නේ ධර්මය තුළිනි. ධර්මය නොදන්නෝ ම්ලේච්ඡයන් , වනචාරීන් බවට පත් වෙති. එබැවින් සියල්ලටම ප්‍රධාන වන්නේ ධර්මය යි. 'යෝ ධම්මං පස්‌සති , සෝ මං පස්‌සති ' යනුවෙන් ' යමෙක්‌ ධර්මය දකියි නම් හෙතෙම බුදුන් දැක්‌කා වෙයි ' යනුවෙන් බුදු හිමියන් වදාළේ එබැවිනි. 'ධම්මා විනා නත්î පිතාච මාතා ' , ධර්මය හැර පියෙක්‌ හෝ මවෙක්‌ නැත, 'ධම්මො හවේ රක්‌ඛති ධම්මචාරී 'ධර්මය අනුව කටයුතු කරන පුද්ගලයා ධර්මය විසින් ආරක්‌ෂා කරයි , ධම්මෝ මහග්ඝ රතනෝ රතනේසු ලෝකේ ' ලෝකයෙහි රත්නයන් අතුරෙන් උතුම්ම රත්නය ධර්ම රත්නය වෙයි , ආදී වශයෙන් ධර්මයෙහි වටිනාකම පෙන්වා වදාළේ එබැවිනි.

ලෝකයේ ආගමික ඉගැන්වීම් අතුරෙන් බුදු දහම ඉහළම ස්‌ථරයක වැජඹෙයි. ආසියාතිකයන් පමණක්‌ නොව , බටහිර උගතුන් බුදු දහම පිළිබඳ හැදෑරීමට , ගවේෂණය කිරීමට ඉමහත් උනන්දුවක්‌ දක්‌වති. වත්මන් ලාංකික සමාජයට ද වෙන කවරදාවත් නොතිබූ පරිදි දහමෙහි අවශ්‍යතාවය පැන නැගී ඇත. මිනිසුන් ක්‍රමයෙන් ධර්මයෙන් ඈත් වීමේ ප්‍රවනතාවයක්‌ දැකිය හැක. බුදු දහමෙහි හරය පසෙකලා , වෙනත් පුද පූජාවන් කෙරෙහි විශාල වශයෙන් නැඹුරුවී ඇති බව පෙනෙයි. ඒ බව සුප්‍රසිද්ධ ස්‌ථාන වලට ගොස්‌ නිරීක්‌ෂණය කළහොත් මැනවින් පසක්‌ කර ගත හැකිය. එක්‌ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකට පැයක්‌ තුළ කප්රුක්‌ විස්‌සක්‌ පමණ පූජාකරන අයුරු පසුගිය දිනක දැක ගත හැකි විය. එකක්‌ ඔතාගෙන අවසන් වීමට පෙර තව එකක්‌ ඔතනු දැකිය හැකි විය. කප් රුක්‌ යන වචනය වෙනුවට ' කංචුකය ' යන වචනය භාවිතා කරනු ඇසින. කංචුකය යනු හැට්‌ටය නොහොත් කමිසය යන තේරුම ගෙන දෙයි. ඒ අනුව වර්තමානයේ චෛත්‍යය වලට , බෝධීන් වහන්සේලාට හැට්‌ට , කමීස ඇන්දවීමට දහස්‌ ගණන් එක්‌ රොක්‌ වෙති. ඒවාට සම්බන්ධ වන බොහෝ කාන්තාවන්ට ශිෂ්ඨ සම්පන්න හැට්‌ටයක්‌ ඇඳ ගැනීමට හෝ දැනුමක්‌ අවබෝධයක්‌ නොමැති වීම කනගාටුවට කරුණක්‌ නොවන්නේද ?. එපමණක්‌ නොව , විවිධ මල් පූජාවන් පවත් වනු දක්‌නට ලැබෙයි. මල් අතර , පිච්ච මල්, නෙළුම් මල් , රෝස මල් , දහස්‌පෙතියා මල් , ඉද්ද මල් වැනි මල් වර්ග යොදා ගනිති. අක්‌කර ගණනාවක දහස්‌ පෙතියා වගා කර, චෛත්‍යය පූජාවක්‌ කළ බව පසුගිය කාලයේ අසන්නට ලැබුණි.

මල් පූජාවෙන් බලාපොරොත්තු වන්නේ ජීවිතයෙහි අනියත බව වටහා ගැනීමයි.' පූඡේමි බුද්ධං... යන ගාථාවෙන් ප්‍රකාශ වන්නේ එම කරුණයි. එහෙත් වර්තමානය වන විට මල් පූජාව හුදු ආස්‌වාදයක්‌ ලබා ගැනීමේ පරමාර්ථයෙන් සිදු වන බව පෙනෙයි. ඔවුනොවුන් පරයා , තරඟයට මෙම පූජාවන් සංවිධානය කරන බව දැකිය හැකිය.

ඉතිහාසයෙහි කවරදාවත් නොමැති පරිදි ලාංකික සමාජයේ ධර්ම දේශනාවන් සිදු වන බව දැකිය හැක. එහෙත් ශ්‍රවනය කරනු විනා , පිළිපදින , අනුගමනය කරන පිරිස්‌ මඳ බව පෙනෙයි. ඇතැම් මාධ්‍යයන් රිසිසේ ධර්මය අළෙවි කරති. ඇතැම් ධර්ම දේශනාවන්ට වඩා , එම දේශනාවන්ට අනුග්‍රහය ලබා දුන් පිරිසගේ නාම ලේඛනය කියෑවීම සඳහා කාලය මිඩංගු කරනු ලබන්නේ එබැවිනි. අසන්නන් ද එම දේශනාවන් ශ්‍රවනය කරන්නේ ධර්මය සිහි තබා ගැනීමේ අරමුණෙන් නොව , තමාගේ හෝ තම කණ්‌ඩායමෙහි නම කොයි මොහොතේ කියවෙයිද කියන බලාපොරොත්තුවෙනි. ධර්මය අසන්නේ නම්, පිළිපදින්නේ නම් කෙදිනක වත් නොමැති පරිදි රට තුළ බිය ජනක අපරාධ , මිනී මැරුම්, ස්‌ත්‍රී දූෂණ , මංපැහැරීම් සිදු නොවනු ඇත.

දහම් ඇසීමේ තත්ත්වය එබඳු වන අතර දම් දෙසුම් පිළිබඳව ද අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් වෙයි. අතීත සමාජයෙහි විවිධ ධර්ම දේශනා ක්‍රම තිබුණි. ඒවා අතර , ආසන ධර්ම දේශනා , යුගාසන ධර්ම දේශනා, සගි ධර්ම දේශනා , ආරියවංශ දේශනා, බෙහෙවින් ජනප්‍රිය විය . පසු කාලයෙහි ආලවක දමනය, සච්චක දමනය , යම රජුගේ නඩු තීන්දුව වැනි නාට්‍යානුසාරයෙන් දේශිත ධර්ම දේශනා ක්‍රමයන් ඇති විය . එම දේශනා තුළින් බලාපොරොත්තු වූයේ දහම් ඇසීම පමණක්‌ම නොවේ. එවැනි පිංකම් වලින් ගමේ සමගිය සමාදානය , අසල් වැසි ගම් සමග සහජීවනය , බෞද්ධ සංස්‌කෘතිය, බෞද්ධ කලාව සුරැකීම , මිනිසුන් පස්‌ පව් වලින් , දස අකුසල් වලින් වළක්‌වා යහ මගට ගැනීම , ගමත් පන්සලත් අතර සම්බන්ධතාවය වැඩි වැඩියෙන් ඇති කර ගැනීම, වැනි අරමුණු රැසක්‌ එම ධර්ම දේශනා සංවිධානය කිරීම මගින් බලාපොරොත්තු විය. එහෙත් අද වන විට එම අරමුණු අනුව දහම් දේශනා පැවැත්වෙනවාද යනු ඇතිවන ප්‍රශ්නයකි.

'ගිහීනමුපකරොන්තානං - නිච්චමාමිසදානතෝ

කරෝථ ධම්මදානේන - තේසං පච්චුපකාරකං යනුවෙන් 'බුද්ධවංසට්‌ඨකථාවේ' සඳහන් පරිදි ආමිෂයෙන් භික්‌ෂූන්ට උපකාර කරන ගිහියන්ට ප්‍රති උපකාරයක්‌ වශයෙන් ධර්මය දේශනා කරන්න ය'යි බුදුහු දේශනා කළහ. මෙකල ඇතැම් ප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා ධර්ම දේශනාවන් සිදු කරන්නේ ආමිෂ ලාභයන් සඳහා බව ගිහියන් අතර මතයක්‌ ගොඩ නැගී තිබේ. උන් වහන්සේලාට ධර්ම දේශනාවකට ඇරයුම් කිරීමට ගිය පසු වියදම් ලේඛනයක්‌ ලබා දෙන බව පවසති. ඒවා අතර ගමන් වියදම් , ශබ්දවාහිනී කට්‌ටල , ඒවා ප්‍රවාහනය කිරීමේ වියදම් , පිරිකර ගාස්‌තු ආදිය ද ඇතුළත් වන බව දැන ගන්නට ලැබුණි. සියල්ල එකතු කළ විට රුපියල් ලක්‌ෂයකට වඩා වියදම් වන බව පෙනෙයි . එසේම සැදැහැවතුන් පුදන සියල්ල ද වාහන වල පටවා ගෙන යාමට අමතක නොකරති.

මෙකල අළුත් ධර්ම දේශනා ඇත. අළුත් පුද පූජාවන් ද ඇත. විශේෂයෙන් අබ තෙල් , ගිතෙල්, පොල් තෙල් ආදී වශයෙන් ආශීර්වාද ආලෝක පූජාවන් පවත්වති. ආලෝකය වනාහී අබ තෙල් , පොල් තෙල් , ගිතෙල් ආදී වශයෙන් විශේෂයක්‌ නැත. පහනෙහි ආලෝකය කොයි දෙයකින් නිකුත් වුව ද එක සමාන වෙයි. මේවා හුදෙක්‌ සන්දර්ශන මිසක්‌ වෙන කිසිදු පලක්‌, හරයක්‌ ඇති ක්‍රියාවන් වශයෙන් සැළකිය නොහැක. ' පරසතු මලින් පුද, ලද මුණි සඳුට දිය නද වන පස මලින් පුද කලයි පවසනු කවර වරදද ' යනුවෙන් පැරණි පඬිවරුන් ප්‍රකාශ කළේ එබැවින් ය.

ධර්ම දේශනාවන් අතර කාව්‍යමය ධර්ම දේශනා මෙකල ජනප්‍රිය දේශනා ක්‍රමයකි. මිහිරි ලෙස කවි ගායනා කිරීමට හැකි නම් ඕනෑම අයෙකුට කවි බණ කීමට හැකිය. ඒ සඳහා දහම් දැනුමක්‌ අවශ්‍ය නොවේ. කවුරුන් හෝ කවියට නගා ප්‍රබන්ධ කර දෙන කථා පුවතක්‌ මිහිරිසරින් ගායනා කර, එම දේශනාව නිමාවට පත් කරති. එමගින් කන පිනවීම ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත. කාලීන බණ දේශනා කිරීම ද මෙකල පවතින ධර්ම දේශනා ක්‍රමයකි. අසන්නන් සිනාගන්වමින් කරන මෙම දේශනා බොහොමයක්‌ ධර්ම දේශනාවන් වශයෙන් සැළකිය හැකිද යන්න විමසිය යුතුය. ඇතැම් දේශකයෝ ප්‍රසිද්ධියේම අසභ්‍ය දෙය කියති. ශිෂ්ඨ සමාජයේ ව්‍යවහාර නොකරන දෙය පවා ඔවුන් කිසිදු විලි බියක්‌ නොමැතිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති. ත්‍රිපිටකයෙහි අන්තර්ගත දහම් කරුණු පිළිබඳ කිසිදු හැදෑරීමක්‌ නොමැති ඔවුන් හුදු ජනප්‍රියත්වය උදෙසාම, තරුණ තරුණියන්ගේ හැඟීම් අවුස්‌සමින් දේශනා කරති. මාතෘකාවක්‌ අනුව ධර්ම දේශනා කිරීම ශාසනික පිළිවෙතයි. එහෙත් ඇතැම් දේශකයන්ට මාතෘකාවක්‌ නැත. මාතෘකා පාඨයක්‌ යොදා ගත්ත ද දේශනා කරන්නේ වෙනත් දේවල්ය. අගක්‌ මුලක්‌ නැත. ගාථා පාඨයක්‌ පැවසුවත් , එය ද වරද්දා කියති. අන්තර්ජාලයේ සඳහන් එවන් දේශනාවක ' මිච්ඡා ' යන්න ' මිඡ්ජා' යනුවෙන් උච්ඡාරණය කරයි. මෙය එක්‌ නිදසුනක්‌ පමණි. ඇතැම් දේශනා පැරණි ' විනෝද සමය ' සිහි ගන්වයි. වෙනසකට ඇත්තේ ඇනස්‌ලි , බර්ටි , සැමුවෙල් වෙනුවට එක්‌ අයකු රඟපෑම පමණකි.

මාපිය වන්දනා දේශනාවන් ද මෙකල සමාජයේ ජනප්‍රිය දේශනා ක්‍රමයකි. එහි දී සිදු කරන්නේ දෙමාපියන් සහ ඔවුන්ගේ දූදරුවන් එක්‌ තැනකට රැස්‌ කර තම තමන්ගේ දෑත් අල්ලා ගෙන , දෑස්‌ දෙස බලා සිටින අතර, දේශකයාණෝ දුක්‌ බර හඬින් මව් පිය ගුණ ගයති. ඇතැම් විට දේශකයා ද හඬයි. විටෙක පසු බිමින් මව් පිය ගුණ ගීත හඬ ඇසෙයි. සියල්ල සංකලනය වූ පසු සියළු දෙනාම හඬන්නට පටන් ගනිති. අවසන කඳුළු ගංගාවකි. සියලු දෙනාම හැඬවීමට හැකි වුනි නම්, එය සාර්ථක වැඩ සටහනක්‌ වශයෙන් සළකා සතුටු වෙති.

ඇතැම් දේශකයෝ ත්‍රිපිsටක දහම් කරුණු , නූතන සමාජයට අනුගත කරමින් ධර්ම දේශනා පවත්වති. එයින් අසන්නන්ගේ උකටලී බව , අළස බව තුරන් වෙයි. රජ රට ප්‍රදේශයේ වැඩ වසන එක්‌තරා හිමි නමකගේ දේශනා ශෛලිය ජනතාවගේ හද බැඳගෙන ඇති බව පෙනෙයි. කෙසේ වෙතත් අංගුත්තරනිකායෙහි පංචකනිපාතයෙහි සඳහන් පරිදි කරුණු පහක්‌ තමා තුළ පිහිටුවා ගෙන දේශනා කළ යුතු බව පෙන්වා වදාළහ. එනම් 1 . අවුල් නොවුණ , පිළිවෙළක්‌ ඇති කථාවක්‌ කරමි යන අදහසින් 2 . ඒ ඒ අර්ථයනට සුදුසු පරිදි කරුණු දක්‌වන කථාවක්‌ කරමි යන අදහසින් 3. දුකට පත් සත්ත්වයින් දුකින් මුදවමියි යන අනුකම්පාවෙන් කථාවක්‌ කරමි යන අදහසින් 4. තමන්ට ආමිෂ වශයෙන් යමක්‌ ලබා නොගනිමියි යන පරමාර්ථයෙන් අනුනට දහම් දෙසිය යුතු ය. 5. තමාගේත් , අනුන්ගේත් ගුණ නොනැසෙන අයුරින් කථා කරමියි යන අදහසින් දහම් දෙසිය යුතු ය. අනුනට දහම් දෙසන අය මෙම කරුණු පහ තමා තුළ පිහිටුවා ගෙන දහම් දෙසිය යුතු ය.

බුදු හිමියෝ මෙසේ ද පෙන්වා වදාළහ. 'මහණෙනි, මෙවැනි සිතින් දහම් දෙසයිද ,මාගේ ධර්මය ඇසුවහොත් හොඳය, අසා පැහැදුනහොත් හොඳය, පැහැදුනවුන් කරනු ලබන සත්කාර සම්මාන, උදව් උපකාර ලැබුණොත් හොඳය , යන අදහසින් කරන දේශනාවන් අපිරිසිදු දේශනා වෙති. යම් භික්‌ෂුවක්‌ බුදු බණ මැනවින් දේශනා කරන ලද්දේ ද, තමා විසින්ම දත හැකිය, එකෙනෙහිම ලැබිය හැකි ඵල ඇතියහ, එන්න බලන්නැ'යි දැක්‌ විය හැකිය , තම තමන්ගේ සිත් වලට ඇතුළු කර ගත හැකිය, නුවණැත්තවුන්ට තම සිතින්ම දැක ගත හැකිය. ධර්මය ඇසුවහොත් යහපත් ය, තේරුම් ගත හොත් යහපත් ය, ධර්මය අනුව පිළිපැදිය හොත් යහපත් ය, යන මෙම අදහසින් දේශනා කරයි නම් එම භික්‌ෂුවගේ දේශනාව පිරිසිදු ය.

'පංචන්නං භික්‌ඛවේ පුග්ගලානං කථා දුක්‌කථා' යනුවෙන් පුද්ගලයන් පස්‌ දෙනකුගේ කථා දුෂ් කථා වන බව දේශනා කර ඇත්තාහ. එනම් , ශ්‍රද්ධා රහිතයාට ශ්‍රද්ධා කථා , දුස්‌සීලයාට සිල් කථා , අල්ප ශෘතයාට බහුශෘත බව පිළිබඳ කථා, මසුරාට ත්‍යාගය පිළිබඳ කථා , මෝඩයාට ප්‍රඥාව පිළිබඳ කථා දුෂ් කථා බවට පත් වෙයි. (ම.නි. සාරඡ්ජ සූත්‍රය) මෙකරුණු පිළිබඳ දේශකයා අවධානයට යොමු කරීම යහපත් ය. සමාජයේ පවතින ඇතැම් චාරිත්‍ර පිළිබඳ විවේචන , ඇඳුම් පැළඳුම් ඇවතුම් පැවතුම්, විලාසිතාවන් පිළිබඳ අවඥාවට ලක්‌ කරමින් දේශනා කරන විට ඇතැමුන් ඔල්වරසන් දෙමින් , සිනාසෙමින් ශ්‍රවණය කරති. අනුනට රිදෙන විට තවත් පිරිසක්‌ සියුම් සතුටක්‌ ලබති. ' අපරාදෙ කියන්ට බැහැ, අපූරු බණ ටික' කියමින් සතුටු වීම මිනිස්‌ සිතෙහි ස්‌වභාවය යි. එහෙත් වැරදි පෙන්වා දීම කරුණාධ්‍යාශයෙන් , ධර්මානුකූලවම කළ යුතු ය. විශාල පිරිසක්‌ මධ්‍යයේ කිහිප දෙනකු හෝ අපහසුතාවයට පත් වීම ෙ€දවාචකයට හේතු විය හැක.

දේශකයකු තුළ තිබිය යුතු විශේෂ ලක්‌ෂණ කිහිපයක්‌ අංගුත්තරනිකාඅට්‌ඨ කථාවෙහි සඳහන් වෙයි. අනුපුබ්බි කථා- අනු පිළිවෙලට දේශනා කිරීම , පරියාය දස්‌සාවි - පරියාය කථාවෙහි දක්‌ෂයකු වීම , අනුද්දයතං පටිච්චා - ශ්‍රාවකයාගේ ගැටලු නිරා කරමිය යන අදහස, න ආමිසන්තරතෝ - ලාභ අපේක්‌ෂාවෙන් තොර වීම , අත්තානංච පරංච අනුපහච්ච - තමා උසස්‌ කොට අනුන් පහත් කොට නොදෙසීම යන මෙම කරුණු දේශකයකු තුළ තිබිය යුතුය. තවද කරුණු තිස්‌ දෙකකින් වැළකී දේශනා කල යුතු බව 'මඡ්ජිමනිකාය අට්‌ඨ කථාවෙහි ' දක්‌වා ඇත. එමෙන්ම දස කථාවලින් යුක්‌තව දේශනා කළ යුතු බව 'ඉතිවුත්තකට්‌ඨ කථාවෙහි' සඳහන් වෙයි. එම දහය නම් 1. අල්පේච්ඡතාවය ගැන 2. සන්තුට්‌ඨිය ගැන 3. කාය චිත්ත විවේකය ගැන 4. හුදෙකලා බව ගැන 5. වීර්යය ගැන 6. සීලය ගැන 7. සමාධිය ගැන 8. ප්‍රඥාව ගැන 9. විමුක්‌තිය ගැන 10 . විමුක්‌ති ඥාන දස්‌සනය ගැන යන මේවා එම කරුණු දහය වේ. තම තමන්ගේ ධර්ම දේශනාවන් කෙරෙහි ශ්‍රාවකයන් ඇද බැඳ තබා ගැනීම උදෙසා වර්තමානයේ බොහෝ දේශකයන් විවිධ ක්‍රම උපයෝගි කර ගනිති. පුරාතණ චාරිත්‍ර වාරිත්‍ර පසෙකලා කරන එවන් දේශනාවන් බුද්ධිමතුන් ප්‍රතික්‍ෂේප කරති.

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති
නාලන්දේ විමලවංශ නාහිමි

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.