යහපත් දරුවාට ශාප කළ අයහපත් මවට වූ විපාකය

දිනක්‌ කංඛාවෙත ස්‌වාමීන් වහන්සේ ගංගා නදී තීරයේ සිටිය දී ප්‍රේතියක්‌ විත් උන්වහන්සේගෙන් බීමට පැන් ඉල්ලී ය. සිහිල් දිය ඇති මේ ගඟ මෙහි තිබෙද් දී කුමක්‌ නිසා පැන් ඉල්ලන්නී දැ යි ඇසූ විට තමා ඒ පැන් ගන්නා විට ඒ ගඟ දිය වතුර ලේ බවට පත් වන බව කීවා ය. ඊට හේතුව මැය මනුලොව ඉපදී සිටිය දී මැයගේ උත්තර නම් පුතු කච්චායන ස්‌වාමීන් වහන්සේට දන් දෙන විට මසුරු කමින් පෙළුණු මෑ පුතුට මෙසේ ශාප කළේ ය. 'යම් සේ ඔබ මගේ අකැමැත්තෙන් මෙසේ මහණුන්ට දන් දෙව් ද, මේ සියල්ලම ඔබට පරලොව දී ලේ වේවා' කියා ය. එහි විපාක ඇයට මෙසේ ප්‍රේතියක්‌ වී ගෙවන්නට වූ බව දක්‌වා ඇත.

(උත්තර මාතු ප්‍රේත වස්‌තුව)

*************************************************************

සැමියාට කළ ශාපය බිරිඳට විඳවන්න වූ කථාව

එක්‌ භික්‌ෂුවක්‌ කැලේ විවේකයෙන් සිටිය දී නින්ද ගොස්‌ මොහු සමඟ සිටි අනිත් පිරිස කථා නො කොට අමතක වී ගිය හ. සවස අවදි වූ පසු වනයේ එක්‌ දෙවියෙක්‌ මිනිස්‌ වෙසින් විත් උපස්‌ථාන කළා. ඒ අතර අසූචි හා මූත්‍රා ද ලේ සැරව ද අනුභව කරන ප්‍රේතියක්‌ විත් දිව්‍ය පුත්‍රයාගෙන්, හිමියනි මට ආහාර දෙන්න, වස්‌ත්‍ර දෙන්න යෑ යි ඉල්ලයි. ඇයට දෙන දුහුල් දිව්‍ය සළු ද ලෝහ බවට පත්වෙත්. මෙය දුටු භික්‌ෂුව දෙව්පුත්ගෙන් විස්‌තර ඇසී ය. ඇය මනුලොව දී තමාගේ බිරිඳ බවද තමා දන්දෙන විට ඇය ලෝභයෙන් මසුරු බවින් මෙසේ ආක්‍රෝෂ කළ බව ද කීවේ ය. එනම් 'මේ දානය තොපට පරලොවදී අසූචි ද මූත්‍ර ද සැරව ද වේවා, මේ දෙන වස්‌ත්‍ර තොපට ලෝහ වස්‌ත්‍ර වේවා' කියා ය. තමා දන් දී දෙව් විමනක්‌ ලද බවද බිරිඳ දන් දෙන ඔහුට මසුරුව ශාප කොට මෙසේ ප්‍රේතියක්‌ වී ඉපදී ඇති බවද දෙව්පුත් පැවසුවේ ය.

*************************************************************

බොරු කියා දිවුරා ගැලවුන උපාසිකාව

සැවතට ආසන්න ගමක සිටිය දී භික්‌ෂූන් අටනමක්‌ දුටු පඤ්ච පුත්‍ර ඛාදක ප්‍රේතිය ගේ විස්‌තරය මෙසේ ය. ඇය නග්නය, විරූප වූ පිළිකුල් රූපයෙන් යුක්‌ත ය, සිරුරින් කුණු ගඳ හමයි, හාත් පස මැස්‌සන්ගෙන් පිරුණු සිරුරු ඇත්තී ය. ඇය උදේ කාලයේ දරුවන් පස්‌ දෙනෙක්‌ වදා සාදුකින් පෙලෙන බැවින් වැදූ පුතුන් පස්‌ දෙනා ම කනු ලැබේ. සවස ද එසේම කරනු ලැබේ. හේතුව ඇය පෙර සැමියා ගේ අනෙක්‌ බිරිඳ ගේ ගැබ්හෙලා එය ඇසූ කල එසේ නො කළ බව කියා, කළේ නම් පෙර කී දුක්‌ විඳින්නියක්‌ වේවා යෑ යි බොරුවට දිවුරුවා ය. එබැවින් මෙසේ වූ බව දක්‌වා ඇත. මෙසේ ම අන් ස්‌ත්‍රියක ගේ ගැබ්හෙලා එසේ කළේ නැත යෑ යි බොරු කියා දිවුරා උදේ සවස දරුවන් පස්‌ දෙනා බැගින් බිහිකොට, ඒ තම දරුවන් ම අනුභව කරන ප්‍රේතියක්‌ බොහෝ භික්‌ෂුන් විසින් දක්‌නා බව ද සඳහන් වේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.