පියාගේ ක්‍ෂේත්‍රයෙහි හැසිරෙමු

ශාස්‌ත්‍රවේදී උඩුහාවර සුමනරතන හිමි

ලාංකීය ජනජීවිතය හා දේශපාලනික ක්‍රියාවලිය කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ සිදුකළහැකි සංස්‌ථාපිත ආයතනයක සංඝසමාජය. මෙම කතිකාව ඒ පිළිබඳව පුරුක්‌තීන් සැපයීමක්‌ හෝ ඒ සඳහා අයිතිය ඉල්ලීමක්‌ නොවන බැව් නම් නොවලහා කිව යුතුය.

මේ ඒ පිළිබඳව තීරණාත්මක බැල්මකි.

සැබවින්ම අප උගුලක අසවනු ලැබ ඇත්තෙමු. එයට පූර්විකාවක්‌ සපයාගැනීම ලොව කුප්‍රකට සීඅයිඒ සංවිධානයෙහි සමහරක්‌ සිද්ධාන්ත කිහිපයකට අවධානය යොමුකිරීම වැදගත් වේ. මේ පිළිබඳ සටහන් උපුටාගනු ලබන්නේ 2012 වර්ෂයේ ඉරිදා ලංකාදීප දියත අතිරේකයට විශ්‍රාමික ලුතිනන් කර්නල් සුසන්ත සෙනවිරත්න මහතා විසින් තැබූ සටහන් බැව් සඳහන් කරනු කැමැත්තෙමි.

'වංචනික උපායශීලීත්වය' මින් එකකි. මෙම උපායශීලීත්වය යටතේ තම රටට, ජනතාවට හා ලෝකයට කෙතරම් භයානක ඉරණමකට මුහුණදෙන්න සිදුවුවද ඒ සියල්ල 'සාමය හා ආරක්‌ෂාව' වෙනුවෙන් අත්විඳීමට ලෝක ප්‍රජාවටත් ඇමරිකන් ප්‍රජාවටත් සිදුව ඇත.

එය ඇමරිකන් කෝණයෙන් 'ඇමරිකානු ජාතික ආරක්‌ෂාව' උදෙසාය. ගෝලීය තත්ත්වය යටතේ ගෝලීය සාමය හා ආරක්‌ෂාව උදෙසාය.

මේ අනුව කෙතරම් මානව විරෝධී සදාචාර විරෝධී වුවත් එය 'ජාතික ආරක්‌ෂාව', 'මව්බිම', 'ප්‍රජාතන්ත්‍රවාදය', 'නිදහස්‌, 'දේශප්‍රේමය' යනාදී වචන හරහා සාධාරණීකරණයට ලක්‌කොට ඇත.

මෙම වචන අලෙවි කරන්නේ ඒවාට පුළුල් ජනමතයක්‌ හා සදාචාරාත්මක බවක්‌ ආරෝපණය වී ඇති බැවිනි.

විවිධ විවෘත හා සැඟවුණ ක්‍රියාකාරකම්, වැඩසටහන් මේ සඳහා ක්‍රියාත්මක වේ. ඒවායෙහි මූලය කොතැනද? කරන්නේ කවුරුද? යන්න කිසි දිනක සොයාගත නොහැකි වනු ඇත. ශ්‍රී ලාංකික ප්‍රජාව අද වනවිට දැනගෙන නොදැනගෙන මෙම උගුලට මතවාදී වශයෙන් හසුවී ඇත.

ලොව නිද්‍රdශීලීත්වයෙන් මුදා ඇතුළ සැඟව ඇති ඥනය බුද්ධිය තුළින් එළියට ගැනීමට තරග ඕනෑය, ප්‍රශ්න ඕනෑය, අර්බුද ඕනෑය, එකිනෙකා පරයා නැගී සිටීම ඕනෑය. ඒa තුළින් පරිකල්පනය, නවෝදාපාදනය, නිර්මාණ ශීල්පය දියුණු වේ. ආගම, දේශපාලනය, සදාචාරය මේ සියල්ලම අද වනවිට 'දේශපාලනික ආර්ථික උපායශීලීත්වයට ගොදුරුවී ඇත.

මෙම වාතාවරණයේ හරස්‌කඩක්‌ දැක ගැනීමට ඔබට අවශ්‍ය නම් වත්මන් ශ්‍රී ලාංකීය සමාජ තරලය දෙස බැලීම ප්‍රමාණවත්ය. අපේ දේශපාලන ව්‍යාපාරය මෙම යටකී උගුලෙන් පෝෂණය වී ඇත. ආගම, දහම මූලික අභිප්‍රේථාර්ථයෙන් දුරස්‌ය.

නව පරිකල්පනයෙන් නිර්මාණශීලීත්වයෙන් හා නවෝත්පාදන කෙරෙහි යොමුවී ඇත. ඒවා දිදුලන්නට නම් විවිධ තරග වුවමනාය. එකිනෙකා පරයා නැගී සිටීම අවශ්‍ය වේ.

කඨින පිංකම කඨින කානිවල් එකක්‌ බවට පත්ව ඇත්තේද, භික්‌ෂු සමාජය විවිධ සංවිධාන හරහා බහුවිධ නායකත්වයක්‌ යටතේ බෙදී වෙන්වී පාලනය වන්නේද මෙනිසාය. හෙළ, පෙළ, සකු, මගධ දන්නා යතිවරු දැන් උකටලී වී ඇත. ඒ වෙනුවට පරිභෝජනවාදී සමාජ අවශ්‍යතා වෙනුවෙන් ඇති වෙනත් විෂය මාලා කෙරෙහි අපේ හිමිවරු ආශක්‌තවී සිටිති. පිරිවෙන් හා විශ්වවිද්‍යාල භික්‌ෂු අධ්‍යාපනය තුළ වත්මන් දිශානතිය එයයි. ත්‍රිපිටකය ඩිජිටල්ය. අසූහාරදහසක්‌ ධර්මස්‌කන්ධය ගිගාබයිට්‌ 10ක පරිගණක ගොනුවකට ගත හැකිය. ජංගම දුරකථනය ත්‍රිපිටකය ගබඩාකර රැගෙන යා හැකිය. එහෙත් මිනිස්‌සු ඇනලොග්ය. දහම ඩිජිටල්ය. මවිසින් මෙය ලියනු ලබන්නේ චෝදනාමුඛයෙන් නොවේමය. එමෙන්ම අන් අය හෙළා දැකීමටත් මා ඉස්‌මතුවීමටත් නොවේමය.

මේ තීරණාත්මකව සිතීම උදෙසාය. විශ්ලේෂණාත්මකව සිතීම උදෙසාය. අපි විභ-ජනවාදීහු වෙමු. පවත්නා ලොව එලෙසම පිළිගැනීමට අපි කිසිවිටෙක නොකැමැත්තෙමු. ගලන ගඟෙහි ගලාගෙන යාමට අපි අකැමැත්තෙමු. විභ-ජාවාදීහු පටිසෝතගාමීය. එනම් ගලන ගඟෙහි ඉහළට පීනන්නාහු වෙමු. ඒ වෙනුවෙන් සකාරණාව සිතිය යුතුය. කරුණු කුඩා අනු කුඩා වශයෙන් විශ්ලේෂණය කිරීම විභ-ජවාදීන්ගේ ස්‌වභාවය වේ. ලෝක සත්‍ය පසක්‌ කරන්නේද එලෙසමය.

එහෙත් අද අප විභ-ජවාදය අතහැර බෙදී වෙන්වී පාලනය වනු ලැබෙමු.

මේ උගුලෙන් අතමිදී වෙනත් මඟක අප යා යුතුව ඇත. බෞද්ධ භික්‌ෂු සමාජයෙහි සංස්‌ථාපිත සමාජ ආයතනයක්‌ වශයෙන් එහි ඇති පෙළගැස්‌ම හා කාර්යභාරය පිළිබඳව අපගේ සැලකිල්ල යොමු කිරීම වැදගත් වේ.

ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙහි 2003-2004 සංවත්සරය වෙනුවෙන් පවත්වනු ලැබූ විශේෂ දේශනයට මහාචාර්ය අසංග තිලකරත්න මහත්මා විසින් ලෝක බෞද්ධ අධ්‍යාපනය තුළ ශ්‍රී ලාංකික ථෙරවාද හා පාලි අධ්‍යාපනය, අභියෝග ගැටලු හා අනාගතය යන මැයෙන් පවත්වනු ලැබූ දේශනයට අපේ අවධානය යොමු කිරීම මැනවැයි සිතේ.

1. ථෙරවාද හා පාලි අධ්‍යාපනයේ මෑතකාලීන ඉතිහාසය

2. මෙම අධ්‍යයන ක්‍ෂේත්‍රය පිළිබඳව ගෝලීය හා දේශීය වර්තමාන තත්ත්වය හා බැඳුණු න්‍යායික ගැටලු.

3. ශ්‍රී ලාංකික බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රය තුළ ථෙරවාද හා පාලි අධ්‍යයනයෙහි අනාගත ගමන්

යන මූලික මාතෘකා තුනට කැටිවන සේ දීර්ඝ දේශනයක්‌ එතුමන් ඉදිරිපත් කොට තිබේ. මුද්‍රිත පිටු 29ක්‌ පුරා ඇති මෙම දේශනයෙන් මතුවන කරුණු කිහිපයක්‌ සඳහන් කරනු වටී.

නූතනයේ බෞද්ධ අධ්‍යාපනය පිණිස සිංහල, පාලි, සංස්‌කෘත භාෂාවලට අමතරව ඉංග්‍රීසි ප්‍රංශ, ජර්මන් ආදී යුරෝපීය භාෂාවල ඇති වැදගත්කමත් ටිබෙට්‌, චීන, ජපන් වැනි පෙරදිග භාෂාවල ඇති උපයෝගීතාවත් මගින් ලබාගන්නා දැනුම හරහා ජනජීවිතයට බලපෑම් කළ හැකි ජීවන රටාවක්‌ හඳුන්වාදීමේ අවශ්‍යතාවද ඉස්‌මතු වේ.

වත්මන් ලෝකයෙහි පරිභෝජනවාදී ජීවන රටාවකි. ඔයදරිඑeසබ ඩැඉකැබ පවසන අයුරින් වත්මන් මිනිසාගේ ජීවන ශෛලිය,

1. නිර්ලෝභී/උජාරු පරිභෝජනයෙන්ද

2. නිර්ලොභී/උජාරු බැහැර කිරීමකින්ද

3. නිර්ලෝභී/ උජාරු විවේකයකින්ද

සමන්විත වේ.

මෙයින් කියවෙන්නේ බඩු භාණ්‌ඩ පුරවාගත් බහුභාණ්‌ඩික ජීවිතයකි. මෙහි වටිනාකම් ඇත්තේ භාණ්‌ඩවලටය. වාහන, ජංගම දුරකථන, සුපිරි පන්තියේ නිවාස, සුපිරි වෙළෙඳසල්වලින් ජීවිත අගය සමාජ වටිනාකම මනින ජීවන ශෛලියකි. එහි විවේකය ගතකරන්නේද මිල අධික හෝ සමාජයට පරිසරයට අහිතකර ක්‍රමවේද හරහාය. කොටින්ම කාමසුඛල්ලිකානුයෝගී ජීවිතය.

එසේ නොවේ නම්, අමාරුවෙන් නැගිටලා, මැරෙන්නේ නැතිව ජීවත්වී (මැරෙන්නේ නැතිව ජීවත්වීමට හුස්‌ම ගැනීම ප්‍රමාණවත් වේ.) දෙයියනේ කියා නිදාගැනීම අපේ ජීවන ශෛලියයි. මෙය එක්‌තරා ආකාරයක අත්ථකිලමතානුයෝගයකි.

මේ ජීවන ශෛලීන් දෙක අතරේ දොaලවනය වන වත්මන් මිනිසාගේ ජීවන රටාව එයට වඩා පරිසරහිතකාමී හා සමාජයට ගැළපෙන ජීවන ශෛලියක්‌ හඳුන්වාදීමේ එහි පෙර ගමන් ගැනීමේ වගකීමක්‌ හා වගවීමක්‌ වත්මන් භික්‌ෂු පරපුරට ඇත.

යටකී අසංක තිලකරත්න මහතාගේ දේශනය හරහා මතුවන තවත් අර්ථයක්‌ ඇත. එනම් බිඳ වැටුණු භික්‌ෂු ප්‍රතිරූපය ලෝකය හමුවේ නැවත ගොඩනැංවීමේ කාර්යභාරයයි. ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී අරගලය පැවැති සමයේ එම ප්‍රශ්නය විසඳීමට ඉඩ නොදෙන්නේ ලක්‌වාසී භික්‌ෂු සමාජය බවට බටහිර මතයක්‌ පැවති බව එතුමා සඳහන් කරයි. එහි ශෝචනීය තත්ත්වය නම් එම මතය දුරලීමට තරම් වත්මන් භික්‌ෂු සමාජයෙහි ඥනමය ප්‍රභාවෙහි ඇති දුබලතාවත්, එම ඥනමය ප්‍රභාව සහිත භික්‌ෂු පිරිස එසේ නොකිරීමත්ය. මේ වෙනුවෙන් භික්‌ෂු සමාජයෙහි සංස්‌ථාපිත ස්‌වරූපයෙහි ඇති බිඳ වැටීමද බලපාන බැව් නොරහසකි. එනම් බෙදී වෙන්වී පාලනය වීමයි.

වත්මනෙහිද ලෝකයෙහි භික්‌ෂු ප්‍රතිරූපය පිළිවෙලට ඇති දුරවබෝධයන් අප විසින් දුරුලිය යුතුව ඇත.

වසින්නට හැකිනම් ගිගුම්දී වියලි ගම්බිම්වලට ඉහළින් යෑයි නන්දා මාලිනිය එදා ගැයුවේ සුනිල් ආරියරත්නයන් බෝධිචර්යාවකාරයෙන් උකහාගත් එම සමාජ සත්තාවයි. භික්‌ෂුවට එවැනි බෝසත් කාර්යභාරයක්‌ උරුමව ඇත.

එම කැපවීම මෙම ලිපියේ මුලටම සඳහන් කර ඇති පරිදි 'වංචනික උපායශීලීත්වයෙන්' අපයෝජනය වූ දේශපාලන ආර්ථික උපායශීලීත්වයේ මෙහෙවරක්‌ නොවිය යුතුය. එය ධනවාදයෙහි අවශ්‍යතාවකි. පරිභෝජනවාදී සමාජයෙහි මෙහෙවරකි. එවැනි සී.අයි.ඒ. මෙහෙයුමකට අප අසුව ඇත්දැයි පිරික්‌සා බැලීමට අපට නොහැකිය. එය ගැන කීමට අපි නොදනිමු. එහෙත් ධනවාදය හා පරිභෝජනවාදය හරහා ආර්ථික දේශපාලනික වාසි සපයාගනු වස්‌ විවිධත්වයෙන් යුතු ආසියාවේ යටකී සංකල්පය ගැබ් ගන්වා අර්බුද උපදවා ගැනීමේ අනවරත උත්සාහයේ ප්‍රසව වේදනාව අප මතින් යන්නට සලස්‌වන කුප්‍රකට ක්‍රියාදාමයට අප දැන හෝ නොදැන අසුව ඇත. ඒ අපගේ උන්නතිකාමය අපයෝජනය කිරීමෙනි.

මෙයින් මිදෙන්නට නම්, අපි 'පියාගේ ක්‍ෂේත්‍රයෙහි හැසිරිය යුතුව' ඇත. බුදුපුතුන්ට පියා නම් බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ අනුදත් මාවත අප තෝරාගත යුතුය.

භේද භින්නවූ කොසඹෑනුවර භික්‌ෂු අරබයා බුදුරජාණන් වහන්සේ දේශිත පඨම සාරාණීය සූත්‍රය මෙහිදී වැදගත් වේ. සංස්‌ථාපිතව පවත්නා කිසියම් පිරිසක්‌ ඔවුනොවුන්ගේ

ප්‍රියභාවය පිණස

ගරුකටයුතු භාවය පිණිස

සංග්‍රහය පිණිස

අවිවාදය පිණිස

සමගිය පිණිස

ඒකීයභාවය පිණිස අනුගමනය කළ යුතු සාරණීය ධර්ම දක්‌වා ඇත.ඒවා නම්,

එක්‌ව වාසය කරනු පිණිස ඔවුනොවුන් පෙනෙන්නට සිටියත්, නොසිටියත් මෛත්‍රීසහගතව වචනය හැසිරවිය යුතුය.

එක්‌ව වාසය කරනු පිණිස ඔවුනොවුන් පෙනෙන්නට සිටියත් නොසිටියත් මෛත්‍රී සහගතව කය හැසිරවිය යුතුය.

එක්‌ව වාසය කරනු පිණිස පෙනෙන්නට සිටියත් නොසිටියත් මෛත්‍රීසහගතව සිත හැසිරවිය යුතුය.

ඉතා කුඩා ආහාරයක්‌ ලාභයක්‌ වූවත් බෙදාගෙන පරිභෝජනය කළ යුතුය.

සමාන ශීලයක්‌ ආරක්‌ෂා කළ යුතුය.

එක්‌වූ අරමුණක වාසය කළ යුතුය.

එක දැක්‌මක්‌ එක මෙහෙවරක්‌ තිබිය යුතුය.

සැබැවින්ම මෙම ප්‍රතිපත්ති මාලාවට අනුව අප ගොනුවිය යුතුව ඇත. පියාගේ ක්‍ෂේත්‍රයෙහි අපට රැකවරණය ඇත.

මෙය අතහැර යටකී උගුලෙහි අසුවන්නේ නම් ඉංග්‍රීසිහු මෙරට පාලනය කළ බෙදා වෙන්කොට පාලනය කිරීමේ උගුලට අසුව වසන්නේනම් අප සමාජය තුළ ශ්‍රී ලාංකීය ප්‍රජාව ගලවා ගැනීමේ මෙහෙයුමට නොව දැන හෝ නොදැන ලාංකීය ප්‍රජාව දියකර හැරීමේ මෙහෙවරට අපදායක වනු නොඅනුමානය.

ජාතියේ මුර දේවතාවුන් වන අප හට පැවරී ඇති කාර්යභාරය කිසිවිටෙකත් ලඝූකොට තැකිය යුතු නොවේ.

මා නිවන්ථ අභික්‌ඛම

නොනවතින්න, පෙරට යන්න


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.