සම්මුතියෙන් පරමාර්ථයට

එච්. එම්. ගුණතිලක

බුදු දහම සම්මුති හා පරමාර්ථ වශයෙන් දෙයාකාරය. මෙයම ලෞකික හා ලෝකෝත්තර වශයෙන්ද විග්‍රහ කෙරේ. සම්මුති ලෝකයේ පැවැත්ම යහපත් කර මෙලොව පරලොව ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය දහම් කරුණු බොහෝමයක්‌ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සේක. සෑම මිනිසකු උපතින්ම ප්‍රභාස්‌වරය. එසේම සම්මුති ලෝකය ගොඩනැඟීමත් සමඟ විඤ්ඤාණ මායාවට අසුවීම නිසා අවිද්‍යාවෙන් මුලාවට පත්ව උම්මතකයින් සේ හැසිරෙන ආකාරයද "සබ්බේ පෘතඡ්ජනා උම්මත්තානා" යනුවෙන් පෙන්වා වදාළ බුදු පියාණෝ සසර අතරමංව අනන්ත දුක්‌ පීඩාවන් විඳිමින් ගෙවන සත්ව ජීවිත සඳහටම දුකින් මුදවා නිදහස්‌ කරලීම පිණිස අවශ්‍ය වන දහම් කරුණු පරමාර්ථ ධර්ම වශයෙන් දේශනා කර වදාළ සේක. සියලුම මිනිසුන් තම පසිඳුරන් වෙත නිරන්තරයෙන්ම ගලා එන රූප ශබ්දා දී සංඥ උදවු කරගෙන තම තමන් සතු ලෝකය ගොඩනඟා ගනු ලබයි. එතැන් සිට එකිනෙකා අභිබවා අනෙකා බලවත් වීම පිණිසම වෙහෙස මහන්සි වන්නේ පරමාර්ථය හෙවත් යථා ස්‌වභාවය නොදන්නා හෙයිනි. ඒ නිසාම බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් සසර දුකින් පීඩා විඳින සියලු සතුන් දුකින් මුදවාලීම පිණිස සම්මුතියන් නොදකින විශ්වයේ යථා ස්‌වභාවය හෙවත් පරමාර්ථ සත්‍ය මතුකර ගන්නා ආකාරය දේශනා කර වදාළ සේක.

උපතේදී තිබුණ ප්‍රභාශ්වර මනස ආගන්තුකව එන ක්‌ලේශ හා උපක්‌ලේශයන් ගෙන් අපිරිසිදු වන කිලිටි වන බව බුද්ධ දේශනාවයි. කෙසේද යත් අලුත උපන් කුඩා දරුවාගේ පසිඳුරන් වෙතට නිරන්තරයෙන්ම ගලා එන රූප ශබ්දා දී සංඥාවලට සම්මුතියේ ඇති නම් ගම්වලින් පෙන්වා හඳුන්වා දී සම්මුතියට හුරු පුරුදු කරවනු ලබයි. එතැන් සිට හුරු පුරුද්ද ඉස්‌සර වී ජන්මය පසුපසට තල්ලු වෙයි. විශේෂයෙන් දරුවා ඉගෙන ගන්නා කාලය පුරාවටම දැඩි වෙහෙසක්‌ දුකක්‌ උසුලා දරා ගනිමින් සංඥා නැවත නැවත තෝරා නැවත නැවත ඒවා අලුත් කර මතකයන් තහවුරු කර ගනු ලබයි. පුරුද්ද ඉස්‌සර වීමත් කාලය ගත වීමත් සමඟ සියල්ල ඉබේ සිදු වන තැනට පත්වූ පසු ජන්ම ගති අමතක වී යාමද සම්මුති ස්‌වභාවයයි. ඉපදීම වයසට ගොස්‌ ජරාජීර්ණ වී මැරී වැටී පොළවට පස්‌වීම සම්මුති ස්‌වභාවයකි. ඇට පැළ වී ගස්‌වැල් හැදී ඵල දරා දිරාපත් වී මැරී යැම ඉර සඳ තරු පැයීම බැස යැම, වර්ෂාව ගංවතුර නායයැම්, සුනාමි, සුළි සුළං, දැඩි නියඟයන්, ආහාර හිඟ වීම, ගේ දොර, දුව පුතා, නෑයා නොනෑයා ආදී සියල්ලම සම්මුති ස්‌වභාවයන්ය. ඒ නිසා ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, යස අයස, සැප දුක යන අටලෝ දහම සම්මුති සත්වයා අත නොහැරම ගමන් කරනවාද ඇත. අටලෝ දහමින් කම්පා වන්නට සැලෙන්නට සොම්නසට දොම්නසට පත්වන්නට පෘතඡ්ජනයාට සිදුවී ඇත්තේ ප්‍රභාස්‌වර මනස කිළිටි වූ නිසාත් ඉන් නිදහස්‌ වන්නට නොදන්නා නිසාත්ය.

ඉඳුරන් වෙත පැමිණි සියලු සංඥා ඝනත්වයට (ඝන වස්‌තු ලෙසට සකස්‌ කර) අසු කර මනසේ අලවා ගැනීමත් තවරා ගැනීමත් සමඟ විඤ්ඤාණය පෝෂණය වී උපාදාන සකස්‌ වී මම මගේ යන මමත්වයද තණ්‌හාවද ඉස්‌මතු වන්නේය. එතැන් සිට තණ්‌හාවෙන්ම එක්‌ රැස්‌ කර ගන්නා සියල්ල නිසා පටිච්ච සම්මුප්පාදය හෙවත් සංසාර චක්‍රයට අසුවේ. වෙහෙස මහන්සියෙන් ගොඩනඟා පෝෂණය කරගත් විඤ්ඤාණය හා උපාදානස්‌කන්ධය විසින් පුද්ගලයා රැගෙන යනු ලබන්නේ සම්මුති පැවැත්ම ස්‌ථාවර කර ගැනීම පිණිසමය. තණ්‌හාව නිසාම අටලෝ දහමට මුහුණ දෙමින් ගෙවනු ලබන සත්ව ජීවිත සාර්ථක කරගෙන මෙලොව පරලොව ජීවිත යහපත් කරගැනීමට අදාළ දහම් කරුණු බොහොමයක්‌ සම්මුති අය නොකළත් බුදු හිමියන් විසින් දේශනා කළ සේක. මහා මංගල, පරාභව, වසල හා සිඟාලෝවාද වැනි සුත්‍ර දේශනාද විමාන වත්ථු, ප්‍රෙත වත්ථු ආදී කතා වස්‌තුද ඉන් කිහිපයකි. එපමණකින්ම පරමාර්ථ සත්‍යය අවබෝධ කර ගත නොහැකි බැවින් පෙර සූදානමක්‌ වශයෙන් ශ්‍රද්ධාව, ශීලවන්තකම, ගුණවත්කම හා දශ අකුසලයා දී සියලු පාප කර්ම හා නොයෙකුත් අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමද පරමාර්ථ ගමන සාර්ථක කරගැනීමට හේතුවන බවද දේශිතය.

සම්මුතියේ ගමන නතරකර පරමාර්ථ ගමනින් සත්‍ය අවබෝධ කර නිවන පසක්‌ කර ගැනීමට නම් සම්මුතියෙන් පරමාර්ථයට ආපසු හැරිය යුතුව ඇත. ආපසු හැරෙන්නේ කෙසේද කොතැනටද හා පරමාර්ථ ගමන ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි ප්‍රශ්න කිහිපයකි. ආපසු හැරිය යුත්තේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන දැනුමෙන් දැනුම නැති තැනටය. බඹයක්‌ පමණ වූ ශරීර සීමාවටය. බුද්ධ දේශනාවට අනුව සංත්තේන පංචුපාදනක්‌කත්වා දුක්‌ඛා යන්න කෙරෙහි අවධානය යොමු කරමු. පංචුපාදනස්‌න්නධය සකස්‌ වුණේ විඤ්ඤාණය පෝෂණය ආරම්භ වීමත් සමඟ අප කුඩා කාලයේදීය. ළදරු කාලයේදී පසිඳුරන් වෙත පැමිණි සංඥ මවුපිය වැඩිහිටියන්ගේ උදවුවෙන් දැන හඳුනාගෙන හුරු පුරුදු වූ බව අප දනිමු. එසේ සංඥා දැන හඳුනා ගැනීමට (විඤ්ඥණය පෝෂණය වීම හා උපාදාන සකස්‌ වීම) සඳහා දැඩි වෙහෙසක්‌ දුකක්‌ දරන්නට සිදු වූ බවද අමතක නැතිව ඇත. ඒ ක්‍රියාව එවෙලේ කරනවා හැර වෙන කිසිවක්‌ දැන නොසිටියෙමු. එසේ සංඥා දැන හඳුනා විඤ්ඤාණය ගත කර ගැනීමට දැරූ වෙහෙස දුකට හේතුව බවත් ඒවා නැවත නැවත නිතර නිතර අලුත් කර මතකයන් තහවුරු කර ගැනීමට දැරූ වෙහෙස දුක බවත් තේරුම් ගත යුතුය. මෙලෙස දුකත් දුකට හේතුවත්a මැනවින් අවබෝධ කර ගත්තාට පසුව සංඥා දැන හඳුනා ගැනීමත් ඒවා නැවත නැවත නිතර නිතර අලුත් කිරීමත් නතර කළ යුතුය. එවිට සියලු දුකෙන් නිදහස්‌ වී තම පරම අයිතිය වූ බඹයක්‌ පමණ වූ ශරීර සීමාවට/ පංචස්‌කන්ධයට/ කම්ම වට්‌ටයට කොටු විය හැක. මෙය දැනුමෙන් දැනුම නැති තැනට පිවිසීමයි. තද නින්ද අවස්‌ථාවට අවධියෙන් යැම හැටියටද සැලකිය හැක. සෑම කෙනෙකුටම සිහින නොපෙනෙන දැනුම නැති තද නින්ද අවස්‌ථාවක්‌ ස්‌වභාවයෙන්ම හිමි වී ඇත. මෙම පැය දෙකක පමණ කාලය තුළ ස්‌නායු ක්‍රියාත්මක වීම, නාඩි වැටීම, ලේ ගමන හා අශ්වාස ප්‍රශ්වාස හැර වෙන කිසිදු ක්‍රියාකාරකමක්‌ (ඉඳුරන්ගේ උදවුවෙන්) සිදුවන්නේ නැත. එම කාල සීමාව තුළදී නාම රූප සම්බන්ධතාවක්‌ නැති නිසාය. සියලු සකස්‌ කිරීම් හා රැස්‌ කිරීම් ද නතර කර ඇති බැවින් මමෙත් කෙනෙක්‌ පුද්ගලයෙක්‌ද නැත. ඇත්තේ ස්‌වභාවයෙන් සිදුවන සංසිද්ධියක්‌ පමණි. ඒ නිසාම ඉතා සැහැල්ලුදායක විවේක සුවයක්‌ ඇත. විඳින්නෙක්‌ නැත. මෙය ප්‍රයෝගික වී අවබෝධය තුළින්ම ප්‍රත්‍යක්‌ෂ කරගත යුතුය.

"බඹයක්‌ තරම් වූ ශරීරය තුළින් ලෝකයත් ලෝක නිරෝධයත් පනවා වදාරමි" යි යන බුදු වදන ගැලපෙන්නේ මෙතනටය. ඒ නිසා ඇති වන සැහැල්ලු දායක විවේක කාලය තුළදී අවශ්‍ය නම් දැනුම (විඤ්ඤාණය) හදාගෙන ලෝකය ගොඩනඟා කෙනෙක්‌ පුද්ගලයෙකු හැටියට රඟපෑම් කළ හැකිය. නැතහොත් ලෝක නිරෝධය (සංඥා නිරෝධය) දකිමින් තම පරම අයිතිය තුළින් පරමාර්ථ ගමන ආරම්භ කර (ශරීර සීමාවේ ස්‌වභාවයට ඉඩදී සිටීමෙන්) විශ්වයට විවෘත වී පරමාර්ථ සත්‍ය දැක දර්ශනයෙන්ම (සහාවස්‌ස දස්‌සන සම්පදාව) අවබෝධ කරගත හැකිය. සත්‍ය අවබෝධ කරගත් උතුමන් වහන්සේ (බුදු, පසේ බුදු, මහරහතන් හා මාර්ගඵලලාභී) අටලෝ දහම ඉක්‌මවා ඇති බැවින් ඇලීම් බැඳීම් ගැටීම්වලින් තොරව විමුක්‌ති සුවයෙන් වැඩසිටින සේක.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.