හිස දැවෙන්නෙක්‌ සේ සිතා
සක්‌කාය දිට්‌ඨිය දුරු කරගන්න


පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

අපි බොහෝ වෙලාවට එක තැනක ඉඳගෙන අපේ මනස ජීවත් වන වටපිටාවෙ ඉඳල, අප දන්නා වූ, දක්‌නා වූ මුළු ක්‌ෂේත්‍රයට ම, කුඩා කාලෙ ඉඳල මේ තැන දක්‌වා දන්නා වූ, දක්‌නා වූ ක්‌ෂේත්‍රයට ම හිත මෙහෙයවල බලනව. අම්ම, තාත්ත, අයිය, අක්‌ක, ගෙවල් දොරවල්, සබ්‍රහ්මචාරීන් වහන්සේල, සේනාසන, යම්තාක්‌ නෑදෑකමකින්, වටිනාකමකින් හසු වන සවිඥානක අවිඥානික සියලු ම දේ මෙනෙහි කරල බලනකොට හිතට දැනෙනව. එක හිතට අල්ලගන්න පුළුවන්.

එහෙම මෙනෙහි කරල බලල අපි හිතනව මෙහෙම.

බුදුරජාණන් වහන්සෙ දේශනා කරනවා යො චිරං ජීවති සො වස්‌සතං අප්පංවා හියේ‍යා..

යම්කිසි කෙනෙක්‌ බොහෝ කලක්‌ ජීවත් වෙනව කියල කිව්වොත් අවුරුදු සීයක්‌ හෝ ඊට ටිකක්‌ අඩු හෝ වැඩි වෙයි. බුදුරජාණන් වහන්සෙ දේශනා කරනව යමෙක්‌ අවුරුදු සීයක්‌ ජීවත් වෙනව කියන්නෙ දවස්‌ වශයෙන් ගත්තොත් දවස්‌ තිස්‌ හය දාහයි. මාස වශයෙන් ගත්තොත් මාස එක්‌ දාස්‌ දෙසීයයි. කන බත් වේල් වශයෙන් ගත්තොත් බත් වේල් හැත්තෑ දෙ දාහයි.

වයස පනහක කෙනකුට නම් දැන් දවස්‌ දහ අට දාහක්‌ ගෙවිල. තව දවස්‌ දහ අට දාහයි නේ ද මේ නෑදෑකම් ටික ඔක්‌කොම. තව දවස්‌ දහ අට දාහයි මේ තරම් ආදරේ මවු සනෙහස තියෙන්නෙ. ඊට පස්‌සෙ අම්ම, අම්ම නෙමෙයි නෙ. මේ තරම් සහෝදර සහෝදරියො, ඥාති හිතේෂීන් හිටියත් මේ වටිනාකම තව දවස්‌ දහ අට දාහයි. මාසවලින් නම් මාස හය සීයයි තව තියෙන්නෙ. මේණී අවුරුදු 100ක්‌ ම ඉඳී වි කියල ගණන් බැලුවොත් තමයි. එච්චර ඉඳියි ද කියල කියන්නත් බැහැ.

මේ තරම් වටිනාකමින්, ආදරෙන්, සෙනෙහසින් ළ`ගින් ඉන්නව කියල හිතෙන මේ හැම දෙනා ගෙ ම සමාගම, එකතුකම අනේ තව දවස්‌ දහ අට දාහකින් ඉවර වෙනව නේ ද? තව මාස හය සීයකින් ඉවර වෙනව නේ ද? මෙච්චර මෙච්චර දේවල් තියෙනව කිව්වත් ඒ හැම දේක ම අයිතිය තියෙන්නෙ තව දවස්‌ දහ අට දාහයි නේ ද? තව මාස හය සීයයි නේ ද? එතනින් පස්‌සෙ මේ නෑදෑයො, යාළුවො, මිත්‍රයො මගේ නෑදෑයො නෙමෙයි. යාළු මිත්‍රයො නෙමෙයි.

ඉතින් මේ ජීවිතයෙ දි හෝ සසරෙ දි හෝ මරණාසන්න මොහොතෙ දි පෙර කළ අකුසල කර්මයක්‌ සිහි වෙලා අපායට ගියොත් මේ නෑදෑයො බලපාන්නෙ නෑ ඒ ආත්ම භාවයට. මේ වස්‌තු වලංගු නෑ එතනට. ඒකාන්තයි ඒවා මෙයින් අතහැරෙන බව.

හොඳයි මරණාසන්න මොහොතෙ පෙර කළ කුසල ධර්මයක්‌ සිහි වෙල දිව්‍ය ලෝකෙ ගියොත් ඒ ගිහිල්ල ආපහු එනකොටත් මේ නෑදෑයො නෑ. මේ වස්‌තුව නෑ. මේ කිසි ම දෙයක්‌ නෑ.

මරණාසන්න මොහොතෙ අපායෙ යන්නෙත් නැතිව, දිව්‍ය ලෝකෙ යන්නෙත් නැති ව, නැවත මනුෂ්‍යයෙක්‌ වුණත් මේ නෑදෑකම් ටිsක වෙනස්‌ වෙලා. මේ වස්‌තුවල තියෙන අයිතිය වෙනස්‌ වෙලා. මොන විදියට බැලුවත් ඒකාන්තමයි මේ හැම දේක ම වටිනාකම තව දවස්‌ දහ අට දාහයි නේ ද? තව මාස හය සීයයි නේ ද? මොන තරම් අල්පයි ද මේ අයිතිය, මොන තරම් අල්පයි ද මේ බැඳීම් ටික, මොන කරම් තුච්ඡයි ද මේ අයිතිවාසිකම් ටික, මේ බැඳීම් ටික.

අනේ මේ දවස්‌ ද අට දාහක්‌ ජීවත් වෙන, මාස හය සීයක්‌ පමණක්‌ අයිතිය පවතින, මේ වස්‌තුව කෙරෙහි සැබෑ වූ දැක්‌මක්‌ ඇති කරගන්න බැරි වුණොත්, තණ්‌හාව නැති කරගන්න බැරි වුණොත් ඒ තණ්‌හාව නිසා නැවත හීන ධාතුවේ හෝ ප්‍රණීත ධාතුවේ හෝ විඥානය පිහිටියොත්, මේ වගේ ම සවිඥානික කයක්‌ හදනව නේ ද කියල මෙනෙහි කරනව.

අද මේ ශරීරෙට උණු වතුර එකක්‌ වත් කෙරුවොත් මොන තරම් වේදනාවක්‌ දැනෙයි ද? අනේ එදාටත් ඒ ස්‌පර්ශ ආයතන හයට ඒ වගේ ම දුක දැනෙනව. මේ ශරීරයට ඇසිඩ් ටිකක්‌ වත් කෙරුවොත් මොන තරම් දුක්‌ වේදනාවක්‌ දැනෙයි ද? එදාට ඇති වන ස්‌පර්ශ ආයතනයටත් ඒ වගේ ම දැනෙනව. අතපය කැපුවොත් නොයෙක්‌ විදියෙ රෝග පීඩා ඇති වුණොත් අද මොන තරම් දුකක්‌ දැනෙයි ද? ඒ වගේ ම වේදනාවක්‌ ඒ ඇති කරගන්න ස්‌පර්ශ ආයතනයන්ට ඇති වෙනව නේ ද? කියල මෙනෙහි කරනවා.

මේ සියලු ම දේ අයිතිය මෙතරම් කෙටි කාලයයි තියෙන්නෙ. කෙටි කාලයක්‌ පමණයි මේක පවතින්නේ කියල බලාගන්න බැරි ව තණ්‌හාව ඇති කරගත්තොත් නැවත මේ වගේ දුක්‌ ඇති වෙන හැටිත් මෙනෙහි කරනව. සියලු ම ප්‍රිය මනාප දෙයින් වෙන් වෙන්න වෙනව කියල බුදුරජාණන් වහන්සෙ බලන්න කිව්වෙ ඔන්න ඔය විදියට. ගැඹුරු අර්ථ ඕනෙ නෑ.

ඊට පස්‌සෙ ආපස්‌සට හැරිල බලන්න. අවුරුදු 100ක්‌ ජීවත් වෙන මිනිස්‌සු ඉන්නව ද කියල. අවුරුදු 100ක්‌ ජිවත් වෙන සත්ත්වයො ඉන්නව ද කියල. අවුරුදු 100කින් එහා මේ ලෝකෙ කවුරුවත් හිටියෙ නැද්ද? හිස්‌ ද? අපි විතර ද ඉන්නෙ? නෑ අපි වගේ ම අම්ම, තාත්ත, දුවා, පුතා, සහෝදරයන් ගැන සෙනෙහසින්, ලෙන්ගතුකමින් අද අපිට උරුම වෙල තියෙනව වගේ ම අයිතියකින් මගේ ම වූ මනසකින් අවුරුදු 100කට එහා මිනිස්‌සු ජීවත් වුණේ. නමුත් අද ඒ කවුරුවත් පේන්න නෑ.

එහෙනං ඒකාන්තයෙන් සත්‍යයක්‌ අවුරුදු 100ක්‌ ගෙවෙන කොට මේ ටික අතහැරෙනව. 50ක්‌ ගෙවිල නං තව 50ක්‌ යනකොට දවස්‌ දහ අට දාහකින් අතඇරෙනව කියන එක, මාස හය සීයකින් අතහැරෙනව කියන එක ඒකාන්තයෙන් ධර්මතාවක්‌, සත්‍යයක්‌ නේ ද කියල බලාගත්තහැකි.

බලල හොඳට හිතනව මෙච්චර ආදරේ කිව්වත් ඒ ආදරේ දවස්‌ 18000කට සීමා වෙලා. මෙච්චර වටිනව වුණත් මේ වටිනාකම දවස්‌ 18000කින්, මාස 6කින් කින් ඉවරයි. ඇයි ඒ විදියට බලන්න කියල කියන්නෙ? පින්වතුනි මේ විදියට දින 18000කට පමණක්‌ සීමා වෙච්ච සෙනෙහස, දින 18000කට පමණක්‌ උරුම වෙච්ච වස්‌තුන් ගෙ වටිනාකම සීමා අතික්‍රාන්ත විදියට අපේ මනසට පෙන්නනව. දවස්‌ 18000කින් ඉවර වෙන බවක්‌ පෙන්නන්නෙ නෑ. මාස 600කින් ඉවර වෙන බවක්‌ පෙන්නන්නෙ නෑ. මේව මගේ මයි. මගේ පුතා මයි, මගේ දුවා මයි. හැම දා ම ඉන්න දෙයක්‌, තියෙන දෙයක්‌ කියන දැක්‌මකින් පෙන්නල ඒ වස්‌තුන් ගෙ වටිනාකමේ, ආදරේ, සෙනෙහසේ සීමාවක්‌ නැති තැන දක්‌වා ම අපේ මනසට පෙන්නනව.

නමුත් අපි මෙච්චර දෙයක්‌ තිබුණත් මේ වස්‌තුන් ගෙ මේ ආදරේ සෙනෙහස කියන රැකවරණයන් ගෙ සීමාව පෙන්නුවම හිතට - මෙච්චරයි පුළුවන් කියල - එතකොට පින්වතුන් දන්නෙ ම නෑ අර සීමාව ඉක්‌මවා පෙන්නන මනසින් ඇති වන තණ්‌හාව ඇති වෙන්නෙ නෑ. වටිනාකම ගෙවෙනව. අඩු වෙනව. අන්න ඒ මෙච්චර කලකින් ඒකාන්තයෙන් මෙබඳු කාල සීමාවකින් මේ ටික අතහැරෙනව නේ ද කියන ගතිය ඇති වුණා ම නිතර ම ඒ ටික ඇති කරමින් ඒ ටික රකිමින් කටයුතු කරන සිතේ වේගය අඩු වෙනව. ධර්මය පැත්තට හිත නැඹුරු වෙනව. ධර්මය හොයන්න උත්සාහවත් වෙනව. ඇයි? හොඳට තේරෙනව. මම කොච්චර යමක්‌ එකතු කළත් කොච්චර ආදරේ අය හිටියත් මේ සීමාවෙන් එහාට මේ කවුරුවත් එන්නෑ නෙ. මට කවුරුවත් ගෙනියන්න බෑ නෙ. හොඳට පෙනෙනව.

අරක සූත්‍රයෙ පෙන්නන විදියට වර්ෂ වශයෙන්, සෘතු වශයෙන්, දවස්‌ වශයෙන්, බත්වේල් ගණන වශයෙන් ඔයිට වඩා ඔබ දක්‌ෂ නම් තවදුරටත් හිතන්න. සියලු ම ප්‍රිය මනාප වස්‌තූන් ගෙන් වෙන් වෙන්න වෙන බව කාල සීමාවන් දක්‌වමින් හිතන්න. තම තමන්ට ඉතිරි ව තිබෙන වයස අනුව ආදේශ කරමින් හිතන්න. මට තියෙන්නෙ මෙන්න මෙපමණ ප්‍රමාණයයි. වයස වැඩි වෙන්න වැඩි වෙන්න අයිතිය අඩුයි.

එතකොට ඒ විදියට හිතල බැලුවම තමන්ට තේරෙනවා මේ හැම දේක ම වටිනාකම බොහොම ටික කාලයයි කියල. අන්න ඒ විදියට මෙනෙහි කරනකොට මේ ලෝකය තුළ පවතින කිසි ම දෙයක්‌ කෙරෙහි ඕනෑවට වැඩිය බැඳෙන මනසක්‌ හිටින්නෙ නෑ

ඒ වේගය අඩු වෙනව. නිතර ම ඒවා රැක්‌ක යුතුයි, ආරක්‌ෂා කළ යුතුයි කියන තැනට හිත බැඳෙන්නෙ නෑ. අන්න එහෙම කෙනාට භාවනා කරන්න, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙ යෙදන්න ඉඩ තියෙනව. වෙලාව තියෙනව. එහෙම නැති ව බණ භාවනා කරන්න වෙලාව නැත්නම් හොඳට දකින්න මේ පැත්තට ඉඩ නැති හේතුව. ඔබට ඉඩ වැඩියි මවුපියන් ගෙ, සහෝදරයන් ගෙ, දූදරුවන් ගෙ, ඥාති හිතෛෂීන් ගෙ කටයුතු කරන්න. තමන්ට අයිති ඉඩකඩම් ගොඩනැ`ගිලි, ගෙවල් දොරවල්, වතුපිටිවල කටයුතු තියෙන නිසයි ඔබට මේ පැත්තෙ ඉඩ නැත්තෙ. ඔබේ ඒ පැත්ත සීමා කරගත්ත ම නිරායාසයෙන් ම මනසෙ ඉඩ ලැබෙනව මෙන්න මේ ධර්මය තියෙන පැත්තට.

එතකොට මෙන්න මේ ධර්මය පැත්තට ඉඩ හදාගෙන අපි ධර්මය නුවණින් මෙනෙහි කළ යුතුයි. ප්‍රතිපත්ති ධර්මයේ හැසිරිය යුතුයි. ඒ ප්‍රතිපත්ති ධර්මය තුළත් තථාගතයන් වහන්සෙ බොහෙම වටිනාකමක්‌ දෙනව එක තැනක දි.

සත්තියා විය ඕමට්‌ඨො ඩයිහමානොව මත්ථකෙ. සක්‌කායදිට්‌ඨි පහානාය සතො භික්‌ඛු පරිබ්බජෙති

සැතෙන් පහර ලද්දෙක්‌ වගේ, හිස දැවෙන්නෙක්‌ වගේ මහණ, සක්‌කාය දිට්‌ඨිය දුරු කරගන්න. සිහි ඇති ව හැසිරෙන්න කියන මෙන්න මේ අවවාදය දෙනව අපිට.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.