ඖෂධ පූජාවේ අනුසස්‌

කිවුල්දෙණියේ විජිතනන්ද ස්‌ථවිර නිග්‍රෝධාරාම සේනාසනය
පොල්පිටිය මැටි කුඹුර පොල්ගහවෙල මැ. 071683946

ලෝකයේ පහළ වූ ශාස්‌තෘන් වහන්සේලා අතර සියලු දෙව් මිනිසුන්ගේ පුද පූජාවන් ලබන්න අග්‍ර ශ්‍රේෂ්ඨ උතුමා වෙන්නෙ ලොව්තුරා බුදුරාජණන් වහන්සේ. තථාගතයන් වහන්සේ නමකට කරන සුළු පූජාවක පවා අනුසස්‌ අපමණයි ඒ බව ධම්ම පදය බුද්ධ වර්ගයේ එන ගාථාවක මේ විදියට සඳහන් වෙනවා.

පූජාරහේ ජූජයතේ - බුද්ෙ යදිව සාවකේ
පපංච සමතික්‌කන්තේ - තිණ්‌ණ සෝක පරිද්දවේ

තේ තාදිසේ පූජයතෝ - නිබ්බුතේ අකුතෝ භයේ
න සක්‌කා පුඤ්ඤං සංඛාතුං - ඉමෙත්තම්ති කේනචී

තථාගතයන් වහන්සේ බොහෝ භික්‌ෂුන් වහන්සේලා පිරිවරාගෙන බරණැස්‌ නුවරට වැඩම කරන අතරමගදි තෝදෙයH කියන බ්‍රාහ්මණ ගමට වැඩල ඒ ගමේ තිබිච්ච එක දේවාලයක්‌ ළඟ වැඩ සිටියා. ඒ මොහොතේ ටිකක්‌ දුරින් සී හිටපු සාමින් බමුණෙක්‌ දැකල ඒ බමුණට එන්න කියල ආනන්ද හිමියන් පිටත් කර යෑව්වා.

ඒ බමුණා එතන තිබිච්චි දේවාලයට වැඳල බුදුන් වහන්සේ ළඟට ඇවිත් ගරු බුහුමන් දක්‌වල පසෙකින් ඉඳ ගත්තා. එතනදි තථාගතයන් වහන්සේ, ඔබ මේ දේවාලයට වැන්දෙ කුමක්‌ නිසාද කියල ඇහුවම, මේ දේවාලය ඉතා පැරණියි, අපේ පරපුරේ සියලු දෙනාම වඳින පුදන තැනක්‌ නිසා අපිත් ඒ සිරිත කඩ නොකර පවත්වාගෙන එන බව බමුණා දන්වා සිටියා.

එතකොට තථාගතයන් වහන්සේ, බ්‍රාහ්මණය මේ ස්‌ථානයට වැඳීම පිදීම ගරු බුහුමන් දැක්‌වීම ඉතා වටිනා දෙයක්‌, පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේගෙ ධාතු නිධන් කරපු රන් දාගැබක්‌ පිහිටියේ මේ ස්‌ථානයේ කියල අතීත කතාව ගෙන හැර දැක්‌වුවා. මේ කාරණය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා දේශනා කළා.

''පපංච සමතික්‌කන්තේ'' බුද්ධාදී උතුමන් වහන්සේලා සියලු ප්‍රපංච (තණ්‌හා - මාන - දිට්‌ඨි) ධර්ම ඉක්‌මවල,''තිණ්‌ණ සෝක පරිද්දවේ'' සියලු සෝක පරිදේවයන්ගෙන් එතෙර වෙලා, ''නිබ්බුතේ අකුතෝ භයේ'' කෙළෙසුන්ගෙන් නිවිල නිර්භයව වාසය කරන නිසා, ''පූජාරහේ පූජයතේ'' දෙව් මිනිසුන්ගේ සියලු වන්දනාමාන පූජා සත්කාරවලට සුදුසුයි. ''නසක්‌කා පුඤ්ඤං සංඛාතුං ඉමෙත්තම්ති කේනචී'' ඒ වගේ උතුමන්ට කරන පූජාවකින්, වන්දනාවකින්, ප්‍රසාද මාත්‍රයකින් පවා ලැබෙන පින මෙපමණයි කියල සීමා කරන්න බෑ. ඒ තරම්ම ලෞකික ලෝකෝත්තර වශයෙන් සැප විපාක ලබන්න හේතු වෙනවා. මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නෙ, බුද්ධාදී උතුමන් වහන්සේලාට ඖෂධ පූජා කිරීමේ වටිනාකම

ගෞතම බුද්ධ ශාසනයේ නිරෝගී භික්‌ෂුන් වහන්සේලා අතුරෙන් අග තනතුරු ලබල හිටියෙ බක්‌කුල මහ රහතන් වහන්සේ. බුදු රජාණන් වහන්සේටත් ඒ වගේ කායික නිරෝගී බවක්‌ තිබිල නෑ. අතීත කර්ම විපාක අනුව තුනටිය අමාරුව, නිතර පැවැති හිසරුදාව, ලෝහිත පක්‌ඛන්දිකා කියන ලේ අතීසාර රෝගය තථාගතයන් වහන්සේට වැළඳුණා.

බක්‌කුල තෙරුන් වහන්සේ අසූ අවුරුද්දක්‌ ගිහිගෙයි වාසය කරන කාලයෙත් අසූ අවුරුද්දක්‌ පැවිදි ජීවිතය ගත කරපු කාලයෙත් සුළු රෝගයක්‌වත් ඇති වුණේ නෑ. උන්වහන්සේ 160 අවුරුද්දක්‌ ආයු වළඳපු තෙර නමක්‌ කුල දෙකක වැඩුණු නිසා බක්‌කුල කියල නම පටබැඳුනා. ගෞතම බුද්ධ සාසනයේ මහා ශ්‍රවකයන් වහන්සේ නමක්‌ වූ උන්වහන්සේ කිසිම රෝගාබාධයක්‌ නොවැළඳී නිරෝගි වෙන්න හේතු වුණේ, අනෝමදස්‌සී බුදු රජාණන් වහන්සේගෙ කාලයේදිත්, ඉන්පසුවත් බුද්ධ ශාසනවලදී සිදුකරගත් ඖෂධ පූජාවන් හේතු කොටගෙන.

මේ මහා භද්‍ර කල්පයට ඒකාසංඛ්‍ය කල්ප ලක්‌ෂයකට පෙර බුqදු වූ අනෝමදස්‌සී බුදු රජාණන් වහන්සේගේ කාලයේ බක්‌කුල තෙරුන් වහන්සේ වේදත්‍රයේ කෙළ පැමිණි බ්‍රාහ්මණයෙක්‌ විදිහට ඉපදිලා තාපස පැවිද්ද ලබල ශිෂ්‍ය පිරිසක්‌ සමඟ හිමාලය අසල අසපුවක වාසය කළා. අනෝමදස්‌සී තථාගතයන් වහන්සේ විවේක සුවයෙන් ඉන්න ඒ අසපුවට වැඩිය අවස්‌ථාවක, මහත් වූ වාතාබාධයක්‌ හට ගත්තා. ඒ අවස්‌ථාවේ බක්‌කුල හාමුදුරුවො තමන්ගෙ ශිෂ්‍ය පිරිස සමඟ පර්වතයකට නැගල ඖෂධ සොයාගෙන බෙහෙත් සකස්‌ කරල දීලා තථාගතයන් වහන්සේට වැළඳුණ උදරාබාධය සංසිඳවන්න කටයුතු කළා. ඒ කරගත්ත පින් බලයෙන් උපනූපන් ජාතිවල කිසිම ආබාධයක්‌ නොවේවයි ප්‍රාර්ථනාත් කළා.

වාතාබාධයෙන් නිරෝගි සුවයට පත් අනෝමදස්‌සී බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයා සිදු කරපු ඖෂධ පූජාවේ අනුසස්‌ මේ විදිහට විස්‌තර කළා. මේ බෙහෙත් පූජා කළ පිනෙන් කල්ප ලක්‌ෂයක්‌ දෙව් ලොව ඉපදිලා දිව්‍ය සැප විඳල,මිනිස්‌ ලොව ඉපදිලා දහස්‌ වරක්‌ චක්‍රවර්තී රජ බවට පත් වෙනවා. පස්‌වන කල්පයේ සතර මහා දිවයින් හා සිවු මහාසාගරකෙළවර කර ඇති පෘථීවියට අධිපති,සතුරු රජවරුන් ජයගන්න සත්රුවනින් යුතුව ජම්බුද්වීපයේ මහත් බල ඇති අනෝම නම් චක්‍රවර්ති රජෙක්‌ වෙලා තව්තිසා දෙව්ලොවත් කළඹල අධිපති බව කරනවා. දෙව් මිනිස්‌ දෙගතියේ කොහේ ඉපදුනත් ලෙඩ රෝගවලින් මිදිල නිරෝගි සුව ලබන මෙයින් කල්ප ලක්‌ෂයකට පසු ඔක්‌කාන නම් කුළයේ ගෞතම නම් බුදුවරයෙක්‌ ලොව පහළ වෙනවා. ඒ කාලයේ බක්‌කුල නමින් ඉපදිලා පැවිදි වෙලා සියලු කෙළෙස්‌ නසල අරිහත්වයට පත්වෙලා නිරෝගි භික්‌ෂූන් අතර අග තනතුරු ලබනවා.

කල්ප ලක්‌ෂයකට පෙර තමා විසින් කළ ඒ ඖෂධ පූජාවේ පුණ්‍ය බල මහිමයෙන් එතැන් පටන් දුගතියකට නොගිය බවත්, අප්‍රමාණ දෙව් මිනිස්‌ සැප ලබල ගෞතම බුදු සසුනේ සිවු පිළිසිඹියා, ෂඩ් අභිඤ්Æ ලබාගත් බවත් උන්වහන්සේ විසින්ම ප්‍රකාශ කළා.

අනෝමදස්‌සී බුදුරාජණන් වහන්සේට එදා සිදු කළ ඖෂධ පූජාවෙන් පසු සසර සැරිසරාගෙන එන කොට පහළ වූ පදුමුත්තර කියන සර්වඥයන් වහන්සේගෙ කාලයේ හංසවතී නුවර කුල ගෙයක ඉපදිලා ඒ බුදුරාජණන් වහන්සේගෙන් බණ අහමින් හිටපු අවස්‌ථාවක එක්‌තරා භික්‌ෂුවකට අල්පාබාධ ඇති භික්‌ෂුන් අතුරෙන් අග තනතුර පිරිනමනව දැකල, මමත් අනාගත බුදු කෙනෙක්‌ගෙන් මේ වගේ පදවියක්‌ ලබනව කියල අධිෂ්ඨාන කර ගත්තා. ඔහු සත් දිනක්‌ තිස්‌සේ මහා දන් පවත්වල අවසන් දිනයේ පදුමුත්තර බුදුන්වහන්සේට තමන්ගේ අදහස දැන්වුවා. උන්වහන්සේ අනාගතය බලල ඒ කාරණය සයල වන බව දැකල, ඔබගේ ප්‍රාර්ථනය මෙයින් කල්ප ලක්‌ෂයකට පසු බුදු වන ගෞතම බුදුන් වහන්සේගෙ ශාසනයේදී සිද්ධ වෙනව කියල විවරණ දුන්නා.

ඒ කුල පුත්‍රයා සසර බොහෝ පිං දහම් කරල නැවත විපස්‌සී බුදුරජාණන් වහන්සේගෙ කාලයේ හිමාලයට ගිහින් තපස්‌ රකිමින් හිටපු අවස්‌ථාවක, අට ලක්‌ෂයක්‌ පමණ භික්‌ෂුන්ට වැළඳුණ වසංගත රෝගයකට බෙහෙත් කරල නිරෝගි බව ලබා දුන්නා. නැවතත් කාශ්‍යප බුදුන් වහන්සේගෙ කාලයේ බරණැස්‌ නුවර ඉපදිලා ගෙයක්‌ හදන්න ආරම්භ කරල ඊට අවශ්‍ය උපකරණ රැස්‌ කරන මොහොතක දිරා ගිය සංඝාවාසයක්‌ දැකල, තමන්ගෙ ගේ හැදීම නතර කරල ඒ සංඝාවාසය ඇතුළු සියලුම විහාරාරාම ගොඩ නගල පූජා කළා.

මේ විදිහට අප්‍රමාණ පිං රැස්‌ කරල දෙව් මිනිස්‌ දෙගතියේ ඉපදෙමින් ගෞතම බුදුන්ගෙ කාලයේ කොසඹෑ නුවර එක්‌තරා මහා ධනවත් සිටු කුලයක උපන්නා. උපන් දවසෙම යමුනා ගංගාවෙන් නාවපු අය දීර්ඝායුෂ ලබනවයි කියන විශ්වාසය අනුව, ඒ දෙමව්පියන් උපන් කුමරු නාවන්න යමුනා ගංගාව කරා පෙරහැරින් ගෙන ගියා. කිරි මව විසින් කුමාරයා දියේ ගිල්වල නාවන කොට, මේ නම් ගොදුරක්‌ කියල හිතපු විශාල මාළුවෙක්‌ දුවගෙන ඇවිත් කුමාරයව ගිල දැම්මා. ඒත් කුමාරයගෙ පිං බලය නිසා කිසිම අනතුරක්‌ වුණේ නෑ. පශ්චිමභවික පුද්ගලයන්ගේ ජිවිතය (මේ දිවියේදී ඒකාන්තයෙන් අරහත් වීමට හේතු ඇති) කිසිම උපක්‍රමයකින්වත් විනාශ කරන්න බෑ. දබ්බමල්ල හාමුදුරුවො, සංකිච්ච හාමුදුරුවෝ කියන දෙනමත් මව් ගැබේ ඉඳෙද්දිම මව මළත් දරුවා නොමැරී ආරක්‌ෂා වුණේ පශ්චිමභවික පුද්ගලයන් නිසා.

එතකොට අර කුමාරයා ගිල දමපු මාළුවා මසුන් මරන්නන්ගෙ දැලකට අහුවෙලා මළා. ඒ මාළුවා කහවනු දහසකට විකුණන්න නගරයට ගෙන ගියාම, අසූ කෝටියක්‌ ධනය තිබිච්ච, දරුවන් හිටියෙත් නැති සිටුවරයෙක්‌ මේ මාළුවා ගෙනිහින් සිටු දේවියට දුන්නම, ඒ මාළුවා ගැන බලවත් ආසාවක්‌ ඇති වුණා. මසුන් මරන අය ඇයට එක කහවනුවකට මාළුව දීල ගියා. සිටු දේවිය මාළුවගේ කුස හෙමින් කපන කොට කුස තුල හිටපු බිළි¹ දැකල ප්‍රීතියෙන්, රන්වන් පුතෙක්‌ ලැබුණයි කියල සිටුතුමාට පෙන්නුවා.

සිටුතුමා බලවත් සතුටට පත්වෙලා ඒ බිළි¹ ගැන බරණැස්‌ රජතුමාට කිව්වා දැන්වුවා. රජතුමා සිටුතුමා අමතල, මොහු මහ පිං ඇති කුමරෙක්‌, හොඳින් පෝෂණය කරන්නෙයි කියල කිව්වා. බරණැස්‌ සිටුතුමාට මත්ස්‍යයකුගේ කුසින් දරුවෙක්‌ ලැබුණු බව මුළු රට පුරාම ආරංචි වුණා. බිළිඳු කුමරු වදපු මවටත් මේ පුවත අහන්න ලැබිල මහ සෙනඟ එක්‌ක ඇවිත් තමන්ගෙ දරුවා හඳුනගෙන, මේ මම වදපු පුතා කියමින් කුමාරයා ඉල්ලල දබර කළා. දෙපැත්තෙම අය බරණැස්‌ රජතුමාට මේ කාරණය කිව්වම, දෙපක්‍ෂයෙන්ම කරුණු විමසල දෙගොල්ලන්ටම කුමාරයා අයිති බව පවසල ඔහු පෝෂණය කරන්න සිටු මැදුරු දෙකටම බාර කළා. එතැන් පටන් දෙපක්‌ෂයේම සිටු මැදුරුවල සැප විඳිමින් අසූ වසරක්‌ කල් ගෙවල බුදු සසුනේ පැවිදි වෙලා බක්‌කුල නමින් අරහත්වයට පත්වුණා. කුල දෙකක වැඩුන නිසා බක්‌කුල කියන නම ලැබුණා.

බක්‌කුල මහ රහතන් වහන්සේගෙ නුවරවල් දෙකේ ඥතීන් පහළොස්‌ දවස බැගින් බෙදාගෙන උන්වහන්සේට සිවු පසයෙන් උපස්‌ථාන කළා. පැවිදි වෙලා අසූ වසරක්‌ ජීවත් වෙච්ච උන්වහන්සේට කිසිම දවසක කිසිම ආකාරයක රෝගයක්‌ ඇති වුණේ නෑ. පිරිනිවන්පාන දවසෙ විහාරයෙන් විහාරයට ගිහින් තමන් අද පිරිනිවන්පාන බව තෙරවරුන්ට දන්වල අවුරුදු 160 ක්‌ ආයු වළඳල පිරිනිවන්පෑවා. බුදුන් වහන්සේ බක්‌කුල තෙරුන් ජීවමාන අවධියේම ''ඒතග්ගං භික්‌ඛවේ මම සාවකානං භික්‌ඛුණං අප්පාබාධනං යදිදං බක්‌කුලෝ'' කියල බක්‌කුල තෙරුන් වහන්සේ නිරෝගි භික්‌ෂුන් අතරින් අග්‍රස්‌ථානයට පත් කළා.

තථාගතයන් වහන්සේලා ලෝකයට පහළ වෙලා සදහම් මහා ඖෂධ විද්‍යමාන කරල දෙනවා. ඒ සදහම් නමැති ඖෂධ දානය ලෝකයට දේශනා කරමින් විද්‍යමාන කරමින් සද්ධර්මය ආරක්‌ෂා කරගෙන අද දක්‌වාම මහා සංඝ රත්නය ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ඇවිත් තියෙනවා. ධර්මයට නොයෙක්‌ අසද්ධර්මයන් එකතු කරන්න සූදානම් වෙච්ච අවස්‌ථාවල, අධර්මය යටපත් කරල ධර්මය නගා සිටුවමින් ධර්ම සංගායනා කරමින් රැගෙන නොආව නම්, ධර්මයක්‌ දැක බලාගන්න බෑ. ඒ වගේම බුදු රජාණන් වහන්සේ දේශනා කරපු අසූ හාර දහසක්‌ ධර්මස්‌කන්ධය මොකක්‌ද කියල දැන ගන්නත් බෑ.

සම්බුදු පියාණන් වහන්සේලා මුල්කරගෙන මහා සංඝ රත්නයේ අප්‍රමාණ ඖෂධ ධර්ම දාන ගුණයට ගෞරව උපහාර පූජා වශයෙන්, ඒ උතුමන් වහන්සේලාට ඖෂධ පූජාවන් නොයෙක්‌ ආකාරයෙන් එදා පටන් අද දක්‌වාම මහ රජ දරුවන්, සැදැහැවතුන් විසින් සිද්ධ කරනවා. ඒක මහා පුණ්‍ය ගංගා කුසල ගංගා සිද්ධ වන, දිව්‍ය මනුස්‌ස සැප ලබාදෙන මහා පිංකමක්‌. සත්ත්වයන්ට වැළඳෙන අට අනූවක්‌ රෝග නව අනූවක්‌ ව්‍යාධි දෙසිය තුනක්‌ අන්තරා දුරු කර ගෙන ලෞකික සැප විපාක ලබල ලෝකෝත්තර නිවනට තියෙන බාධා දුරු කරගෙන සසර ණය ගනුදෙනු පියවල ආර්ය මාර්ගය වඩන්න උපනිශ්‍රය සම්පත්තියත් සලස ගන්න පුළුවන් පිංකමක්‌.

වෙඡ්ජූපමා ජිනවරෝ - ගේලඤ්ඤාච පුථුඡ්ජනා
රෝගූපමා කිලේසාච - සද්ධම්මෝ ඕසදූපමෝ

මේ ලොවට පහළ වූ අසහාය වෛද්‍යවරයා නම් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේයි. ''සත්හට වන බව දුකට වෙදානන්'' කියල ලෝ වැඩ සඟරාවෙත් සත්ත්වයාගේ භව දුකට එකම වෙදැදුරාණෝ තථාගතයන් වහන්සේ බව සඳහන් වෙනවා.

''වෙඡ්ජූපමා ජිනවරෝ'' ලෝකය ජය ගත්තා වූ බුදු පියාණන් වහන්සේ ලොව අසහාය වෛද්‍යවරයායි. ''ගේලඤ්ෙඤාච පුථුඡ්ජනා'' පෘථඡ්ජන ලෝකයා සසර දුකට හසු වී ගිලන් වී සිටී. ''රෝගූපමා කිලේසාච'' සත්ත්වයට ඇති දරුණුම රෝගය කෙළෙස්‌ රෝගයයි. ''සද්ධම්මෝ ඕසදූපමෝ'' පෘථඡ්ජනභාවය නමැති ගිලන් කමෙන් මිදී කෙළෙස්‌ නමැති භව රෝගය සංසිඳුවා ගැනීමට ඇති එකම ඖෂධය සද්ධර්මයයි. ඒ නිසා ''ධම්මෝෂධ සමං නත්ථි ඒතං පිවත භික්‌ඛවෝ'' ධර්මය හා සමාන වටිනා වෙනත් ඖෂධයක්‌ භව රෝගය සුවකර ගන්න ලෝකයේ නෑ කියල, ඒ සදහම් ඖෂධය පානය කරල කෙළෙස්‌ රෝගයෙන් සදහටම මිදෙන්න කියල තථාගතයන් වහන්සේ දහම් ඖෂධය දේශනා කළා.

ධම්මං විනා නත්ථි පිතාච මාතා - තමේව තානං සරණං පතිට්‌ඨා
තස්‌මාහි භෝ කිච්ච මඤ්ඤප්පහාය - සුනාථ ධාරේථ චරාථ ධම්මේ

ධර්මය හැර භව රෝගයෙන් මිදීමට වෙන පිහිටක්‌ සරණක්‌ සත්ත්වයාට නැත. මවට පියාටවත් එම පිහිට රැකවරණය ලබාදිය නොහැක. එම නිසා අනවශ්‍ය බාහිර මුලා වැඩ අතහැර ධර්මය අසා දරාගෙන හැසිර කෙලෙස්‌ රෝගයෙන් සදහටම මිදෙන්න. මේ තථාගත අනුශාසනයයි.

''ආරෝග්‍යා පරමා ලාභා'' කියන පාඨයේ නියම තේරුම, කෙළෙස්‌ රෝගයෙන් නිදහස්‌ වීම වුණත්, ලෝකෝත්තර දහම් අර්ථය යටපත් වෙලා ලෞකික අර්ථය ඉස්‌මතු වෙලා තියෙනවා. අතීත බුදුරජාණන් වහන්සේලාත් ඒ ලොව්තුරා අර්ථය දේශනා කරල තිබුණත්, පසුකාලීනව ඒක පෘථඡ්ජනයන් අතරට ගිහින් දහම් අදහස්‌ යටපත් වෙලා ගෞතම බුදුන් වහන්සේගෙ කාලය දක්‌වාම ඇවිත් තියෙනවා. ගෞතම බුදු රජාණන් වහන්සේ නැවත වතාවක්‌ ''ආරෝග්‍යා පරමා ලාභා'' කියන කාරණයට ලෝකෝත්තර දහම් අර්ථය දේශනා කළත්, පසු කාලීනව නැවත වතාවක්‌ පෙර පරිදිම පෘථඡ්ජනයන් අතරට ගිහින් දහම් අර්ථය යටපත් වෙලා අද දක්‌වාම ලෞකික අර්ථය ඉස්‌මතු වෙලා තියෙනවා.

ආරෝග්‍යා පරමා ලාභා - සන්තුට්‌ඨි පරමං ධනං
විස්‌සාසා පරමා ඥතී - නිබ්බාණං පරමං සුඛං (ධම්ම පදය)

ධම්ම පදයේ සඳහන් මේ ගාථාවේ ''ආරෝග්‍යා පරමා ලාභා'' කියන පද පෙළටත් ලෞකික අර්ථ කථන දීමෙන් දහම් අර්ථය යටපත් වෙලා තියෙනවා. ''ආරෝග්‍යා පරමා ලාභා'' කිව්වම කයේ නිරෝගි භාවය උතුම්ම ලාභයයි කියල වර්තමානයේ දේශකයන් වහන්සේලාත් ප්‍රකාශ කරනවා. ලේ දන් දෙන තැන්වලත් මේ වැකිය ප්‍රදර්ශනය කිරීමෙන් පේන්නේ ඒ ලෞකික අදහස ඉස්‌මතු වෙලා තියෙන බව. බුදු දහමේ සඳහන් නියම නිරෝගී බව මොකක්‌ද කියල මාගන්දිය සූත්‍රය කියවල නුවණැත්තන්ට වටහා ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රඥවන්තයෝ කෙළෙස්‌ රෝගයෙන්, භව රෝගයෙන් නිරෝගි බව ලබල සියලු සසර බන්ධනවලින් නිදහස්‌ වෙලා උතුම් පරම සත්‍යය වටහා ගන්න උත්සාහ කරන්න ඕන.

සදහම් මහා ඖෂධ මුනි පිය දුන්නේ
දම් ඖෂධ නිසයි භව ලෙඩ දුරු වන්නේ
ගත හිත වෙතද ලෙඩ රෝ සමනය වන්නේ
දම් ඖෂධ පර දන්නේ

දම් ඖෂධ මහා සෙතමය ගෙන දෙන්නේ
ගත සිත වෙතද ලෙඩ රෝ දොස්‌ දුරු වන්නේ
මේ භව රෝගෙ සහමුලටම දුර ලන්නේ
එම වන් දහම් ඖෂධ මුනිවරු දුන්නේ

මුනි රජවරු සදහම් ඖෂධ දුනි
සැම ඖෂධ ඉන් පරදින්නේ
මහ භව රෝගය සදහට නැති කර
අමා දහම් නිවනය දෙන්නේ

සැප බව ලෙඩ නැති නිවන් දකින්නයි
ලෝ සත වෙත අම දම් දුන්නේ
ඒ දම් ඖෂධ දෙව් මහ මුනිවරු
පුදනෙමු අද ගරු බැතියෙන්නේ

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.