තිලක්‌ඛණය හා ත්‍රිලක්‌ෂණය

සිරිල් කොඩිතුවක්‌කු

අනිච්ච දුක්‌ඛ අනත්ත යන තිලක්‌ඛණය පිළිබඳ විග්‍රහය මුළු බුද්ධ දේශනාවේම ගැඹුරුම තැනයි. මේ පිළිබඳව අර්ථ ධර්ම නිරුක්‌ති සහිතව වටහා නොගෙන කෙනෙකුට නිවරැදි ලෙස ධම්මානුධම්ම පටිපදාවේ යෙදිය නොහැක. අනිච්ච දුක්‌ඛ අනත්ත යන ආයුධ තුනෙන් රාග ද්වේශ මෝහ යන කෙලෙස්‌ බැමි තුන කපා දැමිය යුතු නිසා තිලක්‌ඛණ යනුවෙන් මාගධී බුද්ධ භාෂිතයේ දී හැඳින්විය. මෙහිදී ඛණ යන වචනයේ අර්ථ ධර්ම මූලිකවම වටහාගත යුතුය. 'ඛන' යනු කපා දැමිය යුතු දේය. රාග බැම්ම, ද්වේශ බැම්ම , මෝහ බැම්ම කපා දැමිය යුතු බවට යථා භූත ඤාණය උපදවා ගැනීමත්, ඒ සඳහා උපකාර වන පරම පවිත්‍ර බුද්ධ ධර්මය අසා දැන අවබෝධ කර ගැනීමත් ණය විනයට හේතුඵල දහමට බහා ගලපා නිවනට උපකාරවන පරිදි අර්ථ ධර්ම නිරුත්ති අනුසාරයෙන් ධර්මය දැන ඒ අනුව ධම්මානුධම්ම පටිපදාවේ යෙදීමේ වාසනා ගුණය කෙනෙකුට ලැබේ නම් එම තැනැත්තා ඛණ සම්පත්තිය ලැබූ අයෙකි. බුද්ධෝත්පාද කාලයක සද්ධර්මය පවතින යුගයක මිනිසෙකු ලෙස උපත ලැබූ පමජින්ම කෙනෙකුට ඛන සම්පත්තිය ලැබිය නොහැක. ඛන සම්පත්තිය නොලැබෙන අවස්‌ථා අටක්‌ පමණ අක්‌ඛන සූත්‍ර දේශනාවේදී බුදුපියාණන් වහන්සේ දේශනා කළහ.

කරණීය අකරණීය ද්වතා ධර්මය නොදන්නා, නිවනට උපකාර වන ධර්මය අවබෝධ කළ නොහැකි ,ධර්මය අධර්මය කර විනය අවිනය කර තථාගත භාෂිතය අභාෂිතය කර ලෞකික පරමාර්ථ ලාභාපේක්‌ෂාවෙන්ම මාගධී බුද්ධ භාෂිතය විකෘති කර, ඒ අනුව කටයුතු කරන අයට රාගක්‌ඛය ද්වේශක්‌ඛය මෝහක්‌ඛය කර, රාග භව ද්වේශ භව මෝහ භව උදුරාදමන බුද්ධ ධර්මය,අර්ථ ධර්ම නිරුත්ති සහිතව නිවනට උපකාර වන පරිදි අවබෝධ කර ගත නොහැක. එවැනි අය නියත මිත්‍යාදෘෂ්ටිකයන් වනු ඇත. අක්‌ඛනෝ අසමෝ යනුවෙන් අක්‌ඛණ සූත්‍ර දේශනාවේදී, දේශනා කළේ මිනිසෙකුව ඉපිද කටයුතු කළත්, ඛණ සම්පත්තිය නොලැබෙන මෙවන් පුද්ගලයින් පිළිබඳවය.ඛණ සම්පත්තිය නොලැබුව ද ඕනෑම අයෙකුට ධර්මය ඉගෙන ගැනීමට, ධර්මය දේශනා කිරීමට හා පොත පත ලිවීමට හැකියාව ඇත. ත්‍රිපිටක පරිවර්තනයේ දී ඛණ සම්පත්තිය ක්‌ෂණ සම්පත්තිය ලෙස පරිවර්ථනය කිරීම නිසා 'ඛණ' යන මාගධී බුද්ධ භාෂිතයේ ධර්ම අර්ථය සහ මුලින්ම යටපත් වී ඇත. ඛණ-ක්‌ෂණ,. ක්‌ෂණ- යනු යම්කිසි කාල පරාසයක්‌ යන අදහස දෙන සංස්‌කෘත වචනයකි. එම වචනයෙහි ධර්ම අර්ථයක්‌ නිවනට උපකාර වන ලෝකෝත්තර අර්ථයක්‌ නොමැත. ග්‍රන්ථධූරය පුරා සම්මතය තුළ කොටු වීම නිසා යථාභූත ඤාණය නොලැබීම හේතුවෙන් උන්මත්තක ස්‌වරූපයෙන්ම කරනු ලබන මෙවැනි වැරදි භාවිතාවන් නිසා ප්‍රායෝගික නිවන් මාර්ගය වැසී යටපත් වී ඇත.

අනිච්ච දුක්‌ඛ අනත්ත යන තිලක්‌ඛණය අනිත්‍ය දුක්‌ඛ අනාත්ම යනුවෙන් පරිවර්ථනය කිරීම නිසා එහි ධර්ම අර්ථයද විනාශ වී ඇත. ත්‍රි ලක්‌ෂණය යනු කිසියම් ලක්‌ෂණ තුනකි. එහි නිවනට උපකාර වන ධර්ම අර්ථයක්‌ නොමැත. ඛන- ඛය -‚න යනුවෙන් මෙහි අවස්‌ථා තුනක්‌ ඇත. මෙය තිපරිවට්‌ටයකි. තිපරිවට්‌ටය යනු වට තුනක්‌ ඔස්‌සේ නිවනට උපකාර වන සේ ධර්මය විස්‌තර කිරීම ලෙස සරලව දැක්‌විය හැකිය. ඛය යනු එම ගති කපා දමන අවස්‌ථාවයි. රාගක්‌ඛය ද්වේශක්‌ඛය මෝහක්‌ඛය යනු නිබ්බානගාමි වීමට එම කෙලෙස්‌ ගති කපා දමන අවස්‌ථාවයි. අසවක්‌ඛය ඤාණය යනු ඒ සඳහා උපදවා ගතයුතු බුද්ධ ඤාණයයි. මුළු බුද්ධ දේශනාවෙම හරය පවතින්නේ තිලක්‌ඛණය පිළිබඳ දේශනාවේය. මෙය ඉතාම සංකීර්ණම ගැඹුරුම තැනක්‌ බැවින් සිහිබුද්ධියෙන් තැන්පත් මනසකින් යුතුවම මෙම කාරණා වටහා ගත යුතුයි.

‚න යනු කපා දමා අවසන් වූ අවස්‌ථාවයි. කෙලෙස්‌ ගති කපා දමා අවසන් වූ විට නිරීබානගාමී මාර්ගය සම්පූර්ණ වී නිරීබාන තත්වයට රාග ද්වේශ මෝහ බැමි වලින් සදහටම මීදී නිදහස්‌ වූ තත්වයට පත්වේ. එය අරිය මාර්ගය සම්පූර්ණවී අරිහත් ඵලයට පත් වීමයි. මේ නිසාම අරහතුන් වහන්සේ හැඳින්වීමට ‚නා ජාති, ‚නාසව යන මාගධී පද භාවිතා කර ඇත. ‚නං පුරානං නවං නත්ති සංභවං යනුවෙන් දේශනා කළේද අතීත සංසාරේ සිට පැවත එන සියලු කෙලෙස්‌ ගති කපා අවසන් කිරීමත්, අලුතින් කෙලෙස්‌ ගති බිහි නොකිරීමත් නිසා නැවත 'භව' තත්ත්වයට පත් නොවන බවයි. ඒ අනුව නැවත ජාතියක උපතක්‌ ද සිදු නොවන බැවින් සංසාර රිය ගමන නවතා අරිය තත්වයටම පත් වන බව එම ගාථාවෙන් පෙන්වා වදාළහ.

තිලක්‌ඛණය පිළිබඳ යථා පරිදි දැන අනිච්ච දුක්‌ඛ අනත්ත අනුපස්‌සනා කර නිච්ච සුඛ අත්ත ඝන සංඥාව- ධුව සංඥාව කපා දැමීමට නම් තිලක්‌ඛණය පිළිබඳ නිවනට උපකාර වන ලෙස ධර්ම අර්ථයෙන්ම වටහා ගත යුතුය. ජානතෝ පස්‌සතෝ යනුවෙන් දේශනා කළේ නිවැරදි දැනීමක්‌ නොලැබුවොත් එය දැක්‌මක්‌ බවට පත් කර ගැනීමට නොහැකි බවයි.

සබ්බේ සංඛාරා අනිච්චාති යනු සියලුම සංඛත ධර්මයන් කැමති සේ රිසි සේ එක දිගට නොපවතින බවයි. සංඛත ධර්ම යනු අවිද්‍යා මූලිකව සංඛාර කර උපාදානය කරගන්නා බිහි කරගන්නා සියලුම දේය. මේ පිළිබඳව යථා පරිදි දැන අවබෝධ කර ඉන් මිදී නිදහස්‌ වීමට අනිච්ච අනුපස්‌සනා කර නිච්ච සංඥාව ප්‍රහානය කල යුතුය.. අනිච්ච දේ නිච්ච ලෙසත් දුක්‌ඛ දේ සුඛ ලෙසත් අනත්ත දේ අත්ත ලෙසත් දකින්නේ අයෝනිසෝමනසිකාරය නිසාය. යථා පරිදි තිලක්‌ඛණය අවබෝධ කර නොගැනීම නිසා සංසාර ගැටලුව තමන්ම ප්‍රතිනිර්මානය කරගනී. ඉච්ච යනු කැමැත්තයි. කැමැත්ත නිසාම ඇස, කන ආදී දොරවල් හය හරහා එන අරමුණු සමග පටිච්චවීම නිසා - ගැටීම නිසා සමුදය බිහිවේ. චක්‌ඛුං පටිච්ච රූපෙ උප්පඡ්ජති චක්‌ඛු විඤ්ඤාණං, පටිච්ච වීම නිසාම අභිච්ච තත්වයට පත්වේ. ඇසින් දුටු රූපය ප්‍රිය මනාප එකක්‌ නම් එය අල්ලා ගැනීමට තමාගේ කර ගැනීමට කැමැත්තක්‌ ඇතිවේ. එය අභිච්ච තත්වයයි. එසේ තමා තුළ ඇති වන දැඩි කැමැත්ත, ආශාව, නිසා අල්ලාගත් දේ උපාදානය කර ගත් දේ, නිච්ච කර ගැනීමට කටයුතු කිරීම සෑම පෘතග්ජන සිතකම ස්‌වභාවයයි.නිච්ච කර ගැනීම යනු දැඩි ආශාවෙන් අල්ලාගත් දෙය තම වසඟයෙහි රිසිසේ දිගටම පවත්වා ගැනීමට උත්සාහ කිරීමයි. ඉච්ච, පටිච්ච, අභිච්ච, නිච්ච, ඇස කන ආදී දොරවල් හරහා උපතේ සිට මරණය දක්‌වා මෙම ක්‍රියාවලිය සිදු වේ. තමන් කැමැත්තෙන්ම උපාදානය කර ගන්නා සියලුම සංඛත ධර්ම කැමති සේ රිසි සේ සුව සේ එක දිගට නොපවතින බැවින් එය අනිච්ච ලෙස දැක්‌වේ. ඉච්ච - අනිච්ච මෙය ලොව පවතින සදාතනික ධර්මතාවයයි. යම් දෙයක්‌ අනිච්ච නම් කැමති සේ නොපවතීනම් එය දුකට හේතුවයි. එය දුඛ්‍ය සත්‍ය පිළිබඳ අවබෝධයයි. යම් දෙයක්‌ අනිච්ච නම් දුක්‌ සහගත නම් එවැනි දේ තමාගේ කර ගැනීමට, තම වසඟයේ ස්‌ථිරව පවත්වා ගැනීමට නොහැකිය. දුක්‌ සහගත දේ තමාගේ කර ගැනීම නිසා තව තවත් දුකම උරුම කර ගනී. නිච්ච- අනිච්ච, සුඛ-දුක්‌ඛ ,අත්ත-අනන්ත, අත්ත යනු මමත්වයයි. තම වසඟයේ පවත්වාගත හැකි බවට ඝන සංඥාවෙන් ධුව සංඥාවෙන් ගැනීමයි.අනත්ත යනු එලෙස කිසිවක්‌ නොපවතින බවයි. එසේ ඝන සංඥාවෙන් ගැනීමෙන් තමා අසරණ අනාථභාවයටම පත්වේ.

ඛණ ඛය ‚ණ මාගධී බුද්ධ භාෂිතය අර්ථ ධර්ම නිරුක්‌ති අනුසාරයෙන් වටහා නොගැනීමත් ,තිලක්‌ඛණ අවස්‌ථා තුන අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ලෙස වැරදි සේ වටහා ගැනීමත් ඒ අනුව පොත පත රචනා කිරීමත් නිසා ප්‍රායෝගික නිවන් මග වැසී යටපත් වී ඇත. අනාත්ම යන වචනය බුදු දහමට කිසිසේත් ගැළපෙන වචනයක්‌ නොවේ. එය හින්දු ජෛන වැනි දේවවාදි ආගම් වල එන සංකල්පයකි. බුදුන් වහන්සේ ආත්මවාදය දැඩිලෙස ප්‍රතික්‌ෂේප කර ඇත. අත්ත යනු තමා පිළිබඳව අතිකරගත් දැඩි බවයි. මමත්වයයි. අස්‌මිමානයයි. අනත්ත යනු එය සැමදා එසේ ස්‌ථිරව නොවෙනස්‌ව නොපවතින බවයි. සදාතනික වූ විශ්ව ධර්මතාවයද එයයි. අනත්ත ලක්‌ඛණ සූත්‍රය අනාත්ම ලක්‌ෂණ සූත්‍රය ලෙස භාවිතා කරනුයේ ද ධර්මය පිළිබඳව පිරිසිදු අවබෝධයක්‌ නොමැතිකම නිසාය.

ඛණ සම්පත්තිය ලබා ධම්මානුධම්ම පටිපදාවේ නිවැරදිව යෙදීමට නම් අනිච්ච දුක්‌ඛ අනත්ත ධර්ම අර්ථයෙන්ම වටහා ගත යුතුයි. අනිත්‍ය යනු නියතව පැවති ස්‌වභාවයක්‌ යම් ධර්මතාවයක්‌ වෙනස්‌ වීමයි. අන්‍යතාභාවයට පත් වීමයි. අනිත්‍ය ස්‌වභාවය අන්‍යතාභාවය යන තත්වයන් සැප දුක යන අන්ත දෙක අතර දෙපැත්තට දෝලනය වන්නකි. දුක සැපක්‌ බවට පත් වීමත් සැප දුකක්‌ බවට පත් වීමත් යන තත්වයන් තුළ සිදු වනුයේ නිත්‍ය අනිත්‍ය ස්‌වභාවයත්, තථ - අන්‍යථාභාවය යන ස්‌වභාවයන්ය.

කිසියම් අසනීපයකින් පීඩාවිඳි අයෙක්‌ ප්‍රතිකාර ගැනීම නිසා නිත්‍ය වී තිබූ රෝගි තත්වය අනිත්‍ය ස්‌වභාවයට පත්වේ. එය සැප වේදනාවකි. රෝගි තත්වය එක දිගට නියතව නොපවතින නිසා එය අවසන් වී සැප වේදනාවක්‌ ලැබීම රෝගී තත්ත්වය අන්‍යථාභාවයට පත්වීමයි. මේ අයුරින්ම නිරෝගි අයෙකු රෝගි තත්වයට පත් වීමද නිත්‍යව පැවති සැප අනිත්‍ය ස්‌වභාවයට අන්‍යථාභාවයට පත් වීමයි. නිත්‍ය-අනිත්‍ය තථ - අන්‍යථාභාවය යන තත්වයන් දුක-සැප බවට පත් වීමත් සැප දුක බවට පත්වීමත් අතර සිදු වන මොහොතින් මොහොත වෙනස්‌ වන ක්‍රියා දාමයකි. මෙම ස්‌වභාවය අනුපස්‌සනා විපස්‌සනා කර්මස්‌ථාන ලෙස භාවිතා කළ නොහැක. නිත්‍ය-අනිත්‍ය වීම එක්‌ අවස්‌ථාවක සැපයකි. එයම තවත් අවස්‌ථාවක දුකකි.

තිලක්‌ඛණය පිළිබඳ දේශනාවේදී පැහැදිලිවම සඳහන් කළේ යද නිච්චං තං දුක්‌ඛං යං දුක්‌ඛං තදනත්තා යනුවෙනි. නිච්ච ලෙස ගන්නා සෑම දෙයක්‌ම නිසා දුක ඇතිවන බවත් ඒ නිසාම මමත්වයෙන් අස්‌මිමානයෙන් තම වසÍයේ කිසිවක්‌ පැවත්විය නොහැකි බවත්ය. මෙම ධර්මතාවය නිවරැදිව තේරුම් ගැනීමට ඉච්ච නිච්ච පිළිබඳව යථා පරිදි තේරුම්ගත යුතුය.ඉච්ච යනු කැමැත්තයි. ඉච්ච, පටිච්ච, අභිච්ච, නිච්ච, මරිච්ච. පාපිච්ච, උද්ධච්ච, විචිකිච්ච ආදී ලෙස ඉච්ච හෙවත් කැමැත්තෙහි ප්‍රභේද 11 පමණ ඇත. ඉච්ච පටිච්ච වීම නිසා අභිච්ච දැඩි කැමැත්තක්‌ ඇති වීමත් ඒ නිසාම එම අරමුණු නිච්ච කර ගැනීමට උත්සාහ කිරීම සෑම පුහුදුන් සිතකම ස්‌වභාවයයි. නමුත් එය එසේ එක දිගටම කැමති සේ රිසි සේ නොපවතින ස්‌වභාවය අවධාරණ ලෙසටම බුදු පියාණන් වහසන්සේ දේශනා කළේ නිච්චසේ ගන්නා සියලු දේ අනිච්ච වන බවයි. කැමති සේ සුව සේ නොපවතින බවයි. කැමති සේ සුවසේ නොපවතී නම් එය දුකකි. දුක්‌ සහගත නම් එය තම වසඟයේ පැවැත්වීමට වෙර දැරීම දුකට හේතුවයි. අනිච්චාවත සංඛාරා. සරීෙරී සංඛාරා අනිච්චාති, යද නිච්චං තං දුක්‌ඛං යනුවෙන් පෙන්වා වදාලේ මෙම සදාතනික ධර්මතාවයයි. ඉන්ද්‍රිය ආයතන වල ක්‍රියාවේ වේගය හඳුනාගෙන සමුදය බිහිවීමට පෙර අනිච්ච දුක්‌ඛ අනත්ත අනුපස්‌සනා කර අනුප්පාද ලෙසම සමුදය නිරෝධ කළ යුතුය. අනිත්‍ය දුක්‌ඛ අනාත්ම ලෙස ගත් විට නිවැරදිව අනුස්‌සති අනුපස්‌සනා විපස්‌සනා කළ නොහැකි බැවින් සමුදය නිරෝධ කළ නොහැකිය. ප්‍රිය දේට ඇලීම හා අප්‍රිය දේට ගැටීම නිසාම පටිච්චවීම සිදු වේ. අනිච්ච අනුපස්‌සනාකර තේරුම්ගත යුත්තේ පටිච්චවීම නවතා දැමීමයි. අනිච්ච දුක්‌ඛ අනත්ත අනුපස්‌සනා කර නිච්ච සුඛ අත්ත ප්‍රහානය කර නිරීබිදා විරාග නිරෝධා පටිනිස්‌සග්ගා යන තත්වයට පත්වීමට නම් රාග ද්වේශ මෝහ බැමි තුන කපා දැමිය යුතුය. ඒ සඳහා යොනිසෝමනසිකාරයෙන් යුතුවම තිලක්‌ඛණය අනුපස්‌සනා කළ යුතුය. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, අනෙඤ්ජාභි සංඛාර මෙන්ම කුසලමූල සංඛාර ගැනද යථා පරිදි තේරුම්ගත් තැතැත්තා කළ යුතුදේ මෙන්ම නොකළ යුතුදේ ද නිවැරදිව වටහාගත් අයෙකි. ප්‍රායෝගිකවම කුසලමූල සංඛාර වඩා යායුතු මග දැනගත් අයෙකි. නිවැරදි මග පෙන්වීම කර ලෝකයා අතරමන් නොකරන අයෙකි. තමන්ද මිදී අනුන්ද මුදා ලීමට සමත් අයෙකි.

ලෞකික පැවැත්ම කෙසේ හෝ දිගටම පවත්වාගෙන යාමට දරන සියලු උත්සාහයන් අනිච්ච බව දුක්‌ඛ බව අනත්ත බව නිවැරදිව ධර්ම අර්ථයෙන්ම පෙන්වා දිම ධර්මය දේශනා කරන පොතපත ලියන සියලු දෙනාගෙම වගකීම වනු ඇත. එය ලෝකෝත්තර කුසලයකි.




 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.