සංසාර පුරා ආ මරණ භය
ජාතක පොතෙන් - කුණ්‌ඩල ජාතකය

සුගත් වීරසූරිය

සැවැත්පුර අහසේ එතෙක්‌ පැවැති ඝන නීල වළාකුළු සැඳෑ කාලයේ හමා ආ සැඩ සුළඟත් සමග අතුරුදන්ව ගියේය. ඊළඟට ඒ ගුවන් ගැබ පුරා කාල වර්ණයෙන් යුතුව වැහි වළා පෙරහැර එක පෙළට සැදී පැතිරී සිටියේය. එමෙන්ම ඒ කළු වළාවන්ගේ අඳුරු සරින් මහ පොළොවේ වූ කඳු බිම්ද කළු විය. තැනිතලාවෝද කළු වූහ. වන පෙත් හා ගහවැල් මල්දහරියට දැලි අඟුරු ගෑ කලෙක මෙන් වී. කොතැනකත් තිබුණේ කළුවරය. හැම තැනම තිබුණේ පාළුවය. එක්‌ වරම ගුවන් ගැබ කඳුළු සලා ඉකිබිඳ හැඬුවේය. ඒ සීතල කඳුළු දිය දහරින් ඡේතවනාරාමයේ තුරුලිය හා මල් ගොමු තෙමිණ. නොනිමි සිසිලසද එහි හැම අහුමුළු අරා ඉතිරී පැතිරී ගියේය.

නන්දෙසින් ඇදී ආ උවසු උවැසියන්ගෙන් ඡේතවනාරාමය පිරී ඉතිරී ඇත. සවනක්‌ ඝන බුදු රැසින් බබලන තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්‌ඩපයෙහි වැඩ හිඳිති. ඒ මුනිඳු මුව මඬලින් ගලා හැලී යන සදහම් අමා දියෙන් තෙමී ගන්නා පිනැතියෝ පිළිවෙලින් සෝවාන් ආදී කොටගත් මගඵලවලට පැමිණෙති. සෙස්‌සන් ඔහේ බලා සිටිනවා නොවේද? එනමුදු මුළු මහත් විශ්ව තලයෙහිම ඇති අසිරිමත්ම රුව වූ කාරුණික බුදුහාමුදුරුවන්ගේ රූපය දැකීමෙන් ඔවුන්ගේ සිත්වලට නම් දැනෙන නිරාමිස සොම්නසෙහි අඩුවක්‌ නොවීය. බුදුරජාණන් වහන්සේ මේ දුරාතීත බණ කතා පුවත සදෙසා වදාරන්නේ එක්‌තරා භික්‌ෂුවක්‌ මුල්කරගෙනය. මීට හෝරා ගණනාවකට පෙරදී ඒ භික්‌ෂුව තුළ මරණ භයක්‌ පැන නැගිණි. ඒ උන්වහන්සේට කිසියම් පක්‌ෂියකුගේ භයංකාර හඬක්‌ අසන්නට ලැබීමෙනි. මේ පුවත ඡේතවනාරාමයේ වැඩ විසූ අනෙකුත් භික්‌ෂුන් වහන්සේලාගේද කතාබහට ලක්‌විය. අන්තිමට එය බුදුරජාණන් වහන්සේට ද අසන්නට ලැබිණි. මහණෙනි, මේ භික්‌ෂුව දැන් නොවෙයි පෙරත් මෙසේම මරණ භයෙන් යුතු වූවේ නොවේ දැයි එහිදී ඉකුත්වත් වදාළ බුදුරජාණන් වහන්සේ මේ ජාතක සදෙසුම දේශනා කරන්නට වූහ.

එය පුරාතන බරණැස්‌ නුවර පැවැති කාලයයි. මහ බෝසතාණන් වහන්සේ ඊරියකගේ කුස පිළිසිඳ ගෙන සිටියහ. කාලයේ මහ ගඟ හෙමි හෙමින් ගලා බසිද්දී නිතියෙන් මල් වැසි වහින මිහිරි වසන්තයක උන්වහන්සේ හුරුබුහුටි මෙන්ම දැකුම්කලු වූද, ඌරු පැටවෙක්‌ව මෙලොව එළිය දුටුවේය. ඉන්පසු තවත් කාලයක්‌ ගතවෙද්දී මේ සොඳුරු බෝසත් ඌරු පැටවාට තවත් පුංචි සොහොයුරෙක්‌ ලැබුණේය. දිනක්‌ මව් ඊරිය මේ පුංචි පැටවුන් දෙන්නාව තුරුල්කරගෙන හුරතල් කරමින් සිටියාය. ඒ අතරතුර තම කපු හේනට ගොස්‌ එන අතරතුරදී එක්‌ මැහැල්ලක්‌ මෙතැනට ආවාය. මැහැල්ලගෙ ස්‌වරූපය දුටු මව් ඊරිය තුළ එක්‌වරම මහත්වූ මරණ භයක්‌ හටගත්තේය. මැහැල්ල ආවේ තමා මරා දමන්නටැයි මේ අහිංසක තිරශ්චීන සත්වයාගේ සිතට දැනිණි. එයින් ඇයගේ ඇඟ ලොමු ඩැහැගන්විණි. කරන්නට වෙනත් කිසිවක්‌ද නොවීය. ඇය තම පණමෙන් රකිමින් සිටි පැටවුන් දෙදෙනාද හැර දමා අඳුරු බැද්දට පැන දිව්වාය. මැහැල්ලට ඌරු පැටවුන් දෙදෙනා ගැන දුක හිතිණි. ඈ පැටවුන් දෙදෙනා සිය පැල්පතට රැගෙන ගියාය. ඒ තුළ අසීමිත ආදරයෙන් ඌරු පැටවුන් දරු තනතුරෙහි තබා ඇති දැඩි කළ මැහැල්ල ලොකු උරු පැටවාට මහා තුණ්‌ඩිල යෑයි නම් තැබුවාය. කුඩා ඌරු පැටවාට චුල්ල තුණ්‌ඩිල යෑයි කීවාය.

එය ද කාලයේ ගඟ ලොව අභිමුවේ තබාලූ තවත් එක්‌ දවසක්‌ වීය. උදැහැනැක්‌කේ පටන් මුළු දවස තිස්‌සේම තිබුණේ අඳුරකි. හවස්‌ වෙද්දි ඒ අඳුර තවත් දැඩිවිය. අහසද මහ ඝන අඳුරු වළා වියනකින් වැසී යද්දී රන්තරු එළියෙන් ඒ වියන නම් සිදුරු විය. රා බීමට තදින් ඇබ්බැහි වූ රා සොඬුන් පිරිසක්‌ මහත් කණස්‌සලු බවකින් පසු වූයේ මේ අතරය. ඒ හොඳ හැටි රා බීමෙන් පසුව කන්නට හොඳ මසක්‌ නොලැබීම නිසාය. ඔවුහු මස්‌ ඇත්තේ කොහේදැයි කල්පනා කළහ. එහෙත් එබඳු තැනක්‌ ඔවුන්ගේ කල්පනාවට ආවේ නැත. ඒත් එක්‌කම එක විටම ඔවුන්ගේ මතකයට ආවේ නුදුරු පැල්පතෙහි ජීවත්වූ මැහැල්ලය.

ඇය ළඟ ඇති දැඩිවෙමින් සිටි ඌරු පැටවුන් ගැන මතක්‌ වෙනවිට මසට කෑදරවූ ඔවුන්ගේ කටවලට කෙලද ඉනුවේය. තවත් මොහොතක්‌වත් ගතවෙන්නට ඉඩ තැබුවේ නැත. ඔවුහු එසැණින්ම මැහැල්ල වෙත ගියහ. ගොස්‌ මිලක්‌ සඳහන් කොට එක්‌ ඌරු පැටවකු හෝ දෙන්නැයි ඉල්ලා සිටියහ. එතෙකුදු වුවත් තම දරුවන් සේ ඇති දැඩි කළ ඌරන් දෙන්නට මැහැල්ල කොහෙත්ම කැමතිවූයේ නැත. එසේ වුවත් රා බද්දොa ලෙහෙසියෙන් පරාජය බාරගන්නට අකමැති වූහ. අන්තිමේදී ඔවුහු මැහැල්ලට උපායෙන් රා පෙවූහ. ඉන්පසු ඌරකු ඉල්ලීය. එවිට මැහැල්ල කුඩා තුණ්‌ඩිල නම්වූ ඌරු පැටවා දෙමියි ඔවුන්ට පොරොන්දු වූවාය. ඒත් එක්‌කම ඒ ඌරු පැටවාට ඈ හඬගසන්නටද වූවාය. එවිට කුඩා තුණ්‌ඩිල එහි ගියේය. ඒ යනවිට ඌට දක්‌නට ලැබුණේ රා සොඬුන් තම මැහැලි මව වටකොටගෙන සිටින අයුරුය. ඒ දසුනෙන් කුඩා තුණ්‌ඩිල හොඳට බය වුණේය. බියවී තම බෝසත් සොයුරා වෙත දිව ගියේය.

සොහොයුරාණෙනි, සොයුරාණෙනි, රා සොඬුන් පිරිසක්‌ මෑණියන් වටකොටගෙන සිටිනවා. ඔවුන් අසල කිසිදු වෑංජනයක්‌ නැතිමුත් බත් ඔරුවක්‌ තිබෙනවා. අනේ සොහොයුර මට නම් මහා ලොකු මරණ භයක්‌ දැනෙනවා' යි කුඩා තුණ්‌ඩිල සොයුරු බෝසත් මහා තුණ්‌ඩිල අභියස හඬා වැටුණේය. ඒ ඇසීමෙන් මහා තුණ්‌ඩිල තුළ අමුතු හැඟීමක්‌ ඇති නොවුණේය.

මළණුවෙනි, එපා හඬන්න. කුමකට හඬන්නද? ජීවිතය ගෙවීයන තෙක්‌ හඬා වැළපුණේ යෑයි කියා පලක්‌ තිබෙනවාද? අප වැනි සතුන් ඇතිකරන්නේ මරා දමන්නටම තමයි. ඉදින් කවදා නමුත් මිනිසුන්ට අවශ්‍ය වූ තැනෙකදී ඔවුන් අප මරා දමනවා' යි මහා තුණ්‌ඩිල මහත්වූ ශෝකයකින් යුතුව පිළිවදන් දුන්නේය.

මහා තුණ්‌ඩිලගේ මේ කම්පිත වදන් බරණැස රජ ඇතුළු වැසියනටද දැනගන්නට ලැබුණේය. ඔවුහු ඌරන් සිටින මහ බැද්ද වටකරන්නට වූහ. මේ අතරතුර බෝසත් මහා තුණ්‌ඩිල කුඩා තුණ්‌ඩිලට අවවාද කළේ ඉක්‌මනින් පිරිසිදු පැන් නා ඇඟ පත කුණු සෝදා ගන්නා ලෙසය. එය කුඩා තුණ්‌ඩිලට ප්‍රශ්නයක්‌ වී. සදාකාලිකවම අපිරිසිදුව සිටි ඌරන් මෙසේ පවිත්‍ර වන්නේ කුමකටදැයි හේ බෝසත් සොයුරාගෙන් ඇසුවේය. සොයුර මා කී දේ ඔබට තේරුණේ නැහැ තමයි. මා කීවේ අකුසල් කුණුහැර කුසල් දියෙන් සේදී පවිත්‍රවන්න කියා'යි මහා තුණ්‌ඩිල කීවේය. ඉදින් මලන්ඩ, යමෙක්‌ අකුසලයෙන් සතුටුවේ නම් ඔහු කරා දුකම ලුහුබඳින්නේය. කුසලය කර සතුටුවීමෙන් දෙලොව සුව සහන ලැබෙන්නේය. එසේ හෙයින් අකුසලය සිදුකර සතුටුවන්නවුනට මරණාසන්නයේ පමණක්‌ නොව අනෙක්‌ හැම වෙලාවදීත් මහා භයම පැමිණෙන්නේය.

බැද්ද වටකොට සැඟවී සිටි බරණැස්‌ මහ රජතුමාට බෝසත් තුණ්‌ඩිලගේ බුද්ධි විලාශගත මේ අවවාද ඇසිණි. එයින් ඔහුගේ හදවත උනුවිය. එය සැදැහැදියෙන් පිරී ඉතිරී දෙනෙතට කඳුළුද නැංවීය. රජතුමා ඌරු පැටවුන් වෙත ළංවී ආදරයෙන් හිස්‌ අතගා කතාද කළේය. ඉනික්‌බිති සුදු රෙදි කඩක්‌ ගෙන්වා බෝසත් ඌරු පැටවාට හැඳවීය. ඉන්පසු බරණැස්‌ නුවර රජමැදුරට ඌරු මළණුවන්ද සමග කැටුව ගියේය. එහිදී රජුගේ දිවි ඇති තෙක්‌ම ඔවුන්ට අප්‍රමාණ සුව සහන ලැබිණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.