මෙන්න අපාය

පින්වතුනි, අපි විස්‌තර කරන්න යන්නේ, සිත දූෂිත කරගෙන සිදු කරනු ලබන කුඩා අකුසලයෙන් නමුදු ගෙන දෙන විපාකයන් අතිශයින් ඝෝර වූ කටුක වූ අමිහිරි වූ දුක්‌ විපාකයන් බව ය. වැරදි කරන අය මැරී ගොස්‌ උපදින දුක්‌ වැඩිම සැප අඩුම තැන සතර අපාය ලෙස හඳුන්වයි. නරකය, තිරිසන් යෝනිය, අසුර නිකාය, ප්‍රේත ලෝකය අපාය භූමි සතර වේ.

අප මේ සංසාරයේ දී සතර අපාවලට වැටී විඳි දුක්‌ ප්‍රමාණය සිතා නිම කිරීමටවත් නො හැකි තරම් ය. කෙනෙකු කොහේ ගියත් තමන් ගේ ම නිවසට ම ආපසු එන්නාක්‌ මෙන්, තමන් ගේ ම නිවසේ ම නිතර වාසය කරන්නාක්‌ මෙන්, ලෝක සත්වයා නිතරම යන්නේ අපායට ම ය. අපාය ලෝක සත්වයාගේ නිවහන බඳු ය. සත්වයා ඒ අපාවල විඳි දුක්‌ අනන්ත අප්‍රමාණ වේ. වරක්‌ අපායට වැටුණොත් ගොඩ එන්නේ බොහෝ කාලයකට පසුව ය. පළමුවෙන්ම ඇති සංජීsව නරකයේ මිනිස්‌ ලොව අවුරුදු නව ලක්‌ෂයක්‌ එහි එක්‌ දවසකි. එවැනි දින 30ක්‌ මාසයකි. එවැනි මාස 12ක්‌ අවුරුද්දකි. ඒ අනුව මිනිස්‌ ලොව අවුරුදු ලක්‌ෂයේ ඒවා 3240 ක්‌ සංජීව නරකයේ අවුරුද්දකි. එවැනි අවුරුදු 500 ක්‌ එහි ආයු කාලය වේ. මේ මිනිස්‌ ලොව අවුරුදු වලින් කියනවා නම් එහි ආයුෂ අවුරුදු ලක්‌ෂයේ ඒවා 1,620,000 කි (900,000,30,12,500).

සංජීව නරකයට යටින් ඇති නරකවල ආයු කාලය ඊටත් වඩා එන්න එන්න ම වැඩිවේ. දෙවැනි කාලසූත්‍ර නරකයේ මෙහි අවුරුදු තිස්‌හය ලක්‌ෂයක්‌ එහි එක දවසකි. එවැනි අවුරුදු 1000ක්‌ එහි ආයුෂ කාලය වේ. මෙසේ ක්‍රමයෙන් යට යට ඇති නරකවල ආයු කාලය වැඩි වේ. අවීචියේ ආයුෂය කල්පයකි. එහි ආයු කාලය මෙහි අවුරුදුවලින් දැක්‌වීමට නො හැකි ය. යොදුන් 84,000ක්‌ දිග, පළල, උස ඇති මහාමේරු පර්වතය දිනකට එක්‌වර බැගින් රෙදි කඩකින් පිස දමමින් ගිය විට මහාමේරු පර්වතය ගෙවී ගියත්, අවීචියේ ඇති ආයු කාලය ගෙවෙන්නේ නැත. මේ තරම් අති දීර්ඝ කාලයක්‌ අපායේ වැටී අපායේ ගිනිවලින් දැවෙමින්, ලෝහ ගුලි

ගිලිමින් විඳීමට සිදුවන, දුක්‌ හා වෙනත් කිව නො හැකි තරම් වූ අපා දුක්‌ වලින් මුදාලන ප්‍රතිපත්ති මාර්ගයක්‌ දේශනා කළ ඒ බුදුපියාණන් වහන්සේට එම ප්‍රතිපත්ති පූරණය කරමින් ප්‍රතිපත්ති පූජාවෙන් කොතෙක්‌ නම් පූජා කළ යුතු වන්නේ ද? ප්‍රධාන නිරයන් 08 ක්‌ තිබෙන අතර එම සෑම නිරයකටම ඔසුපත් නිරයන් 16 බැගින් ඇත. එවිට මුළු නිරයන් ගණන 136කි. කූඩා නරකයෝ සතර වර්ගයකි. ගූථ නරකය, අසිපත්‍ර වන නරකය, කුක්‌කුල නරකය, සිම්බලී වන නරකයි.

අටමහ නිරය

1. සංජීව නරකය - යම පල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දීත් ඒ සත්වයන් කර්ම බලයෙන් නැවත ජීවත් වන බැවින් ඒ නිරය සංïවය නම් වේ. අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අනුන් හා කෝළාහල කළෝ ද, දුබලයන් පෙලූ රජවරු හා නිලධාරීහු ද මැරයෝ ද සතුන් මරන්නෝ ද මෙහි උපදින්නා හ.

2. කාලසූත්‍ර නරකය - මෙහි උපන් සත්වයන් ගිනියම් වූ යම පොළොවේ පෙරළා, දැලිනූල් ගසා සහින්නා වූ බැවින් කාලසුත්‍ර නරකය නම් වේ. මාපියන්ට හා මිතුරන්ට ද ගුණවත් මහණ බමුණන්ට ද අපරාධ කළවුන් එහි දුක්‌ විඳින්නා හ.

3. සංඝාත නරකය - මේ නිරයේ සත්වයන් නව යොදුන් ඝනකම පොළොවෙ හි එරී නිශ්චලව සිටිති. එහි අහස ගුඟුරන්නාක්‌ මෙන් මහ හඬ නංවමින් එරී සිටින නිරි සතුන් අඹරමින් පර්වතයෝ ඒ මේ අත පෙරළෙති. ඒවාට යට වී සත්වයෝ සුණු විසුණු වෙති. ඇත්, අස්‌, ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ කරන්නෝ ද සතුන් මැරුවෝ ද එහි උපදිති.

4. රෞරව නරකය - මේ නිරයෙහි සත්වයන්ගේ ශරීර තුළට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක්‌ ඇත්තේ ය. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬනු ලබන නිරි සතුන් ගේ හඬ නිරතුරුව එහි ඇසෙන බැවින් එම නරකයට රෞරව නරකය යෑ යි කියනු ලැබේ.

5. මහා රෞරව නරකය - අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන් ගේ නිරන්තරයෙන් පවත්නා මහ හඬ ඇති නිසා ද නිරි සතුන් ගේ ශරීර වලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසා ද ඒ නරකය මහා රෞරව නම් වේ. තුණුරුවනට අයත් වූ ද මාපියනට අයත් වූ ද වස්‌තුව පැහැර ගන්නෝ ද විනාශ කළ අය එහි උපදිති.

6. තාප නරකය - මේ නිරයේ යම පල්ලන් විසින් ගිනියම් වූ පොළොවෙහි ගිනියම් වූ යහුල්වල අමුණන ලද සත්වයෝ ගින්නෙන් දැවෙමින් දුක්‌ විඳිති. සතුන් පණ පිටින් දවා මැරුවෝ ද අනුන් ගේ ගෙවල් ගිනි තැබුවෝ ද එහි උපදිති.

7. ප්‍රතාප නරකය - මෙහි ද තාප නරකයෙහි නිරි සතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක්‌ සත්වයෝ පැසෙති. මරණින් මතු ඉපදීමක්‌ නැතැයි කියා මිත්‍යා දෘෂ්ටි

ගෙන පව්කම් කළ අය එහි උපදිති.

8. අවීචි මහ නරකය - මේ නරකයෙහි එක්‌ බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්‌වා ගමන් කරන්නේ ය. පොළොවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන්පත දක්‌වා ද උඩ පියන් පතින් නික්‌මෙන ගිනි ජාලාව පොළොව දක්‌වා ද

ගමන් කරන්නේ ය. සත්වයෝ නිතරම එම සදිසාවෙන් ම එන ගිනිදැල් වලින් වෙලී දැවෙන්නා හ. අතරක්‌ නැතිව එහි සත්වයෝ වෙසෙති. ගිනිදැල් වලින් හා දුක්‌ වලින් ද සත්වයන්ගෙන් ද අතරක්‌ නැති බැවින් ඒ නරකය අවීචිය නම් වේ.

මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම , සංඝ භේදය, බුදුන් ගේ ඇඟේ ලේ සෙළවීම, යන පංචානත්තරීය කර්ම කළවුන් ද, බෝසතාණන් වහන්සේලා ගේ ජීවිත නැසුවෝ ද, ගුණවතුන් ගේ ජීවිත නැසුවෝ ද, චෛත්‍යය බිඳින්නෝ ද, බෝ ගස්‌ විනාශ කළවුන් ද, රත්නත්ත්‍රයට අයත් වස්‌තුව පැහැර ගන්නාවුන් ද, මිත්‍ර ෙද්‍රdaහීහු ද, භාර්යාවන්ට අපරාධ කළෝ ද, බොරු කීවෝ ද, සුරාපානය කළවුන් ද, මිසදිටු ගැත්තෝ ද එහි උපදිති.

පූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන්ගේ බෞද්ධයා ගේ අත්පොත නම් ග්‍රන්ථය ඇසුරෙනි
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.