ලස්‌සන වීමේ සුන්දර රහස

පූජ්‍ය නාවලපිටියේ අරියවංශ හිමි

අපි කවුරුත් කැමැති වෙන්ට ඕනෑ සතුටින් වාසය කරන අය බවට පත්වෙන්න. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අකාරයට අපි කල්පනා කළොත් අපිට ඒ සතුට උපදව ගන්ට, ප්‍රීති ප්‍රමෝදය උපදව ගන්ට පුළුවන්කම ලැබෙනව. දවසක්‌ දෙවි කෙනෙක්‌ භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්ට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරල මේ විදිහට අසා සිටියා, "ආරණ්‍යයේ වාසය කරමින් උදේ වරුවේ විතරක්‌ දන් වළඳන, පඬු පොවපු රළු සිවුරු පොරවන, අඩු පහසුකම් යටතේ ජීවත් වෙන, මේ බ්‍රහ්මචාරීන් වහන්සේලාගේ හැඩරුව මෙච්චර ලස්‌සන මොකද?" කියල.

බලන්න ඒ දෙවියන්ට හරි පුදුමයි. මොකද දෙවියන් අතිශය කාමභෝගී ජීවිත ගතකරන අය. ඒ නිසා කම්සැප විඳින අය ගැනත් දන්නව. කම් සැපවල ස්‌වභාවයත් දන්නව. දැන් සාමාන්‍ය ලෝකෙ අය සිතන්නේ කාමභෝගී ජීවිත ගතකරන අය තමයි ලස්‌සන කියල. නමුත් ස්‌වාමීන් වහන්සේලා කම්සැප විඳින්නෙ නෑ. ඒ වුණාට ප්‍රියමනාපව වාසය කරනව. ඒ නිසයි මේ දෙවියන්ට පුදුම. "ආරණ්‍යයක වාසය කරමින්, උදේ වරුවේ විතරක්‌ දානෙ වළඳන්නෙ, ලස්‌සන ඇඳුම් අඳින්නෙත් නෑ, මේ වගේ රළු ජීවිතයක්‌ තමයි මේ ගොල්ලො ගත කරන්නෙ. එහෙම තිබෙද්දී වුණත් මේ අය මේ තරම් ලස්‌සන මොකද?" කියල.

ඊට පස්‌සෙ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට පිළිතුරු දුන්න. "උන්වහන්සේලා අතීතය ගැන ශෝක කරන්නේ නෑ. අනාගතය ගැන ආශාවෙන් පතන්නෙත් නෑ. වර්තමානයේ ලැබෙන දේකින් යෑපෙනව. ඒ නිසයි. උන්වහන්සේලා සතුටින් ඉන්නෙ" කියල. එතකොට බලන්න අපිට ඒකෙන් ලැබෙන පණිවුඩය මොකක්‌ද? ඒ කියන්නෙ කාමභෝගී ජීවිතයක්‌ ගත කරන්ට බැරිවුණත් කෙනෙකුට සතුටින් ලස්‌සනට ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් කෙනෙක්‌ කාමභෝගී ජීවිතයක්‌ ගතකළා වුණත්, එයාට සතුටින් සුන්දර ජීවිතයක්‌ ගත කරන්ට පුළුවන්කම ලැබෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සෙ පෙන්වා දෙනව "යමෙක්‌ අතීතය ගැන හිත හිතා පසුතැවෙනව නම්, අනාගතය ගැන ප්‍රාර්ථනා කර කර ඉන්නව නම් එයා හරියට අව්වේ දමපු ලා උණ බට වගේ. ඒ අය හැකිළිලා යනව. දුර්වර්ණ වෙලා යනව. අප්‍රසන්න ස්‌වභාවයකට පත්වෙනව" කියල. එතකොට අව්වෙ දමපු ලා උණ බට වගේ හැකිළිලා යන්නෙ කොයි වගේ අයද? යම් කෙනෙක්‌ අතීතය ගැන පසුතැවෙනව නම්, අනාගතය ගැන ප්‍රාර්ථනය කර කර ඉන්නව නම් අන්න ඒ අය තමයි ඒ විදිහට වේළිලා යන්නෙ. ඒ වගේ අය බාහිරට ලස්‌සනත් නෑ. නමුත් යමෙක්‌ අතීතය ගැන හිත හිතා පසුතැවෙන්නෙ නැත්නම්, අනාගතයෙ ප්‍රාර්ථනා කරන්නෙත් නැත්නම් වර්තමානයෙ ලැබුණ දේකින් යෑපෙනව නම් අන්න ඒ අයගෙ අභ්‍යන්තරයත් සුන්දරයි, බාහිර පෙනුමත් සුන්දරයි, ප්‍රියමනාපයි.

එහෙම නම් අපේ ජීවිතත් අසුන්දර නම් දුටුවන් පහදින්නෙ නැත්නම්, වේළිච්ච ලා උණ බට වගේ නම් ඒකට වෙන හේතුවක්‌ තියෙනවද? නෑ නේද? එහෙනම් තියෙන්ට පුළුවන් හේතුව මොකක්‌ද? අතීතය ගැන හිත හිතා පසු තැවෙනව. අනාගතය ගැන ප්‍රාර්ථනා කරනව. වර්තමානෙ ලැබුණ දෙයකින් සෑහීමට පත්වෙන්ට අපිට බැරිවෙලා තියෙනව. අතීතයෙ මට මේ දේ තිබුණ. නමුත් දැන් නෑ" කියන අහිමි වෙච්ච අතීතය ගැන පසු තැවෙනව. මේ තියෙන දේට වඩා වෙනත් දෙයක්‌ අනාගතයේ ලැබේවා කියල පතනව. එතකොට අහිමි වෙච්ච අතීතය ගැන පසුතැවෙනව. හිමි නොවන අනාගතය ගැන ප්‍රාර්ථනය කරනව. අනේ මේ දේ ලැබේවා මෙහෙම වේවා කියල පතනව. එතකොට එයාට මොකද වෙන්නෙ? එයාගෙ හිත දුර්වල බවට පත්වෙනව. හිත දුර්වල වුණහම හිතේ ප්‍රබෝධය නැතිවෙලා යනව. හිතේ ප්‍රබෝධය නැතිවුණහම ඉන්ද්‍රියයන් අප්‍රසන්න වෙනව. එතකොට බාහිරට සුන්දර පෙනුමක්‌ එයාගෙන් ඇති වෙන්නෙ නෑ.

එහෙනම් අපි ප්‍රසන්න වූ ස්‌වභාවයක්‌ ඇති අය බවට පත්වෙන්ට මොකක්‌ද කළ යුත්තේ? අතීතය ගැන හිත හිතා පසුතැවෙන එක බැහැර කරන්ට ඕනෑ. ඒ වගේම අනාගතය ගැන ප්‍රාර්ථනා කර කර පසු තැවෙන එකත් බැහැර කරන්ට ඕනෑ. වර්තමානයේ ලැබෙන දෙයින් අපි සෑහීමකට පත්වෙන්ටත් ඕනෑ. බලන්න අතීතයේ අපිට වෙච්ච දේවල්. සමහර විට අඬල ඇති කෙළවරක්‌ නැතුව, සතුටුවෙලා ඇති කෙළවරක්‌ නැතිව, හිනාවෙලා ඇති, විහිළු කරල ඇති, කන බොන දේවල්වලින් සතුටුවෙලා ඇති, ඇඳුම් පැළඳුම්වලින් සතුටුවෙලා ඇති, සෙල්ලම් කරල විනෝද ගමන් ගිහිල්ල සතුටුවෙලා ඇති. ඒ විදිහට අතීතය දිහා හැරිල බලන්න එහෙම දේවල් කොච්චර තියෙනවද කියල. යම් යම් වස්‌තූන්වලින් සතුටු වෙන්ට ඇති. සැලකිලි සම්මානවලින් සතුටු වෙන්ට ඇති. ලොකු පිළිගැනීම් තියෙන්ට ඇති. ඒවයින් සතුටු වුණ අතීතයක්‌ තියෙන්නට ඇති. ඒ වගේම දුක්‌ දොම්නස්‌ පීඩා සුසුම් හෙළීම් ඒවත් තියෙන්නට ඇති.

ඒ අතීත දේවල් මුකුත් දැන් තියෙනවද? පුංචි කාලෙ සෙල්ලම් කරල සතුටු වුණා. දැන් ඒව තියෙනවද? පාසල් යන කාලෙ අලුත් යාළුවො මුණ ගැහුණ. අලුත් දේ දැනගත්ත. සතුටු වුණා. දැන් ඒව තියෙනවද? වැඩිහිටි ළමයි වුණහම අලුත් යාළුවො මුණගැහුණ. අලුතින් දැනුම ලැබුණ. ඒ හැම දේකින්ම සතුටු වුණා. සමහර විට ඇඬුව වැළපුණා. දැන් ඒව තියෙනව? දැන් ඒව මුකුත් නෑ. හොඳට බලන්න ඒ සියලු දේ නැසිල ගියා නේද? කියල. ඒ ඔක්‌කොම නැතිවෙලා ගියා. නමුත් අපි ඒව නැතිවෙලා ගියා කියල නුවණින් කල්පනා කරන්නෙ නෑනෙ. ඒ අතීත සිහින ලෝකවල වාසය කරන අවස්‌ථා ඔබ තුළ තිබෙනවද නැද්ද? නමුත් හොඳට සිහිය උපදවගෙන බලන්න ඒ අතීතය නැසිල ඉවරයි. ඒකෙ සිහිනයක්‌ විතරයි දැන් තියෙන්නෙ. සමහර දේවල්වල සිහිනයක්‌ වත් නෑ. ඒ විදිහට නැසිල ඉවරයි. අතීතයෙ නැසුණ දේවල් විදිහට නුවණින් කල්පනා කරල තේරුම් අරගෙන ඒක අතහැරල දාන්න.

අතීතයෙ තිබුණ හැම දෙයක්‌ම නැසිල ඉවරයි. ඒක තමයි සංස්‌කාරවල ස්‌වභාවය. සංස්‌කාරවල ස්‌වභාවය තමයි හට ගැනීමක්‌ තියෙනවා. පවතින කාලය තුළ වෙනස්‌වීමක්‌ තියෙනවා. ඒ වගේම නැසිල යනව කියන එක. යම් කෙනෙක්‌ ඒ සංස්‌කාරවල ස්‌වභාවය තේරුම් ගත්තොත් හටගෙන නැසෙන දේවල් ප්‍රාර්ථනා කරයිද? සංස්‌කාර නැසෙනවා කියල යමෙක්‌ තේරුම් ගත්තොත් ඒ නැසෙන ස්‌වභාවය යුක්‌ත දේ ගැන ප්‍රාර්ථනා එයාගෙ හිතේ ඇති වෙන්නෙ නෑ. අතීතයෙ මුණගැහුණ හැම දෙයක්‌ම අපිට අහිමිවෙලා ගියා. අතීතයෙ මහා ලාභ විදිහට අපිට මුණගැහුණ දේවල් අපි අඬද්දි වැළපෙද්දී අපිට අහිමිවෙලා ගියා. අපි ඇඬුව කියල ආයෙ ඒ දේ අපිට හිමි වුණේ නෑ. එහෙනම් ඒ අතීතය උදෙසා අඬන වැළපෙන එක අර්ථයක්‌ නෑ. අතීතය ගැන හිත හිතා පසුතැවෙන එක අර්ථයක්‌ නෑ. අතීතය නැසිල ඉවරයි. ඒ නිසා අපි සංස්‌කාරවල ඒ ස්‌වභාවය තේරුම් ගන්ට මහන්සි වෙන්ට ඕනෑ. අන්න එතකොට අපි ඒ අනාගතයෙ ප්‍රාර්ථනා කරන්නෙ නෑ. ඒ වගේම වර්තමානෙ ලැබෙන දෙයින් අපි සෑහීමකට පත්වෙනව. ඒවත් සංස්‌කාර. ඒවත් නැසිල යන දේවල් කියල එතකොට අපිට වැටහීමක්‌ තියෙනව. ඒ නිසා ඒ විදිහට කල්පනා කරන්ට පුරුදු වෙන්න.

එහෙනම් කාමභෝගී ජීවිතය, කම්සැප විඳීම, ලස්‌සන වීමට හේතුවක්‌ නෙවෙයි. කම්සැප අත්හැරීමත්, අවලස්‌සන වෙන්ට හේතුවකුත් නෙවෙයි. මේ ලෝකේ බොහෝ දෙනෙක්‌ හිතන්නෙ කම්සැප අත්හැරපුවාම අවලස්‌සන වෙයි කියල, ප්‍රීති ප්‍රමෝදය නැතිවෙයි කියල. ඒ නිසා කම් සැපය ම පතනව. ඒකෙන් තමයි ලස්‌සන වෙන්නෙ. ඒකෙන් තමයි සතුටු වෙන්නට පුළුවන් වෙන්නේ කියල ඒ මත්තෙම නැහෙනව. නමුත් භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන මේ ධර්මය දිහා බලපුවාම අපිට පේනවා. කම් සැප මගින් නොවෙයි ප්‍රීති ප්‍රමෝදය ඇති වෙන්නෙ කියල.

යම් කෙනෙක්‌ අතීතය ගැන ශෝක කරන්නේ නැත්නම්, අනාගතය ගැන ආශාවෙන් පත පතා ඉන්නෙත් නැත්නම්. වර්තමානයේ ලැබෙන දේකින් යෑපෙන්නට එයාට පුළුවන් නම්, අන්න එයා ශෝක කරන්නෙ නෑ. එයා ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කරන කෙනෙක්‌. එයා ලස්‌සනයි.

ඒ නිසා ප්‍රසන්නව, ප්‍රබෝධයෙන් වාසය කරන්නට කැමැති කෙනා, අතීතය ගැන හිත හිතා තැවෙන එක අත්හරින්ට ඕනෑ. අනාගතය ගැන පත පතා ඉන්න එක අත්හරින්ට ඕනෑ. වර්තමානයේ ලැබෙන්නේ යමක්‌ද ආන්න ඒකෙන් සෑහීමකට පත්වෙමින් වාසය කරන්ට පුරුදු වෙන්ට ඕනෑ. ඒ ආකාරයෙන් සුවසේ වාසය කරන කෙනා ඉතා දැකුම්කලුයි. එයා ඉතා සුන්දර කෙනෙක්‌ බවට පත්වෙනව. එයා කම්සැප නෑ කියල අවලස්‌සන කෙනෙක්‌ වෙන්නෙ නෑ. නමුත් කම්සැප කොච්චර වින්දත් අතීතය ගැන හිතල පසුතැවෙනව නම්, අනාගතය ගැන හිතල ශෝක කරනව නම්, ප්‍රාර්ථනා කරනව නම්, එයාට ලස්‌සන කෙනෙක්‌ වෙන්ට බෑ. ඔබ සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා පසු නොතැවෙන ජීවිතයක්‌ ඇති කරගන්නට වාසනාව උදාවේවා කියල.

තෙරුවන් සරණයි!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.