ලෝකය හා ලෝකයෙන් මිදීම

ශාස්‌ත්‍රපති
පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

ලෝකය යන ව්‍යවහාරය වහරණු ලබන්නේ පංෙච්න්ද්‍රියන්ට ගෝචරවන ද්‍රව්‍ය වස්‌තූන්ගෙන් සුසැදි භෞතික ලෝකයටය. භෞතික විද්‍යානුකූල ඉගැන්වීම් අනුව ලෝකය භූගෝලීය සාධක අනුව දැනුමක්‌ ඇත. එසේම භෞතික ලෝකය අපට වඩාත් සමීප නිසාම ලෝකය යනු මෙතෙකැයි යන ප්‍රමාණාත්මක දැනුමකින යුතුවෙයි. දාර්ශනික ඉගැන්වීම් ඊට වඩා විමර්ශනශීලී නිසා දාර්ශනික ලෝක විග්‍රහය තරමක්‌ වෙනස්‌ වේ. මේ අතර බෞද්ධ දාර්ශනික ඉගැන්වීම කුමනාකාරදැයි විමසා බලමු.

ලෝකය යන යෙදුම මුලින්ම හමුවන්නේ බෝසත් උපතේදීය. මහබෝසතාණන් වහන්සේ මිනිස්‌ ලොව ඉපදී දෙවියන් විසින් සේසත් දරද්දී සම පියවර තබා පොළොව මත පිහිටා උතුරු දෙසට මුහුණලා පියවරක්‌ ගමන් කරයි. අනතුරුව සියලු දිසාවන් බලා මෙසේ ප්‍රකාශ කරයි. අග්ගෝ හමස්‌මි ලෝකස්‌ස-ජෙට්‌ඨෝ හමස්‌මි ලොකස්‌ස, සෙට්‌ඨෝ හමස්‌මි ලෝකස්‌ස - අයමන්තිමාජාති නත්ථිදානි පුනබ්භවො. (දී.නි. මහාපදාන සූත්‍රය) ''මම ලෝකයට අග්‍රවෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨ වෙමි ආදී වශයෙන් දැක්‌වෙන්නේ කාම රූප, අරූප යන ලෝකයි. මෙම ත්‍රිවිධ ලෝකයෙහි තථාගතයන්ට වඩා ශ්‍රේෂ්ඨයෙක්‌ නැත. එමෙන් අප පෘථිවිවාසීන් අතරද බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක්‌ නැත. එබැවින් ලෝකයෙහි උත්තරීතර තත්ත්වයට පත්වන බවට බෝසතාණන් වහන්සේ සිංහනාද පැවැත්වූහ.

තථාගතයන් වහන්සේ තුළ තිබෙන බුදුගුණ අතරින් ප්‍රකට බුදුගුණයක්‌ නම් ලෝකවිදූ ගුණයයි. ලෝකවිදූ යනු ලෝකය පිළිබඳ සියලු තතු මනාව අවබෝධ කළ යන්නයි. මෙහිදී තථාගතයන් වහන්සේ සත්වලෝකය දන්නා සේක.

තවද සං.නි. රෝහිතස්‌ස සූත්‍රයට අනුව රොහිතස්‌ස දෙවියන් භාග්‍යවතුන් වහන්සේගෙන් අසන්නේ යම් තැනක නූපදීද, නොදිරාද, නොමැරේද, චුත නොවේද, හටනොගනී. ඒ ලෝකයේ කෙළවරට පාගමනින් යා නොහැකි බවයි. එමෙන්ම ලොව කෙළවරට නොගොස්‌ දුක්‌කෙළවර කිරීමක්‌ද නොකියමි. එහෙයින් සංඥ සහිත සිත් සහිත බඹයක්‌ පමණවූ මේ සිරුරෙහි ලෝකයත් ලෝක සමුදයත්, ලෝක නිරෝධයත් , ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් පණවමි. මේ අනුව ලෝකය යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙම සිරුරයි. සිරුර දැරීමෙන් ලෝකය දකී. ආශ්වාද කරයි. ඇලෙයි. කටයුතු කරයි. සිරුර නැති කල්හි ලෝකයක පැවැත්මක්‌ නැත. ලෝකයක්‌ද නැත.

මෙම සිරුර ලෝකය යනුවෙන් හඳුන්වන්නේ ලෝකයේ ස්‌වභාවය අනුවය. එහෙයින් ලෝකය යනු පලුදුවන නැසෙන ස්‌වභාවයයි. නැසෙන්නේ පලුදුවන්නේ කුමක්‌ද? ඇස,රූපය, චක්‌ඛු විඤ්ඤාණය. ඇසේ ස්‌පර්ශය, ස්‌පර්ශය නිසා ඇති වන සැපදුක්‌ උපේක්‌ෂාදී වේදනාව යන සියල්ලයි. මෙසේම කන - ශබ්දය, කනෙහි විඤ්ඤාණය, ස්‌පර්ශය වේදනාවය. නාසය - ගඳ සුඳ, විඤ්ඤාණය, ස්‌පර්ශය, වේදනාවය. දිව-රසය. විඤ්ඤාණය ස්‌පර්ශය, වේදනාවය. ශරීරය - ස්‌පර්ශය, විඤ්Æනය, ස්‌පර්ශය, වේදනාවය. සිත-සිතුවිලි, විඤ්ඤාණය, ස්‌පර්ශය වේදනාවය යන සියල්ල වෙනස්‌ බවට පත්වන බැවින් ලෝකය නම් වේ. ලෝකය විඳගනු ලබන ඉන්ද්‍රියන් මගිනි. ඉන්ද්‍රිය නොමැති විට ලෝකයක්‌ හෝ ලෝකයක පැවැත්මක්‌ නැති නිසා ලෝකය පිළිබඳ ගැඹුරු විග්‍රහයක්‌ ලෙස පෙන්වා දිය හැක.

තවද ස.නි. 2 සමද්ධි ලෝකපඤ්හ සූත්‍රයට අනුව සමිද්ධි තෙරුන් විමසන්නේ ලෝක හෝ ලෝකප්‍රඥප්ති යනු කුමක්‌ද යන්නයි. එහිදී පෙන්වන්නේ යම් තැනක ඇස,ඇද්ද, රූප ඇද්ද, චක්‌ඛු විඤ්ඤාණ ඇද්ද, චක්‌ඛුවිඤ්ඤානයෙන් දතයුතු දහම් ඇද්ද එහි ලෝකයත් ලෝක ප්‍රඥප්තියන් ඇත. මෙසේ කන, නාසය, දිව, ශරීරය, සිත ආදී ඉන්ද්‍රියන් හා අරමුණු ඇති කල්හි ලෝකයත් ලෝක පැනවීමත් ඇතිබව පෙන්වා දෙයි. අපට ඇසක්‌ නොමැතිනම් රූප දකින්නේ නැත.රූප යනු ඇස ඇතිකල්හි ගෝචරවන්නකි.එයින් සැපයක්‌ හෝ දුකක්‌ හෝ උපේක්‌ෂාවක්‌ විඳින්නේ ඇස තිබෙන කල්හි පමණි. ඇස නැති කල්හි ලොව කොතරම් රූප තිබුණද ඒවා විඳ ගැනීමක්‌ නැත. මෙසේ පංචඉන්ද්‍රියන්ම නොමැතිනම් කොතරම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ තිබුණද එයින් සැපයක්‌ හෝ දුකක්‌ නූපදී. අපට විඳගන්නට යමක්‌ ඇති කල්හිම සැප දුක ඇති වේ. වේදනාවක්‌ නැති කල්හි සැපදුක නැතිවේ. සැප දුක නැතිකල්හිම සැපය වේ.

ලොකන්තගමන සූත්‍රයේදී ආනන්ද තෙරුන් පෙන්වා දෙන්නේ යමක්‌ නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේ නම් ශාසනයෙහි මේ ලෝකය යයි කියනු ලැබේ. කුමක්‌ නිසා ලෝකයෙහි ලෝකය යන දැනීම ඇත්තේ ලෝකය යන හැඟීම ඇත්තේ වේද, ඇස නිසා ලෝකයේ ලෝකය යන දැනීම ඇත්තේ වේ. කන නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා, සිත නිසා ලෝකයේ ලෝකය යන දැනීම ඇත්තේය. හැඟීම ඇත්තේ වේ. මේ නිසා ඉන්ද්‍රිය නිසා ලෝකය යන දැනීම ඇත්තේය භෞතික හා මානසිකලෝකය යන ව්‍යවහාරය අර්ථවත් වන්නේරූප, ශබ්ද, ගන්ධාදිය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් විඳ ගැනීමක්‌ ඇති කල්හිය. විඳ ගැනීමක්‌ ඇතිකල්හි සත්වයා වේ. විඳ ගැනීමක්‌ නැති කල්හි සත්වයා නොවේ. සත්වයා ඇති කල්හි රූප, ශබ්දාදිය නිසා ඇතිවන දුක ඇතිවේ. සත්වයා නැති කල්හි දුක නැතිවේ. දුක ලෝකයෙහි පිහිටියේය. ලෝකය නැති කලදුක නැති බව ෙමින් පැහැදිලිය. පාගමනින් ලෝකයේ කෙළවරට යා නොහැකිය. ලොව කෙළවරට නොගොස්‌ දුක්‌ කෙළවර කළ නොහැකි යෑයිද පෙන්වා දෙන්නේ ලෝකය යනු කුමක්‌දැයි අවබෝධ කොට ගෙනලොව පවතින දුක්‌ කෙළවර කිරීමට යොමුවන ලෙසයි.

ලෝකය පිළිබඳ බොහෝවිට කතා කළද ලෝකයේ නැතිවීමක්‌ ගැන කතාකරන්නේ නැත. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ලෝකයේ ඇතිවීම දුක්‌ සහගත බැවින් ලෝකයේ ඇතිවීමට හේතුව සොයා එම හේතුව නැතිකිරීමෙන් ලෝකයම නැතිකර දැමීම පිළිබඳවයි. ජාති, ජරා, ව්‍යාධි, මරණාදී දුක්‌විඳින්නේ ශරීරයක්‌ ඇති නිසාය. ශරීරයක්‌ හටගැනීම හෙවත් ජාති නැති කර දැමීමෙන් දුක්‌විඳින්නේ නැත. ජාති නැතිවන්නේ භවය නැතිකර දැමීමෙනි. මෙලෙස පටිච්චසමුප්පාදානුකූලව හේතුව නැතිකර දැමීමෙන් ඵලය නැති කළ හැකිය. ඒ සඳහා මාර්ගයක්‌ ඇත. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙය ලෝකය නැතිකර දැමීමේ මාර්ගයයි. ලෝක නිරෝධගාමිනී පටිපදාවයි.

ලෝකය නම් කිසිවෙක්‌ මෙය දුකයෑයි තතු නොදන්නේද, මෙය දුකට හේතුව යෑයි තතු සේ නොදන්නේද මෙය දුක්‌ නැතිකිරීමේ මාර්ගයයි තතු සේ නොදන්නේද හෙතෙම ඉපදීම පිණිස පවතින සංස්‌කාරයන්හි ඇලේ. සෝක පරිදේව දුක්‌ඛ, දොම්නස්‌ස උපායාසයන් පිණිස පවතින සංස්‌කාරයන්හි ඇලේ. එසේ ඇලෙන නිසා සෝකපරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායාසයන්ට හේතුවන සංස්‌කාර රැස්‌කරයි. එම සංස්‌කාර රැස්‌කොට ජාති අඳුරට වැටේ. ජරා අඳුරට වැටේ. සෝකපරිදේව දුක්‌ඛ දොaමනස්‌ස උපායාස අඳුරට වැටේ. ඔහු ජාති, ජරා මරණාදියෙන් නොමිදී දුකින් නොමිදේ. මෙය තතු සේ දැන මාර්ගය වඩන්නා මැනවින් දුකින් මිදේ. (ස.නි. 5 - අන්ධකාර සූත්‍රය)

තවද ලෝකයෙහි මෙලෙස දුකින් මිදීමක්‌ තිබියදී සත්වයා ලෝකයේ තව තවත් ඇලී සිටින්නේ ඇයි? අං.නි. තික නිපාතයේ මෙසේ දැක්‌වේ. ඉදින් ලෝකයේ ආස්‌වාදයක්‌ නොවිනි නම් සත්වයෝ ලෝකයේ නොඇලෙති. යම් හෙයකින් ලෝකයේ ආස්‌වාදයක්‌ ඇති නිසාම සත්වයෝ ඇලෙති. එමෙන්ම ලෝකයේ ආදීනවයක්‌ද ඇත. ආදීනවයක්‌ නොවිනිනම්, සත්වයන් ලෝකය පිළිබඳ කළකිරෙන්නේ නැත. ඉදින් ලෝකයේ නිස්‌සරණයක්‌ ඇත. ලෝකයේ නිස්‌සරණයක්‌ ඇති නිසාම සත්වයෝ ලෝකයෙන් නිස්‌සරණ කෙරෙති. මේ නිසා ආස්‌වාද ආස්‌වාද වශයෙන්ද ආදීනව ආදීනව වශයෙන් ද, නිස්‌සරණය නිස්‌සරණය වශයෙන්ද තත්වූ පරිදි දන්නේ නම් එවිට සත්වයා දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා කෙරෙන්, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙන් වෙන්වූවාහ, විසංයුක්‌ත වූවාහු මිදුනාහු නැවත ඇති නොවන්නාහු වෙත්.

ලෝකයෙන් මිදිය හැක්‌කේ ලෝකාමිෂයෙන් දුරුවීමෙනි. ලෝකාමිෂය නම් ඉෂ්ට කාන්ත මනාපවූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ හා සිතිවිලිය. ස.නි. 1 ආයතන සූත්‍රය). සත්වයා ලෝකය කෙරෙහි බැඳ තබන්නේ මෙම අරමුණුය. රූප, වේදනා, සඤ්Æ, සංඛාර, විඤ්ඤාණ යන පංචස්‌කන්ධ ලෝකය දුක්‌ සහගත බව මනාව අවබෝධකොටගෙන පංචස්‌කන්ධලෝකයෙන් මිදීමට අවශ්‍ය මඟපෙන්වීම බුදුදහමෙන් ලබාදෙයි. මේ අනුව වඩා වැදගත් වන්නේ ලෝකය තුළ දුක්‌විඳීම නොවේ. දුකින් අතමිදීමය.

තවද සංස්‌කාර ලෝකය පිළිබඳ ඉගැන්වීමක්‌ විශුද්ධිමාර්ගයේ වේ. ලෝක එකකි. එනම් සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් පවතින්නේය. ලෝක දෙකකි. ඒ නාමරූපය. ලෝක තුනකි. ඒ සැප, දුක්‌, උපේක්‌ෂාය. ලෝක හතරකි. ඒ කබලිකාර,ඵස්‌ස,මනොසංෙච්තනා,විඤ්Æනය. ලෝක පහකි. ඒ පංචඋපාදානස්‌ඛන්ධය. ලෝක හයකි. ඒ ආධ්‍යාත්මික ආයතන හය. ලෝක හතකි. විඤ්Æන ස්‌ථිති හතය. ලෝක අටෙකි. ඒ අෂ්ටලෝක ධර්මය. ලෝක නවයකි. ඒ නව සත්තාවාසය. ලෝක දසයකි. ඒ ආයතන දසයය. ලෝක දොලොසකි. ඒ ආයතන දොලොසය. ලෝක දහඅටකි.ඒ ධාතු අටලොසය. මෙම සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වන බැවින් සංස්‌කාර ලෝකයෙන් මිදීමම සැපය වේ.

ඉහතින් දක්‌වන ලද්දේ ලෝක ව්‍යවහාරය පිළිබඳ උදාහරණ කිහිපයකි. බුදුදහමට අනුව ලෝකය හඳුනාගත යුතුය. හඳුනාගෙන ලෝකයෙන් මිදෙන මග sඅනුගමනය කොට ලෝකයෙන් මිදිය යුතුය. ලෝකයෙන් මිදීම දුකින් මිදීමයි. ලෝකයෙන් මිදීම හෙවත් දුකින් මිදීම සැපයයි. ඒ නිවනම උතුම් සැපයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.