සත්පුරුෂ ආශ්‍රයෙහි වටිනාකම විදහාපාන සබ්භි සූත්‍රය

මක්‌කානිගොඩ අස්‌සජී හිමි

එක්‌ දිනක්‌ බබළන ශරීර ඇති සතුල්ලපකායික දේවතා පිරිසක්‌ බුදුරජාණන්වහන්සේ මුණගැසීම සඳහා මැදියම් රෑ ඉක්‌ම යන විට දෙව්රම් වෙහෙර බබුළුවමින් පැමිණීය. එක්‌ දේවතාවෙක්‌ බුදුරජාණන් වහන්සේ හමුවෙහි ගාථාවකින් මෙබඳුs අදහසක්‌ ප්‍රකාශ කර ඇත. සත්පුරුෂයන් සමඟම එක්‌වන්නේය. සත්පුරුෂයන් සමඟම මිත්‍ර සංස්‌තවය කරන්නේය. සත්පුරුෂයන්ගේ සද්ධර්ම දන්නහුට අභිවෘද්ධිය වෙයි. පිරිහීමක්‌ නොවෙයි මෙම සූත්‍රයෙහි සඳහන් සතුල්ලපකායික යන වචනය පැහැදිළි කර ගත යුතුය. සතුල්ලපකායික යනු එක්‌ දේව කොට්‌ඨාසයකි. එකට එක්‌ව ගුණයක පිහිටා සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙම නාමය ලබා ඇත. සාර්Fථප්පකාසිනී නම් වූ සංයුත්තනිකායට්‌ඨ කථාවෙහි එන පරිදි මෙම දෙවියන් පිරිස පෙර භවයක නැව් නැගී වෙළෙඳාමෙහි ගොස්‌ ඇත. හත් සියයක්‌ පමණ පිරිස ගමන් ගත් නැව අනතුරකට ලක්‌ව සිදුරක්‌ ඇති වී මුහුදු ජලය නැව තුළට කාන්දු වන්නට විය. හත්වන දිනයේදී මරණ භයෙන් තැතිගත් එම පිරිස තම තමන්ගේ ආගමානුකූල වත්පිළිවෙත් යාඤ්චා ආදිය කරන්නට වූහ. එක්‌ නුවණැති පුද්ගලයෙක්‌ තමා නැව් නැඟêමට පෙර තෙරුවන් සරණ ගොස්‌ පන්සිල් සමාදන්ව භික්‍ෂු සංඝයාට දන් පිරිනමා ආ බවත් එයම තමාට ප්‍රතිෂ්ඨාව පිණිස පවතින බවත් වැටහී යෝගියකු මෙන් පලක්‌ බැඳ වාඩි වී ඇත. මෙය දුටු ඇතැමෙක්‌ මොහු බියක්‌ නොවී මෙසේ සිටින්නේ කෙසේදැයි ඔහුගෙන් විමසූ විට තමන් පෙර කළ ක්‍රියාව ප්‍රකාශ කොට ඇත. එබඳු ක්‍රියාවකින් තමන්ටත් ප්‍රතිෂ්ඨාවක්‌ ලබා දෙන ලෙස ඉල්ලා ඇත. එහිදී පිරිස සියය සියය බැගින් කොටස්‌ කර සරණ සිල්හි (පන්සිල්) පිහිටුවා ඇත. පළමු කණ්‌ඩායම කෙණ්‌ඩා ප්‍රදේශය දක්‌වා ජලයෙහි සිට පන්සිල් සමාදන් වූහ. පිළිවෙළින් දෙවැනි කණ්‌ඩායම දණහිස දක්‌වාද තෙවැනි කණ්‌ඩායම ඉගටිය දක්‌වාද සිව්වන කණ්‌ඩායම නාභිය දක්‌වාද පස්‌වැනි කණ්‌ඩායම පපුs පෙදෙස දක්‌වාද හයවැනි කණ්‌ඩායම ගෙල දක්‌වාද හත්වැනි කණ්‌ඩායම් ලුණු දිය මුවට පෙවෙන අවස්‌ථාව දක්‌වාද ජලයෙහි සිට පන්සිල් සමාදන් වූහ. අනතුරුව යෝගී පුද්ගලයා අවවාදයක්‌ කරමින් දැන් ඔබට අන් සරණක්‌ නැත.

සිල් ආවර්ජනා කරන ලෙස දැන්වීය. මෙම පිරිස ජලයෙහි ගිලී මරණයට පත්වූහ. ඔවුහු අනතුරුව උපත ලැබුවේ තව්තිසා දෙව්ලොව ය. සමූහයක්‌ එකතුව සිල් පිරූ බැවින් ඔවුනට සමූහ විමාන පහළව ඇත. සියල්ල මැද ආචාර්යවරයාට යොදුන් සියයක්‌ ස්‌වර්ණ විමානයක්‌ පහළව ඇත. එම දෙව් පිරිස තම කර්මශක්‌තිය ආවර්ජනය කර මේ සියල්ල තම ගුරුවරයා නිසා ලද සම්පත් බව වටහාගෙන ගුරුවරයා පිළිබඳව බුදුපියාණන් වහන්සේ දැනුවත් කරලීම සඳහා දෙව්රම් වෙහෙරට ගියහ. සියයක්‌ (සතං) ධර්ම සමාදන් වීම් වශයෙන් උසස්‌ ලෙසින් කථා කොට (උල්ලපෙත්වා) ස්‌වර්ගයෙහි ඉපදිණැයි සතුල්ලපකායික නම් වෙයි යනුවෙන් අටුවාව දක්‌වා ඇත.

පළමු දේවතාවා බුදුරජාණන් වහන්සේ හමුවෙහි පහත සඳහන් ගාථාව ප්‍රකාශ කොට ඇත.

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කූබ්බේථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - සෙය්‍යා හොති න පාපියොති"

මෙහි තේරුම නම් සත්පුරුෂයන් සමඟම එක්‌වන්නේය. සත්පුරුෂයන් සමඟම මිත්‍ර සංස්‌තවය කරන්නේය. සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැන සිටියනුට අභිවෘද්ධියක්‌ වෙයි. පිරිහීමක්‌ නොවෙයි.

සත්පුරුෂයා යනු ආදර්ශවත් පුද්ගලයෙකි. ඔහු ධර්මයෙහි පිහිටා ක්‍රියා කරන්නෙකි. පරහට පිහිට වෙයි. ආශ්‍රිතයන් පාපයෙන් වළක්‌වන අතර යහපතෙහි ද පිහිටුවයි. කල්‍යාණ මිත්‍රයා යන නම ලබන්නේ ද එබඳු අයය. සත්පුරුෂ ධර්මය ආශ්‍රයෙන් භාවිතයෙන් චරිතායනය වෙයි. හේ කිසිවිටෙකත් එය ඉක්‌මවා කටයුතු නොකෙරේ. අකුසලයකට නැඹුරුවීමක්‌ කැලම නැත. අසත් පුරුෂ සේවනය නොවීමත් අසත් ධර්මයක නොපිහිටීමත් නිසාම හේ පරිහානියට නොයයි. දියුණුවක්‌ම ලබයි.

දෙවැනි දේවතාවා ප්‍රකාශ කරන්නේ

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බේථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - පඤ්ඤා ලබ්භති නාඤ්චතොති"

යනුවෙන් සත්පුරුෂ ධර්මය දැනීමෙන් ප්‍රඥාව ලැබේ. අනෙකකින් නොලැබේ. යනුවෙනි. ජීවිතය සාර්ථක වීමට නම් ප්‍රඥාවන්තයකු විය යුතුමය. යමක යථා ස්‌වභාවය ඇත්ත ඇති සැටියෙන් හෙතෙම දකී. ප්‍රඥාව වැඩීමට විදර්ශනා භාවනාව වැඩිය යුතුය. ප්‍රඥාව වැඩීමෙන් තොරව නිවන් දැකිය නොහැක.

තුන්වැනි දේවතාවා

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බේථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - සොක මඡ්ෙCධ නසොචතීති"

යනුවෙන් සෝක කරන්නවුන් අතර සෝක නොකර සිටිතියි ප්‍රකාශ කර ඇත. ධර්මයෙහි නොපිහිටි තැනැත්තාගේ සිත ශක්‌තිමත් නැත. ශෝකය බිය පසුතැවීම අෂ්ට ලෝක ධර්මය කෙරෙහි කම්පා වීම ස්‌වභාව කොට ඇත. සත් (කල්‍යාණ) ධර්මය දරන්නා කිසිවිටෙකත් ඉහතකී තත්ත්වයන්ට පත් නොවෙයි. අකම්ප්‍යව එඩිතරව ධෛර්යයෙන් මුහුණ දෙයි. ලොව පවත්නා සනාතනික සත්‍යතාව වන වෙනස්‌වීම (අනින්‍යතාව) හේ වටහා ගනී.

වැනි සිව්වන දේවතාවා ප්‍රකාශ කරන්නේ

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බේථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - ඤාති මඡ්ජධ විරොචතීති"

ඤාතීන් මධ්‍යයෙහි වෙසෙසින් බබළන බවයි. සංකිච්ච තෙරුන්ගේ ශිෂ්‍ය හිමිනමක්‌ වූ අධිමුත්තක සාමණේරයන් වහන්සේ උන්වහන්සේගේ නැඟණියගේ දරුවෙකි උපසපන් වයසට ළං වූ කල්හි දෙමාපියන්ගෙන් වයස දැනගෙන එවැයි පිටත් කොට යවන ලදී. මඟදී සොරු රංචුවකට මැදිව ඇත. එහිදී කිසිවක්‌ නැති තමා වැන්නෙකු මරාදැමීමෙන් එය අසන දකින කිසිවකු එම මගෙන් යැමට නොපැමිණිය හැකි බවත් එය තමන්ගේ සම්පත් හීන වීමට හේතු විය හැකි බවත් උන්වහන්සේ පැරණි කතාන්දරයක්‌ ද ගෙන පෙන්වා දී ඇත. ඒ අනුව තමන් පිළිබඳව කිසිවකුටවත් නොකියන පෙරොන්දුව මත උන්වහන්සේ මුදාහැර ඇත. උන්වහන්සේ මව ඇතුළු ඥාතීන් මුණගැසී අවශ්‍ය කරුණු විමසා ආපසු පිටත් වුවත් මඟ ඇති බාධක කිසිවක්‌ නොපැවසීය. මහ තතු නොදත් එම පිරිස වන මැදින් යන කල සොරුන්ට කොටු වූහ. සොරුන් වද පමුණුවන විට විලාප දෙන මව කියන කරුණු අනුව තමන්ට අධිමුත්තක හිමියන් වූ පොරොන්දුව නොකඩකර සිය මවටවත් තොරතුරු නොපැවසීම අගේ කරමින් එම ඥාති පිරිස නිදහස්‌ කොට යවා ඇත. එය ඥාතීන් මැද බැබළීමක්‌ වෙයි. පොරොන්දු නොකඩකිරීමේ සත්පුරුෂ ගුණධර්මය ආරක්‍ෂා කිරීමෙහි ප්‍රතිඵලය වූයේ සැමගේ දිවි බේරීමයි.

පස්‌වැනිව එක්‌ දේවතාවෙක්‌

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බේථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - සත්තා ගච්ඡන්ති සුග්ගතින්ති"

යනුවෙන් සද්ධර්ම දන්නා තැනැත්තා සුගතියට යන බව ප්‍රකාශ කොට ඇත. කුසල් දහම් වඩන පින්කම්හි යෙදෙන අය සුගතියටම ඇදෙයි. "ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤො උභයත්ථ නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භියේ‍යා නන්දති සුග්ගතිං ගතො" යන ධම්ම පද ගාථාවෙන් එය සනාථ වෙයි.

සයවැනි දේවතාවාද

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බේථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - සත්තා තිට්‌ඨන්ති සාතතන්ති"

යනු වෙන් පවසන්නේ සත්පුරුෂ ධර්ම රකින තැනැත්තා බොහෝ කල් සුවයේ සිටින බවයි. ධාර්මික පුද්ගලයාට සොබාදහම පවා ආශිර්වාද කරනු පෙනේ. කරදර බාධක හිරිහැර ඇති නොවේ සතුට සැනසිල්ල නිතර රඳ පවතී. ධම්මොහවෙ රක්‌ඛති ධම්මචාරී" යන පාඨයෙන් පෙන්වා දෙන්නේද දහම දැහැමියා රකින බවයි.

අනතුරුව හත්වැනි දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ විමසා ඇත. "කස්‌සනු ඛො භගවා සුභාසිතන්ති," කවරකු විසින් මැනවින් කියන ලද්දේ ද? එහිදී බුදුරජාණන් වහන්සේ "තොප සියල්ලන් විසින් කරුණු වශයෙන් මැනවින් කියන ලදී. වැලිදු මගේ වචනයද අසවු" යනුවෙන් දේශනා කර ඇත. ඒ අනුව පහත ගාථාව දේශනා කළහ.

"සබ්භිරෙව සමාසෙථ - සබ්භි කුබ්බෙථ සත්ථවං

සතං සද්ධම්ම මඤ්ඤාය - සබ්බ දුක්‌ඛා පමුච්චතීති"

සත්පුරුෂයන් සමඟ එක්‌වන්නේය. සත්පුරුෂයන් සමගම මිත්‍ර සංස්‌තවය කරන්නේය. සත්පුරුෂයන්ගේ සද්ධර්ම දැනීමෙන් සියලු දුකෙන් මිදෙයි. භවගාමී පුහුදුන් සත්ත්වයාට සසරින් එතෙර වීමට ධර්ම මාර්ගය හැර වෙනත් ක්‍රමයක්‌ නැත. එය දැන ඉගෙන ගත හැක්‌කේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන්මය. සර්වඥ ශාසනය රඳාපවතින්නේම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත බව බුද්ධ භාෂිතයය. නිවන යනු දුකේ කෙළවර ය. දුකෙන් නිවීම ය.

මෙම දේශනාවෙන් පැහැදුණු දෙවියෝ බුදුරදුන් පැදකුණු කොට එහිම අතුරුදන් වූහ. නිවන් අවබෝධයෙහි කැමැත්තෝ මෙම දහමෙහි හැසිරෙත්වා.

සංයුත්ත නිකාය දේවතා සංයුත්තය සතුල්ලපකායික වර්ගයෙහි පළමු සූත්‍රය
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.