ආමිස පූජාව භාග්‍යවතුන් වහන්සේ ප්‍රතික්‌ෂේප කළාද?

රත්තනදෙණියේ මේධානන්ද හිමි

තථාගතයන් වහන්සේ වෙනුවෙන් ආහාරපාන මල් පහන් හඳුන්කූරු ආදි ආමිසයෙන් පිදීම අර්ථ ශූන්‍ය හිස්‌ ක්‍රියාවක්‌ යයි සමහර කෙනෙක්‌ එය පහත් කොට කථා කරති. තථාගතයන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය වඩාත් නිෂ්ඵල යයි ද, එය දුගියකුගේ කුසගිනි නිවන්නට හෝ අසරණයකුට දීම ඊට වඩා ඵලදායක යයි ද, ඔවුහු තර්ක-විතර්ක කරති. කොටින්ම ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස්‌ යයි තර්ක කරන මේ අය බොහෝ විට ඒ දෙකින් එකක්‌වත් නොකරන පිරිස්‌ වෙති. ඔවුන් බොහෝවිට කරන්නේ අනුන් කරන ආමිස හෝ ප්‍රතිපත්ති පූජා දැක සිත් පහදවා නොගෙන ඒවා නිසරු දේ යෑයි සිතමින්, කියමින් සැදැහැතියන්ද එමගින් වළකමින් අකුසල් රැස්‌කර ගැනීම පමණි. මේ ලිපියේ අරමුණ එවැනි දෘඩතර මතවාදවලින් මනස නිදහස්‌ කරගෙන භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජාවන් කරන අයට එම පූජාවේ යථාර්ථයත්, ආමිස පූජාවේ හා ප්‍රතිපත්ති පූජාවේ සැබෑ අරුතත්, කෙටියෙන් පහදා දීමයි.

බුද්ධ පූජාව යනු බුදුන් වහන්සේ වෙනුවෙන් බුදුන් උදෙසා බුදුගුණ සිහිකරමින් කරන පූජාවයි. එය ආහාර පානාදියක්‌ වුවත්, මල් පහන්, සුවඳ දුම්, ඖෂධ වර්ග වුවත්, සිවුරු පිරිකර, තූර්ය නාද, ධජ-පතාක ආදිය වුවත් (පසිඳුරන්ගෙන් ගත හැකි දෙයක්‌) බුදුන් වහන්සේ උදෙසා පිදීම බුද්ධ පුජාවයි. සිතින්, ගතින් හෝ වචනයෙන් යමෙක්‌ තම ගෞරවය තථාගතයන් වහන්සේ වෙත පුද කරන්නේ නම්, එම ගරු කිරීම සිදු කරන්නේ චෛත්‍යය අබියස වුවත්, බෝමැඬ අබියස වුවත්, පිළිමයක්‌ අබියස වුවත්, මේ කිසිවක්‌ නැති අන්‍ය තැනක දී වුවත්, එය බුද්ධ පූජාවම ය. ඒවා ආමිස පූජාවට අයත් වන අතර බුදු ගුණ හඳුනාගනිමින්, තම මනස තුළ ප්‍රඥාව ආදි ගුණ දියුණු කිරීම ප්‍රතිපත්ති පූජාව ලෙසත් හැඳින්වේ.

ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස්‌ යෑයි සියලු දෙනා පැවසුවත්, ප්‍රතිපත්තිය කුමක්‌ ද, එය වැඩෙන මග කුමක්‌ ද යන්න නිවැරදි අවබෝධයක්‌ මෙන්ම වැටහීමක්‌ බොහෝ දෙනකුට නැත. අසූ හාරදහසේ පහන් පූජා ආදිය පොල්තෙල් නාස්‌තියක්‌ සේ දකිමින් ආමිසය හෙළාදැක ප්‍රතිපත්ති පූජාව ගැන පමණක්‌ කතා කරන අය හැදින්වීමට ආචාර්ය නලින් ද සිල්වා මහතා හදුන්වා දී ඇති හොඳම වචනය Ñඕල්කට්‌ බෞද්ධයන් යන්නය. මොවුන් බුදු දහම රැඳෙන පාදම නොතකා දර්ශනය නමැති කොත ගැන පමණක්‌ කතා කරන්නෝ වෙති. ප්‍රතිපත්තිය ද සම්‍යක්‌ ප්‍රතිපත්තිය හා මිථ්‍යා ප්‍රතිපත්තිය වශයෙන් දෙයාකාර වේ. වඩා වැදගත් වන්නේ සම්‍යක්‌ ප්‍රතිපත්තියයි. එනම් යම් කුසල ධර්මයක පිහිටීම හා එය දියුණු කිරීමයි. සියලු කුසල ධර්මයන් නව ලෝකෝත්තර ධර්මයට (නිවනට) පැමිණීමේ පූර්ව භාග ප්‍රතිපදාවට අන්තර්ගත වන නිසා, එය නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව ලෙසද හැඳින්වේ. එහෙත් ඕල්කට්‌ බෞද්ධයන්ට ඇත්තේ මිථ්‍යා ප්‍රතිපත්තියක්‌ මිස සම්‍යක්‌ ප්‍රතිපත්තිය නොවේ. ඔවුන් ශ්‍රද්ධාව වැඩෙන මුලිකම කාරණා එනම් ආමිස පුජාව ප්‍රතික්‌ෂේප කරන හෝ එය අර්ථ ශූන්‍ය නිසරු දෙයක්‌ ලෙස දකින්නෝ වෙයි. එහෙත් මලක්‌, පහනක්‌ ඉතා සුළු ආහාරයක්‌, පැන් පොදක්‌ වැනි දෙයක්‌ පූජා කළ අයත් ඒ මඟින් සසර බොහෝ සැප ලබා ප්‍රතිපත්ති මග වඩා සසර ගමන කෙළවර කළ කථා ප්‍රවෘත්ති රැසක්‌ අපදාන පාලි, විමානවත්ථු ආදි ග්‍රන්ථවල දැක්‌වේ.

සියල්ල බුද්ධියෙන් විමසන ශ්‍රද්ධාවක්‌ නැති ඕල්කට්‌ බෞද්ධයන් ආමිසයට වඩා ප්‍රතිපත්ති පූජාව වැදගත් කියන්නේ ඒ පිළිබඳ ගැඹුරු අවබෝධයකින් නොව කෙනෙක්‌ගෙන් අසා ඇති නිසා හෝ පහත දැක්‌වෙන හේතුව නිසාය.

තථාගතයන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා පිරිනිවන් පෑම පිණිස මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටිය දී, දසදහසක්‌ සක්‌වළ දෙවි-බඹුන් අතුරු-සිදුරු නැතිව පැමිණ අවසන් වරට තථාගතයන් වහන්සේට මල්, සුවඳ, තූර්ය නාද ආදි බොහෝ දිව්‍යමය පූජා පවත්වන්නට විය. මෙම කරුණ මුල් කරගෙන තථාගතයන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා මෙසේ වදාළහ. Ñආනන්දයෙනි, මෙ පමණකින් (මල්, සුගන්ධය, තූර්ය නාද, ආදියෙන්) තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්‌ෂුවක්‌ හෝ භික්‌ෂුණියක්‌ හෝ උපාසක-උපාසිකාවක්‌ හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක්‌ ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එයම තථාගතයන් වහන්සේට කරන උසස්‌ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වෙයි. (දීඝ නිකාය - මහා පරිනිබ්බාන සූත්‍රය).

දැන් මේ ප්‍රකාශය අල්ලාගෙන බුදුන් වහන්සේ ආමිසය ප්‍රතික්‌ෂේප කර ඇතැයි කිව හැකිද ? මෙයින් පැහැදිලි වන්නේ කුමක්‌ද? තථාගතයන් පිරිනිවන් පෑමට පෙරම උන්වහන්සේට මල්, සුවඳ, තූර්යනාද ආදි විවිධ අයුරින් පුද පූජා පවත්වන්නට වූ බවයි. එහෙත් මෙම ප්‍රකාශනය උපුටා දක්‌වන බොහෝ දෙනා නොදන්නාකමට පවසන්නේ තථාගතයන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්‌ෂේප කර ඇති බව යි. එහෙත් ඉන් එවැන්නක්‌ අදහස්‌ නොවේ. උන්වහන්සේ ප්‍රකාශකොට ඇත්තේ මල් පහන්, සුවඳ දුම්, තූර්ය නාද ආදියෙන් සංග්‍රහ කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවන බවයි. නැතුව ආමිස පුජාව ප්‍රතික්‌ෂේප කළ බව නොවේ. ඉහත දේශනාවෙන් පසු තථාගතයන් වහන්සේ පිරිනිවන් මඤ්චකයෙහි ම වැඩ හිඳිමින් දේශනා කළ තවත් කරුණක්‌ දෙසට අවධානය යොමු කිරීමෙන් ඒ බව පැහැදිලි කරගත හැකිය.

තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් පසු ආදාහන කෘත්‍යය සිදු කරන්නේ කෙසේ දැයි ආනන්ද තෙරණුවන් විමසූ විට, චක්‍රවර්ති රජ කෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් එය සිදු කළ යුතු බව වදාරා, අනතුරුව මෙසේ දෙසූ හ. ආනන්දයෙනි, ස්‌තූප තනා වැඳුම්-පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්, සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යයන් වහන්සේ, සක්‌විති රජු යන මේ සතර දෙනා ය. ආනන්දයෙනි, කවර කරුණක්‌ නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්‌තූප තනා වැඳුම්-පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ස්‌තූපයයි, සිත පහදාගෙන බොහෝ දෙනා මරණින් මතු සුගතිගාමී වන හෙයිනි. (දීඝ නිකාය - මහා පරිනිබ්බාන සූත්‍රය).

එසේ නම් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පුජාව උසස්‌ බව දේශනා කළ තථාගතයන් වහන්සේ, චෛත්‍ය ඉදි කොට සර්වඥ ධාතූන් වහන්සේලාට පවා වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේ කුමක්‌ නිසා දැයි සිහි නුවණ ඇති අය විමසා බැලිය යුතුය. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස්‌ බව දෙසුවේ, ප්‍රතිපත්තියට මිනිසුන් නැඹුරු කිරීම පිණිසය. නැවත වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේත්, ඒ ඇසුරෙන් මිනිසුන් ප්‍රතිපත්තියට නැඹුරු කිරීමට මග පාදා දීම පිණිසය. මෙහි දී ප්‍රතිපත්තියේ ඇති වටිනාකම මතු කළා මිස, ආමිස පූජාව ප්‍රතික්‌ෂේප කර නැති බව අවධාරණය කළ යුතුය. ප්‍රතිපත්තියට නැඹුරු වන්නටත් පුද්ගලයාට ශ්‍රද්ධාවක්‌ තිබිය යුතුය. තථාගතයන් වහන්සේට මලක්‌ පහනක්‌ තබා වඳින්නට තරම් තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක්‌ විශ්වාසයක්‌ නැත්නම් එවැන්නකු ප්‍රතිපත්ති මග වඩනු ඇතැයි සිතිය නොහැකිය.

දැන් කෙනෙකුට ඊළගට නැගිය හැකි පැනය වන්නේ බුදුන් වහන්සේ වඩා අගය කොට ඇත්තේ ආකාරවතී ශ්‍රද්ධාව මිස අමුලිකා ශ්‍රද්ධාව නොවන බවයි. එයද මීට පෙර සඳහන් කළ ආමිස පූජාව මුළුමනින් ප්‍රතික්‌ෂේප නොකරමින් ප්‍රතිපත්ති පුජාව උතුම් යෑයි ප්‍රකශ කළාට සමානය. යමෙකුට ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවන්නේ බුදුන් වහන්සේගේ ධර්මය පිළිබඳ නිවැරදි වැටහීමක්‌ ලැබීමෙන් පසුවය. එතෙක්‌ පුද්ගලයන් තුළ මුලින්ම හටගන්නේ අමුලිකා ශ්‍රද්ධාවයි. ධර්මය පිළිබඳ විමසන, අර්ථය පිරික්‌සන ඔහු සද්ධානුසාරී හා ධම්මානුසාරී තත්ත්වයන්ට පත්වීමත් සමඟම ශ්‍රද්ධාව මෝරා වැඩෙයි. සෝවාන් ඵල ප්‍රාප්තියත් සමඟම ඔහු තුළ ශ්‍රද්ධාව ස්‌ථිර වෙයි. එය අචල ශ්‍රද්ධාවයි. සද්ධාවිමුක්‌ත ලෙස කීටාගිරි සූත්‍රය දක්‌වන්නේ මෙම ස්‌ථිර වූ තත්ත්වයයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගත් පුද්ගලයා සෝතාපන්න වනබව සංයුක්‌ත නිකායේ සහස්‌රෑස සූත්‍රයේද දක්‌වා තිබේ. කෙනෙක්‌ සතර සෝතාපත්ති අංගයන් පුරණය කර යෝනිසෝමනසිකාරයෙන් ධර්මානුධර්ම පටිපදාව පුර්ණය කළවිටයි ආකාරවතී ශ්‍රද්ධාව ඇතිවන්නේ. පටිසම්භිධා 01හි තෘතීක සුත්‍රයට අනුව කෙනෙක්‌ට නියම ආකාරවතී ශ්‍රද්ධව පහළ වන්නේ සෝතාපන්න වූ පසුවය. ඊට පෙර ඇත්තේ අමුලිකා ශ්‍රද්ධාව බව දැක්‌වේ. එසේ නම් මල් පුජා, පහන් පින්කම්, කංචුක පුජා, ආදිය අර්ථ ශූන්‍ය දේ යෑයි අවඥාවෙන් බැහැර කරන්නේ සෝවාන් මග-ඵල ලාභීන් වියයුතුය. (ඇත්ත වශයෙන්ම එබදු පුද්ගලයන් නම් තථාගතයන් වහන්සේට කෙරෙන එබඳු පුජාවන් පිළිsබඳ ලඝූ මනසින් නොබලති.) පිරිපුන් ප්‍රඥාවක්‌ ආරම්භයේදීම අපේක්‌ෂා කළ නොහැකි බවත් ශ්‍රද්ධාව පාදක කරගෙන අනුපිළිවෙළින් ප්‍රඥාව කරා ගමන් කළයුතු බව මඡ්Cධිම නිකායේ කීටාගිරි සූත්‍රයේ ද දැක්‌වේ. කසීභාරද්වාජ සූත්‍රයේ දී ශ්‍රද්ධා බීජං ලෙස ශ්‍රද්ධාව බීජ වලට උපමා කොට ඇත්තේ ශ්‍රද්ධාව නමැති බීජය නරක්‌ වුවහොත් කෙතරම් මහන්සි වී කෙත සකස්‌ කර වැපිරුව ද එයින් ඵලක්‌ නොවන නිසාය. ඇතැමුන් තථාගතයන් වහන්සේ උදෙසා කරන ආමිස පූජාවන් හෙළා දකින්නෙත් ඒවා අමුලිකා ශ්‍රද්ධාව මත කරන කරන මෝඩ වැඩ ලෙස ගර්හා කරන්නෙත් මේ කිසිවක්‌ නොදැනය. තථාගතයන් වහන්සේට කවරෙක්‌ කරන කවර පූජාවක්‌ වුවත් නිසරුදේ ලෙස අවප්‍රමාණ කරයිද, වළක්‌වයිද, අධෛර්යටපත් කරයිද ඔහුට හෝ ඇයට සිදුවන්නේ බලවත් අකුසලයකි.

බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයේ වැඩවසන සමයේ දහස්‌ ගණන් උපාසක උපාසිකාවෝ උදේ සවස බුදුරජාණන් වහන්සේ පිදීමට ඡේතවනයට පැමිණියහ. සමහර දිනෙක උන්වහන්සේ ඡේතවනයේ වැඩ නොසිට වෙනත් දුරබැහැරක වැඩම කළ අවස්‌ථා විය. එබඳු අවස්‌ථාවල එම සැදැහැතියන්ට බුදුරජාණන් වහන්සේට කිසිවක්‌ පුජා කිරීමට අවස්‌ථාවක්‌ නොලැබිණි. මේ ගැන කල්පනා කළ අග්‍ර උපස්‌ථායක ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේට මේ බව සැළකර උන්වහන්සේ විහාරයේ වැඩ නොසිටින විටකදී ඒ වෙනුවට පිදීමට හැකි යමක්‌ ඉල්ලීය. ශාරීරික, පාරිභෝගික, උද්දේසික ලෙස ත්‍රිවිධ චෛත්‍යයන්ට තමන් වහන්සේ වෙනුවට පුද පූජා කළ හැකි බව දේශනා කළ බුදුන් වහන්සේ ඒ වන විට පහසුවෙන් ලබා ගත හැකිව තිබූ පාරිභෝගික වස්‌තුවක්‌ වූ බුද්ධත්වයට පැමිණීමට මහෝපකාරී වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ඵලයක්‌ ගෙන ඡේතවන භූමියේ රෝපණය කරන ලෙස දැන්වීය. ආනන්ද හිමියන්ගේ සංවිධානත්වයෙන් බෝධිරෝපණය සිදුකළ නිසා මෙය 'ආනන්ද බෝධිය' ලෙස හැදින්වේ. ඉන් පසු බුදුන් වහන්සේ

ඡේතවනාරාමයේ වැඩ නොසිටින අවස්‌ථාවල සැදැහැවතුන්ගේ වන්දනයට පාත්‍රවුයේ මේ බෝධියයි. මේවා ඵලරහිත නිසරු ක්‍රියා නම් බුදුරදුන් වැඩසිටින සමයේම ආනන්ද බෝධි රෝපණයට අනුබල දෙයිද? තමන් වහන්සේ වෙනුවට ත්‍රිවිධ චෛත්‍යයන්ට පුද පූජා කළ හැකි බව පවසයි ද? එබැවින් සැදැහැවතුන් විසින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන විවිධ ආමිස පූජා අවඥාවෙන් බැහැර කිරීමට පෙර භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්‌දැයි සම්මා සතියෙන් සිතා බැලීම වැදගත්ය.

(මෙම ලිපිය සකස්‌ කිරීමේදී පුජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමියන්ගේ බුද්ධ පුජාවේ යථාර්තය නමැති කෘතියෙන් කරුණු උපුටා ගත්බව ගෞරවයෙන් සිහිපත් කරමු)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.