ගුරු සිසු සබඳතා

උදේශිකා හෙට්‌ටිආරච්චි
කැලණිය විශ්වවිද්‍යාලය

''යස්‌ස සම්බ්‍රහ්මචාරීහු ගාරවෝ නූපලබ්භනි පරිහායනි සද්ධම්මා විච්ජෝ ආප්පොදකේ යථා''

යම් පැවිද්දෙක්‌ හෝ සිසුවෙක්‌ ආචාර්ය පාදපාදි සම්බ්‍රහ්මචාරීන්ට ගරු නොකෙරේ ද හෙතෙමේ සිඳී යන මද දියෙහි වෙසෙන මසකු මෙන් සද්ධර්මයෙන් පිරිහෙන්නේ ය. නූතන සිසු පරපුරේ සමහරු තම ආචාර්යවරුන්ට සලකන අන්දම හා පවත්වන සබඳතා දෙස බලන විට ඉතා කනගාටුවක්‌ හා පශ්චාත්තාපයක්‌ ඇති වේ. වත්මන් සමාජය තුළ අධ්‍යාපනය පිළිබඳව ඇත්තේ විශාල අවධානයකි. වර්තමානයේ එය විවාදාත්මක තත්ත්වයට පත්ව ඇත. මෙවැනි සමාජ වාතාවරණයක්‌ තුළ ගුරු සිසු සබඳතාව යහපත් ලෙස පවතින්නේ ඉතා අල්ප වශයෙනි. එම නිසා බුදු දහමෙන් මෙකී සබඳතාව විග්‍රහ කර ඇති අයුරු නැවත වරක්‌ කියවා ගැනීම කාලෝචිත කරුණකි.

මෙලොව එළිය දකින මිනිසාගේ සිත උපතේ දී ප්‍රභාශ්වර ය. මෙසේ ප්‍රභාශ්වර සිතකින් උපත ලබන දරුවාගේ ප්‍රථම ගුරුවරයා වනුයේ එම දරුවාගේ මව හා පියතුමාය. මේ ලෝකයේ අධ්‍යාපනය, ආගමික දාර්ශනිකයන් අතරින් ප්‍රමුඛස්‌ථානය හිමි වනුයේ අප ගෞතම සම්මා සම්බුදුරාජණන් වහන්සේට ය. උන්වහන්සේගේ අධ්‍යාපන දර්ශනයට අනුව දෙමාපියන් හඳුන්වා දී ඇත්තේ පූර්ව ආචාර්යවරු ලෙසය. ඔවුන් ''බ්‍රහ්මානි මාතා පිතරෝ'' වශයෙන් මහා බ්‍රහ්මයාට ද ඉහළින් ස්‌ථානගත කර ඇත. බුදුන් වහන්සේ විසින් දෙමාපියන් ඉතා උසස්‌ ලෙස පූජනීය තත්ත්වයේ සලකා පුබ්බේ ආචාර්යවරු ලෙස හැඳින්වීම ඔවුන්ට කළ ඉහළ ගෞරවයකි.

මේ අනුව දරුවාගේ ප්‍රථම ගුරුවරයා වන මව හා පියාට පැවරී ඇති වගකීම ඉතා විශාලය. මව හෝ පියා කියා දෙන දේ හරි හෝ වැරදි වේවා එය හරි ලෙස පිළිගැනීම දරුවාගේ සිරිතය. මේ නිසා දෙමාපියන් හරි දේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් වටහාගෙන විචක්‌ෂණ බුද්ධියෙන් යුතුව හරි දේ හරියට කියා දීමට උනන්දු විය යුතුය. එයට හේතුව දරුවාගේ අධ්‍යාපන උල්පත ආරම්භ වනුයේ දෙමාපියන් තුළින් වන බැවිනි. එසේ නොවුණහොත් දරුවාගේ ගමන්මඟ අවිනිශ්චිත වනු ඇත.

දෙමාපියන්ගෙන් පසු සමාජයට ක්‍රමක්‍රමයෙන් පිවිසෙන දරුවාගේ ඊළඟ මඟ පෙන්වන්නා වනුයේ ගුරුවරයාය. බෞද්ධ අධ්‍යාපන ක්‍රමයේ දී 'ගුරුවරයා' වෙනුවට පාලි ත්‍රිපිටකයේ සඳහන් ව ඇත්තේ 'ආචාර්යවරයා' වශයෙනි. පොදුවේ ආගමික ශාස්‌තෘන් හැඳින්වීමටත් ගුරුවරයා හැඳින්වීමටත් මෙම ආචාර්ය යන නාමය භාවිත කර ඇත. දිසාපාමොක්‌ ආචාර්යවරයා මෙහිදී මතකයට නැගෙන ජනප්‍රිය චරිතයකි. බුදුන් වහන්සේ මෙහිදි අදහස්‌ කර ඇත්තේ කවරෙකු වුවද ආචාර්ය ශික්‌ෂාවෙහි ලෞකික හෝ ලෝකොත්තර අරමුණු ඔස්‌සේ ශිෂ්‍යා මෙහෙයවන්නා හෙවත් හික්‌මවන්නා ආචාර්ය බවයි. අප ගෞතම බුදුන් වහන්සේ මෙහිදී ආචාර්යවරයා සතු ගුණාංග ලෙස විනීත, වියත්, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුකූල පුද්ගලයා ආචාර්යවරයෙක්‌ වීමට සුදුසු බව පෙන්වා දෙයි.

බුදුන් වහන්සේ විසින් දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කළ 'දසදිසා' සූත්‍රයේදී ගුරුවරයාගේ යුතුකම් ලෙස

ශිෂ්‍යයා පවින් වරදින් වැළකීම

කුසලයෙහි හෙවත් පිනෙහි යෙදවීම

කලණ සිතින් අනුග්‍රහ දැක්‌වීම

නොදන්නා දේ ඉගැන්වීම

ගැටලු විස¹ ශිෂයා යහමඟ යෑවීම

ආචාර්යවරයාගේ කාර්යභාරයන් ලෙස පෙන්වා දී ඇත. වැසූ අදහස්‌ පහදා දී සැඟවුණ අදහස්‌ එළි දැක සැක ඇති තැන් දුරලා ශිෂ්‍යයා පිළිබඳ අනුකම්පා සහිතව කටයුතු කිරීම ගුරු භුමිකාව ලෙස පෙන්වා දී ඇත. මෙහිදී ගුරුවරයා තමා දන්නා දේ ගුරුමුෂ්ටිය රහිතව කියාදීම යුතුකමක්‌ කොට සලකා ඇති අතර ඒ සඳහා ප්‍රශංසාව හෝ ප්‍රතිලාභ බලාපොරොත්තු නොවිය යුතු බව එම සූත්‍රයේ දක්‌නට ලැබේ. මෙම සියලු දේ ශිෂයාගේ මෙලොව පරලොව යහපතට යෙදවීම ගුරුවරයාගේ අරමුණ විය යුතුය.

දුරු කතර ගෙවා යන ගැල්පෙළට නායකත්වය දෙන මුල් ගැල්කරුවා සේ නිශ්චිත අරමුණක්‌, ඉලක්‌කයක්‌ ඔස්‌සේ යාමට මඟ පෙන්වීම ගුරුවරයාගේ කාර්යභාරය වේ. මේ පිළිබඳ ලොව ආදර්ශමත්, අතීත ගෞරවයට පාත්‍ර වූ එකම ගුරුවරයා වනුයේ අප ගෞතම සම්මා සම්බුදුරාජණන් වහන්සේය. උන්වහන්සේගේ ගමන් මඟ ඉතා පැහැදිලි ය. තමන් පසුපස එන ශිෂ්‍ය පරම්පරාවට උන්වහන්සේ දුන් ආදර්ශය ලොව මවිත කරවන සුළුය. වත්මන් ගුරු පරපුර දෙස බැලූ විට මෙම භූමිකාව කෙසේ ගැළපිය යුතු ද යන්න තරමක්‌ ගැටලු සහගත ය.

බෞද්ධ අධ්‍යාපන සම්ප්‍රදායේ ''ශික්‌ෂණය' ලබන්නා '' ශ්‍රාවක'' යනු කථික හෙවත් දේශන සම්ප්‍රදාය අනුව ශ්‍රවණය කර ඉගෙන ගනු ලැබීමයි. ශ්‍රාවක යනු ශ්‍රවණ හෙවත් ඇසීම මඟින් අධ්‍යාපනය ලැබීමේ සම්ප්‍රදායයි. ඒ අනුව ලිත අධ්‍යාපනය බිහිවීමට පෙර පැවතියේ කථික අධ්‍යාපන සම්ප්‍රදායයි. ඒ අනුව ලිත අධ්‍යාපනය බිහි වු සැණින් බුදුන් වහන්සේ දේශනා කළ අසූහාර දහසක්‌ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ විය. බුදුන් වහන්සේගේ ඒ අසමසම අධ්‍යාපන වේදියාගේ පළමු ශිෂ්‍ය පරම්පරාව වූයේ පස්‌වග මහණුන් ය. මෙහිදී උන්වහන්සේ ඔවුන්ගේ අවබෝධ කර ගැනීමේ ශක්‌තිය අනුව වෙන් වෙන්ව ඉතා ඉක්‌මණින් ධර්මය අවබෝධ කළ සේක.

ගුරුවරයා හා ශිෂ්‍යයා පිළිබඳ හැදැරීමේදී විනය පිටකයේ මහාවග්ග පාලියේ සඳහන් තොරතුරු ඉතා වැදගත් වේ. ශිෂ්‍ය පිරිසට පනවන ලද නීති රීති විනය පිටකයේ අඩංගු ව ඇත. මේ අනුව ඇදුරුතුමා විසින් පනවන විනය නීති අනුව කටයුතු කිරීම ශිෂයාගේ භූමිකාව ලෙස සඳහන් ව ඇත. තමාට සිප් සතර ඉගැන්වූ ගුරුවරුන් හට සැලකීම පිළිබඳ දස දිසා සූත්‍රයේ දේශනා කර ඇත. මහානාග තෙරුන් විසින් වදාරණ ලද ථේරි ගාථා පාලියේ ජනක නිපාතයේ ගාථා අද සිසු පරපුර අනිවාර්යෙන් අධ්‍යනය කළ යුතුය. එසේ වුවහොත් අදට වඩා හෙට යහපත් ගුරු සිසු සබඳතාවක්‌ ගොඩනැගෙනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.