නිර්ප්‍රභූ බුදු දහම හා ප්‍රභූ බුද්ධාගම

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

මෙරට විවිධ වර්ගයේ බෞද්ධ භික්‌ෂූහු සිටිති. බොහෝ අයගේ භික්‌ෂූත්වය ඇත්තේ නමේ සහ හැඳ පෙරවන කහ රෙදිවල පමණකි. චර්යාවෙන් නම් නොවේ. ඒ අතරිනුත් සමහරු රහත්හුය. සමහරුන්ට දේශපාලන උණ විකාරවල් වැළඳී ඇත. සමහරු ජාතීවාදීහුය. තව සමහරු පාතාල මැරයන්, චණ්‌ඩීන් පරිදි වේදිකාවල රඟදෙති. අයෙකු අතපය විසි කර කතාබහ කරද්දී තවත් අය මරාගෙන මැරෙන්නට හදති. මේ රටේ ඇත්තේ මේ රටටම ආවේණික පුදුම විදියේ බුද්ධාගමක්‌ය. මේකට ශ්‍රී ලාංකික බෞද්ධ මොඩලය යෑයි කීවද වරදක්‌ නැති තරමට එහි අනන්‍යතාව කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූ බුද්ධාගමත් තිෙරී. නිර්ප්‍රභූ බුද්ධාගමත් තිෙරී. ඒ අතරින් ප්‍රභූ බුද්ධාගමට අතීතයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත. අතීතයේ තිබූ රාජ්‍ය අන්‍රග්‍රහය එලෙස තබා ගැනීමට මෙකලද භික්‌ෂු සංස්‌ථාව ලොකු උත්සාහයක්‌ දරණ බව ජන සන්නිවේදන මාධ්‍ය තුළ දැකගත හැකිය.

ප්‍රභූ බුද්ධාගම රාජ්‍ය උරුමය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය උරුමය එලෙසම රැක ගැනීමට ඈත අතීතයේ සිටම රජවරු උත්හාස දරන ලද බව ශ්‍රී ලාංකික ඉතිහාසය මනා සාධකයකි. ඈත අතීතයේ භාරතයෙහි බ්‍රාහ්මණයන් ඔවුන්ට හා හින්දු ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය අනුග්‍රහය එලෙසම පවත්වා ගැනීමට විශාල වෙහෙසක්‌ දරණ ලද බව මනුස්‌මෘතිය හා භගවත් ගීතාව වැනි හින්දු මූලාශ්‍ර අනුව පැහැදිලි වේ. එසේම අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය ලැබීමට හා එය තහවුරු කර ගැනීමට හින්දු බ්‍රාහ්මණයන්ගේ අනුග්‍රහය පැතූ බවටද ඉහත එම කෘති සාධක සපයයි. මේ අනුව බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යෑයි කුල සතරකට බෙදී තිබූ පැරණි භාරතීය සමාජයේ වර්ණාශ්‍රම ධර්ම, කුලභේදය ආදී දේ දැඩිව බලපැවැත්විණ. පැරණි භාරතීය සමාජයේ බ්‍රාහ්මණ වංශිකයන්ට පහළින් සිටි ක්‌ෂත්‍රියන්හට ඊට ඉහළින්ම සිටි බ්‍රාහ්මණයන්ගේ පක්‌ෂපාතීත්වය හා කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව තිබිණ. කුල ක්‍රමය අනුව ඉහළින් සිටියද බ්‍රාහ්මණයන්ට රාජ්‍ය බලය නොවූ බැවින් රාජ්‍ය බලය තිබූ ක්‌ෂිත්‍රියන්ගේ සහයෝගය සමාජයේ බලවත්කම ලැබීම පිණිස බ්‍රාහ්මණයන්ට උපකාරී විය. මේ නිසා බ්‍රාහ්මණයන් හා අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය සඳහාම එකිනෙකාගේ පිට කසා ගනිමින් උනුන් හා පක්‌ෂපාතීව කටයුතු කළහ. භාරතයට සමගාමීව ශ්‍රී ලංකාවේද ඈත අතීතයේ සිට බුද්ධාගම හා රාජ්‍ය බලය සමඟ දක්‌නට ඇත්තේ මීට සමාන තත්ත්වයකි. විශේෂයෙන්ම මෙරට මහින්දාගමනයේ සිටම ව්‍යාප්ත වූයේ බුදුරදුන් ජීවමාන සමයේ භාරතයේ තිබූ බුදුදහමට වඩා වෙනස්‌ අමුතු මොඩලයක වූ බුද්ධාගමකි.

එය රාජ්‍ය බලය හා ප්‍රභූත්වය හා සබැඳි බුද්ධාගමක්‌ විය. මහින්දාගමනයත් සමඟ මෙරටට බුදු දහම ලැබීමේ ආරම්භක අවස්‌ථාවේදීම බුදු දහමේ ශ්‍රී ලාංකික අනන්‍යතාව වූ මහින්ද බුද්ධාගමේ මොඩලය හඳුනාගත හැකිය. මහාවංශය, වංශකතා සාහිත්‍යය බඳු ඓතිහාසික වාර්තා අනුව දෙවනපෑතිස්‌ රජු හා මහින්ද හිමියන් අතර ඇති වූ බුද්ධිමය සංවාදයකින් පසුව මෙරටට බුදු දහම හඳුන්වා දුන් බව පැවසේ. එහිදීද සෘජුව බුදු දහම ගනුදෙනු කර ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාවගෙන් පරිබාහිර හුදු රාජ්‍යත්වය හා රාජකීයත්වය සමඟ බව පෙනී යයි. පසුව ඇති වූ භික්‌ෂු පැවිද්ද හා භික්‌ෂු, පැවිද්ද පිළිබඳව සංසිද්ධීන්ගෙන් පවා මේ ලාංකික බුද්ධාගමේ ප්‍රභූ මොඩලය වඩාත් තහවුරුව කැපී පෙනෙයි. දෙවනපෑතිස්‌ රජුගේ අමාත්‍ය මණ්‌ඩලයේ සිටි අරිට්‌ඨ ඇමතියා පැවිදි වීම හා විනය සංගායනා කිරීමෙන් ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය මෙරට ස්‌ථාපිතවී යෑයි මහින්ද හිමියන්ගේ මුවට නඟා ප්‍රකාශ කිරීම, අනුලා බිසව ප්‍රධාන ප්‍රභූ කාන්තා පිරිසක්‌ සසුන්ගතවීමෙන් ලාංකික ප්‍රභූ භික්‌ෂු, පැවිද්දේ මොඩලය ස්‌ථාපිත වීම ආදී සංසිද්ධින් මෙයට නිදසුන් ලෙස සැලකිය හැකිය. සාමාන්‍ය ජනතාවට වඩා රටක රජු ඇතුළු ප්‍රභූ පිරිස සමඟ ළංව කටයුතු කිරීමේ අවශ්‍යතාව හා අනන්‍යතාව මේ ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලයේ කැපී පෙනෙන සුවිශේෂී වූ අනන්‍යතාවක්‌ ලෙස හඳුනාගත හැකිය. ශ්‍රී ලාංකික ඉතිහාසය විවිධ හැල හැප්පීම්වලට දිගින් දිගටම ලක්‌වූවද හුදු රාජ්‍ය බලය හා ප්‍රභූත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට තිබූ ඇති බව මහා විහාරය, අභයගිරිය, ඡේතවනාරාමය ආදී විවිධ බෞද්ධ ගුරුකුල බිහිවීමේ හේතු සාධක සලකා බැලීමේ දී ඉතා හොඳින්ම පැහැදිලි වී යයි. රජවරු උසිගන්වා රාජ්‍ය බලය ලබා පසුව රාජ්‍ය බලය උපයෝගී කරගෙන විවිධ වරදාන, වරප්‍රසාද, ගම්බිම්, ඉඩකඩම් ආදී ලාභ ලැබීමේ අවශ්‍යතාව මේ ගුරුකුල බිහිවීමේ පසුබිමේ පැවති ආකාරය ශාසන ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී දැකගත හැකිය

සමාරම්භක යුගයේදී මේ තත්ත්වය හුදු මාර්ගඵල අවබෝධයට බාධාකාරී නොවූ බව එකල මඟඵල ලාභීවූ සුවිශාල පිරිස අනුව සැලකිය හැකිය. නමුදු මේ තත්වය පසුකාලීනව වෙනස්‌ විය. බටහිර ජාතීන් මෙරට රාජ්‍ය බලය අත්පත් කරගැනීම මෙරටේ ස්‌ථාපිතව පැවති ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට ඉතාම අහිතකර ලෙස බලපානු ලැබීය. බටහිර ජාතීන් කතෝලික, ක්‍රිස්‌තියානි ආදී ඒක දේවවාදය කේන්ද්‍රකරගත් ආගමක්‌ ඇදහීමද එහි ආභාෂය ලැබූ බටහිර සංස්‌කෘතියද ඊට ප්‍රබල ලෙස හේතු විය.

මෙහි උච්චතම අවස්‌ථාව 1815 උඩරට ගිවිසුම අනුව නීත්‍යානූකූලවම බ්‍රිතාන්‍යයන්හට මෙරට රාජ්‍ය බලය හිමිවීමයි. මේ අවස්‌ථාව වනවිට මෙරට භික්‌ෂු සාමණේර පැවිද්ද පවා නොමැති මට්‌ටමකට ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය පිරිහී පැවතින. එකල මෙහි තිබූ උඩරට ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට අනුව ලංකාවේ විසුවේ ගණින්නාන්සේලා නමින් හැඳින්වූ පිරිසකි. මොවුහු භික්‌ෂුන් නොවූහ. මේ ගණින්නාන්සේලා නමින් හැඳින්වූයේ ගිහියන් ලෙස ආවාහ විවාහ ආදියට ඇතුළත්ව දූදරුවන් ලබා කෘෂිකර්මය ආදී රැකියාවන්හි නිරත වූ එසේම පාංශුකූල ආදී ආගමික කටයුතු කිරීමට අවශ්‍ය වූ අවස්‌ථාවලදී කහ රෙද්දක්‌ ඇඟ දවටාගෙන ඒ කාර්යයන් ඉටුකර ඊට නියමිත කුලය ගෙන පසුව යළිත් ගිහියන් ලෙසම ජීවත්වූ ගිහි වත හා පැවිදි වත යන දෙකටම අයත් ක්‍රියා කරමින් කාලය ගතකළ අර්ධකාලීන ආගමික පූජක පිරිසකි. පසුකාලයකදී වැලිවිට සරණංකර හිමි සියම් උපසම්පදාව මෙරටට ගෙන ඒම තුළ මෙරට වියෑකී ගොස්‌ තිබූ අතීත ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය යළිත් ප්‍රකෘතිමත් කිරීම දැකිය හැකිය. පසුව සියම් මල්වතු අස්‌ගිරි රාමඤ්ඤ අමරපුර ආදී වශයෙන් නිකාය භේදය වර්ධනය වූයේද මෙරට තුළ වර්ධනය වූ ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය තුළ සාමාන්‍ය ජනතාව හා කුලීන ප්‍රභූ රාජ්‍යත්වය හා පක්‌ෂපාතී බව දැක්‌වූ පිරිස අතර තිබු වෙනස වඩ වඩාත් පැහැදිලි පරතරයකට පත්වූ බැවිනි.

සියම් මල්වතු අස්‌ගිරි පාර්ශව මේ අනුව ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය නියෝජනය කළ අතර රාමඤ්ඤ අමරපුර ආදී පාර්ශව ලාංකික නිර්ප්‍රභූ බුද්ධාගමේ මොඩලය නියෝජනය කළේය. මේ නිකාය භේදය මුල්කාලීනව උපසම්පදාව ගෙනපැමිණි රට මුල්කරගෙන ඇති වුවද පසුකාලීනව ඒ ඒ නිකායට අනුව පැවිදි කළයුතු අයගේ කුලය, ජන වර්ගය, මවුපිය පෙළපත් නාමය ආදී වශයෙන් මුල්කාලීන පාලි ත්‍රිපිටක බුදු දහමේ බුදුරදුන් ප්‍රතික්‌ෂේප කර වදාළ කරුණුවලට මුල්තැන ලබාදී ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකිය. මේවාට ඔවුන් විසින් ලබාදී ඇති හේතුසාධක දුටුවිට සිහිපත්වනුයේ රා බීමට කිතුලට නැග්ග මිනිසාගේ උපමාවයි. රජු දුටු විට කුලහීන පැවිද්දන් නැගිටීම මෙසේ හීනකුල යෑයි සම්මත පවුල්වල දරුවන් පැවිදි කරගැනීම ප්‍රතික්‌ෂේප කරගැනීමට හේතුව ලෙස සියම් මල්වතු ආදී නිකාය දක්‌වන හේතුව සැබෑ ථෙරවාදී පාලි ත්‍රිපිටක බෞද්ධ ඉගැන්වීම්වලට අනුව නම් අමූලික අසත්‍යයක්‌ බව ඉඳුරාම පැහැදිලි වේ. මේ අනුව සියම් හෝ මල්වතු නිකායක පැවිද්ද ලැබීමට නම් ගොවිගම හෝ උඩරට රදළ ආදී ඉහළ කුලයක වීම අනිවාර්ය සාධකයකි. මෙය බුදුන් වදාළ සැබෑ ඉගැන්වීම් අනුව පිළිගත නොහැක.

බුදුරදුන් ජීවමාන කාලයේදී හත් හැවිරිදි වියේදීම පැවිදි උපසම්පදාකර පසුව අර්හත්වය ලැබූ සුනීත, සෝපාක යන දෙදෙනාම අතීත භාරතීය ජන සමාජයේ නින්දාවට පරිභවයට ලක්‌වූ පහත්ම කුලයවූ ක්‌ෂුද්‍ර කුලයට ලක්‌වූ අයයි. එසේම බුදුරදුන් ධරමාන සමයේදී පැවිදිව අර්හත්වය ලබා විනයධර තෙරවරුන් අතර අග තනතුර හෙබ වූ උපාලි තෙරුන් රජ මැදුරේ ක්‌ෂත්‍රිය කුමාරවරුන්ගේ කොණ්‌ඩා රැවුල් කැපූ කරණවෑමියාය. මේ ආකාරයටම මුල් කාලීන බුදු සසුනේ පැවිද්ද ලබා පසුව අර්හත්වයට පත්වූ පිරිස අතර සුවිශාල පිරිසක්‌ පහත් යෑයි සම්මතවූ කුලවල ජනතාවගෙන් සමන්විතව සිටි අතර බුදු හිමියන්ගේ ඔවුන්ගේ කුලය ජාතිය ආදී භේද නොසලකා හුදු ඔවුන්ගේ දක්‌ෂතාව හා ආධ්‍යාත්මික හැකියාව අනුව අග්‍ර තනතුරු ලබාදීමෙන් හා සෑම අයෙකුටම ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ යන නාමය ලබා දීමෙන් බුද්ධකාලීන භික්‌ෂු හා භික්‌ෂු, සංස්‌ථා තුළ සමානාත්මතාව තහවුරුකර තිෙරී.

මේ තත්ත්වය වෙනස්‌වීමේ හැරවුම් ලක්‌ෂය බුදුරදුන් පිරිනිවීමෙන් පසුව මාස 03කට පසුව පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාවේදී දැකගත හැකිය. සැරියුත්, මුගලන් දෙනම මෙන්ම මහා කාශ්‍යප හිමියන්ද බ්‍රාහ්මණ සමාජයට අයත් වූවෙකි. බුදුරදුන්ද ක්‌ෂත්‍රියෙකු බැවින් බුදුන් ජීවමාන කාලයේදී භික්‌ෂු භික්‌ෂුණි සංස්‌ථා තුළ බ්‍රාහ්මණ බලය මැඩ පැවතී තිබිණ.

බුදුරදුන් පිරිනිවීමෙන් පසුව එම අධිකාරී බලය අහෝසිව ගිය බැවින් යළිත් භික්‌ෂු භික්‌ෂු, සමාජය තුළ බ්‍රාහ්මණ බලයට නැගී සිටීමට අවස්‌ථාව සැලසිනි.

ප්‍රථම සංගායනා අවධිය එහි කැපී පෙනෙන අවස්‌ථාව සනිටුහන් කරන්නකි. ධර්මසංගීතිය සඳහා යෝග්‍ය භික්‌ෂුන් 500ක්‌ මහා කාශ්‍යප හිමි විසින් එහිදී තෝරා ගන්නා ලද අතර ඊට වඩා සුවිශාල භික්‌ෂු පිරිසකට ධර්ම සංගීතිය පැවති රජගහ නුවරටවත් පැමිණීමට නොහැකි සේ අජාසත් රජු ලවා රාජානුග්‍රහයෙන් රැකවල් කරවා තිබූ බව ධර්ම සංගයනා වාර්තාවල සඳහන්ය. එලෙස ධර්ම සංගීතියට සහභාගීවීමට නොහැකිවූ සුවිශාල සංඝ පිරිසට අයත් වූ විශාල ශිෂ්‍ය භික්‌ෂු පිරිසකගේ ආචාර්යවරයෙකුවූ මුල්ශ්‍රාවක පිරිසට අයත් ශාසනභාර මහතෙර නමකවූ දක්‌ණ ගිරියේ විසූ පුරාණ හිමි ධර්ම සංගිතිය පැවැත්වීමෙන් පසුව රජගහ නුවරට පැමිණි අවස්‌ථාවේදී මහා කාශ්‍යප හිමි ධර්ම සංගිතිය පිළිබඳව අනුමැතිය අපේක්‌ෂා කළ නමුදු පුරාණ හිමිගේ පිළිතුර වූයේ සංගීතිය හොඳින් සිදු වුවද තමන් ඇතුළු පිරිස බුදු මුවින් දේශනා කර ඇති ආකාරයටම බුද්ධ දේශනා පිළිගන්නා බවකි. මෙහි ව්‍යංගාර්ථය බුද්ධ දේශිත වූ සැබෑ බුදු දහමේ නිර්ප්‍රභූ මොඩලය මිසක සංගීතිකාරක බ්‍රාහ්මණ ප්‍රභූ මොඩලය තමන් නොපිළිගන්නා බවයි.

උපතින්ම ක්‌ෂත්‍රියෙකු වූ බුදුරදුන් ජීවමාන යුගයේ භාරත සමාජයේ බ්‍රාහ්මණ බලය ඉහළින් වැජඹුනු අතර බුදු සසුන තුළට එම තත්වය ඇතිවීම වැළැක්‌වීමට බුදුහු ක්‍රියාකළහ. වේද සාහිත්‍ය රචනාකොට තිබූ බ්‍රාහ්මණයන් ඉතා උසස්‌කොට සැලකූ සංස්‌කෘත භාෂාවට පොදු ජනතාවගේ භාෂාව මාධ්‍යය ලෙස එකල සැලකූ මාගධී (පාලි) බසින් තිබූ බුදුරන්ගේ ඉගැන්වීම් පරිවර්තනය කිරීමට බුදුන්වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි අවස්‌ථාවේ බුදුරදුන් එයට එරෙහිවීම නිර්ප්‍රභූ බුදු දහම ප්‍රභූ බුද්ධාගම බවට පත් කිරීමට බුදුරදුන් දැක්‌වූ අකමැත්තට හා විරෝධයට නිදසුන් ලෙස දැක්‌විය හැකිය. ලක්‌දිවට මහින්ද හිමි

රැගෙන පැමිණියේ එවකට භාරත සමාජය තුළ විනාශවී යාමේ තර්ජනයට හසුව පැවති භාරතීය බ්‍රාහ්මණ ප්‍රභූ මහා කාශ්‍යප මොඩලයයි. භාරතීයේ තිබූ මුස්‌ලිම් ආක්‍රමණ විවිධ තර්ජන හමුවේ සැබෑ බුදු දහමේ නිර්ප්‍රභූ ගම්පති මොඩලය විනාශවී නැත්තටම නැතිවී ගියේය.

මහින්දාගමනයට පෙර බුදුන් ශ්‍රී ලංකාවට වැඩමවූ බවට සඳහන්ය. චූලෝදර මහෝදර සොයුරු නාරජවරුන්ගේ ප්‍රශ්නයකට වැඩි අවස්‌ථාවේදී එය සංසිඳවා මැණික්‌ පුටුව මත හිඳ දම් දෙසූ බව කියවේ. එසේ නම් ඒ අවස්‌ථාවේදී බුදුරදුන් ජීවමාන කාලයේදී භාරතයේ තිබූ නිර්ප්‍රභූ අව්‍යාජ බුදු දහම මෙරට පොදු ජන සමාජයට හඳුනා ගැනීමට අවස්‌ථාව ලැබී ඇත. නමුදු මහින්දාගමනයෙන් පසුව මෙරට ප්‍රභූ බුද්ධාගම ස්‌ථාපිතවූ ආකාරයට එය මෙරට තුළ ස්‌ථාපිත නොවීමට හේතුව කුමක්‌ද? නිර්ප්‍රභූ බුදු දහමේ මොඩලයට වඩා ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට ලංකාවාසී ජනතාව තුළ පැවති පිළිගැනීම ඊට හේතුවක්‌ද?

ජීවමාන බුදුන් විසින්ම ව්‍යාප්තකළ නිර්ප්‍රභූ මොඩලයට වඩා ඒ බුදුරදුන්ගේ පශ්චාත් කාලීන අනුගාමිකයෙකු වූ මිහිඳු හිමිගේ ප්‍රභූ මොඩලය බලවත් වූයේ මන්ද? මෙරට ප්‍රජාව තුළ තිබූ අනන්‍යතා ලක්‌ෂණ මැනවින් හඳුනා ගැනීමට මිහිඳු හිමි දැක්‌වූ අනුකූලතාව වෘක්‌ෂ පර්වත වන්දනාව වෙනුවට ආරාම, බෝධි වන්දනාව ජනප්‍රිය කරවීම බුදු දහමේ නිර්ප්‍රභූ මොඩලයේ ප්‍රතිපත්ති පූජාවට අභිබවමින් ප්‍රභූ බුද්ධාගමේ මොඩලයේ ආමිස පූජාව ඉදිරියට පැමි,මේ පැහැදිලි හැරවුම් ලක්‌ෂයකි. නුවර යුගයට අයත්වූ බුද්ධාගම පිරිහුනු කාලවකවානුව තුළ ප්‍රතිපත්තියට වඩා ආමිසය කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමි,ම ආමිස පූජාවට අයත් දළදාවට අතිමානුෂික ගෞරව කිරීමේ ප්‍රභූ බුද්ධාගම තුළ පැහැදිලිව දැකගත හැකි ලක්‌ෂණයකි. ඒ ප්‍රභූ බුද්ධාගමේ මොඩලය සියම් මල්වතු අස්‌ගිරි පාර්ශව වෙත ලැබෙන රාජ්‍ය අනුග්‍රහ මගින් නිරූපණය වේ.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.