බුදු සමයෙහි ප්‍රතීයමාන මානව සම්පත් කළමණාකරණයෙහිලා ප්‍රායෝගිකත්වය

පූජ්‍ය තිස්‌සමහාරාමයේ ධම්මසාර හිමි

කිසියම් සංවිධානයක අභිමතාර්ථ ඉටු කර ගැනීමට හැකිවන පරිදි සංවිධාන මානව සම්පත් උපයෝජනයට අදාළ තීරණ ක්‍රියා පටිපාටි, උපාය ක්‍රම, ප්‍රතිපත්ති ආදිය තීරණය කිරීම ආදී කාර්යාවලිය මානව සම්පත් කළමණාකරණය නම් වෙයි. අද්‍යයතනයෙහිදී ද ලොව පුරා වඩාත් සාකච්ඡාවට බඳුන්ව ඇති මානව සම්පත් කළමණාකරණය ආයතනික අරමුණු හා ඉලක්‌ක සාක්‍ෂාත් කර ගැනීමෙහිලා වැදගත්ම ක්‍ෂේත්‍රයකි. සජීවි, සප්‍රාණික හා ක්‍රියාකාරී, සංවිධානය වීමේ හැකියාව ඇති සංකීර්ණ හා පුරෝකථනය කිරීමට අපහසු, නිර්මාණශීලිත්වයෙන් සම්ප්‍රයුක්‌ත කාර්යඵල මට්‌ටම් භාවමය තත්ත්වයන් ඇති නිපුණතාවයන් යනාදිය අතර විවිධත්වයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට තිබීම, අනෙකුත් සම්පත් පිළිබඳ තීරණ ගත හැකි වීම ආදී ලක්‌ෂණ මානව සම්පත් සතු විශේෂ ගුණාංග ලෙස සැලකේ.

බුදු සසුනෙහි මානව සම්පත් ලෙස දක්‌වනුයේ, භික්‍ෂු, භික්‍ෂු, උපාසක හා උපාසිකා යන සිව්වනක්‌ පිරිස වේ. මූලික වශයෙන්ම ගිහි, පැවිදි ලෙස බෙදෙන අතර නැවත ගිහි සමාජය, උපාසක, උපාසිකා වශයෙන් ද පැවිදි සමාජය භික්‍ෂු, භික්‍ෂු, වශයෙන් ද වර්ගීකරණයට ලක්‌කළ හැකිය. මෙම සිව් පිරිස අපේක්‍ෂිත අරමුණු සාධනය කර ගැනීම සඳහා යෙදවීම මානව සම්පත් කළමනාකරණය නම් වේ. මානව සම්පත් කළමණාකරණයෙහිලා අදාල මූලිකම අවස්‌ථාව ලෙස මුල් බුදු සමයෙහි හමුවන්නේ බුදු රඳුන් සිය මුල්ම ශ්‍රාවක පිරිසට දෙන ලද ප්‍රථම අවවාදයයි. එම අවවාදය තුළ අදාළ භික්‍ෂු පිරිස වෙත ඉදිරිපත් කරන ලද ධර්මය කාර්ය භාරය පැවරීමෙන් ඒ බව මනාව ප්‍රකටය. මෙකී කාර්යභාර්ය මගින් විශද වනුයේ මානව සම්පත් කළමණාකරණමය කෞෂල්‍යයයි.

තම සංවිධානයෙහි මානව සම්පත සතු විවධ දක්‌ෂතා කුසලතා පිළිබඳ අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම නිවැරදි කළමණාකරුවෙකු සතු ලක්‍ෂණයකි. සංවිධානයෙහි සාමාජික පිරිස්‌ තුළ ප්‍රකට වන දක්‌ෂතා, කුසලතා නිසි ලෙස හඳුනාගෙන කටයුතු කිරීම පිළිබඳව බුදු හිමියෝ අද්විතීය කළමණාකරුවෙකුගේ ලක්‌ෂණ ප්‍රකට කරති. භික්‍ෂු සමූහය අතරින් එම් ක්‍ෂේත්‍රයන්ට අදාළ දක්‌ෂතා සහිත භික්‍ෂුන් තෝරා ඔවුනට හිමි භූමිකාව කවරේදැයි පහදා දීම අංගුත්තර නිකායෙහි එතදග්ග පාලියෙහි ප්‍රකට වේ. විවිධ දක්‍ෂතා ඇති ශක්‍යතාවයන්ගෙන් පරිපූර්ණවූ භික්‍ෂුහු හඳුනාගත් උන්වහන්සේ ඔවුන්ගේ දක්‌ෂතා සංවර්ධනය කරලීමට ප්‍රාගුණ්‍යය පළට කිරීමට අවස්‌ථාව හා පහසුකම් සලසා දුන්හ. සංවිධානයෙහි ප්‍රධාන ශ්‍රාවක තනතුරු සඳහා සැරියුත්, මුගලන් දෙනම පත්කරන ලදි. ශාරිපුත්‍ර හිsමි මහා ප්‍රඥාවන්තයන් අතර ද, මුගලන් හිමිත මහා සෘද්ධිමතුන් අතර ද අග්‍රපාප්ත වූහ. මෙලෙස අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රදානය සංවර්ධනය කිරීම, ව්‍යාප්ත කිරීම, හා සිය සංවිධානයෙහි කටයුතු සඳහා මැනවින් ඔවුන් යොදවා ගැනීමට කළමනාකරුවෙකු ලෙස බුදු රදුන්ට හැකි වූ බව පැහැදිලිය. ඕනෑම සංවිධානයක මානව සම්පත් එම සංවිධානය සතු ශක්‌තිය වේ. මෙම ශක්‌තිය සංවිධානයේ අරමුණු ඉටුකර ගත හැකි පරිදි නිවැරදි වූ අනාවරණය කර ගැනීම හා උපයෝගී කර ගැනීම විශිෂ්ඨ කළමණාකරුවෙකු සතු ගුණාංගයකි.

ඕනෑම ආයතනයක හෝ සංස්‌ථාවක ඉදිරි දියුණුව තීරණය වන්නේ එහි පවත්වන අරමුණු හා පරමාර්ථ මතය. එම අරමුණු හා පරමාර්ථ සාධනය කර ගනීමෙහිලා බලපානු ලබන වැදගත්ම සාධකය වන්නේ මානව හා භෞතික සම්පත් නියමාකාරයෙන් යෙදවීමයි. බුදුරජාණන් වහන්සේ ස්‌වකීය මානව සම්පත කළමණාකරණය කිරීමේ දී ආයතනික අරමුණු පැහැදිළිව දක්‌වා ඇත. නිර්වාණය මූලික අරමුණ කර ගනිමින් සිව්වනක්‌ පිරිස ක්‍රියා කළ යුතුව ඇත. අමතරව භික්‍ෂූවක්‌ හෝ භික්‍ෂූණියක්‌ තුළ පැවතිය යුතු අනෙක්‌ පරමාර්ථය වන්නේ ''නො පහන් වූවන්ගේ පහන් බව පිණිස ද, පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩි වීමට ද'', හේතු වන පරිදි ක්‍රියා කළ යුතු අතර ''පහන් වූවන්ගේ නොපහන් බව පිණිසද පහන් වූ ඇතැම් අයගේ වෙනස්‌ බව පිණිස ද නොවිය යුතුය.'' මූලිකවම සිව්වනක්‌ පිරිසට පැහැදිළි අරමුණු ලබාදී එම අරමුණු සාධනය කර ගැනීමේ එකායන පරමාර්ථයෙන් ක්‍රියා කළ යුතු බව උන්වහන්සේගේ අනුශාසනාව විය. තවත් උප අරමුණු රාශියක්‌ දක්‌වා ඇත. පැවිදි, පාර්ශවයේ වගකීම වන්නේ ගිහියාට ධර්ම දේශනා කොට ඔවුන්ව පවින් වැළක්‌වීම හා යහපතෙහි යෙදවීම ආදියයි. ගිහි සමාජය සදාචාරාත්මක බවට පත් කිරීමට පැවිද්දත් උත්සාහවත් විය යුතුය. එසේ ධර්ම දේශනා කරන පැවිද්දන් විෂයෙහි ගිහියා සිව්පසයෙන් ප්‍රත්‍යQපකාර කළ යුතුය.

මානව සම්පත් කළමණාකරණයෙහි ලා බුදු සසුන තුළ දැකගත හැකි සුවිශේෂී අතර ලක්‌ෂණයක්‌ නම් සංවිධානයෙහි මානව සම්පත් අතර පැවතිය යුතු සමගිය ඉතා උත්කර්ෂවත් ලෙස අගය කිරීමයි. යම් සංවිධානයක කළමණාකරණමය ක්‍රියාවලිය සාර්ථක වීමට නම්, එකී සංවිධානය හා බැදුණු මානව සම්පත අතර සමගිය සහයෝගීතාව පැවතීම අනිවාර්ය වේ. සිය ශ්‍රාවක පිරිසර අතර, පැවතිය යුතු සමගිය බොහෝ අවස්‌ථාවලදී බුදු රදුන්ගේ ඇගයීමට ලක්‌විණි. භික්‍ෂු සංඝයාගේ සමගිය සැපයකි (සුඛා සංඝස්‌ස සාමග්ගි) මෙසේ සමගිය ඇගයීමට ලක්‌වූයේ පුද්ගල විවිධතාවන් (වෙමත්තතා) යුතු සමාජයක විවිධ තරාතිරම්වල පිරිසකගෙන් මානව සම්පත සැකසී තිබීම හේතුවෙනි. ලෝභ, දෝස, මෝහ ආදී අනේකවිධ අගෝචර මනෝභාවයක්‌ ගෙන් යුතු පිරිස්‌ මෙන්ම එවැනි දැයින් විනර්මුක්‌ත අයගෙන් ද, බුදු සසුනෙහි මානව සම්පත, සමන්විත විය. එහෙයින්ම සමාජය පියුම් විලකට උපමා කළ අයුරු මුල් බුදු සමයෙන් ප්‍රතීයමාන වේ. මානව සම්පත තුළ සමගිය දුරු කරන ප්‍රබල සාධකයන් වනුයේ, විවිධ ගැටළු ප්‍රශ්න ආදිය උද්ගත වූ අවස්‌ථාවන්හි ඒ පිළිබඳව යථාවබෝධයෙන් කටයුතු නො කිරීමයි. එකම සංවිධානයක්‌ තුළ ක්‍රියාත්මක වන සාමාර්කයන් අතර විවිධ ආකාරයෙන් ගැටළු පැන නගින්නේ ඔවුනතර යථාවබෝධය නොමැති හෙයිනි, අවිශ්වාසය අනවබෝධය, දුරු කර ගැනීම හා ගැටළුවලට තුඩු දුන් මූල බීජ පිළිබඳව වටහා ගැනීමට උත්සුක වීම අත්‍යාවශ්‍යය වේ. එ නිසා සිය සංවිධානය තුළ සමගිය රැක ගනිමින් අෙන්‍යාන්‍යය ස`ගයෝගීත්වය හා සහභාගීත්වය සඳහා ඇති කර ගත යුතු ශික්‍ෂණය සූත්‍ර පිටකයෙහි භේද භින්නවීම එහි කළමණාකරණමය ක්‍රියාවලිය දුර්වල කරන්නකි. භේදභින්න වූ පිරිස අතර සමගිය, සමාදානය, සහෝදරත්වය, සහයෝගීත්වය යනාදිය නොමැත. ඔවුහු ඉතා සුළු කරුණකදී පවා වාද, විවාද කිරීමට සූදානම් වෙති. එබඳු පිරිසක්‌ අතර කුමන ආකාරයේ කළමණාකරණයක්‌ වුවද පැවතිය නොහැකිය. එහෙයින් මානව සම්පත සමගි සම්පන්න වීම සංවිධානයක මනා කළමණාකරණය සඳහා අනිවාර්ය සාධකයක්‌ වේ.

බෞද්ධ ඉගැන්වීම් අනුව මානව සම්පත් කළමණාකරණය කිරීමේ දී අත්තර් පුද්ගල සම්බන්ධතාව පැවතිය යුතුය. ආයතනයක සිටින මානව සම්පත සෑමවිටම වයසින් සමාන නොවේ. විවිධ වයස්‌ කාණ්‌ඩයන්ට අයත් වූවන් සිටින අතර බාලයන් මෙන්ම වැඩිහිටියන් ද ඇත. ඔවුන් අතර ඇති අෙන්‍යාන්‍යය සුහඳතාව ආයතනික අරමුණු සාධනය කිරීමෙහි ලා අතිශය වැදගත් වෙයි. චුල්ලවග්ග පාලියේ වත්තක්‌ඛන්ධකය තුළ ආචාර්ය, අන්තේවාසික, උපාධ්‍යාය සද්ධිවිහාරික වශයෙන් මානව සම්පත කොටස්‌ හතරකින් යුක්‌තව දක්‌වා තිෙරී. ආරාමික මානව සම්පතේ ප්‍රධානීන් ආචාර්ය හා උපාධ්‍යය ලෙස ද, එහි වසන්නන් හෙවත් යටත් වැසියන් අන්තේවාසික හා සද්ධිවිහාරික ලෙස ද හැඳින්වේ. මෙය තවත් අයුරකින් කිවහොත් ආයතන ප්‍රධානීන් හා යටත් සේවකයන් ලෙස දැක්‌විය හැකිය. ප්‍රධෘනීන්ගේ කාර්යභාරයත්, යටත් වැසියන්ගේ කාර්යභාරයත් මෙහිලා පැහැදිලිව පෙන්වා තිබීම සාර්ථක මානව සම්පත් කළමණාකරුවෙකු සතු ලක්‌ෂණයක්‌ ලෙස දැක්‌විය හැකිය. බෞද්ධ විග්‍රහයට අනුව සේව්‍යය, සේවක දෙපාර්ශයටම එක හා සමාන වටිනාකමක්‌ ලබා දී තිබේ.

සාර්ථක කළමණාකරුවකු තුළ තිබිය යුතු ප්‍රධානතම ලක්‌ෂණයකි. ආදර්ශ සම්පන්න භාවය, සිරිත් විරිත් ගරු කරන ශීල සම්පන්න වූ කළමණාකරුවාගේ පටන් සමස්‌ත සංවිධානයේ සියළුම සාමාර්කයන් එහි සමගිය සුරැකීම සඳහා මෙන්ම කළමණාකරණමය ප්‍රතිපත්ති වශයෙන් ද ආදර්ශ සම්පන්න වීම අවශ්‍යම වේ. එමෙන්ම යහපත් ගති ස්‌වභාවයන්ගෙන් සමන්විත වීම තුළින් ස්‌වකීය ආයතනයෙහි සමාර්කයන්ද එම ගුණාංගයන්ගෙන් සම්ප්‍රයුක්‌ත කරවීම ද සාර්ථක කළමණාකරුවෙකුගේ යුතුකමකි. ආයතනික සේවකය තම ස්‌වාමියා පිළිබඳ යහපත් ආකල්පයක්‌ දක්‌වන්නේ ඔහු තුළ සද්ගති පවතින්නේ නම් පමණි. එනම්, අවංකකම, ඉවසීම, කළගුණ සැලකීම, නිහතමානීකම, අනන්‍යයන්ට ගරු කිරීම, සිල්වත්කම යනාදියයි.

බුදු දහමට අනුව මෙකී ගති ලක්‍ෂණ දරන කළමණාකරුවා සාර්ථක මෙන්ම ධාර්මික කළමණාකරුවෙකු ලෙස ද සඳහන් කළ හැකිය. මීට අමතරව කළමණාකරුවෙකුගේ අසාර්ථකත්වයට මෙන් අධාර්මික බවට ද හේතුවන අයහපත් චරිත ලක්‌ෂණ 'අසද්ගති' නම් වෙයි. තමාටත් අන් අයටත්, අහිතක්‌ දුකක්‌ පිණිස පවත්නා ක්‍රියා මෙනමින් හඳුන්වයි. කළමණාකරුවෙකු තුළ පැවතිය හැකි අසද්ගති මෙසේය. එනම්,

ඊර්ෂ්‍යාව, මායාව, අතිචප්තා, මහිච්ඡතා, කෝපය, යනාදියයි

සාර්ථක කළමනාකරුවකු අනිවාර්යෙන්ම මෙම අසද්ගතිවලින් මුක්‌තවිය යුතුය. එසේ නොමැති වුවහොත් සෑම විටම තම යටත් පිරිස කෙරෙහි වැරදි ලෙස බැලීමට පෙළඹෙයි. වැරදි ලෙස ක්‍රියා කිරීමට ද පෙළඹෙයි. එවිට සේවක තෘප්තිය නැතිවී ගොස්‌ ආයතනික කටයුතු ද ආසාර්ථකද විය හැකිය. එබැවින් යථෝක්‌ත අසද් ගති දුරලා සත්ගුණ දම් වර්ධනය කරමින්, ප්‍රගුණ කරමින් ක්‍රියාශීලිව, කාර්යක්‍ෂමව, අවංකව, නිවැරදිව, ධර්මානුකූලව කටයුතු මෙහෙයවීම තුළ සාර්ථක මානව සම්පත් කළමණාකරුවෙකු වීමට අවශ්‍යය ශාක්‍යතාව ලැබෙන්නේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.