මල් පූජාවෙන් නිවන් දකින හැටි

කිඹුල්දෙණියේ විජිතනන්ද ස්‌ථවිර
නිග්‍රෝධාරාම සේනාසනය, පොල්පිටිය මැටිකුඹුර, පොල්ගහවෙල

බෞද්ධ සමාජයේ බුදුහාමුදුරුවන්ට මලක්‌ පහනක්‌ නොපිදූ කෙනෙක්‌ නැති තරම්ය. නමුත් මල් පූජාවේ යථාර්ථය හඳුනාගෙන වර්තමානයේ මල් පූජා කරන්නේද? යනු ප්‍රශ්නාර්ථයකි. මල්වට්‌ටිය බුදු පිළිමය අසල තබා ගාථා කියා සාධු කියනවා හැර ඤාණ සම්පයුක්‌තව මෙය සිදු කරන බවක්‌ වර්තමානයේ පෙනෙන්නට නැහැ.

විදර්ශනාත්මකව ඤාණ සම්පයුක්‌තව මල් පූජා කර නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්‌ තියනවා. ශාසන මාර්ගයට බහිනකොට පළමුවෙන්ම ඇතුල්වන්න ඕන සීල ශාසනයට ප්‍රඥාවෙන් තොර සීලයක්‌ නෑ. ඒ වගේම සීලයෙන් තොර ප්‍රඥාවකුත් නෑ.

සත්ත්වයා දුසිල් බවට ඇද දමන සීල ගුණ මකා දමන පළමු බාධකය තමයි කාමය. පළමුවෙන්ම ලස්‌සන දැකල සුවඳට ළං වෙලා මුදු පහසට බැඳිල කාම රොන් පහස ලබල ආස්‌වාද පැණි බීල මත් වෙන බඹරුන් බිඟුන් වගේ, මනුස්‌සයන් මාර තොණ්‌ඩු පහකින් බැඳිච්ච කාම භවයට බැස ගන්නවා. තණ්‌හාවෙන් ඇලෙනවා. උපාදානයෙන් බැඳෙනවා. කාම තරගයෙන් කාම වස්‌තු ලබාගන්න කාම පොර පිටියට බැස ගන්නවා. ඒවා මම කරගන්න මගේ කරගන්න නොයෙක්‌ අකටයුතුකම් කරනවා. දස අකුසලයට බැස ගන්නවා.

මෙතනදී මුල කැපුවොත් අග ලියලන්නෙ නෑ. හැබැයි මුල නොකපා අග කපන්න ගියොත් පඳුරු දමමින් ලියලනවා. මෙත්තා මේ වගේ ලෝක මුළාවට සත්ත්වයා ඇදෙන ආකාරය දැක බලාගන්න මල් හොඳ උපමාවක්‌ වෙනවා. මේ උපමාව විග්‍රහ කරල බලන්න ඕනෑ.

මල් උයනකට ගියොත් දකින්න තියෙන්නෙ මොනවාද? මල් ගස්‌ තියනවා. මල්වැල් තියනවා. ඒ ගස්‌වැල්වල යන්තම් පබලු වගේ හැදිච්ච පුංචි මල් කැකුළු තියෙනවා. ඊට වඩා ටිකක්‌ ලොකු ලොකු මල් කැකුළු තියනවා. හොඳ හැඩට ලස්‌සන පාටට, සුවඳ විහිදෙන පිපුන මල් තියනවා. පිපුණ මල්වල තියන සුවඳ, ලස්‌සන, පාට, රොන්සුණු පැණි වගේ දේවල් මල් කැකුළුවල නෑ. මල් වටේ කැරකි කැරකි සුවඳ ඉව කරල බඹරුන් මී මැස්‌සන් සමනලුන් වගේ කෘමි සතුන් ඇවිත් පිපුණ මල් මත වහනවා. සුමුදු පෙති කනවා. රොන්සුණු කනවා. පැණි ටික උරාබොනවා. ටික වෙලාවකින් ඉගිල්ලිලා යනවා. මේ විදිහට බඹරු මී මැස්‌සො ආදී සතුන් ඉගිල්ලිලා ගිහින් පැයක්‌ දෙකක්‌ ගත වෙච්ච මල් තියනවා. ඒවා මළානික වෙලා. ලස්‌සන අඩුවෙලා. ඒ වගේ තවත් දවසක්‌ විතර ගත වෙච්ච මල් තියනවා. ඒවායේ සමහර පෙති පරවෙලා. හැලිලා පිපුණු මලේ තිබුණු ලස්‌සන සිත් ඇදගන්නා ගතිය. සුවඳ, රොන්සුණු, පැණි වගේ දේවල් දැන් මොකුත් නෑ. තවත් දවසක්‌ දෙකක්‌ ගතවෙච්ච මල් තියනවා. ඒවායේ මල්පෙති වේළිලා. නටුව අග පුංචි කරලක්‌ ගෙඩියක්‌ හැදෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ ගෙඩි කරල් ටිකෙන් ටික මෝරල තියෙන අවස්‌ථාවත් දකින්න පුළුවන්. සමහර ගස්‌වැල්වල කීප වතාවක්‌ ගෙඩි කරල් මෝරල ඒ ගස්‌ වැල් මැරී යමින් තියෙනවා. සමහර ගස්‌ වැල් මැරිලා.

දැන් මේ දැක්‌ක දේවල් අපේ ජීවිත ලෝකයට උපමා කරල බැලුවොත් මේ මනුස්‌ස මල් උයනෙ පුරුෂයො. ඒ මල් ගස්‌ වගේ. ස්‌ත්‍රීන් මල් වැල් වගේ. ගස්‌වැල්වල තිබුණ පබළු තරම් පුංචි මල් කැකුළු වගේ ළදරුවො ඉන්නවා. ළදරු අඟ පසඟ තියනවා. ඊට ටිකක්‌ ලොකු මල් කැකුළු වගේ ළමා, ගැටවර අවස්‌ථා වගේ තරුණ තරුණියන් ඉන්නවා. මේ අයගේ ඇස, කන, නාසය, දිව, කය, මන කියන ඉඳුරන් හරියට මල් පොකුරු වගෙයි. මේ ඉඳුරන් වටා සැරිසරන, ඒවාට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, ධර්ම මල්වල තියෙන රොන් සුණු වගෙයි. මලේ ලස්‌සන දැකල මලට ඇවිත් සුවඳට වසඟ වෙලා රොන්සුණු පැණි බීල මත් වෙලා ම ල් පෙතිවල මුදු පහසට කැමැත්තෙන් බැඳිලා. ඒ මත ලැගල ටික වෙලාවකින් බඹරුන් බිඟුන් ඉගිලිලා යනවා.

තරුණ තරුණියනුත් එකිනෙකාගේ රූපයට, කටහඬට සුවඳට මුදු පහසට කැමැත්තෙන් බැඳෙනවා. දැන් මේ බැඳීම හේතුවෙන් කාම බීජයන් හදවතේ තැන්පත් වෙනවා. මතු මතුත් මේ රූපය දකින්ඩ කටහඬ අහන්න, මුදුපහස විඳින්ඩ කාම රස විඳින්ඩ ඇතිවුණු කැමැත්ත තමයි කාම බීජ කීවේ. මලට අනුව කෘමි සත්තු නිකම්ම ආපහු ඉගිලිලා ගියේ නෑ. එතැන පරාග පෝෂණය කියන සංසිද්ධිය සිදු කරලයි ගියේ. ඒ හේතුවෙන් එතැන ගෙඩි කරල් හට ගන්නවා. මල් කැකුළු මෝරල පිපෙන්න ගස්‌වැල් පෝෂණය උර උරා දුන්න වගේ, දැන් ගෙඩි කරල් මෝරන්න පෝෂණය උර උරා දෙනවා. මේ විදිහට පරපුර බෝකරන බීජ මෝරන්න පෝෂණය උර උරා දීල ගස්‌ වැල් මැරිල යනවා. නමුත් මෝරපු බීජ පසේ නොයෙක්‌ තැන්වලට විසිරිල පැතිරිල යන්න තවත් උපක්‍රමයක්‌ හැදෙනවා. ගෙඩිය, කරල මෝරන කාලේට නැවතත් වටේට ලස්‌සන පාටක්‌ එනවා. සුවඳක්‌ විහිදෙනවා. ලස්‌සන පාටට, හැඩට, සුවඳට රැවටිලා ඇදිල එන කුරුල්ලන් වගේ සත්තු ඒවා ගිල දමනවා. කොහේ හරි ගිහින් පහරල අර බීජ පොළොවට වැටිල ගස්‌ වැල් පරපුර හදනවා. මේක තමයි ගස්‌ වැල් ලස්‌සනට, සුවඳට, හැඩට, මල් පිපිල පරපුර බෝකරන මාර උගුල.

රූපෙට කට හඬට, සුවඳට, මුදු පහසට බැඳෙන ලෝක සත්ත්වයාට මේ වගේ මාර උගුලක්‌ හැදෙනවා. මෙලොව වශයෙන් දරු පරපුරක්‌ හදන්න වෙනවා. ඒ දරුපරපුර තමන්ගෙ කරගෙන තමන්ට ඕන හැටියට දියුණු කරන්න. උගන්වන්න, පෝෂණය කරන්න අප්‍රමාණ වෙහෙස විඳිනවා. දුක්‌ විඳිනවා. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බාධා එනකොට රාගයෙන් ද්වේශයෙන්, මෝහයෙන් බැඳීගෙන කටයුතු කරනවා. ඒ සංඛාරවල විපාක විඳිනවා. නමුත් ඒ විඳින දුක්‌, ආස්‌වාද පසුපස ඇදිල ආව ආදීනවයක්‌ කියල දකින්නෙ නෑ. චතුරාර්ය සත්‍ය නොදැනීම අවිද්‍යාව එක්‌ක බැඳුණු තණ්‌හාව නිසා දුක ආස්‌වාදයෙන් වැසී යන නිසා ආදීනවය නොපෙනී යනවා. පෘථග්ජන ස්‌වභාවය තමයි තමන් හා අනෙක්‌ අය සංසන්දනය කිරීම හැමදේම බලන්නෙ මෙන්න මේ සාපේක්‍ෂතාව මුල් කරගෙන ලෝකෙ අනිත් හැම දෙනාටමත් එහෙමයි. තමන් විතරක්‌ විඳින දුකක්‌ නොවෙයි. ලෝක සත්ත්වයා දුක ආස්‌වාදයෙන් වහගෙන ආදීනවය නොදැනීමෙන් නැවත නැවත දුකට පත් වෙනවා.

ඒ නිසා දරු පරපුර පෝෂණය කරන්න. රැක බලාගන්න දුක්‌ විඳල, වෙහෙස වෙලා තමන්ට ලැබුණ වටිනා මිනිස්‌ ජීවිතය, දුර්ලභ වූ මිනිස්‌ බව නිකම්ම මෝරල දිරාපත්වෙලා මැරිලා යනවා. හරියට මල් පූදින්න, ගෙඩි කරල් මෝරන්න පෝෂණය උර උරා දීල ගස්‌වැල් මැරිල වේළිලා ගියා වගේ.

කය මැරිල ගියත් රූපෙට, කටහඬට, සුවඳට, මුදු පහසට කැමැත්තෙන් බැඳුන හේතුවෙන් කාම බීජ හදවතේ තැන්පත් වෙලා මතු මතුත් ආස්‌වාද විඳින්න බලාපොරොත්තුව කියපු හේතුවෙන් ගොඩනැඟුණ ශක්‌තිය ක්‍රියාත්මක වෙලා ඒ කැමැති දේ ළංකර දෙන්න මතු භවයක්‌ සකස්‌ වෙනවා. භවයක්‌ හටගත්තොත් ඒකට උරුම ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්‌ඛ, දෝමනස්‌ස, උපායාස කියන මහා දුක්‌ ගිනි කඳ උදාකර දෙනවා. මතු උපතක්‌ ලබන්න සිද්ධ වෙනවා.

මල්ගස්‌ ළඟ ඉඳන් අපි මේ ටික සිහිකරල මල් කැඩුවොත් ඒකත් ජීවිතයට උපමා කරල බලන්න ඕන. නටුවෙන් මල් කැඩුවාම ගෙඩි කරල් හටගන්නෙ නෑ. බීජ සකස්‌ වෙන්නෙ නෑ. බීජ නැත්නම් ගස්‌වැල් පරපුර මෙතනින් අවසන් වෙනවා. හේතුව නැත්නම් ඵලය ඇති වෙන්නෙ නෑ, ඒ වගේ මේ රූපෙට, හඬට සුවඳට, කාම රසයට, මුදු පහසට බැඳෙන්නෙ නැතිව ලෝක සම්මත චාරිත්‍රයක්‌ හැටියට ආවාහ විවාහයක්‌ කර ගන්නවා. විවාහයක්‌ කරගන්නකොට සොයා බලන්න ඕන කරුණූ තුනක්‌ ගැන බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියනවා. ඒ ආවාහ විවාහ වෙන දෙපල සම සීල ගුණයෙන්, සම ත්‍යාග ගුණයෙන්, සම ප්‍රඥා ගුණයෙන් යුක්‌ත වෙනවද කියන කාරණය. උතුම් බුදු පදවි ලැබුවෙත් මනුස්‌සයෙක්‌ වෙලා ඉපදීමෙන්. ඒ උතුම් ආර්ය මාර්ගයේ යන පිරිසට මනුස්‌සයෙක්‌ වෙලා උපදින්න යම් පින්වත් දෙමවුපිය පිරිසක්‌ ඉන්න ඕන. ඒ නිසා එබඳු පිංවත් පිරිසට උපකාර පිණිස දරුවන් හදනවා. ඒ අයට ජීවත් වෙන්න පිළිවෙළක්‌ හදාගන්න ශිල්ප ශාස්‌ත්‍ර උගන්වනවා. දිනන්න, තරග කරන්න අන් අයට වඩා ඉහළින් ඉන්දන්න නොවෙයි. පිංවත් ගුණවන්ත දරුවො කොහොමත් ඉහළින් ඉන්නවා. හැබැයි, ඒ මේ ලෝකෙට බැඳෙන තරග වැඩපිළිවවෙළේ නොවෙයි. ලෝකෙන් එතෙර වෙන ගුණවත් නැණවත්කමේ ඉහළින් ඉන්නවා. ඒ අය තමන්ගෙ කරගන්න තමන්ට ඕන හැටියට උගන්වන්න ඕනෑ නෑ. මවුපිය, දූ දරු සම්බන්ධතාව ගැන මේ විදිහට දැනුවත් වුණා නම් තමන්ටත් ආර්ය මාර්ගයේ යන්න උපකාර කරන පින්වත් දරුවන් ඇති දෙමාපියන් වෙන්න පුළුවන්.

නාම බීජයට හේතු වන අවිද්‍යා, තණ්‌හා නිරෝධ කළොත් මතු උපත නවතිනවා. මේ හේතුව නිසයි මේ ඵලය හට ගන්නෙ හේතුව නැත්නම් ඵලයක්‌ නෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, ධර්ම ආස්‌වාද විඳින්නයි ඇස, කන, නාසය, දිව, කය, මන උවමනා කරන්නෙ. ආස්‌වාද විඳින්න කැමැත්තෙන් බැඳුනෙ නැත්නම් නටුවෙන් කඩපු මල් වගේ මතු පරපුර සකස්‌වීම නවතිනවා. මල රැඳිල තියෙන්නෙ නටුවෙ වගේ. කැමැත්තෙන් බැඳීම හෙවත් ඡන්දරාගයෙන් තමයි භව සකස්‌ වීම රැඳිල තියෙන්නෙ. මල් උපමාකරගෙන මේ චතුරාර්ය සත්‍යය ජීවිතයට ගලපල බැලුවම කාම වස්‌තු කෙරේ ඡන්දරාගයෙන් බැඳෙන හේතුවෙනුයි, භව සකස්‌ වෙන්නෙ කියල දැනගෙන, ඒ ජන්ද රාගයෙන් මිදුන නම් භව ඇති වෙන්නෙ නෑ. එහෙනම් ජාති, ජරා, මරණ සෝක, පරිදේව, දුක්‌ දොම්නස්‌ උපායාස කියන මහා දුක්‌ ගිනි කඳ උදාවෙන්නෙ නෑ.

මල් කඩපු ගස වැල උපමා කරගෙන අපි පසිඳුරන් සංවර කරගන්න ඕන. ලෝකයේ සුන්දර මුළා සහගත රූප, ශබ්ද, රස ස්‌පර්ශ තිබුණත් දැන් අපට ඒවා බරක්‌ නෑ. අපි ඒවාට ඇලිල බැඳිල නැති නිසා මල් කඩපු ගස්‌වැල් වගේ වෙනවා. කාම භවයට බීජ හැදෙන මඟ අහුරල තියනවා. එහෙම වුණාම මේ කය කාම ලෝකයේ කියන අන්තිම කය වෙනවා. මතු කාම කයක්‌ හදන බීජ ජනිත වෙන්නෙ නැති නිසා කාම ලෝකයෙන් නිදහස්‌ වෙලා තමයි කය අත් හරින්නෙ. මිය යන්නෙ. දැන් නටුවෙන් කඩපු මේ මල්වලට, ඡන්දරාගය නමැති නටුවෙන් නොබැඳුණු ඇස ආදිය සංවර කරගත් ඉඳුරන් නමැති මල් පොකුරු සමූහය උපමා කරල මහා සංවර ගුණයෙන් යුත් ඒ උතුම් බුදුපියාණන් වහන්සේ පාමුල මේ මල් පුදමියි කියල හිතාගෙන මල් පූජා කරන්න ඕනෑ.

ස්‌වාමීන් මලින් පෙන්වපු මාර මුළාවත් එයින් නික්‌මෙන නෙක්‌ඛම්මයන් දැකපු අපි මේ පැමිණියේ ඔබ වහන්සේ අපට දුන් දහම් පිළිවෙත ගැන පැහැදිලි උපහාරයක්‌ කරන්නයි. මාර දහම් පහ පාගා නැඟී සිටි බුදුපියාණනි, මේ මල් දැමිය යුතු තැන ඔබ වහන්සේ අපට දහම් මගින් පෙන්වා දී තියෙනවා. ශ්‍රී පාදයට පෑගෙන මේ මුළාව පිළිබිඹු කරන මල් අපි බිම දමනවා. අපිත් මල් උයනක ගස්‌ වැල් වගේ උපමා සස¹ බලා ඉඳුරන් පහ කියන මල් කඩා පා දූවිලි සේ පාමුල තියෙනවා. මතු මාර මුළාව ඇති කරන කාමයට නොබැඳෙන බවටත්, පළමුව කාම දුසිරිතෙන් වෙන් වෙලා මේ මාර්ගය පූර්ණ කරන බවටත් පොරොන්දු වෙනවා.

මේ විදිහට බුදු සිරිපා මුල මල් පූජා කරල සිහි කරන දහම් ක්‍රමය නිසා ඉඳුරන් සංවරයෙන් සීල ශාසනය වැඩෙන්න ඒ මහත් පිටිවහලක්‌ වෙනවා. පෙර බොදුනුවන්ගේ මල් පූජාව තමයි, මේ කියන ප්‍රතිපත්තිමය මල් පූජාව එතකොට මල් උපමා කරගෙන චතුරාර්ය සත්‍යය දැකල, ඒ උතුම් සත්‍යය දේශනා කරපු බුදුපියාණන් වහන්සේගේ ගුණ සිහි කරල, ගුණ උපහාර පිණිස මල් පූජා කිරීමකුයි මේ කළේ. මල් දිහා මතු පිටින් දකිනවට වඩා ගැඹුරු ජීවිතාවබෝධයක්‌ ලබන දැකීමක්‌ නිසා මේක විදර්ශන, භාවනාවක්‌ වෙනවා. ජීවිතය කියන්නෙ අපි කැමැති සේ නොපවතින (අනිච්ච), ඒ හේතුවෙන් දුක උපදවන (දුක්‌ඛ) ඒ කරුණු දෙකම නිසා අසාර වන (අනත්ත) පෙර භවවල සංඛාර හේතුවෙන් හටගත් සංඛතයක්‌, ක්‍ෂය වෙවී වැනසී යන දෙයක්‌, යළි යළිත් නොපැතිය යුතු දෙයක්‌, එබදු අසාර වූ ඇස, කන, නාසය දිව, කය, මන සංවර කර ගනිමිය යන අධිෂ්ඨානය කරගන්න ඕන.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.