දැන වඩමු දසකුසල්

ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

කුසල් යනු වැඩිය යුත්තකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව ෙච්තනාන්විතව වැඩිය යුත්තකි. දසකුසල් ද එසේම වැඩිය යුතු ප්‍රතිපදාවකි. කුසල් ඉබේ වැඩෙන්නේ නැත. එය සිතාමතාම තම තමන් වැඩීමෙන් කුසලතා පිරි පුද්ගලයෙක්‌ වේ. දිනපතා සිහියෙන් යුතුව දසකුසල් තමන් තුළ වැඩෙන බව දැකීමෙන් කුසල් වැඩිය හැකිය. කෙනකුගේ පිරිසිදු අපිරිසිදු බව ඇතිවන්නේ කුසල අකුසල නිසාය. අකුසලයෙන් අකුසල් කරන පුද්ගලයාම අපිරිසිදු කරයි. එයින් දුක්‌විපාක ඇතිව සසරම විවිධ දුක්‌ ඇති නිරය තිරිසන් අපායාදියේ දුක්‌විඳි කුසලයෙන් පිරිසිදු වන පුද්ගලයා මෙළොව සතුටින් ගතකරන අතර පරලොව සුගතියේ ඉපිද වඩ වඩාත් සැප විඳි සැප කැමති නම් දසකුසල් වැඩිය යුතුයි.

දසකුසල් පිළිබඳ දැක්‌වෙන සූත්‍ර දේශනාවක්‌ අංගුත්තර නිකායේ දසක නිපාතයේ ජානුස්‌සෝනි වර්ගයේ දැක්‌වේ. එය චුන්ද සූත්‍රයයි. එහි දැක්‌වෙන ආකාරයට භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර චුන්දකර්මාර පුත්‍රයාගේ අඹ වනයෙහි වාසය කරයි. එහිදී චුන්දකර්මාර පුත්‍ර තථාගතයන් වහන්සේ හමුවී වැඳ එකත් පස්‌ව සිටියි. එවිට තථාගතයන් වහන්සේ ඔහුගෙන් විමසන්නේ ඔබ කවරෙකු උගන්වන පිරිසිදු වීමේ පිළිවෙත් අගය කරනවා ද යනුවෙනි. එවිට ඔහු පවසන්නේ පශ්චාත් භූමි වාසී පැන් කෙණ්‌ඩියක්‌ අතැති සෙවෙල්දම් පලඳින ගිනි පුදන, දිනකට තෙවරක්‌ ජලයෙන් දියනා පිරිසිදුවීම උගන්වන දහමට කැමැති බවයි. ඒ දහම මෙසේය. උදැසනම කල්වේලා ඇතිව නැගිටියි. අනතුරුව මහපොළොව පිරිමදියි. එහෙම නැත්නම් අමු ගොම පිරිමදියි. නැත්නම් නිල් තණකොළ පිරිමදියි. නැත්නම් ගිනි පුදයි. නැතිනම් සූර්යයා වඳියි. නැතිනම් දවසට තුන්වරක්‌ දියනාගනියි. එවිට පව් සිල්ලෙන් පිරිසිදු වේ.

එවිට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය විනයෙහි පිරිසිදුවීම වෙනස්‌ බවයි. චුන්දගේ ඉල්ලීම පරිදි එම පිරිසිදුවීමේ ක්‍රමය දේශනාකරයි. පළමුව අපිරිසිදුවීමේ ආකාරය දක්‌වයි. එනම් කායිකව අපිරිසිදුවන ආකාර තුනකි. මෙළොව යම් කෙනෙක්‌ රුදුරුකම් ඇතිව ලේ තැවරුණු අත්ඇතිව නැසීම, පැහැරගැනීමේ නියුක්‌තව සියලු සත්ත්වයන් කෙරෙහි දයාවක්‌ නොමැතිව ප්‍රාණඝාත කරයි. තවද අනුන් අයත් නොදුන් වස්‌තුව ගන්නේවෙයි. ගමක තිබෙණ, කැලයක තිබෙන, අනුන් අයත් කිසියම් දෙයක්‌ සොරකම් කරයි. තවද කාමයෙහි වරදා හැසිරෙයි. එනම් මව විසින් රකින පියා විසින් රකින මවුපියන් විසින් රකින, සහෝදරයා විසින් රකින සහෝදරිය විසින් රකින නෑයින් විසින් රකින, ධර්මයෙන් රැගෙන විවාහ වූ දණ්‌ඩනයට නියම වූ ආදී කාන්තාවක්‌ සමඟ වැරැදි හැසිරීමයි. මෙම තුන් ආකාර කායික ක්‍රියා තුළින් කය අපිරිසිදුවේ.

තවද වචනයෙන් අපිරිසිදුවීම් හතරකි. එක බොරුකීමයි. එනම් යමෙක්‌ සභාවකට ගියේ පිරිසක්‌ මැදට ගියේ, රාජසභාවකදී ඉදිරියට කැඳවා සාක්‌ෂි විමසන විටදී යමක්‌ දනී නම් කියන්නැයි අසනවිටදී නොදන්නා දේ දනිමියි කියන්නේ ද දන්නාදෙය නොදන්නේයෑයි කියන්නේද, නොදැක්‌කදේ දැක්‌කෙමියි කියයි ද දුටුදේ නොදුටුවෙමියි කියන්නේ ද මෙසේ තමන් නිසා හෝ අනුන් නිසා හෝ ලාභසත්කාර නිසා හෝ දැන දැන බොරුකීමෙන් අපිරිසිදුම වේ.

කේලාම්කීම, මොවුන්ගේ භේදය සඳහා මෙතනින් අසා වෙනත් තැනක කියයි ද ඔවුන්ගේ භේදය සඳහා එතැනින් අසා මෙතැන කියයි ද එය කේලම් කීමයි. මෙසේ කේලම් කීම, කේලමට අනුබලදීම, අසමගිය ඇති කිරීම, කේලමෙහි දිගින් දිගට යෙදීම, එයින් සතුටුවීම ආදියෙන් අපිරිසිදු බව වෙයි.

පරුෂ වචන කීම එනම් යම් වචනයක්‌ රළුයි නම්, කර්කෂ නම් අනුන් අතර ගැටුමක්‌ වේනම්, ක්‍රෝධ සහිත නම්, චිත්ත සමාධියට නුසුදුසු නම් එබඳු වචන කීමෙන් අපිරිසිදු බවම වෙයි.

සම්ඵප්‍රලාප කීම, කාලයට නොගැලපෙන, අභූතවාදීවීම, අනර්ථය පිණිසවීම, අධර්මවාදී වීම, විනය විරෝධී වීම, දැරීමට නුසුදුසු වීම, පිරිසිදු නැති වචනකීම තුළින් අපිරිසිදු බවම ඇතිවේ. මෙලෙස සතරාකාර වචන කීමෙන් පුද්ගලයා අපිරිසිදු වේ.

එමෙන්ම සිතින් අපිරිසිදුවීම් තුනක්‌ ඇත. අභිද්‍යාව හෙවත් අන්‍යයන්ගේ යම් වස්‌තු දේපළවලට ගිජුවීමයි. අහෝ අනුන්ට අයත් යමක්‌ වේ නම් එය මට අයිතිවේවා යන අදහසයි. මෙම සිතිවිල්ල පුද්ගලයා අපිරිසිදු කරයි.

තවද ව්‍යාපාදය පුද්ගලයා අපිsරිසිදු කරයි. එනම් තරහ සිතින් යුතුව මේ සත්ත්වයෝ නැසෙත්වා, බැඳෙත්වා, මුල් විනාස වෙත්වා, විනාසයට යෙත්වා ආදී ව්‍යාපාද සිතිවිලිවලින් යුතු නම් අපිරිසිදු බවම ඇතිවේ.

මිත්‍යාදෘෂ්ටිය ද පුද්ගලයා අපිරිසිදු කරයි. මිත්‍යාදෘෂ්ටිය නම් දෙයෙහි විපාක නැත, පූජාකරන දෙයෙහි විපාක නැත. හෝමයෙහි විපාක නැත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත. මෙළෙවක්‌ නැත, පරළොවක්‌ නැත, මව නැත, පියා නැත, ඔපපාතික සත්ත්වයෝ නැත, ලෝකයෙහි යහපතෙහි පිහිටා මෙළොව පරලොව විශිෂ්ට ඥනයෙන් දැන සාක්‌ෂාත් කොට දේශනා කරන මහණ බමුණන් නැතය යන වැරැදි දැකීමයි. එබඳු වැරැදි දැකීමෙන් යුතු පුද්ගලයා අපිරිසිදු බවට පත්වේ.

මෙහිදී චුන්දකර්මාරපුත්‍රයාට පෙන්වා දෙන්නේ මෙම දස අකුසලකර්මපථයෙන් යුතු පුද්ගලයා කල් ඇතිවම යහනෙන් නැගිට පොළොව පිරිමැද්දත් පොළොව පිරි නොමැද්දත් අපිරිසිදු වන්නේය. අමුගොම පිරිමැද්දත් පිරිනොමැද්දත් අපිරිසිදුම වන්නේය. නිල් තණකොළ පිරිමැද්දත් නොපිරිමැද්දත් අපිරිසිදුම වන්නේය. ගිනි පිදුවත් නොපිදුවත් අපිරිසිදුම වන්නේය. හිරුට වැන්දත් නොවැන්දත් අපිරිසිදුම වන්නේය. දවසට තුන් වරක්‌ දිය නෑ වත් නොනෑවත් අපිරිසිදුම වන්නේය. එබැවින් දස අකුසල කර්මපථයෙන් සමන්විත නම් අපිරිසිදුමයි. අපිරිසිදු ක්‍රියාවක්‌මයි. එමෙන්ම පරලොව, නිරය, තිරිසන්, ප්‍රේත ලෝකයක හෝ වෙනත් දුගතියක ඉපදීමට ද හේතුවෙයි.

මෙලෙස පුද්ගලයකුගේ පිරිසිදු බව හෝ අපිරිසිදු බව තීරණය වන්නේ එම පුද්ගලයා කරන ක්‍රියාව කුසලද අකුසලද යන ක්‍රියාව මතය. එබැවින් දස අකුසල කර්මයන් සිදුකිරීමෙන් මෙලොව පිරිහෙන පුද්ගලයා පරලොවද අනන්ත දුක්‌ විඳියි.

අනතුරුව තථාගතයන් වහන්සේ චුන්දකර්මාර පුත්‍රයාට පුද්ගලයා පිරිසිදු වන ආකාරය පැහැදිලි කරදෙයි. එනම් කයින් පිරිසිදුවීම තුනකි. යමෙක්‌ ප්‍රාණඝාතයෙන් වැලකියේ දඬුමුගුරු නොගන්නේය. (නිහිත දණ්‌ඩො) ආයුධ නොගන්නේය. (නිහීත සත්ථෝ) පවට ලඡ්ජා ඇත්තේ (ලඡ්ජි) සත්ත්වයන් කෙරෙහි දයාව ඇත්තේය (දයාපන්නෝ) හිතෛෂී වන්නේය. අනුකම්පා වන්නේය. සොරකමින් වැලකෙයි. ගමෙහි හෝ කැලයෙහි හෝ අනුන්ට අයත් පරචිත්තුපකරණවේනම් නොදුන්දෙය නොගන්නේවෙයි. (නතං අදින්නං ථෙයHසංඛාතං ආදාතා හෝති)

කාමයෙහි වැරදි හැසිරීමෙන් වැලකියේ වෙයි. එනම් මව විසින් රකින පියා විසින් රකින මවුපියන් විසින් රකින, සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, නෑයින් විසින් රකින, ධර්මයෙන් රැකෙන, විවාහ වූ දණ්‌ඩනයට නියමවූ ආදී කාන්තාවක්‌ සමඟ වැරදි හැසිරීමෙන් වැළකෙයි. මෙම තුන් ආකාර කායික ක්‍රියා තුළින් කය පිරිසිදු වේ.

තවද වචනයෙන් පිරිසිදුවීම් හතරකි. එක බොරු නොකීමයි. එනම් යමෙක්‌ සභාවකට ගියේ පිරිසක්‌ මැදට ගියේ රාජසභාවකදී, ඉදිරියට කැඳවා සාක්‍ෂි විමසන විටදී යමක්‌ දනීනම් කියන්නැයි අසනවිටදී නොදන්නාදේ දනිමියි නොකියන්නේද, දන්නාදෙය නොදන්නේයෑයි නොකියන්නේද නොදැක්‌කදේ දැක්‌කෙමියි නොකියයිද, දුටුදේ නොදුටුවෙමියි නොකියන්නේද, මෙසේ තමන් නිසා හෝ අනුන් නිසා හෝ ලාබසත්කාර නිසා හෝ දැන දැන බොරු නොකීමෙන් වචනය පිරිසිදුම වේ.

කේලාම් නොකීම, මොවුන්ගේ භේදය සඳහා මෙතනින් අසා වෙනත් තැනක නොකියයිද ඔවුන්ගේ භේදය සඳහා එතැනින් අසා මෙතැන නොකියයිද, එය කේලම් නොකීමයි. මෙසේ කේලම් නොකීම, කේලමට අනුබලනොදීම, කේලමෙහි දිගින් දිගට නොයෙදීම, එයින් සතුටුනොවීම සමගියෙහි ඇලීම සමගිය පිණිස කතා කිරීම සමගිකොට සතුටුවීම ආදියෙන් පිරිසිදු බව වෙයි.

පරුෂ වචන නොකීම, එනම් යම් වචනයක්‌ නිර්දොaශී වේද නේලා කනට මිහිරිවේද කණ්‌ණසුඛා, ප්‍රේමණීය වේද පේමණියා, හෘදයාංගමවේද, හදයංගමා, බොහෝ දෙනාට සිත්කලුවේද බහුජන කන්තා, බොහෝදෙනාට ප්‍රියමනාපවේද බහුජනමනාපා, එවැනි වචන කියන්නේ වෙයි. සම්ප්ප්‍රලාප නොකීම, කාලයට ගැලපෙන, සිදුවූ දෙයක්‌ කීම, අර්ථය පිණිස වීම, ධර්මවාදිවීම, විනය විරෝධි නොවීම, දැරීමට සුදුසුවීම, පිරිසිදු වචනකීම තුළින් පිරිසිදු බවම ඇතිවේ. මෙලෙස සතරාකාර වචන කීමෙන් පුද්ගලයා පිරිසිදු වේ.

එමෙන්ම සිතින් පිරිසිදුවීම තුනක්‌ ඇත. අනභිධ්‍යාව හෙවත් අන්‍යයන්ගේ යම් වස්‌තු දේපළ වලට ගිජුනොවීමයි. අහෝ අනුන්ට අයත් යමක්‌වේනම් එය මට අයිතිනොවේවා යන අදහසයි. මෙම සිතිවිල්ල පුද්ගලයා පිරිසිදු කරයි.

තවද අව්‍යාපාදය පුද්ගලයා පිරිසිදු කරයි. එනම් තරහ සිතින් තොරව මේ සත්වයෝ වෛරනැත්තාහු ව්‍යාපාද නැත්තාහු, දුක්‌ නැත්තාහු, සුවපත් වූවාහු, සුවසේ ආත්ම පරිහරණය කරන්නාහු වෙත්වා යන මෛත්‍රී සහගත අදහස්‌ ඇත්තේවෙයි.

සම්‍ය දෘෂ්ටියද පුද්ගලයා පිරිසිදු කරයි. සම්මාදිට්‌ඨිය නම් දෙන දෙයෙහි විපාක ඇත. පූජා කරන දෙයෙහි විපාක ඇත. හෝමයෙහි විපාක ඇත. හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොවක්‌ ඇත. පරලොවක්‌ ඇත. මව ඇත. පියා ඇත. ඕපපාතික සත්වයෝ ඇත. ලෝකයෙහි යහපතෙහි පිහිටා මෙලොව පරලොව විශිෂ්ට ඥනයෙන් දැන සාක්‍ෂාත් කොට දේශනා කරන මහණ බමුණන් ඇතය යන නිවැරදි දැකීමයි. එබඳු නිවැරදි දැකීමෙන් යුතු පුද්ගලයා පිරිසිදු බවට පත්වේ. මෙය සිතින් පිරිසිදුවන ආකාර තුනයි. මේවා දස කුසලකර්මපථයෝය.

මෙහිදී චුන්දකර්මාරපුත්‍රයාට පෙන්වා දෙන්නේ මෙම දස කුසලකර්මපථයෙන් යුතු පුද්ගලයා කල් ඇතිවම යහනෙන් නැගිට, පොළොව පිරිමැද්දත් පොළොව පිරි නොමැද්දත් පිරිසිදු වන්නේය.

අමුගොම පිරිමැද්දත් පිරිනොමැද්දත් පිරිසිදුම වන්නේය. නිල් තණකොළ පිරිමැද්දත් නොපිරිමැද්දත් පිරිසිදුම වන්නේය. ගිනි පිදුවත් නොපිදුවත් පිරිසිදුම වන්නේය. හිරුට වැන්දත් නොවැන්දත් පිරිසිදුම වන්නේය. දවසට තුන් වරක්‌ දිය නෑවත් නොනෑවත් පිරිසිදුම වන්නේය. එබැවින් දස අකුසල කර්මපථයෙන් සමන්විත නම්පිරිසිදුමයි. පිරිසිදු ක්‍රියාවක්‌මයි. එමෙන්ම දස කුසලකර්ම නිසා දෙව්ලොව උපදී, මිනිස්‌ලොව උපදී. වෙනත් සුගතියද උපදින බවත්ය.

අනතුරුව චුන්දකර්මාර පුත්‍ර තෙමේ තථාගතයන් වහන්සේට නොයෙක්‌ අයුරින් ප්‍රශංසා කොට දිවිහිමියෙන් සරණගිය උපාසකයෙකු කොට දෙන්නැයි ඉල්ලා සිටියේය.

මෙම සූත්‍රයට අනුව අපට පිරිසිදු බව හා අපිරිසිදු බව ඇතිවන්නේ කෙසේදැයි යන්න තේරුම් ගත හැකිය. කායිකව බාහිර වශයෙන් කොතරම් පිරිසිදු වූවත්, ජලයෙන් කොතරම් පිරිසිදු වූවත් එය නියම අර්ථාන්විත පිරිසිදු වීම නොවේ. අධ්‍යාත්මික ගුණ ධර්මයන් පිළිබඳව අවධාරණය කරන බුදුදහම පුද්ගල පාරිශුද්ධ බව අගයන්නේද අධ්‍යාත්මිකව බව මෙයින් පෙනේ. එමෙන්ම දසකුසලයට යොමුව ජීවත්වීම දැඩිව අවධාරණය කරන බවත් එය නිවන් මගට හේතුවන ක්‍රියාවලියක්‌ බවත් මෙහිදී අවධාරණය කළ හැකිය. දස කුසලය කුමක්‌දැයි මැනවින් දැන එය ජීවන දර්ශනය බවට පත්කර ගැනීමෙන් මෙලොව දියුණුවත්, පරලොව සුගතිය මෙන්ම නිවන්මගද එයින් විවරවන බවත් පෙන්වා දිය හැකිය.




 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.