සාංඝික දේපල පරිහරණය කළොත් වෙන දේ...

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති,
අධිකරණ සංඝ නායක නාලන්දේ විමලවංශ හිමි

මෙකල සඟ සතු දේපල පරිහරණය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇති බව පෙනෙයි. එය ඉතා හොඳ ප්‍රවණතාවකි. බොහෝ දෙනෙක්‌ සාංඝික දේපල පරිහරණය පිළිබඳ නොදනිති. ගිහියන් කෙසේ වෙතත් ඇතැම් භික්‌ෂුන් වහන්සේලා ද එම නීති රීති නොදැන කටයුතු කරති. සාංඝික දෙපොල ගැන කිසිවකුටත් අයිතිය කිව නොහැක. අඩු තරමින් රජයට වුව ද එහි අයිතියක්‌ නැත. සාංඝික දේපල අයිති වන්නේ සංඝයාට පමණකි. සංඝයාට වුව ද සංඝ අනුමැතියකින්, සම්මුතියකින් තොරව, පෞද්ගලිකව පරිහරණය කළ නොහැක. මෙම නීති රීති ගැන ත්‍රිපිටකයට අයත් z පාචිත්තිය පාලියෙහි Z සඳහන්ව ඇත.

අනුන් සතු කුමන දෙයක්‌ වුව ද සොර සිතින් ගැනීම වරදකි. සඟ සතු දෙයක්‌ සොර සිතින් ගැනීම එයට ද වඩා බරපතළ වරදකි. පැවිදි වුව ද සඟ සතු දේපල තම සිතැඟි පරිදි පරිහරණය කිරීමට හෝ වෙනත් අයට දීමට හෝ නොහැක. මහනුවර යුගයෙහි විසූ භික්‌ෂුන් වහන්සේලා විසින් පවසා ඇති පරිදි ,

'තිණංවා යදිවා කට්‌ඨං
පුප්ඵංවා යදිවා ඵලං
යෝහෙ_ බුද්ධ භෝගස්‌ස
මහා පේතෝ භවිස්‌සති....'

යනුවෙන් යමෙක්‌ බුදුන් සන්තක තණ කොළයක්‌, ගල් කැටයක්‌, මලක්‌, ගෙඩියක්‌ හෝ සොර සිතින් ගතහොත් ඔවුන් මහා ප්‍රේතයන් බවට පත් වෙති. මෙවැනි දේශනා පිළිබඳ සිත යොමු කළ අතීත බොදුනුවන් පන්සලට පැමිණ ආපසු යන විට දෙපතුල් පවා විහාරස්‌ථාන භූමියේ දී පිස දමා ගෙන ගමන් කළේ අඩු තරමින් දුහුවිලි ටිකක්‌ හෝ සඟ සතු භූමියෙන් රැගෙන ගියහොත් විශාල පාප ක_මයක්‌ සිදුවේය'යි සැළකූ නියාවෙනි.

ගරු භාණ්‌ඩ, ලඝූ භාණ්‌ඩ වශයෙන් භාණ්‌ඩ වර්ග දෙකක්‌ සංඝයාට ඇත. මෙම භාණ්‌ඩ වෙනත් අයෙකුට දීම, සහ වෙනත් අයකු විසින් ගැනීම ද වරදකි. ආරාමය සහ ආරාම වස්‌තු, විහාර සහ විහාර සතු වස්‌තු, ඇඳ පුටු කොට්‌ට මෙට්‌ට වැනි දෙය, මුට්‌ටි හට්‌ටි , උදළු පොරෝ වැනි ආයුධ, උණ ගස්‌, දැව භාණ්‌ඩ, මැටි භාණ්‌ඩ වැනි මේවා සංඝයා විසින් කිසිවකුට නොදිය යුතු ය. කිසිවකුත් ඒවා නොගත යුතු ය. යමක්‌ භික්‌ඛු සංඝස්‌ස දේම.....' යනුවෙන් සඟ සතු කර පූජා කළ හොත් ඒවා සංඝයාගේ ප්‍රයෝජනය සඳහා පන්සලෙහි තැබිය යුතු ය. තම පන්සලට වුවමනා කරන ප්‍රමාණයට වඩා ඇත්නම් සංඝයාගේ ප්‍රයෝජනය සඳහා වෙනත් විහාරස්‌ථානවලට දීමෙහි වරදක්‌ නැත. එහෙත් පෞද්ගලික වශයෙන් කිසිවක්‌ නොදිය යුතු ය. සංඝ සම්මුතියෙන්ම දිය යුතු ය. විහාරස්‌ථානයෙන් බැහැර නිවසක දී යම් කිසි භාණ්‌ඩයක්‌ පූජා කළ හොත් එය වැඩිමහළු භික්‌ෂුව වැඩ සිටින පන්සලට දිය යුතු ය. එම පන්සලට අවශ්‍යය නොවේ නම්, නැති පන්සලකට සංඝයාගේ ප්‍රයෝජනය සඳහා දිය යුතු ය.

ඇතැම් සඟ සතු භාණ්‌ඩ හුවමාරු කර ගත හැකි ය. විහාරස්‌ථානයට දුරින් පිහිටි ඉඩමක්‌ ආසන්නයේ තිබෙන ඉඩමකට හුවමාරු කර ගත හැකි ය. ඇඳ පුටු වැනි ගෘහ භාණ්‌ඩ වෙනත් භාණ්‌ඩ වලට හුවමාරු කර ගත හැකි ය. වටිනා භාණ්‌ඩයක්‌ වෙනත් භාණ්‌ඩ කිහිපයකට මාරු කර ගත හැකි ය. එහෙත් කිසිවක්‌ සංඝයාට අලාභ වන පරිදි නොකළ යුතු ය. සංඝයාට ප්‍රයෝජනයක්‌ නොමැති භාණ්‌ඩ අලෙවි කර වෙනත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ ගැනීමෙහි වරදක්‌ නැත. මෙවැනි දෙය කිරීමේ දී තනි කැමැත්තෙන් නොව , කැප කරුවන් මගින් සහ සංඝ සම්මුතියෙන්ම කළ යුතු බව විනයෙහි සඳහන් වෙයි. විහාරස්‌ථානය සතු දැව, උණ ගස්‌ වැනි දෙය ප්‍රයෝජනයට ගෙන ඉතිරිවන ඒවා නිවාසය පිළිස්‌සුන කෙනෙක්‌ හෝ ගංවතුරට, නායයාමකට ලක්‌වූ කෙනෙක්‌ හෝ ගෙන යනවානම් එයට ඉඩ දිය යුතුය. සඟ සතුව පූජා කර තිබෙන කොට්‌ට, මෙට්‌ට, ඇඳ, පුටු සහ වෙනත් භාජන ද ගරු භාණ්‌ඩ වශයෙන් සළකයි. එම භාණ්‌ඩ කිසිම ගිහියකුට දීම හෝ කිසිම ගිහියකු රැගෙන යාමට කිසිදු අයිතියක්‌ නැත. එවැනි දෙය නොදුන් විට ඇතැම් දෙනා භික්‌ෂුන් කෙරෙහි කළකිරෙති. හාමුදුරුවෝ 'අධික තණ්‌හා කරුවෙකුය'යි කියමින් නින්දා අපහාස කරති. සඟ සතු දෙය ගිහියන්ට දීමෙන් භික්‌ෂුන් වරදකරුවෝ වෙති. නොදුනහොත් ගිහියන් කළකිරෙති. නුවණ ඇති ගිහියා සඟ සතු දෙය ගැනීමේ වරද පෙන්වා දීමෙන් සතුටු කළ හැකිය. එහෙත් මෝඩ ගිහියා එසේ සතුටු කළ නොහැකි ය. මෙවැනි ගැටළු සහගත අවස්‌ථාවක දී ගත හැකි විනයානුකූල ක්‍රියාව නම් , භික්‌ෂුව වැරදි කරුවකු නොවී, තුෂ්ණිම්භූතව සිටීමයි. ගිහි පුද්ගලයා සඟ සතු දෙය පරිභෝග කිරීම තුළින් විශාල පාප කර්මයක්‌ සිදු කර ගනියි. ඔහු පමණක්‌ නොව, ඔහුගේ අඹු දරුවන් සමග පරම්පරාවම එකී පාප කර්මයේ කොටස්‌කරුවන් බවට පත්වී අපා ගත වෙති. බිම්බිසාර රජුගේ ඤාතීන් පිරිසක්‌ සඟ සතු දේපල ගසාකෑමේ අකුසලය නිසා බුද්ධාන්තර ගණනාවක්‌ අපායෙහි දුක්‌ විඳි බව සාසන ඉතිහාසයෙහි සඳහන් වෙයි.

සඟ සතු ස්‌ථානයකට, බුදුන් සතු ස්‌ථානයකට පූජා කරන යමක්‌ ඇත්නම් ඒ සියල්ලෙහි අයිතිය ඇත්තේ භික්‌ෂු සංඝයාට සහ ශාසනයටයි. ඒවා රජයකට හෝ මැති ඇමති වරුන්ට හෝ වෙනත් අයට හෝ හෝ අයිතියක්‌ නැත. එසේ අයිති කර ගත් අවස්‌ථා ඉතිහාසයෙහි නැත. ඇතැම් විට රාජ්‍ය බලය උපයෝගි කර ගෙන ඇතැම් විහාරස්‌ථාන රජය සතු කර ගත් අවස්‌ථාවන් තිබිය හැක. රජය විසින් ඉදි කර, පූජා කළ විහාරස්‌ථාන වලට එවන් බලපෑම් කළ හැකි වුව ද සැදැහැති බොදුනුවන් දුක්‌ මහන්සියෙන් ඉදි කර තිබෙන ස්‌ථානවලට එවැනි බලපෑම් කළ නොහැක.

යම් කිසි භික්‌ෂුවක්‌ රන් රිදී මසු කහවණු තමන්ගේ ප්‍රයෝජනය පිණිස පිළිගනියි නම් හෝ අනුන් ලවා ගන්වා ගනීනම් හෝ මෙය ඔබ වහන්සේට පුදමි'යි ඉදිරියෙහි තබන ලද මදල් ඉවසා නම් හෝ එම වස්‌තුව නිස්‌සර්ජනය කළ යුතය. නොඑසේ නම් පචිති ඇවතට පැමිණෙයි. නිස්‌සර්ජනය කිරීම යනු යම් මුදලක්‌ ලද භික්‌ෂුව එය ගෙන සංඝයා ඉදිරියට ගොස්‌ උත්තරාසංගය ඒකාංශ කොට මහළු භික්‌ෂුන් පාවැඳ , උක්‌කුටිකයෙන් හිඳ, මුදල සංඝයා ඉදිරියෙහි තබා ,

'අහං භන්තේ රූපියං පටිග්ගහේසිං, ඉදංමේ නිස්‌සග්ගියං ඉමාහං සංඝස්‌ස නිස්‌සජාමි' කියා නිස්‌සජනය කොට ඇවැත් දෙසිය යුතුය. මෙම විනය නීති මගින් පැහැදිළි වන්නේ මුදල් හදල් පරිහරණය කිරීමේ දී සංඝයාගේ අනුමැතිය ලබා ගැනීම සුදුසු බවයි. එසේ හෙයින් සඟ සතු දෙය ගිහියන්ගේ ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ නැවත නැවතත් සිතා බැලිය යුතුය. එක්‌තරා කාලයක තායිලන්තයේ ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනීම සඳහා පන්සල්වල පිංපෙට්‌ටිවල මුදල් මෙන්ම රත්‍රං ද රජයට පරිත්‍යාග කරන ලදී. එය එලෙස කළේ සංඝයාගේ සම්මුතියකින් ය. සංඝයාගේ කැමැත්තෙන් ය. රට වැසියන් දුකට පත් අවස්‌ථාවෙහි පන්සලෙන් පිහිටක්‌ ලබා දීම උදෙසා ය. එසේ නොමැතිව පාලකයන්ගේ සුව පහසුව උදෙසා සඟ සතු දේපල පරිහරණයට ලබා නොදුන්හ. මෙකල ඇතැම් සුප්‍රසිද්ධ විහාරස්‌ථාන වලට විශාල වශයෙන් ආදායම් ලැබෙන බව නොරහසකි. එහෙත් ඇතැම් විහාරස්‌ථානවල මූලික අවශ්‍යතාවන් හෝ ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක්‌ ඇත. ආදායම අධිකව ලැබෙන ස්‌ථානවල එමගින් අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට වඩා දිළිදු ස්‌ථානවලට කොටසක්‌ දීමෙහි වැඩ පිළිවෙලක අවශ්‍යතාවය ඇත.

ඇතැම් ගිහියෝ කිසිදු බියක්‌ නැතිව සඟ සතු ඉඩකඩම් භුක්‌ති විඳිති. මෙකල උඩරට ප්‍රදේශයේ බොහෝ පෞරාණික විහාරස්‌ථාන සතු කුඹුරු වතු පිටි එම විහාරස්‌ථානවල දායකයින් විසින්ම අයිති කරගෙන භුක්‌ති විඳිති. ඇතැම් දෙනා ඒවාට ව්‍යාජ ඔප්පු පවා සකස්‌ කර ගෙන සිටිති. විහාරස්‌ථානවල භික්‌ෂුන් නැති වන තරමට ඇතැම් දෙනා කැමති වෙති. එවිට ඔවුනට රිසිසේ සඟ සතු දේපල භුක්‌ති විඳීමේ වරම උදාවන නිසාය. මෙවැනි ක්‍රියා මගින් තම පරපුරෙහි සියල්ලන්ම අපාගත වීමේ මග එළි පෙහෙළි කර ගෙන සිටිති.

පෙර රජ දරුවන් සඟ සතුව ඉඩමක්‌, ලෙණක්‌, කුඹුරක්‌ හෝ වැවක්‌ පූජා කර ඒ පිළිබඳ නීති රීති සඳහන් කර සෙල් ලිපි පිහිටුවා ඇත. ක්‍රි.ව. දහ වන සියවසෙහි එප්පාවල පිහිටුවන ලද සෙල්ලිපිය, අනුරාධපුරයේ පස්‌වන කසුප්ගේ පුවරු ලිපිය, ක්‍රි. 10 වැනි සියවසෙහි පිහිටුවා ඇති ගල් ඔරුවේ සන්නස වැනි ලියවිලි මගින් ඒ බැව් පසක්‌ වෙයි. විsශේෂයෙන් විsහාර සන්තක දෙය ගත්තවුන් බල්ලන් , කපුටන් වන බව මෙන්ම , සියලු රට වැස්‌සන් කරන අකුසල් ගත්තවුන් බවට පත් වන බවටත් , මාතොට එළුවන් මැරූ තැනැත්තා කරන ලද අකුසල් ගත්ත වුන් වන බවත් ඉහත සඳහන් සෙල් ලිපිවල සඳහන් කර ඇත. ක්‍රි.ව.10 වන සියවසෙහි ' සලවඩුනාවන් ' විසින් පිහිටුවන ලද සන්නසෙහි මෙසේ සඳහන් වෙයි. 'මෙයට්‌ ආකුල කළ කෙනෙක්‌ රටවැස්‌සන් කළ ආකුල ගන්නාහ. මහවුතියෙහි එළු මරුවා කළ අකසල් ගන්නාහ,' එහි අනුවාදය නම්, 'දාගබෙහි කරන නව කර්මාන්තයට දුන්නෙමු. මෙයට ආකුල කළ කෙනෙක්‌ වෙත්නම් ඔව්හු රට වැස්‌සන් කළ අකුසල් ගන්නාහ. මහවුතියෙහි එළු මරුවා කළ අකුසල් ගන්නාහ' මහනුවර යුගයේ ද විහාරස්‌ථානවලට දෙන ලද සන්නස්‌වල සඟ සතු දේපල පැහැර ගන්නවුන් සඳහා ලැබෙන ඵල විපාක පිළිබඳ සඳහන් වෙයි. ශත වර්ෂ 1731දී මහනුවර කොළගොල්ලේපිටිය රජ මහා විහාරස්‌ථානයට ප්‍රදානය කරන ලද සන්නසක මෙසේ සදහන් වෙයි. 'එසේ හෙයින් යම් අයෙකු විහාරයට තමා විසින් හෝ අන් අයකු විසින් පූජා කරන ලද යම් දේපලක්‌, බලාත්කාරයෙන් ගන්නේවී නම් ඔහු මිනිස්‌ අසූචිවල හෝ අන්‍ය අපද්‍රව්‍ය තුළ හෝ ලක්‌ෂයක්‌ අවුරුදු පණුවකුවී උපදින්නේ ය. තව ද එම වස්‌තුව තමාගේ ප්‍රයෝජනයට ගන්නා කිසියම් අයකු වේවා පණහක්‌ හෝ හැටක්‌ යොදුන් උසැති සිරුරකින් යුතු, තම කුසගින්න සන්සිඳවනු වස්‌ එකද කෙළ බිඳක්‌ හෝ නොලබමින් අවුරුදු ලක්‌ෂයක්‌ ප්‍රේත ලෝකයෙහි උපත ලබන්නේ ය. දඬුවම් ඒ ආකාරයෙන් වන බැවින් කිසිවකුත් විසින් එබදු මහත් භයානක වූ දැඩිවූ දණ්‌ඩනයෙන් විsඳවන ක්‍රියාවන්හි නොයෙදිය යුතුය'යි අපේක්‌ෂා කරනු ලබන්නේ ය.

අනිත් අතට යම් අයෙකු විහාරයෙහි දියුණුව සඳහා පරිත්‍යාග කරන්නේද දිව්‍ය සම්පත් විඳින්නේය. යමකු විහාර දේපල ආරක්‌ෂා කරන්නේ නිවන් සුව ලබන්නේ ය. එසේ හෙයින් අප සියල්ලන් විසින්ම මෙබදු පිංකම් වලට වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ සම්මාදන්ව ඔවුන්ගේ අභිමතාර්ථයන් වන නිර්වානය ලබත්වා.......' (ලෝරිගැසටියර්) මෙබදු කරුණුවලින් පැහැදිළි වන්නේ අතීත බෞද්ධයා සඟ සතු දේපල පෞද්ගලික පරිහරණය කිරීම බර පතල පාප කර්මයක්‌ වශයෙන් සැලකූ නිසාය. එසේම රජය ද නීති රීති පනවා විහාරස්‌ථාන මෙන්ම , විහාරස්‌ථාන සතු දේපල ආරක්‌ෂා කර දීමට පියවර ගෙන තිබුණි. අතීතයේ සිට සිංහල බෞද්ධයා විහාරස්‌ථානයකට හෝ දේවාලයකට ගිය පසු, එහි පිංපෙට්‌ටියක්‌ ඇත්නම් එයට මුදලක්‌ දැම්මේ ස්‌ථානයේ දියුණුවට අතහිත දීමක්‌ වශයෙනි. තුණුරුවන් සතු ස්‌ථානයට පුදන එම මුඳල් අයිති වන්නේ තුණුරුවන්ට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. එබැවින් මේවා ද පරිහරණය කිරීමේදී කවුරු කවුරුත් ප්‍රවේශම් වීම සුදුසු ය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.