කෙලෙස්‌ සහ මනුෂ්‍ය ආයුෂ
අතර ඇති ප්‍රතිලෝම සම්බන්ධය


පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය කන්නිමහර-වතුරුගම

මනුෂ්‍ය චිත්ත සන්තානයේ කෙලෙස්‌ වැඩිවන විට මනුෂ්‍ය ආයුෂ අඩුවන අතර, මනුෂ්‍ය චිත්ත සන්තානයේ කෙලෙස්‌ අඩුවන විට මනුෂ්‍ය ආයුෂ වැඩි වේ. මේ අනුව කෙලෙස්‌ සහ ආයුෂ අතර ඇත්තේ ප්‍රතිලෝම හෙවත් සෘණ සම්බන්ධයකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ, දීඝනිකායේ එන චක්‍රවර්ති සිංහනාද සූත්‍රය (බු.ජ.ත්‍රි.දී.නි.3 - පි.අ 96) තුළින් මේ බව වඩාත් හොඳින් පැහැදිළිවේ.

මහත් සම්පත් ඇති, දීර්ඝ ආයුෂ ඇති සක්‌විති රජ කෙනෙකුගේ වුවද සක්‌විති සම්පත් අතුරුදන් වන බව එම සූත්‍රයේ සඳහන් වේ. සක්‌විති රජකෙනෙකුට රත්න හතක්‌ ඇත. එනම් චක්‍රරත්නය (සෘද්ධිමත් රථයකි), හස්‌ථිරත්නය (සෘද්ධිමත් ඇතෙකි), අශ්වරත්නය (සෘද්ධිමත් අශ්වයෙකි), මණිරත්නය (ආලෝකවත් මැණිකකි), ස්‌ත්‍රීරත්නය (මනවඩනා ස්‌ත්‍රියකි), ගෘහපතිරත්නය (නිදාන දකින, කර්ම විපාක දකින දිවැස්‌ ඇති ගෘහපතියෙකි), පරිනායකරත්නය (ප්‍රඥාවන්ත, ව්‍යක්‌ත රජුට අවශ්‍ය ආකාරයටම රාජ්‍ය පාලනය කරන පුත්‍රයෙකි).

සක්‌විති රාජ සම්පත් අහිමිවන බවට වන පෙර නිමිත්ත වශයෙන් චක්‍රරත්නය තිබුණ තැනින් පසුපසට ගොස්‌ අහසට නැගී පවතී. චක්‍රරත්නය වෙනස්‌ වූ විට සක්‌විති රජතුමා තව බොහෝ කලක්‌ ජීවත්විය නොහැකි බව දැනගෙන, තම පුත්‍ර රත්නයට රජකම භාර දී හිසරැවුල් බා, කසාවත් හැඳ, ගිහිගෙය හැරදා තපස්‌ බවට පත් වේ. ඉන් සතියකින් චක්‍ර රත්නය අතුරුදන් වේ. පසුව නව රජු (පෙර රජුගේ පුතා) නුවණැත්තන්ගේ උපදෙස්‌ මත සක්‌විති වත් හෙවත් නැවත සක්‌විති සම්පත්තීන් ලැබෙන කුසල කර්මයන් සිදුකර අහිමි වූ චක්‍රරත්නය ඇතුලු අනෙකුත් සක්‌විති සම්පත්තීන් ලබාගනී. පසුව දීර්ඝ කාලයක්‌ රජකම් කර පියා අනුව යමින් චක්‍රරත්නය තිබුණ තැනින් වෙනස්‌ වූ කල්හි තම පුත්‍රයාට රජකම භාරදී ඔහු ද තපස්‌ රකින්නට යයි. පසුව ඔහුගේ පුත්‍ර රත්නය සක්‌විති වත් පුරා නැවත සක්‌විති සම්පත් ලබාගනී. හත්වෙනි සක්‌විති රජු ද මෙසේ කළේය. නමුත් ඔහුගේ පුත් සක්‌විති වත් නිසි ලෙස පිරුවේ නැත. දිළින්දන්ට ධනය නොදුන්නේය. එබැවින් දිළිඳුබව වැඩි විය. පසුව ක්‍රමක්‍රමයෙන් කෙලෙස්‌ වැඩිවී මනුෂ්‍යයන්ගේ ආයුෂ පිරිහිණි.

දිළිඳුකම වැඩි වූ විට මිනිසුන් අන්සතු දේ සොරකම් කරන්නට (අදත්තාදානය) පටන් ගත්හ. දිළිඳුකම නිසා සොරකම් කළ බව රජුහට දැනුම් දුන් විට සොරකම් කළ අයට රජු ධනය දී යහපතෙහි යෙදවීය. නමුත් රජු සොරකම් කළ අයට ධනය දෙන බව දැනගත් අන් මිනිසුන් ද සොරකම් කරන්න පටන් ගත්හ.

සොරකම වැඩි වූ බැවින් රජතුමා වධකයන් ලවා සොරුන්ගේ ගෙල සිඳින ලදි. පසුව වැසියන්ද එය අනුගමනය කරමින් අවි ආයුධ සාදාගෙන (අවි දැරීම සහ ප්‍රාණඝාතය) සොරකම්කළ අයගේ දිවිතොර කළේය. මෙසේ අකුසලයන් සමාදන් වූ සත්වයන්ගේ ආයුෂය සහ වර්ණය පිරිහිණි. අවුරුදු අසූ දහසක්‌ ආයුෂ තිබූ මිනිසුන්ගේ ආයුෂ හතලිස්‌ දහස දක්‌වා අඩු විය.

මෙසේ සොරකම් කළ පුද්ගලයන් එසේ සොරකම් නොකළ බවට දැන දැන ම බොරු කියන (මුසාවාද) ලදී. එසේ කාලයක්‌ ගිය කල්හි මනුෂ්‍ය ආයුෂ අවුරුදු හතලිස්‌ දහසේ සිට විසි දහස දක්‌වා අඩු විය.

මෙසේ 'අසවලා සොරකම් කළා' යෑයි අන් අය කේලාම් (පිසුනාවාච) කීවේය. එසේ කාලයක්‌ යන විට ආයුෂ අවුරුදු විසි දහසේ සිට දස දහස දක්‌වා අඩු විය.

අවුරුදු දසදහසේ කාලයේ සමහර මිනිසුන් වර්ණවත් වේ. සමහරු දුර්වර්ණ වේ. දුර්වර්ණ අය, වර්ණවත් අය දෙස බලා රාග සිත් ඇතිකරගෙන කාමය වරදවා (කාමමිථ්‍යාචාරයේ) හැසිරෙන්නේය. කාලයක්‌ මෙසේ ගතවන විට අවුරුදු දස දහසේ ආයුෂය අවුරුදු පන් දහස දක්‌වා අඩු විය.

මෙසේ සිටින සත්වයන් පරුෂ වචන සහ හිස්‌ වචන (පරුසා වාචා සහ සම්ඵප්පලාපා) කියන්නට පටන් ගත්හ. මෙසේ කාලයක්‌ ඇවෑමෙන් ආයුෂ අවුරුදු පන්දහසේ සිට දෙදහස්‌ පන්සීයක්‌ දක්‌වා අඩු විය.

අවුරුදු දෙදහස්‌ පන්සීයක්‌ ආයුෂ ඇති සත්වයන්ගේ චිත්තයේ යමක්‌ මගේ වේවා යෑයි පතන අභිද්‍යාව ද, නැසේවා මැරේවා යි සිතන ව්‍යාපාදය ද හටගන්නා ලදි. මෙසේ විපුලබව පත්වන විට ආයුෂය අවුරුදු දහසක්‌ දක්‌වා අඩු විය.

පසුව දුන් දේ විපාක නැත යනාදී මිථ්‍යා දෘෂ්ටීන් හටගත් නිසා අවුරුදු දහසේ ආයුෂය අවුරුදු පන්සීය දක්‌වා අඩු විය.

පසුව අධර්ම රාගය, විෂම ලෝභය සහ මිථ්‍යා ධර්මයන් වැඩී ගිය කල්හි අවුරුදු පන්සියයේ ආයුෂ ඇතැමුන්ට දෙසිය පනහක්‌ ක්‌ ද, ඇතැමුන්ට දෙසීයක්‌ ද, දක්‌වා අඩු විය.

ඉන් පසුව මවට/පියාට නොසැලකීම, මහණ බමුණන්ට ගරු නොකිරීම, වැඩිහිටියන්ට ගරු නොකිරීම් යන අකුසල දහම් වැඩීමට ගිය කල්හි ආයුෂය අවුරුදු සියය දක්‌වා අඩු විය.

තව තවත් පාප ධර්මයන් වැඩීගොස්‌ මිනිස්‌ ආයුෂ අවුරුදු දහයක්‌ බවට පත් විය. මෙකල අවුරුදු පහේ දී කුමරියෝ පතිකුලයට යයි. ආහාරවල රසයන් අතුරුදහන් වේ. කුසල්/පින් යන නම්වත් අසන්නට නොලැබෙයි. මව, පුංචි අම්මා, නැන්දා, සහෝදරිය යන්න තැකීමක්‌ නොකර එළුවන්, බැටළුවන්, කුකුළන්, ඌරන්, බල්ලන්, හිවලුන් මෙන් ඔවුනොවුන් කාමයේ හැසිරෙයි. සෑම දෙනා කෙරෙහිම දැඩි වෛරයක්‌ සිතේ හටගනී. වැද්දෙකුට මුවෙක්‌ දකින විට මරන්න සිතෙන්නේ යම් සේද, එසේ එකිනෙකා සත් දවසක්‌ කපා කොටා මරාගනී. මෙය ආයුධ වලින් සිදුවන අන්තර් කල්ප විනාශයකි. එහිදී පෘථිවිය විනාශ නොවේ. සත්වයන් විනාශ වේ. පෘථිවිය විනාශ වන්නේ මහා කල්ප විනාශයේදීය.

මේ අතරින් යම් කණ්‌ඩායමක්‌ 'අපි කිසිවෙකුගේ දිවි තොර නො කරමු' අන් අයත් අපගේ දිවි තොර නො කෙරේවා. සිතා කැලෑ, ගල්ගුහා ආදියට ගොස්‌ දිවි රැක ගනිති. සත් දවසක්‌ වනයේ ඵලවැල අනුභවකොට ජීවත් වෙති. තමන් අකුසල් දහම් සමාදන් වූ බැවින්, මෙවන් ඥාති විනාශයක්‌ වූවා යෑයි සිතා කුසල් දහම් වඩන්නට සිත් යොමා ගන්නාහ.

පසුව ඔවුන් ප්‍රාණඝාතයෙන් වෙන්වෙයි. එසේ සමාදන් වීමෙන් කාලයක්‌ ගතවීමෙන් ආයුෂය සහ වර්ණය වැඩෙයි. අවුරුදු දහය අවුරුදු විස්‌ස දක්‌වා වැඩි වේ.

පසුව ඔවුන් අදත්තාදානයෙන් වෙන්වෙයි. මෙසේ සමාදන් වීමෙන් අවුරුදු විස්‌සේ ආයුෂ අවුරුදු හතලිහ දක්‌වා වැඩි වේ.

ඔවුන් පසුව කාමය වරදවා හැසිරීමෙන් වැළකෙයි. එහිදී අවුරුදු හතලිහේ ආයුෂ අවුරුදු අසූව දක්‌වා වැඩි වේ.

ඉන් පසුව බොරුකීමෙන් වැළකෙයි. එවිට ආයුෂය අවුරුදු අසූවේ සිට එකසිය හැට දක්‌වා වැඩි වේ.

පසුව ඔවුන් කේලාම් කීමෙන් වැළකෙයි. එවිට ආයුෂ අවුරුදු එකසිය හැටේ සිට අවුරුදු තුන්සිය විස්‌ස දක්‌වා වැඩි වේ.

පසුව ඔවුන් පරුසාවාචයෙන් වැළකෙයි. එවිට ආයුෂ අවුරුදු තුන්සිය විස්‌සේ සිට අවුරුදු හයසිය හතලිහ දක්‌වා වැඩි වේ.

පසුව හිස්‌වචන කීමෙන් වැළෙකෙන ඔවුන්ගේ ආයුෂ අවුරුදු හයසිය හතලියේ සිට දෙදහස දක්‌වා වැඩි වේ.

පසුව අභිද්‍යාවෙන් ද වැළකෙන ඔවුන්ගේ ආයුෂ අවුරුදු හාර දහස දක්‌වා වැඩි වේ.

පසුව ව්‍යාපාදය ද බැහැර කරයි. එවිට ආයුෂ අවුරුදු අට දහස දක්‌වා වැඩි වේ.

පසුව ඔවුන් මිථ්‍යා දෘෂ්ටිය ද බැහැර කරන අතර, ආයුෂය අවුරුදු විසි දහස දක්‌වා ඉහල යයි.

පසුව අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය බැහැර කරන මොවුන්ගේ ආයුෂ අවුරුදු හතලිස්‌ දහස දක්‌වා වැඩි වේ.

පසුව ඔවුන් මවට/පියාට සත්කාර කරයි, මහණ බමුණන්ට සත්කාර කරයි, වැඩිහිටියන්ට ගරුකරයි. මෙසේ කුසලය සමාදන් වන විට ඔවුන්ගේ ආයුෂ අවුරුදු අසූ දහස දක්‌වා වැඩි වේ.

මෙසේ මිනිසුන්ගේ ආයුෂය අවුරුදු අසූ දහස වන විට අවුරුදු පන්සීයයෙන් කුමරියෝ පතිකුලයට යති. මේ කාලයේ දී ත් තෘෂ්ණාව, බඩගින්න, මහළුවීම යන ආබාධ මනුෂ්‍යයන්ට පවතී.

මිනිසාගේ උපරිම ආයුෂ අසංඛ්‍යයකි. එනම් එකයි බිංදු එකසිය හතලිහකි. අවම ආයුෂ අවුරුදු දහයකි. මෙසේ ආයුෂ අවුරුදු දහයේ සිට අසංඛ්‍යය දක්‌වා වැඩිවී නැවත අවුරුදු දහය දක්‌වා අඩුවන කාලය අන්තර් කල්පයක්‌ වේ. එවැනි අන්තර් කල්ප හැටහතරේ ඒවා හතරක්‌ මහා කල්පයකට ඇත.

මෙවන් දීර්ඝ කාලයන් කොතරම් පසුකර ඇති ද යන්න අප නොදනී. චතුරාර්ය සත්‍ය අවබෝධකර නො ගතහොත් තව කොතරම් කාලයක්‌ දුක්‌විඳිමින් සසරේ සැරිසරන්නට සිදුවේ ද කියා නොදනී. සසර ගමනේ යන අයට බුද්ධ සාසනයක්‌ ලැබෙන්නේ කලාතුරකිනි. වහ වහා ඉන් ප්‍රයෝජනය ගනිමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.