හබරකඩ අභිමානවත් පිංබිම අභිනවාරාමය

අක්‌මීමන - කේ. මනිලාල්
හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්



දකුණු පළාතේ ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ තවලම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ හබරකඩ ජනපදවාසීන්ගේ බෞද්ධ විහාරස්‌ථානය දර්ශනීය කඳු වළල්ලක්‌ මැද කුඩා කන්දක්‌ මුදුනේ ඇති පුදබිමකි.

නායයැමේ තර්ජනයට ලක්‌ වී ඇති ඇළ ඉහළ ප්‍රදේශයේ තිබුණ ජනපද කනිෂ්ඨ විද්‍යාලය පැවැති භූමිය නායයැමෙන් පාසලේ ගොඩනැඟිලි කඩා වැටීම නිසා දැන් ළමුන් 91 දෙනකුට සෙවණ දෙමින් පාසලේ පංති පවත්වන්නේ මේ පන්සලේ ධර්ම ශාලාවේය.

බෞද්ධ විහාරස්‌ථාන මුල්කරගෙන ආරම්භ වූ ශ්‍රී ලංකාවේ බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මිෂනාරි අධ්‍යාපනය හේතුවෙන් වෙනස්‌ මුහුණුවරක්‌ ගත්තේය. මුස්‌ලිම් දරුවන් කුරාණය අරගෙන මුස්‌ලිම් පල්ලි යති. කිතුනු දරුවන් ඉරිදා දිනයට බයිබලය රැගෙන ක්‍රිස්‌තියානි පල්ලියට යයි. බෞද්ධ දරුවන් දහම් අධ්‍යාපනය ලබන්නට පන්සලේ දහම් පාසලට යයි.

පෙර පාසලේද දහම් පාසලේද අධ්‍යාපනය ලබා දැන් දිනපතා පාසලටද පොත්පත් අරගෙන අකුරු කියන්නට එන හරබකඩ අභිනවාරාමයේ තොරතුරු පන්සලේ නායක හාමුදුරුවන් වන ශාස්‌ත්‍රපති කඩිහිංගල ජිනරතන ස්‌වාමීන් වහන්සේගෙන් විමසුවෙමු.

මේ පන්සල පූජ්‍ය මාවනානේ පේමානන්ද නාහිමියන්ගේ උත්සාහයෙන් ආරම්භ වූවක්‌. 1989 වර්ෂයේදී මා විහාරාධිපති වශයෙන් පත් වුණා. නායගිය පාසලේ විදුහල්පති වශයෙන් සේවය කරලා 2012 වර්ෂයේදී විශ්‍රාම ගත්තා. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ පන්සලක්‌. ජනපදවාසීන්ගේ ධන පරිත්‍යාගයෙන් තමයි පන්සලේa සංවර්ධන කටයුතු කරන්නේ. පෙර පාසලක්‌ ආරම්භ කළා දහම් පාසලක්‌ ආරම්භ කළා. බෞද්ධ දෙමව්පියන්ගේ දරුවන්ට අධ්‍යාපනික සේවාවක්‌ මෙන්ම බෞද්ධ අධ්‍යාපනයක්‌ ලබාදීමට හැකි වී තිබෙනවා. සෝණුත්තර දහම් පාසලට ප්‍රදේශයේ පාසලේ දරුවන් පමණක්‌ නොවේ තවලම ජාතික පාසල ඇතුළු පාසල් කීපයකම දරුවන් පැමිණ දහම් අධ්‍යාපනය ලබා ගන්නවා. පොහෝ දිනයට සිල් සමාදන්වන බැතිමතුන් මෙන්ම ආගමික කටයුතු සඳහා නිතර ගමේ දායක පිරිස පන්සලට පැමිණ පන්සලේ අවශ්‍යතා සඳහා ඉදිරිපත්වෙනවා. දර්ශනීය විහාරස්‌ථානයක්‌. ගංවතුරට ඉදිරියේ ඇති වෙල්යාය යට වී පන්සල් වත්තට වතුර ආවා. නමුත් කිසිම හානියක්‌ වුණේ නැහැ. එවැනි ආපදා අවස්‌ථාවකදී ගමේ කවුරුත් එන්නේ මේ පන්සලටයි. ගමේ පන්සල බෞද්ධ භික්‌ෂුව රැකගතහොත් මේ නිර්මල බුදු දහම රැකෙනවා ගමත් රැකෙනවා. හබරකඩ අභනවාරාමය ගල්ලේ සිට උඩුගම තවලම ගඟසිරිය සිට දුන්හේන මාර්ගයේ ආවිට පාරේ දකණු පැත්තේ හබරකඩ ජනපදයේදී දැකිය හැකියි. දර්ශනීය වෙහෙර, බෝධිය, ආවාසය මෙන්ම බෞද්ධ මන්දිරය ආදී සියලු විහාරංගවලින් සමන්විත මේ පන්සල තවදුරටත් සංවර්ධනය විය යුතුව ඇත. රජයේ මෙන්ම දානපතියන්ගේ උදව් අවශ්‍යයි.

පන්සල පිළිබඳව භක්‌තියාදරයෙන් යුක්‌තව අදහස්‌ දැක්‌වූ මවුවරුන් පිරිසක්‌ " අපට තිබෙන එකම රැකවරණය ගමේ පන්සලයි. අපේ දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය දහම් පාසල් අධ්‍යාපනය පමණක්‌ නොවේ දැන් දිනපතා අධ්‍යාපනයත්a ලබා ගැනීමට ඒමට සිදුව ඇත්තේ මේ පන්සලටයි. බණ මඩුවේ ඉගෙන ගන්නා අපේ දරුවන්ට පාසලක්‌ අවශ්‍යයි. පාසල පන්සලේ පැවැත්වීමෙන් පන්සලේ කටයුතුවලට දහම් පාසලේ කටයුතුවලට විශේෂයෙන්ම බාධාවක්‌. සුදුසු ස්‌ථානයක අලුතින්ම ගොඩනැඟිලි හදලා පාසලක්‌ ආරම්භ කරන්න. නැත්නම් කිලෝමීටර් 8 ක්‌ පමණ දුරින් ඇති තවලම ජාතික පාසලට අපේ දරුවන් ඇතුළත් කර දෙන්න" යයි ඔවුහු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලති. ඉක්‌මනින්ම මේ දරුවන්ට පාසලක්‌ ලබා දී පන්සලේ කටයුතුවලට ඉඩකඩ සලසා දිය යුතුව ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.