ගී පද අතරේ - බුදුමඟ පැතිරේ

සී. ඩබ්ලිව්. සහබන්දු

එදිනෙදා ජීවිතයේ තමා ජීවත්වන පරිසරයේ දී ලැබෙන අත්දැකීම් නිසා සිතට චමත්කාර වූ අපූර්වත්වයෙන් යුතු අමුතු හැඟීම් මතුවේ. මේවා අපේ සිත තුළ අනුභූතීන් වශයෙන් තැන්පත් වෙයි. ගීතයක්‌ නිර්මාණය කරනAනෙකුට එවැනි අනුභූතීනA වැදගතA වෙයි. රචකයා විසින් ගීතයකA රචනය කළ පසු සංගීතවේදියාත් ගායකයාත් යන ත්‍රිමූර්තිය එක්‌වීමෙන් සාර්ථක ගීතයක්‌ එළිදැක්‌විය හැක. ඇතැම්විට රචකයාගේ ගීත රචනයේ අදහස්‌වලට බාධාවක්‌ නොවන පරිදි ගායන සුමටතාවය සඳහා සංගීතවේදියා අතින් එහි වෙනස්‌කම් ද සිදුවේ. ගායකයා රචකයා කියන දේ හොඳට තේරුම් ගෙන ගීතය ගායනා කළොත් එතැන සාර්ථක නිර්මාණයක්‌ එළි දකී. ඒ අනුව ගීතය, රචකයාගේ පෞද්ගලික වූවක්‌ නොව සංගීතඥයා, ගායකයා, තිදෙනාම එක්‌වීමෙන් එළිදකින පොදු නිර්මාණයකි. මේ ලක්‍ෂණ සියල්ල ඇතුළත් එක්‌තරා ගීතයක්‌ කෙරේ මගේ සිත නැඹුරු විය. ඒ රන්සළු චිත්‍රපටයේ එන තේමාගීතයයි.

ගීතයේ රචක මහගමසේකරටත් ඇමරිකාව බලා යද්දී ගුවන්යානයේ ගමන් කරද්දී ලද අත්දැකීමක්‌ සහ බදුල්ල බලා දුම්රියෙන් ගිය ගමනක සවස්‌ කාලයේ ලද අත්දැකීමක්‌ මේ සඳහා පාදක කොටගත්ත ද ගීතයෙන් දිවනිතවන හැගුම් සමුදාය රචකයාගේ ප්‍රතිභා ශක්‌තියට අපූර්ව උදාහරණයක්‌ වේ.

සිරිපා පියුමේ

රොන් සුණු තැවරී

ගිමන් නිවන පවන් හමායේ

නිවී පහන් වී ළය සැනැහේ

නිවන් දොරට මග පානා

සමනොල රන් කොතමුදුනේ

බැන්ද වියන් සේ

අරණුවලා රන් සළු පැටලේ

හද කිමිදී ලොව් තුරු සුවඳේ

කෙලෙස්‌ වලින් මිදි

සිත සුවපත් වී

පාවි යයි නිසංසලේ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ

වලා අතුළ කඳුවැටි අතරේ

ගීතයේ ආරම්භක පද හතර තුළිනA බුදු සිරිපතුල ළඟ ශ්‍රද්ධාවෙන් වැඳ වැටෙන්නෙකුට ගත සිත නිවී සැනැහෙන ශාන්ත සුවයක්‌ මොහොතකට හෝ ලැබේයෑයි දළ වශයෙන් අදහස්‌ කළ හැකි අතර, ඒ පිළිබඳ අපූරු චිත්තරූපයක්‌ ද මැවේ. එහෙත් මෙයට වඩා ගැඹුරට දිවෙන අදහසක්‌ මේ තුළ අන්තර්ගත වී ඇතැයි මට සිතේ. මෙහිලා මට සිහිපත් වන්නේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ශ්‍රාවකයා වීමට වරම් ලත් සුභද්ද පරිබ්‍රාජකයාය. ඔහු පිළිබඳව අපට ධර්මයේ බොහෝතැන්වල එළැඹෙන්නේ සාමාන්‍ය විස්‌තරයකි. බෞද්ධ සාහිත්‍යය මැනැවින් විමසන කළ ඔහු වේද වේදන්තයෙහි පරප්‍රාප්ත බුද්ධිමතෙකි. බුදුවරයෙකුගේ ගති ලක්‍ෂණ මැනවින් හඳුනාගත් උගත්, ඔහු බුqදුන් කෙරෙහි එක්‌තරා ප්‍රමාණයක (අමූලික) ශ්‍රද්ධාවක්‌ දැක්‌වුණි. උපතින් බ්‍රාහ්මණයෙකු වූ ඔහු තම ගර්වය නිමිති කොට ගෙන බුදුරදුන් හමුවීමට නොපැමිණියේය. එහෙත් උන්වහන්සේ පිරිනිවීමට යන බව දැනගත් ඔහු යුහුසුළු විය. තවත් ප්‍රමාද වුවොත් තවත් බුද්ධාන්තරයක්‌ දක්‌වා භයානක සසරෙහි සැරිසැරීමට සිදුවන බව දැනගත් ඔහු වහා බුදුරජුන් හමුවීමට පැමිණයේ ය. ලද අවසරයෙන් බුදුහිමි අභියසට පැමිණි ඔහුට අවශ්‍ය වූයේ බුදුවරයෙකු පිළිබඳ තම සන්තානයෙහි ලැගුම්ගත් සිතුවිලි නිවැරදිදැයි මුලින්ම දැනගැනීමයි. ඒ නිසා බුදුහිමි අභියස ඔහු මුලින්ම විමසා සිටියේ ''ආකාශයෙහි පාද සටහන් තැබිය හැකි ද යන්නයි" මෙයින් අදහස්‌ වන්නේ කුමක්‌ද සාමාHයෙන් කෙලෙස්‌ බහුල සමාජය තුළින් මිදුන බුදුරජාණන් වහන්සේ නික්‌ලේෂි පුද්ගලයෙකු විය යුතු බව නොවේද? එසේ නම් මෙතැන ඔහු අසා ඇත්තේ බුදුහිමියන්ම දේශනා කළ ධර්මතාවයකි. මහණෙනි යම්සේ පියුමක්‌ මඩෙහි ඉපදී මඩෙහිම වැඩී මඩෙහි නොගෑවී නොකිලිටිව ඉන් ඉහලට සුපිරිශුද්ධව නැගී සිටීද? එපරිද්දෙන් මමද කෙලෙස්‌ සහිත ලෝකයෙහිම ඉපදී ඒතුළම වැඩී එයින් මිදුන පාරිශුද්ධ ලෝකයක නැගී සිටින්නෙමි යන්නයි. එසේ නම් මුණි සිරිපා පියුම සාමාන්‍ය කෙලෙස්‌ ලෝකයෙන් මිදුණු නික්‌ලේෂි උත්තමයෙකුගේ පා සලකුණකි.

ශ්‍රද්ධාවන්තයා අවබෝධයෙන් යුතුව උන්වහන්සේගේ පා පියුම වඳින විට ඔහුගේ සිත සසර බියගෙන දෙන කෙලෙස්‌ ගිම්නිවා මොහොතකට හෝ හදවත නිවී සැනැහේ.

නිවන් දොරට මඟ පානා

සමනොල රන් කොතමුදුනේ

බැන්දවියන්සේ

අරණුවලා රන් සළු පැටලේ

හදකිමිදී ලොව්තුරු සුවඳේ

ගීතයේ මෙකී අන්තරා කොටසට පිවසෙන විට මා සිත එක්‌වරටම පිවිසෙන්නේ ධම්ම පදයේ අප්‍රමාද වග්ගයේ එන මේ ගාථාවටය.

පමාදං අපපමාදෙන - යදා නුදති පණ්‌ඩිතො

පඤ්ඤාපාසාද මාරුයිහ - අසොකං සොකිනි පපං

පබබතට්‌ඨෝච භුමිමට්‌ඨෙ - ධීරො බාලේ අවෙක්‌ඛති

මෙහි අරුත කුමක්‌ ද? ප්‍රමාදයෙන් තොර අප්‍රමාදී වූ ලෝකය පිළිබඳ දැනගත් පණ්‌ඩිතයා දුෂ්කර වූ ප්‍රවේශයක්‌ සහිත වූ උස්‌ කඳු මුදුනක පිහිටි ප්‍රඥාව නැමැති ප්‍රාසාදයට නැග ගන්නා බවයි. එසේ පිවිසි ඔහු බාලයන්ගෙන් පිරි ලෝකයක සිට අතිතයේ පැමිණි දුෂ්කර ගමන්මග සැහැල්ලූ සිතින් අවලෝකනය කෙරේ. දැන් ඔහු අතීතයෙන් මිදී ඇත.

ශ්‍රද්ධාවෙන් හදවත නිවාගත් පහන් සිතින් ප්‍රමුදිත පුඟුලා ඊළඟට ගමන් කරන්නේ සමනොල රන්කොතමුදුන කරාය. ඒ සඳහා බුදුහිමි දේශනාකළ අනුපූර්ව සික්‌ඛා, අනුපූර්ව චර්යා, අනුපූර්ව ප්‍රතිපදායන චරණ මාර්ගයන් ක්‍රමක්‍රමයෙන් සිත තුළ වඩනු ලබයි. අවසානයේ ඔහු සමනොල කොතමුදුනට ළඟාවෙයි. ඒ නිවනේ අග්‍රඵලය වන ප්‍රඥාවෙන් විකසිත වීමයි. බුදු හිමිගේ චරණ මාර්ගයෙහි ශීලය වඩාගෙන සමාධිය උදාකරගත යුතු අතර, සමාධියෙන් ප්‍රඥාව කරා යායුතුය. එසේනම් ඔහුගේ ගමන් මාර්ගයේ ශීලපූර්ණං සමථ - විදර්ශනා භාවනාව ප්‍රගුණ කිරීම ප්‍රඥාව කුළුගැන්වීම සඳහා සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයන් වඩා අවසානයේ සම්‍යක්‌ ප්‍රධාන සම්මා විමුක්‌තිය දිනා සැනහේ.

මෙකී අන්තරා කොටසේ සමනොල රන්කොත මුදුනට බැන්ද වියනක්‌ සේ අරුණුවලා රන් සළු පැටලේ යෑයි රචකයා සංකේතවත් කරන්නේ අරහත් ධජය හෙවත් සිවුරයි. මෙතෙක්‌ ආ ගමන්මගට වියනක්‌ (පිහිටක්‌) සෙවනක්‌ වුයේ අරහත් ධජයයි.

අවසාන අන්තරා ඛණ්‌ඩය විමසන විට දැන් ඔහු පත්වී සිටින අවස්‌ථාව මැනැවින් නිරූපිතය. ඔහුගේ සිත සියලු කෙලෙස්‌වලින් මිදී ඇත. පුළුන්වලාවන් මෙන් සිත සැහැල්ලුය. එය පාවී පාවී යන්නා සේය වලා අතුල කඳුවැටිද ඉක්‌මවා පාවී යන්නේ මහ රහතුන් නිවී සැනසුන ලෝක උත්තර වූ නිදහස්‌ ලෝකයටයි. දැන් ඔහු අකුප්පා ෙච්තෝ විමුක්‌තියට පත්ව ඇත. අතීතය නිමාවිය. අනාගතයක්‌ නො එළඹේ. වර්තමානය තුළ පමණක්‌ වෙසෙන ඔහු නිර්මල මනසක්‌ දිනා ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.