ඔබ අස්‌සුතවත් පෘතග්ජනයෙක්‌ද?

මහාචාර්ය කෝන්ගස්‌තැන්නේ ආනන්ද හිමි
ශ්‍රී සුමන මහපිරිවෙන, මුද්දුව, රත්නපුර

මඡ්Cධිම නිකායේ මූලපාරියාය සූත්‍රයේ මුලින්ම දැක්‌වෙන්නේ අස්‌සුතවත් පෘතඡ්ජනයන්ගේ ස්‌වභාවයයි. එහි අට්‌ඨකතාවේ සඳහන් 'පුථූනං නානප්පකාරානං කිලේසානං ජනනාදීහිපි කාරණෙහි පුථුඡ්ජනො' යන විග්‍රහයට අනුව 'නොයෙක්‌ කෙලෙස්‌ ඇතිවීමට හේතුවෙන ලෙසින් කටයුතු කරන තැනැත්තා, පෘථග්ජනයෙක්‌ වන්නේය. ඔහු පංචකාමයන්ගෙන් ලැබෙන සුළු ආස්‌වාදයට ඇලී එහිම ගිලී කාමාස්‌වාදයන්ගෙන් මුසපත් බවට පත්වේ. පංච කාමාස්‌වාදයක්‌ නම්. ඇසින් රූප බැලීමට ඇති ආශාවත්, කනින් ශබ්ද ඇසීමට ඇති ආශාවත් නැහැයෙන් සුවඳ ආඝ්‍රහණයට ඇති ආශාවත් දිවෙන් රස විඳීමට ඇති ආශාවත්, කයෙන් ස්‌පර්ශ විඳීමට ඇති ආශාවත් සිතට සිතිවිලිවලින් ලැබෙන වින්දනයත් පිළිබඳව ඇති ආශාවන්ය. එම ආසාවන් සම්පූර්ණ කර ගැනීමට සියලුම සත්වයෝ විවිධාකාරවලින් වෙහෙසෙති. එම ආසාවන් සම්පූර්ණ කරගෙන තෘප්තියට පත්ව ''දැන් මම සියලුම කාමාස්‌වාදයන් වින්දෙමි. තවත් මට නම් කිසිම කාමාස්‌වාදයක්‌ එපා යෑ' යි සිතා ඉන්ද්‍රියයන් පිනවීමෙන් සෑහීමකට පත්වෙන කිසිම සත්වයෙක්‌ හෝ පෘථග්ජන පුද්ගලයෙක්‌ ලෝකයේ නැත. 'ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්‌හා දාසෝ' අතෘප්තිකර ආසාවලින් පිරුණු ලෝකයා ජීවත් වන්නේ නොසන්සිඳුණු ආසාවලින් පිරුණා වූ ලෝකයකය. එම නිසාම, පංච ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන අස්‌සාද සුඛය සොයමින් සියලු සත්වයෝ වෙහෙසට පත්වෙති. එය සුත්ත නිපාතයේ හේaමවත සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

ඡස්‌සු ලොකේ සමුප්පන්නො

ඡස්‌සු කුබ්බති සන්ථවං

ඡන්නමෙවමුපාදාය ඡස්‌සු

ලොකෝ විහඤ්ඤති

ලෝකයෙහි සතුන්ට ඉන්ද්‍රිය හයක්‌ පහළවූ කල්හි ඒ සතුන් විසින් අරමුණු හයක්‌ සමග සම්බන්ධතා පවත්වනු ලැබේ. ඉන්ද්‍රියන්ගෙන් එම අරමුණු හය අල්ලා ගැනීම නිසා සියලුම ලෝකයා වෙහෙසට පත්වන්නේය. ඇසින් ලස්‌සන රූපයක්‌ දැක සතුටට පත්වෙයි. එම රූපය නැවත නැවතත් දැකීමට කැමති වෙයි. ඒ සඳහා වෙහෙසෙමින් ලස්‌සන රූපයම සොයා යයි. එයින් සුලු ආස්‌වාදයක්‌ ලබමින් දැඩි වෙහෙසකට පත්වෙන පෘතග්ජන සත්වයාට ඇති වන්නේ වෙහෙසක්‌ පමණි. එය 'අට්‌ඨිසංකපුපමා කාමා' හෙවත් කුසගින්නෙන් පෙළෙන බල්ලකු විසින් මස්‌. ලේ නැතිව ඇට කැබැල්ලක්‌ ලෙවකමින්, සපයමින් කුසගින්න නිවාගැනීමට දරන්නාවූ මෝඩ උත්සාහයක්‌ වැනි යෑයි සඳහන් වේ.

ඇස , කන, නාසය, දිව, ශරිරය, මනස යන අනෙක්‌ ඉන්ද්‍රියයන්ට අරමුනු වන්නා වූ රූප, සද්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම යන අරමුණුවලට ගිජුවීම නිසා ලෝකයා වෙහෙසට පත්වෙයි. මෙලෙස සත්වයින් විසින් පංච ඉන්ද්‍රියන්ගෙන්ම ලබන්නේ, අස්‌සාද සුඛයක්‌ පමණි. පුතු පඤ්ඤසු කාමගුණේසු රත්තා ගිද්ධා ගථිතා මුඤ්චිතා අඡ්ඣාපන්නා ලග්ගා ලගතා පලිබුඡ්ඣතීති පුථුඡ්ජනා' මෙසේ පඤ්ච කාමගුණවලින් ලැබෙන සැපයට මුසපත් වූ පෘථග්ජන පුද්ගලයා එයට ඇලී කම් සැපයෙහිම ගිලේ. එනිසාම පංචනීවරණවලිනුත් වැසේ. කාමච්චන්ද, ව්‍යාපාද, ථිනමිද්, උද්ධච්චකුක්‌කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණවලින් ආවරණවූ තැනැත්තාට සත්‍ය නොපෙනේ.

ඉන්ද්‍රියන්ට හමුවන අරමුණුවලට ආසාකිරීම කාමච්ඡන්දයයි. තමා කමැති වන දෙයක්‌ ලබාගැනීමට උත්සාහවන්ත වන විට, වෙනත් කෙනෙක්‌ ඊටවිරුද්ධ වුවහොත් ඔහු සමග ගැටේ. එය පටිඝය හෙවත් ව්‍යාපාදයයි. අලස බව හෙවත් කම්මැලිකම ථීනමිද්ධයයි. නොසන්සුන් බව සහ කලබලකාරී බව උද්ධච්ඡකුක්‌කුච්ඡ නම් වන්නේය. බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවන සැකය හෙවත් කකුස විචිකිච්ඡාවයි. මේවා නීවරණ හෙවත් ආවරණයෝය. නීවරණවලින් වැසුණු තැනැත්තාට සත්‍යය නොපෙනීම හෙවත් මෝහය (මුලාව) ඇතිවෙයි. ඔහුට සත්‍යය හෙවත් යථාර්ථය දැකිය නොහැකිය.

නිවැරැදි දැක්‌මක්‌ නැති තැනැත්තා සක්‌කායදිට්‌ඨි නම්වූ 'මම' යෑයි කෙනෙක්‌ ඇත යන මිත්‍යාදෘෂ්ටියෙන් වෙලෙන්නේය. එනිසා සක්‌කාය දිට්‌ඨියෙන් වෙලුණු පෘථග්ජනයා තණ්‌හාව, මානය, දිට්‌ඨියෙන්ද ආවරණය වෙයි. මෙසේ කෙලෙස්‌වලින් වැසුණු පෘථග්ජනයා අන්ධයෙක්‌ වැනිය. ඔහුට ආර්යයන් වහන්සේලා දැකීමටවත්, උන්වහන්සේලාගේ ධර්ම අසා, ධර්මාවබෝධයටවත් ශක්‌තියක්‌ නැත. එවැනි අය, අස්‌සුතවත් පෘථග්ජනයන්, අසත්පුරිසයන්, අනාර්යයන්, පෘථග්ජනයන් වශයෙන්ද හැඳින්වෙති. අස්‌සුතවත් පෘථග්ජනයන්ට අවස්‌ථා තුනකදී සද්aධර්මයෙන් ප්‍රයෝජනයක්‌ ගැනීමට නොහැකි වේ.

1. බුදු පසේ බුදු, මහරහත් යන ආර්යයන් වහන්සේලා දැකීමෙන්

2. ආර්යයන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන ධර්මයෙහි හැසිරීමට දක්‌ෂයකු නොවීමෙන්

3. ආර්ය ධර්මයෙහි හික්‌මීමට කුසලතාවක්‌ නැති නිසා ධර්මාවබෝධය කළ නොහැකිවීම.

එනිසා අස්‌සුතවත් පෘථග්ජනයන්ට ආර්යයන් වහන්සේලා දකින්න ලැබුණත්, උන්වහන්සේලා විසින් දේශනා කරනු ලබන ධර්මය ඇසුණත් සද්ධර්මාවබෝධය කළ නොහැකිය.

ආර්යයන් වහන්සේලා නොදැකීමත්, සද්aධර්මය නොඇසීමත් නිසා අස්‌සුතවත් පෘථග්ජනයෝ ආර්ය ධර්මයෙන් ඈත්වෙති. නීච වූ පහත් අය ඇසුරු කරමින් නීච ධර්මවලට පුරුදු වෙති. පාප ක්‍රියාවලට පුරුදු වූ ඔවුහු තිරිසනුන් වැනිය. ධර්මය සහ අධර්මය තෝරා ගත නොහැකිවූ තිරිසනුන් වැනි මිනිසුන් අන්ධයෝ මෙන් කටයුතු කරති. එනිසා අස්‌සුතවත් පෘථග්ජනයන්ට ආර්යයන් වහන්සේලා දක්‌නට ලැබුණත් උන්වහන්සේලා හඳුනාගැනීමට ඔවුහු අසමත් වෙති. එහි තිරිසනුන්ට ආර්යයන් වහන්සේලා දකින්ට අවසථාව ලැබුණත් උන්වහ්නසේලා හඳුනාගන්නට නොහැකි වන්නාක්‌ මෙනි. සතුන් වැනි ඒ මිනිසුන්ටත් ආර්යයන් වහන්සේලාගේ ගුණ තේරුම් ගැනීමට නොහැකි වේ.

සිතුල්පව්වේ වැඩ සිටි රහතන් වහන්සේ නමකට උපස්‌ථාන කළ භික්‌ෂුවක්‌ සිටියේය. වයසට ගොස්‌ පැවිදි වූ ඒ භික්‌ෂුව ධර්මාවබෝධය අසමත්ව කෙනෙකි. දිනක්‌ ඒ භික්‌ෂුව රහතන් වහන්සේ පසුපසින් යමින් ''ස්‌වාමීනි, රහතන් වහන්සේ හඳුනාගන්නේ කෙසේදැයි ප්‍රශ්නයක්‌ ඇසීය. එයට පිළිතුරු දෙමින් උන්වහන්සේ 'සමහර අස්‌සුතවත් පෘථග්ජනයන් රහතන් වහන්සේට උපස්‌ථාන කළත් පාසිවුරු රැගෙන පසුපසින් ගමන් කළත් අන්ධයන් වැනි වූ ඔවුන්ට රහතන් වහන්සේ හඳුනාගත නොහැකි යෑයි වදාළහ. මෙසේ කරුණු පැහැදිලි කළත් ඒ භික්‌ෂුවට ''තමා උපස්‌ථාන කරන්නේ රහතන් වහන්සේ නමකටයෑ'' යි අවබෝධ කර ගත නොහැකිවිය. එනිසා සත්‍යය දැකිය නොහැකිවූ අස්‌සුතවත් පෘථග්ජනයෝ මසැසින් හෝ දිවැසින් ආර්යයන් වහන්සේ දැක්‌කත් අන්ධයන් මෙන් ආර්යයන් වහන්සේලාගේ ගුණ නොදකිති. වක්‌කලී හිමියන් බුදුරජාණන් වහන්සේගේ පිටුපස ගියේ අන්ධයකු මෙනි. 'වක්‌කලිය' කුණුවී යන මේ ශරීරය දැකීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්‌ද? යමෙක්‌ ධර්මය දකීද? ඔහු මා දකින්නේය. යයි බුදුරජාණන් වහන්සේ වක්‌කලී භික්‌ෂුවට අවවාද කළහ. එනිසා අන්ධයකු වැනිවූ පෘතග්ජනයා අස්‌සුතවත් කෙනෙකි. එහෙත් සුතවත් වූ පුද්ගලයා ආර්යයන් වහන්සේ දැක, ධර්මය අසන්නේය. එයින් සුතවත් වූ ඒ තැනැත්තා ධර්මචාරී කෙනෙක්‌ වී සත්පුරුෂයකු බවට පත්වන්නේය. ඔහුගේ ලක්‌ෂණ තුනකි.

1. සුචින්තිත චින්තී හොති. (යහපත් ලෙසින් සිතන්නෙක්‌ වෙයි.)

2. සුභාසිත භාසී හොති. (යහපත් වචන කතා කරයි.)

3. සුක්‌කන කම්මකාරී හොති. (යහපත් වැඩ කරයි)

සුතවත් වූ සත්පුරුෂයෝ යහපත් ලෙසින් සිතන නිසා තමාගේ පංච ඉන්ද්‍රියන්ට ගොදුරුවන අරමුණුවලින් සුළු ආස්‌වාදයක්‌ ලැබුවත් එහි ආදීනවය දකිති. ලස්‌සන රූපයක්‌ ඇති කෙනෙක්‌ කලක්‌ ගතවනවිට වියපත්ව වැහැරීමට පත්වේ. කලු කෙස්‌ සුදුවේ. සුදු දත් හැලේ. සිත්කළු හම රැලි වැටේ. මේවා ශරීරයේ ඇතිවන ආදීනවයන්ය. ඒ ආදීනව පිළිබඳව විමසුන් නුවණින් මෙනෙහි කරන සුතවත් සත්පුරිසයා, කාමාස්‌වාදවලින් වෙහෙසට පත්නොවී පංච කාමයන්ගෙන් මිදීමට උත්සාහවත් වෙයි. එවැන් නිවැරැදි දැකීමක්‌ ඇති අය පංච කාමාස්‌වාදවලින් මිදීමට ප්‍රයත්න දරති. ඔවුහු ජීවිතය පිළිබඳව නිවැරැදි අවබෝධයෙන් හා නිවැරැදි සිතිවිලිවලින් යුක්‌තව, කය සහ වචනය සංවර කරගනිමින් යහපත් ජීවිතයක්‌ ගත කරති. එවැනි සත්පුරුෂයෝ මෙලොවත් සතුටු වෙත්. පරලොවත් සතුටු වෙත්. දෙලොවම ජය ගනිති. ඔවුහු නිවන් මගට පිවිසෙති.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.