පසුතැවීම සහ නොතැවීම

පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝ තස්‌ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්‌ස///
කාය දුච්චරිතං හිFවා වචීදුච්චරිතානිච
මනො දුච්චරිතං හිFවා
යඤ්චඤ්ඤං දොසසඤ්හිතං

අකFවා කුසලං කම්මං
කFවාන කුසලං බහුං
කායස්‌ස භේදා සප්පඤ්ඤෙ
සග්ගං සො උපපඡ්ජතී..ති

ඒ නුවණැති පුද්ගලයා කාය දුෂ්චරිත, වාග් දුශ්චරිත, මනො දුශ්චරිත හා වෙනත් පාපී අකුසල් ධර්ම හැරපියා,

අකුසල් නොකොට බොහෝ කුසල් කොට මරණින් මතු සුගතියෙහි උපදී

කරුණික පින්වත්නි,

ඉහත දක්‌වනු ලැබුවේ ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේ සඳහන් අතපනීය සූත්‍ර දේශනාවේ අඩංගු උතුම්වූ ගාථා රත්න දෙකකුයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරණ ලද්දේය. "මහණෙනි, පසුතැවිල්ල ඇතිනොකරන මේ ධර්ම දෙකකි. කවර දෙකක්‌ද යත්á මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක්‌ කරන ලද කල්‍යාණ දහම් ඇත්තේ, කරන ලද කුසල් ඇත්තේ කරන ලද පුණ්‍ය කර්ම ඇත්තේ, නොකරන ලද පාප කර්ම ඇත්තේ, නොකරන ලද රෞද්‍ර කර්ම ඇත්තේ, නොකරන ලද කිලිටි කර්ම ඇත්තේ, මා විසින් පින් කරන ලදැයි නොතැවෙයි.

"මහණෙනි, පසුතැවිල්ල ඇතිනොකරන මේ ධර්මයෝ දෙදෙනා වෙත්."

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරති. මහණෙනි, දෙලොවම පසුතැවිල්ල ඇතිකරන මේ ධර්ම දෙකකි.

කවර දෙකක්‌ද යත්? මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෙක්‌ නොකරන ලද කල්‍යාණ දහම් ඇත්තේ, නොකරන ලද කුසල් ඇත්තේ, නොකරන ලද පුණ්‍ය කර්ම ඇත්තේ, කරන ලද පාප කර්ම ඇත්තේ, කරන ලද රෞද්‍ර කර්ම ඇත්තේ, කරන ලද කිලිටි කර්ම ඇත්තේ වේද හෙතෙම මා විසින් යහපතක්‌ නොකරන ලදැයි තැවෙයි. මේ පසුතැවිල්ලට හේතුවන ධර්ම දෙකයි. භාග්‍යවතුන් වහන්සේ එහිදී දේශනා කරනු ලැබුවේ, ඒ අඥන පුද්ගලයා කාය දුශ්චරිත, වාග් දුශ්චරිත, මනෝ දුශ්චරිත හා බොහෝ අකුසල් ද කොට, කුසල් නොකොට මරණන් මතු අපායෙහි උපදින බවයි.

තැවීමට සහ නොතැවීමට උපකාරවන මෙම කරුණු පෙළ නුවණින් සිහිපත් කළ යුතුය. කල්‍යාණි ධර්ම හෙවත් යහපත් යමක්‌ තම ජීවිතයේ කරන ලදැයි සිහිපත් කළ හැකිවන්නාට කිසිවිටෙකත් පසුතැවීමක්‌ හටගැනීමට හේතුවක්‌ නොවේ. මෙම කල්‍යාණ ධර්ම නම්වූ වචනයට පින්, කුසල්, ධර්ම, යහපත්, සත්පුරුෂ නම්වූ විවිධ වචනවලින් හඳුන්වන සියල්ලම ඇතුළත්ය. මෙම පසුනොතැවීමේ මාර්ගයට එකතුවීමට නම් සසර ජීවිතය පිළිබඳව පරමාර්ථ වශයෙන් මෙනෙහි කිරීමේ හැකියාව බලවත් උපකාරයකි. එසේ පරමාර්ථ ධර්ම වශයෙන් මෙනෙහි කිරීමට නුවණක්‌ හෝ හැකියාවක්‌ නොමැතිවූ විට සසරෙහි බැඳී පවතින සක්‌කායදිට්‌ඨියේ පටන් සංයෝජනීය ධර්ම ඉස්‌මතු වෙයි. "මමය මාගේය" නම් දෘෂ්ටියෙන් යුතුව සිත් පහළ කරන එම පුද්ගලයා, එම අශ්‍රැතවත් පෘථග්ජන ස්‌වභාවයටම අනුව රූප ශබ්ද ආදී ප්‍රිය අරමුණෙහි උපාදානයට පැමිණෙයි. එනම් සිතින් අරමුණ තදින් බැඳගනී. එවිට රාගානුසය නම්වූ යටපත්ව පවතින ඇලීම නම් වූ රාගය මතුවෙයි. අකමැති අරමුණේ සිතින් ගැටෙයි. එවිට තරහව හෙවත් පටිඝානුසය මතුවෙයි. මේවා ඇසුරු කර ගනිමින් මානානුසය, දිට්‌ඨානුසය, විචිකිච්ඡානුසය, අවිඡ්ජානුසය, භවරාගානුසය ලෙසින් අනෙකුත් යටපත්ව පවතින කෙලෙස්‌ද මතුවෙන්නට පටන්ගනී. මෙහිදී කල්‍යාණ ධර්ම හෙවත් කුසල් මගට පත්වීමට තිබෙන අවස්‌ථාව බැහැර වෙයි. මේ නිසා බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා ලෙසින් පරමාර්ථ ධර්මය මෙනෙහි කිරීමේ නුවණ, ප්‍රධාන වීර්ය ඇතිකරගැනීම අවශ්‍යය.

පළමු කොට මහාකාරුණිකවූ ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ශ්‍රද්ධා ගුණය ඇතිකර ගැනීම අවශ්‍යයය. "සද්ධෝ හෝති සද්දහති තථාගතස්‌ස බෝධිං ඉතිපිසො භගවා අරහං...." ලෙස දැක්‌වූ පරිදි ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බෝධිය හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය කෙරේ දැන පැහැදීම් ගුණයට පැමිණිය යුතුය. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වන සේක, ආදී ලෙසින් දැනුම අවබෝධයෙන් යුතු පැහැදීම් ගුණයට දියුණු කර ගැනීම අවශ්‍යය. මෙහිදී දහමෙහි පෙන්වා දෙන්නේ ශ්‍රද්ධා, වීර්ය, සති සමාධි, ප්‍රඥා නම් වූ ඉන්ද්‍රීය සහ බල ධර්ම නම්වූ ගුණයෙන් සමානත්වයෙන් දියුණු කරගත යුතු බවයි. මේවා දියුණුවන විට භවය, සසර, ජීවිතය, පැවැත්ම, සම්මුති, පරමාර්ථ, ධර්ම කෙරෙහි යථාභූත ඤාණය අනුක්‍රමයෙන් ඇතිවෙයි. සසරෙහි ඇති භයානක බව වැටහෙන්නට පටන් ගනී. සියලු සත්වයෝම අතීත සසරෙහි සතර අපායෙහි ඉපිද වඩාත් දුක්‌විඳි බව අවබෝධ වෙයි. මෙය සිදුවන්නේ එනම් සසර පැවැත්ම වන භවය සකස්‌ වන්නේ කර්මය නිසා බවත්, මේ සද්ධානුසාරී ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව අවබෝධයට ගනී. මේ නිසා ඉතාම දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතයෙන් උතුම්වූ ඵල ලැබීමට නම් කර්මයන්ගේ ක්‍ෂය කිරීම හෙවත් නිරෝධය පිණිස සතර සතිපට්‌ඨානයේ

පෙන්වා දෙන සිහිය හෙවත් සතිය පුහුණු කළ යුතු බවට වටහා ගනී. මෙසේ මාර්ගය අනුගමනය කිරීම "උදයFථගාමිණියා පඤ්ඤාය" හෙවත්a උදයවය පිළිබඳව අවබෝධයට පැමිණීම බවත් දැක්‌වෙයි.

මේ ඉතාම සංක්‌ෂේපයෙන් දක්‌වනු ලැබුවේ "අතපනීය" හෙවත් පසුතැවීම් ඇති නොවීමට නම් නිවැරදි ලෙස දහම් මාර්ගය අනුගමනය කිරීම පිළිබඳවයි. මේ පිළිබඳව අවබෝධය නොමැතිවීම නිසා හෝ දැනුම පැවැතියත් ශ්‍රද්ධාදී ධර්මයන් දියුණු නොකර ගැනීම නිසා සම්මුති ධර්මයක්‌ ලෙස තිර අධිෂ්ඨානයක්‌ ඇතිකරගෙන ඉදිරියට යාමට බොහෝ පිරිසකට අපහසුය. මේ නිසා කල්‍යාණ ධර්ම මාර්ගයට බැසගැනීමට නම් පර්යාප්තියෙන් (දහම් ශ්‍රවණය, කියවීම, සාකච්ඡාව, සිතීම, විමසීම) ඇති කරගන්නාවූ දැනුම ප්‍රතිපත්ති ඔස්‌සේ ප්‍රතිවේධය හෙවත් අවබෝධය දක්‌වාම දියුණුකර ගැනීමට අදිටන් කරගැනීම අවශ්‍යයි.

ඉහත සඳහන් කළ ආකාරයෙන් අනුපිළිවෙලින් (අනුපුබ්බ සික්‌ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා) මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙකුට ශ්‍රාවිකාවකට කුසල් මාර්ගයෙන් බැහැර වීමට හෝ අකුසල් මාර්ගයට යොමුවීමට අවස්‌ථාවක්‌ නැත්තේමය. එහෙයින්ම පසු තැවෙන්නට නොව, ධර්මයෙහි පැහැදිලි කරන පරිදි "ෙ€මෝ මග්ගෝ සෝවත්ථිකො පීතිගමනීයො" (ද්වේධා විතක්‌ක සුත්‍රය) ජාති ජරා ව්‍යාධි මරණාධියෙන් බිය සැක නොවන මගක, සුවසේ නිරාමිෂ ප්‍රීතියෙන් යුතුව දැහැමි මගක්‌ ජීවිත පැවත්ම කළ හැකිවන්නේය. ඔහුට හෝ ඇයට කිසිවිටෙකත් පසුතැවීමකට හේතුවන ලාමක වූ පාපී අකුසල ධර්මයකට යොමුවීමට අවස්‌ථාවක්‌ නොවන්නේය. "ලුද්දොa, ලෝහිත්‍යාණි, හතපහතෙ නිවිටිඨෝ අද්‍යාපන්නො පාණභූතේසු" කෲර අත්ලෙහි ලේ තැවරුණු සත්වයින් කපා කොටා හිංසා පමුණුවමින් දයාවකින් තොරව සත්වයින් වෙත හැසිරෙන හෝ හැසුරුණු අයෙක්‌ බවට පත්වීමට අවස්‌ථාවක්‌ නැත. එමෙන්ම, පස්‌පව්, දස අකුසල් මෙන්ම, ඊර්ෂ්‍යා සහගත, වෛරයෙන් හා ක්‍රෝධයෙන් යුතු, ගුණමකු අනුන්ගේ නිතර දොස්‌ දකින හා සොයන, තමන් උසස්‌ කොට අන් අය පහත් කොට තළාපෙළා අවමන් කරන අසත්පුරුෂ අයෙක්‌ බවට පත්වන්නේ නැත. මෙම පරමාර්ථ ධර්ම මාර්ගය මැනවින් තේරුම් නොගෙන, අනුගමනය නොකළේ නම්, ලෙඩදුක්‌ සහ දිරාගෙන යාම් ඉදිරියේදී වඩාත් පසුතැවෙනු ඇත. මරණ මංචකයේදී මුහුණදෙන්නට සිදුවන ස්‌වභාවය ඉතාමත් ශෝකජනකවනු ඇත. මේ නිසා මම කුසල මග අනුගමනය කළ අයෙක්‌මි. පාපයෙන්, අකුසලයෙන්, නොමිනිස්‌ කම්වලින් බැහැර වූ අයෙක්‌මි. ධර්මය පරමාර්ථ වශයෙන්ම දුටුවෙමියි යනුවෙන් සිතින් මෙනෙහි කරන්නට තරම් සමාධියක්‌ ඇතිකරගැනීම සැනසිල්ලට මඟය. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම උපකාර වේවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.