බෞද්ධයාගේ ආර්ථික විද්‍යාව

පූජ්‍ය වතුරුගම නන්දසිරි හිමි
ශ්‍රී වේළුවනාරාමය, කන්නිමහර-වතුරුගම

ලෝකයේ සිටිය මහා ප්‍රාඥයා, මහා විද්‍යාඥයා, මහා ප්‍රඥාවන්තයා සම්බුදු පියාණන් වහන්සේ බව නූතන විද්‍යාඥයොත් ප්‍රකාශ කර හමාරයි. අන්න ඒ සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයට තමයි බුද්ධ ධර්මය කියන්නේ. බුද්ධ කියන්නේ අවබෝධය. ධර්මය කියන්නේ සත්‍යය. එනම් සත්‍යය අවබෝධය.

බෞද්ධයාගේ ආර්ථික විද්‍යාව ප්‍රඥාව මත පදනම් විය යුතුයි. ඒ තුළ කරුණාව මෛත්‍රිය තිබිය යුතුයි. බෞද්ධයා කියන්නේ ප්‍රඥාවන්තයා කියන එකයි. කරුණාවන්තයා, මෛත්‍රී සම්පන්න පුද්ගලයා කීවත් ඇති වැරැද්දක්‌ නෑ.

එතකොට බෞද්ධ කියන වචනයේ තේරුම මොකක්‌ ද? ප්‍රඥාව හෙවත් අවබෝධය කියන එකයි. බෞද්ධයා කියන්නේ ප්‍රඥාවන්තයා. අර්ථය කියලා කියන්නේ සොයා ගෙන යනු ලබන දෙය. අර්ථ+ඉක කියන වචනය සම්බන්ධ වෙලා තමයි ආර්ථික කියන වචනය හැදිලා තියෙන්නේ. මේ 'ඉක' ප්‍රත්‍යයෙහි තේරුම ඇති කියන එකයි. එනම් සොයා ගෙන යනු ලබන දෙය ඇති. 'විද්‍යාව' කියන්නේ දැනීම හෙවත් ක්‍රමවේදය. එතකොට බෞද්ධයාගේ ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රඥාවන්තයා සොයා ගෙන යන්නා වූ සැපය හෙවත් අර්ථය ලබා ගැනීමෙහි දැනීම හෙවත් ක්‍රමවේදය කියන එකයි.

එතකොට අර්ථය කියන්නේ සොයා ගෙන යනු ලබන දෙය. මේක පුද්ගලයාගේ දර්ශනයට අනුව විවිධ වෙනවා. අර්ථය අමතක නොවෙන්න උදාහරණයක්‌ දෙන්නම්. ඌරා හොයා ගෙන යනු ලබන දෙය හෙවත් ඌරාගේ අර්ථය කුමක්‌ ද? ඇහුවොත්, කියන්න තියෙන්නේ අශූචි කියලා. ඌරා නිතර ම හොයා ගෙන යන්නේ රුපියල් සත නෙමේ, රිදී රත්තරන් නෙමේ, දේව ලෝකයත් නෙමේ, බ්‍රහ්ම ලොකයත් නෙමේ, නිර්වාණයත් නෙමේ. එහෙනම් ඌරා හොයා ගෙන යන්නේ මොනවාද, අශූචි හොයා ගෙන යන්නේ. ඌරෙක්‌ වටේ රත්තරන් තියන්න, රිදී, මුතු මැණික්‌ වටේට තියන්න. අශූචි පිඬක්‌ ඈතින් තියන්න. දැන් ඌරා කෙලින් ම ගිහින් නතර වෙන්නේ කොතන ද? අර අශූචි පිඬ ළඟ නේද? අන්න ඒක හොඳට තේරුම් ගන්න. එතකොට අර්ථය මොකක්‌ ද කියලා තේරුම් ගන්න පුළුවන්.

සොයා ගෙන යනු ලබන දෙය හෙවත් අර්ථය පුද්ගලයාගේ දර්ශනයට අනුව වෙනස්‌ වෙනවා. මේ ලෝකයේ භෞතිකවාදීන්, දේවවාදීන්, බ්‍රහ්මවාදීන්, විඤ්ඤාණවාදීන් කියලා දාර්ශනිකයෝ චින්තකයෝ හිටියා. ඒ අය භෞතික සැප සම්පත් මත, ස්‌වර්ගය මත අර්ථය තියෙන බව ප්‍රකාශ කළා.

බුදුපියාණන් වහන්සේ බැලුවා මේ ලෝකය තුළ සොයා ගෙන යා හැකි දෙයක්‌ තියෙනවා ද, සොයා ගෙන යා යුතු දෙයක්‌ තියෙනවා ද, කියලා පරීක්‌ෂා කරල බැලුවා. උන්වහන්සේ දැක්‌කා මුළු ලෝකයම වේගයක්‌ පමණයි. අනිත්‍ය ලෝකය තුළ සිටින සත්වයා අනිත්‍ය නිසා දුක්‌ විඳිනවා. ලෝකය කියන්නේ තණ්‌හාවෙන් තෙතමනය වුණු තැනක්‌. එතකොට තණ්‌හාවෙන් තෙතමනය වුණු තැන තමයි ලෝකය කියලා කියන්නේ. අනිත්‍යයි කියන්නේ වෙනස්‌ වෙනවා කියන එකයි. මොනවා ද වෙනස්‌ වෙන්නේ ඇලීමයි, ගැටීමයි. එතකොට අනිත්‍යතාව නිසානේ දුක නේද? ඇලීම කියන එක නැති වෙන කොට දුකයි. ගැටීම කියන එක ඇති වෙන කොට දුකයි. යමක්‌ අනිත්‍ය නම් දුක නම් එතැන වටිනාකමක්‌ තියෙන්න විදිහක්‌ නෑ. ආත්මයක්‌ තියෙන්න බෑ එතැන. අර්ථයක්‌ තියෙන්න විදිහක්‌ නෑ. තමාගේ වසඟයෙහි පවතින්නෙත් නෑ.

ඒ නිසා බුදුපියාණන්වහන්සේ දේශනා කරනවා ලෝකය තුළ සොයා ගෙන යා යුතු දෙයක්‌ හෝ සොයා ගෙන යා හැකි දෙයක්‌ හෝ නැත කියලා. අන්න ඒ නිසා බුදුපියාණන් වහන්සේට අනාත්මවාදී ශාස්‌තෘවරයෙක්‌ කියලා ප්‍රකාශ කළා. ආත්මවාදය කියන එකේ තේරුම ආත්මය කියන්නේ සාරය නම් අනාත්මය කියන්නේ අසාරය කියන එක නේද? 'සාරත්ථේන අත්තා- අසාරත්ථේන අනත්තා' එතකොට බුදු හාමුදුරුවෝ අසාරවාදී ශාස්‌තෘවරයෙක්‌ ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එසේ සිතුවත් බුදු හාමුදුරුවෝ තමයි නියම සාරවාදී දර්ශනයක්‌ ඉදිරිපත් කළේ. උන්වහන්සේ දේශනා කළේ මේ ලෝකය තුළ සොයා ගෙන යා යුතු සාරයක්‌ නැත කියලා. ලෝකය තුළ සාරයක්‌ නැත. අර්ථයක්‌ නැත. එතකොට මේ වචනය ප්‍රකාශ කරන්න අර්ථය පිළිබඳ ඒ තැනැත්තා පිළිගන්න ඕන නේද? සාරයක්‌ පිළිගන්න ඕන නේද?.

එහෙම නම් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය තුළ සාරයක්‌ නැත කියලා. එතකොට බුදු හාමුදුරුවෝ අසාරවාදී ශාස්‌තෘවරයෙක්‌ නෙමේ නේද? සාරවාදී ශාස්‌තෘවරයෙක්‌. සාරයක්‌ පිළිගත්ත උත්තමයෙකුට විතරයි ඒ වචනය ප්‍රකාශ කරන්න පුළුවන්. උන්වහන්සේ පෙන්නුම් කළා කොතැන ද සාරය තියෙන්නේ කියලා. යමක්‌ නිත්‍ය නම් එතැනයි සැප. යමක්‌ නිත්‍ය නම් සැප නම් අන්න එතැන තමයි සාරය. 'අසාරේ සාර මතිනො' අසාරය සාරයයි කියලා හිතා ගෙන ඉන්න අය. 'සාරේ චාසාර දස්‌සිනෝ' සාරය අසාරය යෑයි හිතා ගෙන ඉන්න අය. ඒ අයට කියනවා 'මිත්‍යා සංකප්ප ගෝචරා' කියලා. ඒ මිත්‍යා සංකල්පය ගෝචර කොට ඇත්තා වූ ඒ අය ඒ මතය අතහරින තුරු සාරයට යන්නේ නෑ. 'සාරන්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතෝ, තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා' සාරය සාරය වශයෙනුත්, ආසාරය අසාරය වශයෙනුත් දැන ගත්ත අය සාරයට යනවා. එහෙනම් බුදු හාමුදුරුවෝ සාරයක්‌ පිළිබඳ දේශනා කළා. සාරයට තවත් නමක්‌ දෙනවා නම් අර්ථය කියලා කියන්නෙත් ඒකට ම තමයි.

අර්ථයෙන් දේශනා කරනවා කියන්නේ, ලෝකය තුළ අර්ථයක්‌ නැති බව ඒත්තු යන ආකාරයට මිනිසුන්ට දේශනා කරන්න ඕන. අර්ථය ලෙස ඔබ සොයා ගෙන යා යුත්තේ, නිත්‍ය සුන්දර පරම මංගල නිර්වාණය බව මිනිස්‌සුන්ට ඒත්තු ගන්න පුළුවන් විදිහට දේශනා කරන්න ඕන. මේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන දර්ශනය මිනිස්‌සුන්ට ඒත්තු ගන්වන්න ඕන. කාවද්දන්න ඕන. නිර්වාණය පරම සැපතයි කියන අදහස ඒ මිනිස්‌සුන්ට කාවද්දන්න ඕන. අන්න එතකොට මිනිස්‌සු අසාර ලෝකය ගැන දැනගෙන සාර වූ නිවනට පැහැදීම ඇති අය බවට පත් වෙනවා. කොහොම ද එතැනට යන්නේ? අන්න එතකොට මිනිස්‌සුන්ට පෙන්නා දෙන්න ඕන, මෙන්න යන ක්‍රමය. අන්න ඒක තමයි සද්ධර්ම මාර්ගය කියන්නේ. ඒ පරම සැපත හෙවත් නිර්වාණය කරා යා යුතු සහ යා හැකි ක්‍රමවේදය මිනිස්‌සුන්ට කියා දෙන්න ඕන. ධර්මය දේශනා කරනවා කියන්නේ ඒකයි. අර්ථයෙන් ධර්මය දේශනා කරනවා කියන එකේ තේරුම ඔන්න ඕකයි. ලෝකය කියන්නේ කුමක්‌ ද කියලා, මේ ජනතාවට බුද්ධානු මතයට අනුව තේරුම් කරලා දෙන්න ඕන.

බුදුපියාණන් වහන්සේ ලෝකය ගැන කතා කරලා තියෙන්නේ, ලෝකය දුකයි කියලා. 'දුක්‌ෙ€ පතිට්‌ටිතෝ ලෝකෝ'. ලෝකය කියන්නේ ජීවන පැවැත්මට. ඒ තුළ ජාති-ඉපදීම, ජරා-වයසට යාම, ව්‍යාධි-ලෙඩවීම, මරණ-මරණයට පත්වීම, සෝක-සෝක කිරීම, පරිදේව-හැŽම් වැලපීම්, දුක්‌ඛ-කායික වේදනා දුක, දෝමනස්‌ස-මානසික වේදනා දුක, උපායාස-වෙහෙසකර බව, පියෙහි විප්පයෝග-ප්‍රිය දේ අහිමිවීම, අප්පියෙහි සම්පයොග- අප්‍රිය දේ එක්‌වීම, යම් පිච්ඡං න ලබති තම්පි දුක්‌ඛං- සිතන දේ නොලැබීම යනා දී වශයෙන් දුක්‌ තියනවා.

එම දුක අවබෝධ කර ගැනීම තමයි බෞද්ධයාගේ ආර්ථික විද්‍යාවෙන් පෙන්නුම් කරන්නේ. එතකොට ලෝකය දුකයි කියලා අවබෝධ කරගත්තු පුද්ගලයා, ලෝකය තුළ සැපක්‌ දකින්නේ නෑ මොනව කරලවත්. ලෝකය ගැන දන්නේ නැති අය තමයි ලෝකය තුළ ඉඳ ගෙන සැප කියන වචනය භාවිත කරන්නේ. ලෝකය ගැන අවබෝධ කරගත් බුදු පියාණන් වහන්සේ ලෝකය ම දුකක්‌ කියන වචනය ප්‍රකාශ කළා මිසක්‌, 'අච්ඡාර සංඝාත මත්තම්පී භවං න වන්නේමි' අසුරක්‌ ගහන මොහොතක්‌වත් ලෝකය වර්ණනා කළේ නෑ.

ලෝකය අතහරින දහම තමයි සතර සතිපට්‌ඨානය. 'චත්තාරෝ සතිපට්‌ඨානා'. එනම් කායානුපස්‌සනා, චිත්තානුපස්‌සනා, වේදනානුපස්‌සනා, ධම්මානුපස්‌සනා. බුදු හාමුදුරුවෝ දේශනා කරනවා ස්‌ථාන හතරක්‌ මත සතිය පවත්වන්න කියලා. එනම් ලෝකයෙන් කොටස්‌ හතරක්‌ ගන්නවා. එසේ අරගෙන ලෝකය නමැති විද්‍යාගාරයට වෙලා පරීක්‌ෂණ පවත්වනවා. ඉස්‌සෙල්ලා ම අපි ගන්න කොටස තමයි පළමුවෙන් ම අපට අරමුණු වෙන තැන. කොතන ද? මේ බඹයක්‌ පමණ උසට මහතට තියෙන කය. ඒක තමයි ඉස්‌සෙල්ලා ම ගන්න කියලා තියෙන්නේ. දෙවනුව වේදනාව. ඊළඟට සිත. ඊට පස්‌සෙ මේ සිතයි කයයි දෙක හට ගන්නා වූ ස්‌වභාව ධර්මය. මේන් මේ කාරණා හතර තමයි උන්වහන්සේ ලෝකය ගැන අවබෝධ කර ගන්න කැමති පුද්ගලයෙකු විසින් පරීක්‌ෂණයට භාජනය කරන්න කිව්වේ.

මොකද්ද මේ සතිය කියලා කියන්නේ? සතිය කියලා කියන්නේ දැන ගත්තා වූ දෙය යළිත් යළිත් සිහිපත් කර දීම. දැන ගත්තා වූ නරක දෙය යළිත් යළිත් සිහිපත් කර දෙනවට කියනවා මිච්ඡා සතිය කියල. දැන ගත්තා වූ හොඳ දෙය යළිත් යළිත් සිහිපත් කර දීමට සම්මා සතිය කියලා කියනවා. එතකොට දැන් අපි වඩන්න ඕන මොකද්ද? සම්මා සතිය. සත් පුරුෂයෙක්‌ එහෙම නැත්නම් දහම දැන ගත්ත උත්තමයෙක්‌ ළඟට ගිහිල්ලා අපි ඇහුම්කන් දෙනවා. කන් යොමු කරනවා. එතකොට අපට ඇහෙනවා, මොකද්ද ඇහෙන්නේ? ඇත්ත ඇහෙන්නේ. මොකද්ද ඇත්ත? අධ්‍යාත්මික සුඛය, අද්‍යාත්මික අර්ථය ලබා ගන්නා වූ විද්‍යාව තමයි සතිපට්‌ඨානය කියන්නේ. බුදුපියාණන් වහන්සේ සතිපට්‌ඨාන සූත්‍රයෙන් දේශනා කළේ ඒකායන නිවනට වැඩිය යුතු මගයි.

මේ අනුව සතිපට්‌ඨානය වඩන පුද්ගලයා, ලෝකය අනිත්‍ය දුකයි අනාත්මයි කියන අවස්‌ථාව දැක්‌කයින් පස්‌සේ ලෝකය තුළ අර්ථයක්‌ දකින්නේ නෑ. ඒ අය තුළින් ලෝකය ප්‍රතික්‌ෂේප වෙලා යනවා. එයා අර්ථය දකින්නේ කොතන ද? ලෝකෝත්තර නිර්වාණය තුළ. එතන තමයි, ආර්ය පුද්ගලයෙක්‌ දකින්න හම්බ වෙන්නේ. අන්න ඒ ලෝකෝත්තර නිර්වාණය අර්ථවත් කියලා පිළි අරගෙන ඒ ලෝකෝත්තර නිර්වාණය හෙවත් පරම සැපත කරා යාමට, උගන්වන දහම තමයි බෞද්ධයාගේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.