සන්සිඳුණු සමාජයක්‌ සඳහා
කතා ව්‍යවහාරය ඉවහල්වල අයුරු


මක්‌කානිගොඩ අස්‌සජී හිමි
විහාරාධිපති, ජයසුමනාරාම මූල මහා විහාරය , හාපිටිගම, කල්එළිය.

කාය කර්ම වචී කර්ම හා මනෝකර්ම යනුවෙන් අප කරන ක්‍රියා කොටස්‌ තුනකට බෙදේ. කය මුල් වී කරන

ක්‍රියාකාරකම් කාය කර්ම වන අතර වචී කර්ම වන්නේ වාචසික ක්‍රියා කාරකම්ය. සිතෙන් කරන ක්‍රියාකාරකම් මනෝ කර්ම වෙයි. සත්ත්වයා උපතේ සිට මරණය දක්‌වා කරන සමස්‌ත ක්‍රියාකාරකම් කර්ම නමින් හැඳින් වේ. මේ අතරින් වාචසික සංවරයෙහි ඇති වැදගත් කම පිළිඳව ඔබේ අවධානය යොමු කිරීමට අදහස්‌ කරමි. තම සිතැඟි ප්‍රකාශ කිරීමෙහි එක්‌ මාධ්‍යයක්‌ වන්නේ භාෂා භාවිතය යි. එය වාචිකවත් අවාචිකවත් කළ හැක. වාචිකව අදහස්‌ සංනිවේදනයෙහිදී වචන උච්ඡාරණය කළ යුතු වේ. වචන උසුරුවීමේදී පුද්ගලයාගේ මනෝභාවයන්ද ප්‍රකට වෙයි. වචන භාවිතයෙහිදී ඉන් ගම්‍යවන දේ යහපත් හෝ අයහපත් වීම කෙරෙහි මනෝමූලික බව හේතු වෙයි. අප ව්‍යවහාරයහි හොඳට නරකට කට බලපාන බව කිය වෙන ජන කවියක්‌ ඇත.

මානෙල් සුවඳමය - කුඩමසු පිළී ගඳමය
දෙකට එක දියමය - හොඳට නරකට එකම දියම ය.

ආලෝභ අදෝස අමෝහ යන ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් පරික්‍ෂිප්තව ප්‍රකාශ කෙරෙන වචන හොඳ යහපත් නිවැරදි වචන වෙන අතර අයහපත් පවිටු අකුසල සහගත වචන වන්නේ ලෝභ දෝෂ මෝහ ෙච්තනා මිශ්‍රිත වචනය. මානෙල් මල් දසත සුවඳ පතුරවන්නාක්‌ මෙන්ම මුළු පළාතම පිළීගඳ ගැස්‌වීමට මාලුවා සමත් වෙයි. මානෙල් මල් පිපෙන්නේත් මාලුවා ජීවත්වන්නේත් එකම ජලයෙහිය.

කාය වාග් සමොදානං සීලං යන විග්‍රය අනුව සීලයෙහි එක්‌ අංගයක්‌ වන්නේ වාග් සංවරය ඇති කිරීම යි. බොහෝකොට නිවෙස්‌වල ආයතනවල සමාජයෙහි රට රාජ්‍යවල අර්බුද හටගන්නේ වචන භාවිතයෙහි පාලනයක්‌ සංවරකමක්‌ නොමැති වීමෙනි. සිතට ආවේගයක්‌ ආ පමණින් සමහරු වචන මුදාහරිති. තැන නොතැන පුද්ගලයන් ගැන නොසලකා හරිති. හඬ පාලනය නොකරගනී.

නොසරුප් වදන් තෙපලනු පෙනේ. කර්ණකඨෝර තෙපුල් බෙණෙති. නින්දා අපහාස වචන කියනු ඇසේ. ඇතැම් විට අසභ්‍ය අස්‌ලීල වදන් තෙපලති. අසන්නාගේ කණට යවුල් පහර

දෙන්නාක්‌ බඳු වචනද බෙණෙනු පෙනේ. මෙම අවස්‌ථාවල සිදුවන්නේ අසන්නා ද බෙහෙවින් ප්‍රකෝපයට පත් වී එකිනෙකා පරයා වචන හුවමාරු කර ගැනීමයි. එම අවස්‌ථාව ගැටුමක්‌ බවට පරිවර්තනය වීමට වැඩිකාලයක්‌ ගතවන්නේ නොවේ. බොහෝ අවස්‌ථාවල ඒවා දුර දුරදිග යැමෙන් කලකෝලාහල පවා නිර්මාණය වෙයි. ඒවා මිනී මැරුම් දිවිනසා ගැනීම් දක්‌වා දිවෙන අවස්‌ථා ද ඇත.

බුදු දහම වාග් දුෂ්චරිතයෙහි අවස්‌ථා හතරක්‌ පෙන්වා දේ. එනම් 1 බොරුකීම (මුසාවාදා) 2 කේළාම් කීම (පිසුණාවාචා) 3 ඵරුෂ වචන කීම (ඵරුසාවාචා)

4 හිස්‌වචන කීම (සම්පප්පලාපා) යනුයි. අසත්‍ය ප්‍රකාශ කිරීම ඉතා බරපතල අකුසලයක්‌ බව දහමෙහි සඳහන්ය. බෝසතාණන් වහන්සේ බුද්ධකාරක ධර්ම පුරන සමයෙහි පෘථග්ජන අයෙකු වශයෙන් විවිධ අකුසල් සිදුව ඇතත් කිසි දිනක බොරුවක්‌ නොකී බව පෙන්වා දී යම් හෙයකින් බොරුකීයේ නම් චතුරාර්ය සත්‍ය ධර්මය වැනි පරම ගම්භීර වූ ධර්මයක්‌ දේශනා කිරීමට නොහැකි වන බව ප්‍රකාශ වීමෙන්ම එහි ප්‍රබලත්වය පැහැදිලි වෙයි. මෙමගින් සිදුවන්නේ අන්‍යයන් රැවටීමකි. බලාපොරොත්තු බිඳ දැමීමකි. ඉච්ඡාභංගත්වයට පත්කිරීමකි බොරුකියන තැනැත්තා සමඟ ගනුදෙනු කිරීමට බිය වෙයි. වගකීම් පවරන්නේ නැත. ආවාහ විවාහ කටයුතු සඳහා තෝරා නොගැනේ. සමාජ අපහාස උපහාස ගැරහීම් ඔහු කරා පැමිණේ දුගතිගාමී වී දුකට පත් වෙයි අන්‍යයන් නොඅදහන පුද්ගලයකු වන අතර මුඛයෙන් දුර්ගන්ධයක්‌ හමයි. සසර නිවීමද දුරස්‌ථ වනු ඒකාන්තය.

කේළම පුද්ගල සබඳතා කඩා බිඳ දමන්නකි. ඔවුනොවුන් විරසක භේදභින්න කරන්නකි. කේළාම් කියන්නා අෙන්‍යාන්‍ය සබඳතා බිඳදමා සතුට සොයයි. එහෙත් එම සතුට තුල ඔහු නොදැනුවත්වම කර්මපථ ජනනය කරගන්නා බව හේ නොදනී. මෙලොවදීම ආශ්‍රීතයන්ගේ දෝස දර්ශනයට පාත්‍ර වෙයි. හුදකලා බවට පත් වෙයි. මානසික පීඩාවට පත්ව අසහනකාරීව දිවි ගෙවයි. මරණින් මතු දුගතිගාමීව පීඩාවට පත්වනු නොඅනුමානය. පිරිස්‌ සම්පත්තියක්‌ නොලබයි.

පරුෂවචන දොඩන්නා ද්වේෂ සහගත සිතින්ම වදන් තෙපලයි. හැම

මොහොතකම එවැන්නෝ මානසිකව විඳවති සමාජ ගැරහුම් ලබයි සමාජ ආශ්‍රයක්‌ නොලබාම මානසිකව විඳවති සතාසිව්පාවුන් පවා ඔවුන් නොරුස්‌සන බව ප්‍රකට ය ආයති භවය දුක්‌ සහගත ය පිරිස්‌ සම්පත්තියක්‌ කොහෙත්ම නැත.

හිස්‌වචන තෙපලන්නා තමන්ගේත් අනුන්ගේත් කාලය කාදමයි. තමන්ටත් අනුන්ටත් මෙලොවටත් පරලොවටත් ආර්ථයක්‌ නැතිව ක්‍රියා කරයි. ඔහුට පිරිවරක්‌ වෙතත් ඒ හිස්‌ මිනිසුන්ය.

පව්කාරයෝ ය. සුරාසලෙහි සූදුපොලෙහි හැසිරෙන්නෝ ය. අකුසල්ම පොදි බඳියි. හිස්‌වචන තෙපලන්නන් යොදාගන්නා කතා ප්‍රවෘත්ති තිස්‌ දෙකකි. ඒවා දෙතිස්‌කථා යනුවෙන් දහම් පොත්හි සඳහන් වේ. 1 රජුන් පිළිබඳ කතා 2 සොරුන් පිළිබඳ කතා 3 රජඇමතියන් පිළිබඳ කතා 4 සේනා පිsළිබඳ කතා 5 භය පිළිබඳ කතා 6 යුද්ධ කතා 7 කෑම පිළිබඳ කතා 8 බීම පිළිබඳ කතා 9 ඇඳුම් පිළිබඳ කතා 10. තැත. 11 මල්මාලා පිළිබඳ කතා 12 සුවඳ පිළිබඳ කතා 13 නෑයන් පිළිබඳ කතා 14 රථ වාහන පිළිබඳ කතා 15 ගම් පිළිබඳ කතා 16 නියම් ගම් පිළිබඳ කතා 17 නගර පිළිබඳ කතා 18 ජනපද පිළිබඳ කතා 19 ස්‌ත්‍රීන් පිළිබඳ කතා 20 ශූරයන් පිළිබඳ කතා 21 වීථි පිළිබඳ කතා 22 වැව් පොකුණු ආදී ජලස්‌ථාන පිළිබඳ කතා 23 මිය ගිය නෑයන් පිළිබඳ කතා 24 නොකියවුණු නොයෙක්‌ දේ පිළිබඳ නිර්ථක කතා 25 විතණ්‌ඩ කතා නම් වූ නුවණැතියන්ගේ සිත් තැලෙන කතා 26 මුහුදු පිළිබඳ කතා 27 ශාස්‌වත වාදය පිළිබඳ කතා 28 උච්ඡේද වාදය පිළිබඳ කතා 29 දියුණුව පිළිබඳ කතා 30 පිරිහීම පිළිබඳ කතා 31 පස්‌කම් සැප පිළිබඳ කතා 32 ආත්මය පෙලීම පිළිබඳ කතා යන කතා එම දෙතිස්‌ කතාවන් වෙයි. මේවා කිසිලෙසකින්වත් තම සීලයට සම්බන්ධ නොවන බව අවධාරණය කර ඇත. එනිසා භික්‍ෂූන්වහන්සේලාටත් සිල් සමාදන්ව කල් ගෙවන සෑම දෙනාත් නොකළ යුතු කතා ලෙස මේවා දක්‌වා ඇත. මෙමගින් පුද්ගල සන්තානය තුල කෙළෙස්‌ වැඩෙන අතර දුරාචාර දුෂ්චරිත ද වර්ධනය වෙයි. පුද්ගල පරිහානියට බලපාන කරුණු දක්‌වන අවස්‌ථාවල භස්‌සාරාමතාව ලෙස දක්‌වා ඇත්තේ ද මෙම කෙලතුලු භාවයයි.

කතාබහ කිරීමේදී අවධානයට ගත යුතු කරුණු කීපයක්‌ වෙයි. තයො මෙ භිCඛවෙ පුග්ගලා සන්තො සංවිඡ්ජමානා ලොකස්‌මිං කථමෙ තයො ගුථ භාණී පුප්ඵ භාණී මධු භාණී යනු වෙන් සමාජයෙහි වෙසෙන පුද්ගලයන් තිදෙනෙකු ගැන සඳහන් වෙයි. කරණ කතාවෙන් පළාතම ගඳගස්‌සන්නේ ගුථභාණී පුද්ගලයා ය. මල්සුවද වහනය වන සේ කතා ඇත්තේ යහපත් අයතුලය. එබන්ඳන්ගේ කතා පරිසරයම සුවඳවත් කරයි. සිත් සනහයි. මධුභාණී පුද්ගලයා කණට අසන්නාට ප්‍රිය මනාප දෙයක්‌ම කතා කරයි. මීපැණි වැගිරීමක්‌ මෙන් මිහිරි ය. එනිසා අප කතා කළ යුත්තේ නිදොස්‌ (නෙලා) වදන් ය. කණට සුවය එලවන (කණ්‌ණ සුඛා) ප්‍රිය වූ (පෙමනීයා) හෘදයාංගම (හදයංගමා) සභ්‍ය වූ වැදගත් අය බෙණෙන (පොරී) බොහෝ දෙනා ඇදගන්නා වූ (බහුජන කන්තා) බොහෝ දෙනා මනාපවූ (බහුජන මනාපා) දෙයක්‌ ම කතා කිරීමට අප සැලකිලිමත් විය යුතුය.

එබැවින් යහපත් සමාජ සබඳතාවක්‌ ගොඩනඟා ගැනීමෙහිලා සත්‍යවාදී වූ වචන භාවිතයට හුරුවීම අවශ්‍ය ය. ආර්යයන් වහන්සේලා නිරත වූයේ දැහැමි කතාවක. නැතහොත් නිශ්ශබ්දතාවය අගය කළහ. අප කතා කරන කියන දේ අර්ථවත් දෙයක්‌ම විය යුතුය. සිත නිවාලන දෙයක්‌ විය යුතුය. ග්‍රාහකයාට ශ්‍රාවකයාට ආදර්ශයක්‌ මග පෙන්වන්නක්‌ විය යුතුය. එය සුභාෂිතයකි. භාවප්‍රකොපයට හේතුවන්නක්‌ කිසිවිට නොබිණිය යුතුවාක්‌ මෙන්ම භාව සන්තර්පණය වන්නක්‌ම ප්‍රකාශ කිරීම පණ්‌ඩිත වේදනීය ද වෙයි.
 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.