නොපසන් සිත ගෙන දේ දුක

රාජකීය පණ්‌ඩිත පදියතලාවේ ඥානවිමල හිමි
මො/ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ,
ගල්කුඹුර - බිබිල

සිතෙහි විවිධ ස්‌වරූප පවතී. පෘථග්ජනයාගේ සිත කෙබඳු ස්‌වරූප ගනීදැයි ක්‍ෂණිකව කිසිවෙකුට ප්‍රකාශ කළ නොහැකිය. සිතෙහි ක්‍රියාකාරිත්වය අනුව ඔහු කරන කියන දෑ පිළිබඳ නිසි අවබෝධයක්‌ උපදවා ගැනීම සැබැවින්ම දුෂ්කරය. හොඳ කරන අයවලුන්ට හොඳ විපාකත් නරක ක්‍රියා කරන අයවලුන්ට නරක විපාකත් ලැබෙන බව දහමේ පෙන්වා දෙන අන්දමයි. ඒ පිළිබඳව ඉදිරිපත් කළ කදිම නිදසුන නම් පහතින් දැක්‌වෙන අවස්‌ථාවයි.

මනෝ පුබ්බංගමා ධම්මා

මනෝ සෙට්‌ඨා මනෝමයා

මනසා ෙච් පදුට්‌ඨෙන

භාසතී වා කරෝතිවා

තතෝනං දුක්‌ඛමංවේති

චක්‌කංව වහතෝ පදිං

ධම්මපදයේ පළමුවැනි (යමක) වර්ගයේ පළමු ගාථාව මෙයයි. මෙහි සරල අදහස පිළිබඳ පහදා දෙන්නේ නම්,

අප ජීවිතයේ කරන, කියන සෑම කටයුත්තක්‌ සඳහාම මූලික වන්නේ අපගේ මනසයි. නොඑසේ නම් සිතයි. යමක්‌ කිරීම පිණිස අදහස මුලින්ම උපදින්නේත් මනසෙහිමය. යමෙක්‌ අපිරිසිදු මනසින් යුතුව (පදුට්‌ඨේන චිත්තේන) යමක්‌ කියයිද (භාසත) යමක්‌ කරයිද (කරෝති) එයින් ලැබෙන අකුසල විපාකය ඔහු පසු පස ලුහුබඳියි. උපමාවකින් පෙන්වා දෙන්නේ නම් ගැල අදිනා වෘෂභයා පිටුපසින් නොනැවතීම යන ගැල්සක (චක්‌කංව වහතෝ පදං) මෙනි.

ඉහතින් වූ දේශනාව බුදුන් වහන්සේ සිදු කිරීම සඳහා හේතු පාදක වූ නිධාන කථාවද දැක්‌වීම මෙහිsදී වටී. අප සම්බුදු හිමියන් පහළ වූ සමයේ සැවැත් නුවරෙහි මහා ස්‌වර්ණ නම් ධනවත්, කුලවත්, ව්‍යාපාරිකයෙක්‌ සිටියේය. ඔහු දිනක්‌ ස්‌නානය සඳහා ගංතෙරට ගොස්‌ ආපසු එන ගමනේදී විශාල නුග වෘක්‌ෂයක්‌ දක්‌නට ලැබුණේය. ඔහු එම වෘක්‌ෂයේ මහා බලසම්පන්න දෙවි කෙනෙකු අධිගෘහිතව වාසය කරන්නේ යෑයි සිතා ගස අවට මැනවින් ශුද්ධ පවිත්‍ර කළේය. ඉන්පසු ඔහු වෘක්‌ෂය ළඟට පැමිණ වෘක්‌ෂාධිපති දෙවියන්ට කන්නලව් කරමින් 'අනේ දේවතාවෙනි, මට දූ දරුවන් නොමැති හෙයින් බොහෝ වේදනා විඳ ඇත්තෙමි. මාහට යම් විදියකින් හෝ දරුවෙක්‌ ලැබුණහොත් ඔබ වහන්සේට මහත්වූ පූජාවක්‌ සිදුකරන්නෙමි'යි කීවේය.

කාලයද කෙමෙන් ගෙවී ගොස්‌ කල්යත්ම ඔහුගේ භාර්යාවගේ කුසෙහි දරුවෙක්‌ පිළිසිඳ ගත්තේය. දස එකඩමස්‌ ඇවෑමෙන් පිරිමි දරුවෙක්‌ බිහි විය. නුග රුකෙහි වූ දෙවියන්ගේ අනුහසින් දරුවා ලැබුණේ යෑයි හැඟුණු නිසා ඔහු කුමරුට "පාල'' යනුවෙන් නම් තැබීය. කෙටි කලක්‌ යත්ම තවත් දරුවෙක්‌ උපදිණ. ඔහුට 'චුල්ලපාල' යනුවෙන් නම් තැබූ අතර පෙර දරුවාට 'මහාපාල' යනුවෙන් නම් තැබීය.

දරුවන් උස්‌ මහත් වන විට ඔවුනට අවශ්‍ය ශිල්ප ශාස්‌ත්‍රය පියා විසින් මනාව ලබා දුන්නේය. එසේම නිසි කල වයස පැමිණි පසු දෙදෙනාම විවාහ දිවියට ද ඇතුළත් වූහ. බොහෝ දෙනා සැමදාම මල්පහන් සුවඳ දුම් රැගෙන බුදුන් වහන්සේ හමුවීමට සහ ධර්ම දේශනා ඇසීමට දෙව්රම් වෙහෙරට යන බව දැක මහාපාල ද ඔවුන් සමඟ සුදුවත් හැඳ විහාරයට ගොස්‌ දහම් දෙසුම් ඇසීය. දහමෙහි රසය විඳි ඔහු ඉන්පසුව දිනපතාම විහාරයට ගොස්‌ බුදු හිමියන්ගේ දම් දෙසුම්වලට මැනවින් සවන් යොමු කළේය. දහමෙහි අගය තේරුම්ගත් ඔහු බුදුන් වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාව ලැබීමට සිතාගෙන තමාගේ අදහස තම බිරිඳගෙන් සහ සහෝදරයාගෙන් විමසීය. ඔවුන් සියල්ලෝම මේ අදහසට එකහෙළාම අකැමැති වූහ. එනමුදු මහාපාලගේ දැඩි ඉල්ලීම මත ඔවුනට ඔහුගේ ඉල්ලීමට එකඟ වන්නට සිදු විය. කල්යත්ම ඔහු බුදුන් සමීපයේ පැවිදි උපසම්පදාව ලැබීය. හොඳින් බණ භාවනාද සිදු කළේය.

වර්ෂ පහක්‌ම තම ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමීපයේ ඉතා කාරුණිකව, හික්‌මීමෙන් යුතුව වැඩ සිටි මහාපාල තෙරුණුවෝ දිනක්‌ බුදුන් සමීපයට පැමණ 'ස්‌වාමීනි, මම වර්ෂ පහක්‌ මුළුල්ලේම මගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලා සමීඵයේ හිඳිමින් ධර්මය මනාව ප්‍රගුණ කළෙමි.

මම ධ්‍යාන වඩා කෙළෙස්‌ තවා ගැනීමට වීර්යය කරමි. ඒ සඳහා මාහට උපදෙස්‌ ලබා දෙන්න යනුවෙන් ගරු බුහුමන් සහිතව ඉල්ලා සිටියේය. බුදුන් වහන්සේද ඔහුට අවශ්‍ය කරන උපදෙස්‌ ලබා දුන් සේක. මහාපාල තෙරුන් තවත් සැටනමක්‌ද සහිතව චාරිකාවේ යෙදෙමින් යොදුන් ගණනාවක්‌ දුරට වැඩම කළේය.

මහාපාල තෙරුන් ඇතුළු සඟ පිරිසේ සන්සුන් ඉරියව් දැක පැහැදුණු එගම්වාසී ජනතාව උන්වහන්සේලාට එම ගමෙහි වැඩ සිටින මෙන් ආරාධනා කළහ. ඔවුන්ගේ ආරාධනාව ඉවසූ උන්වහන්සේලා එම වස්‌ තුන් මාසය එහි වාසය කිරීමට කථිකා කරගත්හ. ඉමහත් ප්‍රීති ප්‍රමෝදයට පත් ජනතාවද උන්වහන්සේලාට අවශ්‍ය කුටි, සක්‌මන් මළු, භාවනා ශාලා ආදිය හැකි ඉක්‌මනින් ඉදිකර දුන්හ. ඒ ගමෙහි හුන් එක්‌ වෙද මහතෙකු උන්වහන්සේලා සමීපයට විත් 'ස්‌වාමීනි, ඔබ වහන්සේලා යම් විදියකින් අසනීප වුවහොත් මම ඔබ වහන්සේලාට බෙහෙත් කරන්නෙමි, මට දන්වන්න යනුවෙන් පවසා සිටියේය. උන්වහන්සේලා ද එය පිළිගත්හ.

වස්‌ වාසය කිරීමේ ආරම්භක දිනය උදා විය. අනෙක්‌ භික්‌ෂූන් වහන්සේලා සම්මුඛ වූ මහාපාල තෙරුන් වහන්සේ මෙම වස්‌ තුන් මාසය කෙසේ ගෙවීමට අපේක්‌ෂා කරන්නේදැයි විමසා සිටියහ. උන්වහන්සේලා සැවොම ප්‍රකාශ කළේ බුදුන් වහන්සේ පෙන්වා දුන් සිව් ඉරියව්වෙන් භාවනාදී කටයුතු කරමින් වැඩ සිටීමට අපේක්‌ෂා කරන බවයි. මහාපාල තෙරුන් වහන්සේලා හමුවෙහි තමා සයනය කිරීමේ ඉරියව්ව හැර අනෙකුත් ඉරියව් තුනෙන් වැඩ සිඳීමට අපේක්‌ෂා කරන බව පවසා සිටියේය. උන්වහන්සේලා ද එය මහත් සේ අගය කළහ.

මේ ආකාරයෙන් දිනපතා භාවනාවේ යෙදුණු මහාපාල තෙරුන්ට දෙවැනි මාසයේ මුල් සතියේ එක්‌ රාත්‍රියක දරුණු ඇස්‌ රෝගයක්‌ ඇති විය. පසුදා උදෑසන පිඬු පිණිස වැඩම කිරීමට අනෙක්‌ භික්‌ෂූන් සූදානම් වන අවස්‌ථාවේ මහාපාල තෙරුන්ගේ අසනීපය උන්වහන්සේලාට දැකගන්නට හැකි විය. වස්‌ සමාදානය වූ දවසේ වෙද මහතා කියූ ප්‍රකාශය මතක්‌ කළ උන්වහන්සේලා වෙදමහතාට මෙය දන්වාලූයෙන් ඔහු පැමිණ වටිනා තෙලක්‌ ඇසෙහි ආලේප කිරීමට මහාපාල තෙරුන්ට ලබා දුන්නේය. බෙහෙත් ගල්වන ආකාරය පිළිබඳ උපදෙස්‌ද ලබා දුන්නේය.

වෙද මහතා මහාපාල තෙරුන්ට බෙහෙත් දමනා ආකාරය පැවසුවත් උන්වහන්සේ තමාගේ ඉරියව් වෙනස්‌ කිරීමට අකමැති වූහ. එනම් සයනාසන ඉරියව්ව උන්වහන්සේ වස්‌ සමාදාන දවසේම ප්‍රතික්‌ෂේප කළ නිසා බෙහෙත් දමන අවස්‌ථාවේවත් එම ඉරියව්ව වැඩීමට අකැමැති විය. හාන්සි වී වැඩි වෙනවා මිස අඩු වූයේ නැත. උත්සාහයෙන් යුක්‌තව ක්‍රියා කළ මහාපාල තෙරුන් අධිෂ්ඨාන කළේම කුමන අසනීපයක්‌ වැළඳුනාද මේ ආත්ම භාවයේ කෙසේ හෝ අර්හත් භාවය ලබාගැනීමටයි. ඒ නිසා ප්‍රමාද නොවී චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට උන්වහන්සේ නිරන්තරයෙන් භාවනා කරන්නට වූහ.

වස්‌ කාලය අවසන් වන දිනයට පෙර දිනයේ රාත්‍රියේ මහාපාල තෙරණුවන්ගේ දෑස්‌ නොපෙනීම ගියේය. අන්ධභාවයට පත්වූවේය. ඒත් සමඟම උන්වහන්සේ උතුම් වූ අර්හත් භාවයට ද පත්ව සිටි සේක. පසුවදා උදෑසන පිඬු පිණිස වැඩම කිරීමට අනෙක්‌ හිමිවරුන් ආරාධනා කළත් උන්වහන්සේගේ දෙඇස්‌ අන්ධවී ඇති අන්දම උන්වහන්සේලාට වැටහී ගියේය. ඉන්පසු උන්වහන්සේ 'චක්‌ඛුපාල මහරහතන් වහන්සේ' යනුවෙන් හැඳින්විය. බුදුන් වහන්සේගේ ධර්මය අනුව ගිය උන්වහන්සේගේ දැඩි වීර්යවන්තභාවය නිසා තෙමසක්‌ ඇවෑමෙන් උතුම් වූ අර්හත්භාවය ලබා ගැනීමට හැකිවිය.

වස්‌ කාලයෙන් පසුව උන්වහන්සේලා නැවත දෙව්රම් වෙහෙරට වැඩම කළ සේක. දිනක්‌ උන්වහන්සේලා දෙව්රමෙහි වැඩ සිටින අවස්‌ථාවේ මහා වස්‌සක්‌ ඇදහැළිණි. ඒ වැස්‌සට මැඬියෝ වෙහෙරෙහි මළුවෙහි පිරී ඉතිරි ගියේය. සක්‌මන් භාවනාවේ නියුක්‌තව සිට චක්‌ඛුපාල තෙරුන්ගේ පාදයට පෑගී බොහෝ මැඬියෝ මියගොස්‌ සිටියහ. මෙය දුටු අනෙක්‌ භික්‌ෂූන් වහන්සේලා බුදුන් වහන්සෙa සමීපයට ගොස්‌ මේ බව පවසා සිටියහ. බුදුන් වහන්සේ මෙම සිදුවීමෙන් චක්‌ඛුපාල තෙරුන් වහන්සේට කිසිම පාපයක්‌ සිදු නොවන බව පෙන්වා දුන් සේක. එයට හේතුව නම් රහතන් වහන්සේලාට මරණ ෙච්තනාව පහළ නොවීමයි.

උතුම් වූ අර්හත් තත්ත්වයට පත්වූවන් කුමන පාපකර්මයක්‌ නිසා චක්‌ඛුපාල තෙරුන් වහන්සේගේ ඇස්‌ දෙකම අන්ධ වූයේ දැයි ඉන් අනතුරුව භික්‌ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් විමසා සිටියහ. උන්වහන්සේගේ ඇස්‌ දෙකම අන්ධවීම කෙරෙහි ප්‍රමුඛ වූ විපාකය එහිදී බුදුන් වහන්සේ භික්‌ෂූන් වහන්සේලා ඉදිරියේ මෙසේ ප්‍රකාශ කර සිටිසේක.

'මහණෙනි, පෙර බරණැස්‌ නුවර කසී කියලා රජ කෙනෙක්‌ රජකම් කරමින් ඉන්න කාලෙක ගොඩක්‌ ප්‍රසිද්ධ වෙද මහත්මයෙක්‌ ඒ නුවරම වාසය කළා. එක්‌ දිනක්‌ මේ වෙද මහත්මයා ළඟට එක්‌තරා දුප්පත්, ඇස්‌ අන්ධ කාන්තාවක්‌ ආවා. වෙද මහත්තයා කෙසේ හෝ තමන්ගේ දෙනෙත් සුවකර දෙන්නේ නම් තමාත් තමාගේ දියණියත් සමඟ වෙද මහත්මයාගේ නිවසේ මෙහෙකාරකම් කරෙදන බවත් ප්‍රතිඥවක්‌ වශයෙන් ප්‍රකාශ කර සිටියා. වෙද මහත්මයාත් මේ ගැන සිතා සතුටුවී ඇගේ ඇස්‌ එක බෙහෙතින්ම සුවපත් කළා. අස්‌ සුවපත් වූ ක්‍ෂණයකින් එම මැහැල්ල වෙදමහත්මාට පොරොන්දු වූ ප්‍රතිඥාව සිහිපත් වුණා. ඇත්තටම ඇයට එස්‌ මෙහෙකම් කිරීමේ අදහසක්‌ තිබුණේ නැහැ. ඇස්‌ දෙක සුවපත් කරගන්න සිතාගෙන තමයි ඉහතින්වූ පරිදි ප්‍රතිඥවක්‌ දුන්නේ.

දිනක්‌ වෙද මහත්මයා ඇය සමීපයට විත් ඇගේ ඇස්‌ පෙනීම දැන් කෙසේදැයි විමසා සිsටියා. ඇ එහිදී බොරු ලෙඩක්‌ මවා පා තවමත් සුව වී නැති බව ප්‍රකාශ කර සිටියා. ඇය පවසන්නේ අසත්‍යයක්‌ බව දැනගත් වෙද මහත්මා ඇයගේ වංචනික ක්‍රියාවට කෝපවී ඇයගේ ඇස්‌ දෙක නැවතත් අන්ධ වීම සඳහා දරුණු විෂ සහිත බෙහෙතක්‌ ලබා දුන්නා. මේ බෙහෙත ගැල්වූ පසු ඉහත කී කාන්තාවගේ ඇස්‌ දෙකම අන්ධ වී ගියා. මේ කළ පාපකර්මයේ විපාකය තමයි චක්‌ඛුපාල තෙරුන් වහන්සේට විපාක වශයෙන් අවසාන ආත්ම භාවයේදී ලැබුණේ. යනුවෙන් බුදුන් වහන්සේ අතීත සිදුවීම වදාළ සේක.

මෙම දේශනාව සැබැවින්ම අපේ ජීවිත කෙරෙහිත් ඈ\ ගැනීම අතිශයින්ම වැදගත් වේ.

මන්ද අපත් අපේ ජීවිතයේ බොහෝ අවස්‌ථාවලදී කෝපාවිෂ්ඨ වී විවිධ අවැඩදායක දේවල් සිදුකරන නිසාය. අප කරන කියන දෑහි විපාකය අවබෝධ කරගන්නේ නම් කිසි දිනෙක එබඳු ක්‍රියාකිරීමට වෙහෙස ගන්නේ නැත. චක්‌ඛුපාල තෙරුන්ගේ කතා පුවත අපට මෙහිදී මහත්වැඩදායකය. උන්වහන්සේ පාපී සිතිවිල්ලකින් පෙර කළ ක්‍රියාවක අකුසල විපාකය එලෙසම ලැබුවේය. අපත් එවැනි වූ අයහපත් වැඩක්‌ කළහොත් අපට ද එවැනිම අයහපත් ප්‍රතිඵලයක්‌ ලබා ගැනීමට සිදුවන්නේය. ඒ නිසා අපත් අකුසලින් දුරුව කුසල් වැඩීමට වෙහෙසගත යුතුයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.