ජාතක පොතෙන් - කච්ඡප ජාතකය
ඇලීම් බැඳීම්වල ශෝකාන්තය

සුගත් වීරසූරිය

රන්වන් කිරණ කෙඳි විහිද වූ උදා හිරු එදින සැවැත්නුවරට හිනාවුණේය. ළදරු හිරුගේ ඒ රුවන් සිනාසරින් එතෙක්‌ දීර්ඝ රැයක නිදා සිටි තුරු ලතාවෝ ලහි ලහියේම අවදිවී ගත්හ. සැබවින්ම ඔවුන් හිස්‌ මුදුන් නොයෙක්‌ පැහැගත් මල්වලින්ද සැරසී තිබුණේ දුර ඈතට පෙනුණේ උඩට බැඳී මනරම් උඩු වියන් සේය.

ඈත මෙන්ම මෑතද හැම බිම් පෙදෙසක්‌ම අවුරා තද බදකරගෙන සිටි මේ වන සේයාව අසලට මේ සොඳුරු සිටු ගෙදර පිහිටා තිබිණි. සිටුගෙදර ජීවත්වූයේ සිව්දෙනෙකි. ඒ මහලු සිටුවරයාත්, ඔහුගේ බිරිය, පුත්‍රයා හා පුත්‍රයාගේ සිටු දේවියත් යන සිව්දෙනාය. සිටුපුත්‍රයාත්, ඔහුගේ සොඳුරු බිරියත් මහලු සටු යුවළට බෙහෙවින් ආදරය දැක්‌වූහ. ඔවුන්ගේ සියලු ජීවන දුෂ්කරතා සොයා බැලූ ඔවුහු ඔවුන් තැලෙන හෝ පෙළෙන වචනයක්‌වත් කවරදාකවත් නොකීවෝද වූහ. එහෙයින්ම වියපත් සිටු යුවළද සිය පුත්‍රයාට සේම යේලණියටද සෙනෙහස දැක්‌වූයේ ස්‌වකීය වූ ජීවිතද දෙවැනිකොට සලකාය. සිටු මැදුරේ සියලු දුක්‌ තැවුල් ඉවත එළවූ මේ අසිරිමත් සොම්නස එහි බොහෝ කාලයක්‌ රැඳී තිබුණේ නැත. සියල්ල උඩු

යටිකුරුකරමින් හදිසියේම හටගත් අහිවාතක නම් දරුණු රෝගයකින් පළමුව මහලු සිටුවරයා දැඩි සෙයින්ම ලෙඩ ඇඳට වැටුණේය.

දින ගණනාවක්‌ යන තෙක්‌ම හරිහැටි සිහියක්‌ පණක්‌වත් නොතිබුණු සිටුවරයා යාන්තමින් එලොව ගොස්‌ මෙලොව ආවේ ඔහුට කළ නන්විධ වූ මෙන්ම නිමක්‌ නොලද්දා වූද වෙදකම්වලට පින් සිදුවන්නටය. මෙසේ වැළඳුණු කුරිරු අහිවාතක රෝගය ඈත දුරකට එළවා දමා ඔහු ලෙඩ ඇඳෙන් මදකට නැගීසිටියා පමණකි. ළඟට එයින් මහලු සිටු දේවියද හොඳටෝම රෝගාතුර වූවාය. දැන් ඉතින් උදාවන තත්ත්වය එතරම් හොඳ නැත. ඇඳට වැටුණු සිටු ඇඹෑණියන්ගෙන් කියෑවුණේ රෝගය වැලනොකැඩී ගොස්‌ අන්තිමේදී සිටු පවුලම බිලිගන්නා බවයි. වියපත් සිටු බිරිය නිදිගත් කාමරයෙන් ආ කෙඳිරිලි හඬ බෙහෙවින්ම ශෝකීවී. කොතෙක්‌ ප්‍රතිකාර කළත් ඒවා ඔක්‌කෝම හරියට ගලා යන ගඟට කැපූ දර මෙන්ම අපතේ ගියේය. ජීවිතය කෙමෙන් තුරන්වී යන්නා සේ ඇයට දැනේ. ගෙය අද්දරම තණබිම මායිමේ වූ නිදිබර බකිනි ගහ උඩ සිට නොකඩවා හඬන බකමූQණාගේ

සොහොන් හඬ එන්න එන්නම තීව්‍ර විය. මේ කාලකණ්‌ණි රෝගයෙන් අතමිදී පැන පලාගොස්‌ සියල්ලන්ගෙන්ම සොඳුරු දිවි බේරාගන්නට නම් දැන් කරන්නට තිබෙන්නේ එකම එක දෙයකි. එනම් දීර්ඝ කාලයකට සිටු පුත්‍රයා සිටු ගෙයින් දැන් පිටමං කළ යුතුව තිබේ. තවත් කිවහොත් මෙහිදී සිටු පුත්‍රයාට කළ යුතු වූයේ සිටු මැදුරේ බිත්ති බිඳගෙන ගොස්‌ බැදි වැදෙන එකය. එයින් ඉක්‌බිති ඔහු යළිත් ගෙදර ආ යුත්තේ අඩුම තරමින් වසරක කාලයක්‌වත් එහි තනිව ජීවත්වීමෙන් පසුවය. එසේ කළහොත් නම් ඒ කෲර අභිවාතක රෝගයෙන් සදාතනිකවම සුවය ලබන්නට පිsළිවන.

සැවැත්නුවර පුරාවෙහිම වූ අතිදක්‌ෂ වෛද්‍යවරුන්ගේ අවසාන වෛද්‍ය නිර්දේශය වූයේද මෙයමය. එහෙත් තමාට ප්‍රිය වූ සිටුගෙදරසැමගෙන් වෙන්ව ගොස්‌ මෙතරම් වූ දිගු කලක්‌ කාත්කවුරුවත් නැති ඝන වන ගැබක තට්‌ට තනියම ජීවත්විය හැක්‌කේ කෙසේද? තමා එලෙසින් පිටමං වී ගියහොත් දිළිඳු සිටු පවුලේ නිමක්‌ නැති ජීවන බර ඇදගෙන යන්නටද කවුරුවත් නැතිවී යනුඇත. මේ සියල්ලත් සමගින්ම තුරුණු සිටු පුත්‍රයාට ඉවසා දරාගන්නට නොහැකිවූයේ තම බිරින්ඳෑවන්ගෙන්ද වෙන්වී යන්නට සිදුවීමය. ඇත්තෙන්ම මෙතෙක්‌ සිටු පුත්‍රයා ඇය හා ජීවත්වූයේ කොතෙක්‌ නම් දැඩිවූ සෙනෙහස්‌ දාමයකින් බැඳීගෙනද? දැන් ඒ සියල්ලක්‌මත් කැඩී බිඳි ලෙහී විසිරී යන්නට පාර කැපෙනවා නොවේද? ඒ ගැන සිහිවෙත්ම ඔහු නොදැනුවත්වම ඔහුගේ දැසට කඳුළු ද උනා ආවේය. එහෙත් ඔහු ඒ කඳුළු මඬලේ ඇති කවදාවත් නාරින පෙට්‌ටගමටදා වසා දැමුවේය. සිටු පවුලේ සියල්ලෝම කඳුළු සලා හීන් හඬින් ඉකිබිඳ වැළපෙන අතරතුරදී අවසානයේ ඔහු ගෙයි බිත්ති බිඳගෙන නුහුරු මහ වනයට පලා ගියේය.

දිළිඳු සිටු ගෙයින් නික්‌මී යොදුන් ගණනාවක්‌ම පසුවී යන තෙක්‌ පාළු මංඩිවලින් පිරි පාරේaදී සිටු පුත්‍රයාට කවුරුවත්ම හමුනොවීය. එතරමටම එහිවූ හැඩි දැඩි නිහඬ නිසංසලතාවය ඔහුගේ හිත තුළ කකියමින් තිබූ දෘඪ ශෝකාග්නිය තව තවත් මොලවාලීය. තොරතෝංචියක්‌ නැති ආත්මවලින් ආත්මවලට මාරුවෙමින් පරක්‌ තෙරක්‌ නොදැක යන මේ අනවරාග්‍ර සංසාර ගමන කොතරම් නම් දුක්‌ දොම්නස්‌වලින් පිරී ඉතිරී තිබේද? එහිදී බහුල ලෙසින්ම අත් විඳින්නට සිදුවන ප්‍රිය විප්පයෝගය නමැති දුක්‌ඛයෙන් තමා තරම් රිදුම් කෑ අයකු තවත් මේ ලෝකයේ සිටිය හැකිදැයි තෙරක්‌ නොපෙනෙන මාවතෙහි තනිවූ සිටු පුත්‍රයා කල්පනා කළේය.

ගතවූයේ මොහොතකි. ඔහුට ඔහුගේ දැස අදහා ගන්නට නොහැකිවිය. දුබල හිත මෙන්ම ගතද පුරා එතෙක්‌ පැවති හැම දුකක්‌ සේම දොම්නසක්‌මද හිරු දුටු පිණි මෙන් දියවී යන්නාක්‌ සේ ඔහුට දැනිණි. තමා ගමන්කරන පාළු පාරේම තමාට ඉදිරියෙන් මේ වැඩම කරමින් පැමිණෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව අවබෝධ කරගන්නට සිටු පුත්‍රයාට එතරම් කාලයක්‌ ගත නොවූවේය. තවත් මොහොතක්‌ ගතවෙද්දී ඔවුහු බොහෝ සෙයින් ළංවූහ. මහා කරුණා සයුරු දිය රැස්‌කළ සර්වඥයන් වහන්සේගේ බුදු මුව මඬල අසරණ සිටු පුත්‍රයාගේ නුවන් අතරේ රැඳවිණ. එමෙන් ඒ සොඳුරු සම්බුදු මුවමඬල විවරවී පැතිර ගිය අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්ම ස්‌වරයෙන් ඔහුගේ දෙසවන්ද සැනහී ගියේය.

''පින්වත් දරුව, තනිව කොහේද ඔබ මේ යන්නෙ. පෙනෙන්නේ ඔබ ශෝකයකින් මෙන්ම දුකකින්ම බොහෝ සෙයින්ම පෙළෙමින් සිටින බවයි'' සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරුණ සිටු පුත්‍රයාට සිහින් ස්‌වරයකින් කතා කළහ.

පින්වත් සර්වඥ රාජෝත්තමයාණන් වහන්ස, මම සැවැත්නුවර සිට පැමිණෙමින් සිටිමි. මාගේ ගෙයි අහිවාතක නම් දරුණු රෝගය පැතිරී ඇත්තේය. එයින් මා මෙන්ම මාගේ බිරිය හා දෙමවුපියනුත් බේරාගනු පිණිස ගෙයි බිත්ති බිඳගෙන වන වාසයට යමින් සිටින්නෙමි' යි සිටු තරුණයා කඳුළු සලමින් කතා කළේය.

''දරුව නුඹ කළ දෙය ඉතාම යහපත්. නුවණැත්තන් පූර්ව ආත්මභාවයේදීත් මෙසේම වාසස්‌ථානයෙන් දුකින් වුව නික්‌ම ගොස්‌ එහි වූවෝද දුකින් අත්මිදවූවා. එසේ නොවූවෝ එහිම දුක්‌ විඳ මියගියෝ

නොවේද?'' යි බුදුරජාණන් වහන්සේ වදාළහ. සිටුපුත්‍රයා ''ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස ඒ කෙසේ දැයි'' විමසූ කල බුදුරජාණන් වහන්සේ ඒ අතීත කතාව සදෙසා වදාළ සේක.

ඒ දුර අතීතයේ බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත මහ රජතුමා රාජ්‍ය විචාළ කාලය විය. මෙකල මහ බෝසතාණන් වහන්සේ බරණැසටම නුදුරු ගම් පියසෙක ඉපදී සිටියේ කුඹල්කරුවකු ලෙසය. උදේ පටන් රෑ වන තෙක්‌ම තම කුඹල්හලෙහි වැඩ කළ හෙතෙම එයින් තම අඹුදරුවන් පෝෂණය කළේය. ගංගා නම් ගඟ ගලාගියේද මේ දිළිඳු කුඹල්කරුවාගේ කුඹල්හල පැවති පෙදෙසකට නුදුරින්ය. ඒ ගඟ ළඟම නීල දිය දහරින් පිරුණු විලක්‌ද තිබුණේය. ගංගාවෙහි දිය පිරී ඉතිරී ගිය විට ගඟත් විලත් යන දෙකම එකට එක්‌ විණි. බොහෝ විට ගඟ දෙගොඩ තලා යන වතුරින් පිරී ගියේ නොනැවතී වැසි වැටුණු කාලවලදීය. මහ නියඟ පැවැති අනෙක්‌ හැම කාලයකදීම මේ විසල් දිගු ගඟත්, විලත් පැවතුණේ වෙන් වෙන් වශයෙන්ය. මේ විපර්යාසය හොඳට අවබෝධකරගත් මත්ස්‍යයෝ මෙන්ම ඉදිබුවෝද නියඟය එන්නේ කවදාද? පෑවිල්ල එන්නේ කවදාද? යි හරි හැටියෙන්ම වටහාගෙන සිටියෝය. එක්‌ කලෙක ඔවුන් කිසිවකුත්

බලාපොරොත්තු නොවූ ආකාරයෙන් නියඟය පැමිණියේය. එතෙක්‌ එකට එක්‌වී පැවැති විලත්, ගඟත් වෙන් වූයේය.ක්‍රමයෙන් විල සිඳී යන්නටද ඉදිබුවෝද විල අතහැර වහ වහා ගඟ වෙත පැමිණියෝය. එතෙකුදු වුවත් සිත මානයෙන් පුරවාගත් එක්‌ ඉබ්බෙක්‌ පමණක්‌ දිය සිඳෙන්නට ඔන්න මෙන්නව තිබූ විල තුළ නතර වූවේය.

''මම මොකටද යන්නෙ. මේ මම උපන් විල. මගේ අම්මල තාත්තල ඉපදුණෙත් මේ විලේමයි. ඒ හින්ද මම කවදාවත් මේ විල අතහැරල දාල යන්නෙ නෑ'' යනාදී වශයෙන් ඉදිබුවා තුළ නැගුණු සිතිවිලි එයට බෙහෙවින්ම අනුබල දුන්නේය. මේ වෙද්දි එතෙක්‌ විලෙහි වූ වතුර ස්‌වල්පයද හොඳටෝම හිඳී එහි තිබුණු මඩ පමණක්‌ මතුවී තිබිණි. මේ අවස්‌ථාවේ කුඹල් කර්මාන්තයට මැටි සොයමින් සිටි බෝසතාණන් වහන්සේ මඩ මතුවී පෙනුණු විලට පැමිණියේ එයින් රිසි සේ මැටි රැගෙන යන්නටය. මුළු සිරුරේම සවිය දැතට එක්‌ කළ හෙතෙම දෑත බදා උදැල්ලෙන් විල කොටන්නට පටන් ගත්තේය. ආහෝෘ සිදුවූයේ මහා විපතකි. එක්‌ උදලු පහරක්‌ මඩ යට සිටි ඉදිබුවාගේ කටුව මත වැදිණි. ඉබි කටුව පොඩි පට්‌ටම් වී ගිය අතර ඊට යටින්වූ මසද දරුණු ලෙසම කැපී ගියේය. ඉනික්‌බිති බෝධි සත්ත්වයෝ එය පස්‌ පිඩැල්ලකැයි සිතා ගොඩදැමූහ. උන්වහන්සේට සිදුවී ඇති විපත තේරුම් ගියේ ඉමහත්වූ

වේදනාවකින් දැඟලූ ඉදිබුවා දුටුවිටදීය.

''පින්වත් පුරුෂය, පින්වත් පුරුෂය, විල සිඳෙන කල ආරක්‌ෂාව පතා මාගේ මෙහි සිටි සියලු නෑයන් අර ගඟට ගියා. එහෙත් දැඩි උඩඟුවෙන් මානයෙනුත් මත්වී සිටි මා එහි ගියේ නෑ. එයින් මට මේ විපත සිදුවුණා. කුඹලාණෙනි, එහෙයින් කවදාවත් කිසිම තැනක කිසිම කෙනකු ගැන දැඩි සේ ඇලෙන්නට, බැඳෙන්නට නම් එපා'' යි කී ඉදිබුවා එතැනින්ම ජීවිතක්‌ෂයට පත්වූයේය.

ජීවිතය යනු කොතෙක්‌ නම් වියවුල්වලින් ගහනවූ එකක්‌ද? ඒ ජීවන වියවුල් සංසාරය තුළ කවදාවත් ලෙහිය නොහැකි තව තවත් දරුණු වියවුල් වෙත රැගෙන යන්නේ පුද්ගල සිත්වල පවතින බැඳීම් සහිත කෙලෙස්‌ විසිනි.ඒ ඇලීම් නැත්නම් බැඳීම් බොහෝ විට පුද්ගලයාට තම ජීවිතයද විටෙක අහිමිකරලන්නේය. එසේ කරමින් ඔවුන්ගේ ඊළඟ ආත්මයන් සදාතනිකවම සතර අපායටම ඇද හෙලයි. ඒත් නැත්නම් ඒ හා සමාන වූ තියුණු දුක්‌ තැවුල්වලටද කැඳවාගෙන යයි. කච්චප ජාතකයෙන් ඔබ තේරුම් ගත යුතු ඒකායන යථාර්ථයත් මෙයම නොවේද?
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.