සාමයට මග හෙළිකළ
බක්‌ පොහෝ දින ජාතක දේශනා

අලුතෑපොල ගණේකන්ද පුරාණ රාජමහා විහාරාධිපති,
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ, ජ්‍යෙෂ්ඨ
කථීකාචාර්ය, ආචාර්ය රාජකීය පණ්‌ඩිත
පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි

සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩ සිටි අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ලොව බලා වදාරන්නාහු ලංකාද්වීපයේ සිටි චූලෝදර හා මහෝදර නම් නා රජුන් දෙපොළ මැණික්‌ පුටුවක්‌ මුල් කරගෙන යුද්ධ කිරීමට යන බව දැක ඔවුන් පිළිබඳ මහත් කරුණාවෙන් යුක්‌තව බක්‌ මස අව පසළොස්‌වක පොහෝ දින දෙවැනි වර මේ ලංකාද්වීපයට වැඩි සේක. උන්වහන්සේ ලංකාවේ නාගදීපයට වැඩම කොට අහසේ සිට පෙළහර පා නාගයන් දමනය කර ඔවුනට සමගියේ අගය හා සාමයට මග දේශනා කළ සේක.

අප බුදුරජාණන් වහන්සේ ලංකාවාසී නාග පිරිසට මේ අවස්‌ථාවේදී ජාතක කතා හතරක්‌ දෙසමින් වෛර කිරීමේ ආදීනව ද සමගියේ අනුහස්‌ ද දේශනා කළ සේක. මෙහිදී උන් වහන්සේ ඔවුනොවුන් රජකම වෙනුවෙන් විවාද ඇති කරගෙන කල්ප ගණනක්‌ පුරා පැතිර යන වෛරයක්‌ බැඳ ගන්නා බව පෙන්වා දෙමින් කාකෝලුක ජාතකය දේශනා කළ සේක.

ඒ කෙසේ ද යත්, ඡේතවනාරාමය පිටුපස වැඩ සිටින එක්‌තරා භික්‌ෂුවක්‌ දිනපතා උදෑසන මළුව අමදින විට කපුටන්ගේ හිස්‌ එක දෙක අතුගා දමන්නේ ය.

දිනපතා කපුටු හිස්‌ අතුගා දමන මේ භික්‌ෂූව ඒ බව අනෙකුත් භික්‌ෂූන් වහන්සේලාට දැන් වූ බැවින් ධර්ම ශාලාවේ දී ඒ පිළිබඳ සාකච්ඡා කරන අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ එතැනට වැඩි සේක. මා එන්නට පෙර කුමන කතාවක්‌ වී දැයි උන්වහන්සේ විමසූ විට ඒ බව සැලකළ භික්‌ෂූන් වහන්සේ ස්‌වාමීනි, කපුටන් හා බකමූණන් උනුන් හා සතුරු වූයේ කවර කලක පටන්දැයි විමසූහ. මහණෙනි, ප්‍රථම කල්පයේදී ය. යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ඉන් අනතුරුව භික්‌ෂූන්ගේ ආරාධනාව පරිදි මෙම කාකෝලුක ජාතකය දේශනා කළ සේක.

අතීතයේ මුල්ම කල්පයේ මනුෂ්‍යයෝ හොඳ පෙනුමැති පුරුෂයෙකු රජකමට පත්කර ගත්හ. සිවුපා සතුන් සිංහයෙකු ද මාළුන් ආනන්ද නම් විශාල මාළුවෙකු ද රජකමට පත්කර ගත් අතර පක්‌ෂීහු බකමූණෙකු රජකමට පත් කර ගත්හ. කුරුල්ලෙකු නැගී සිට බකමූණෙකු රජකමට පත් කර ගැනීම හොඳද? යි තුන් වතාවක්‌ ම විමසූ නමුත් කිසිවකු පිළිතුරු නොදුන් අතර කපුටෙක්‌ එවිට මෙසේ සිතුවේ ය. රජකම ලැබූ සන්තෝෂයෙන් සිටින මූගේ මුහුණ මෙතරම් ඔරවා ගත් හැටියක්‌ තිබේනම් කෝප වූ විට කෙසේ වේ ද? එසේ සිතා කිසිවෙකුත් කෝප නොවන්නේ නම් අදහසක්‌ ප්‍රකාශ කරමි යි කීවේය. බාල පක්‍ෂියෙකු වුවත් යහපත් දෙයක්‌ කියයි නම් හොඳ යෑයි අන් කුරුල්ලන් විසින් ප්‍රකාශ කළෙන් ඒ කපුටා තම අදහස ප්‍රකාශ කොට වහා ඉගිල ගිය අතර බකමූණා ද ඌ පසුපස තරහින් හඹා ගියේ ය. අන් පක්‌ෂීහු කපුටාගේ අදහස සත්‍ය යෑයි පිළිගෙන රණ හංසයෙකු රජකමට පත් කර ගත්හ. මේ නිසා කපුටන් සහ බකමුණන් අතර වෛරය ඇතිවිණැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

කාකෝලුක ජාතකය දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ ලක්‌ වැසි නාග සමූහයාට පැහැදිලිs කර දෙන ලද්දේ රජකම මුල් කරගෙන වෛර නොබඳින ලෙස ය.

ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ නාග පිරිසට ඵන්දන ජාතකයෙන් ද ධර්මය දේශනා කළ සේක.

ඒ කෙසේ ද යත්, ශාක්‍යයන්ගේ කිඹුල්වත් නුවරට හා කෝලියයන්ගේ දෙව්දහ නුවරට මැදින් රෝහිණී ගඟ ගලන අතර එහි අමුණු බැඳ ජලය ගෙන දෙනුවර වැසියෝ කුඹුරු කරති. පොසොන් මස නියඟයේදී වතුර මදි නිසා වතුර ටික අපට දෙන්නැයි කෝලියයන් කී විට ශාක්‍යයන් ද අපට දෙන්නැයි කීවෝ ය. මෙලෙස හටගත් කලහය යුද්ධයක්‌ දක්‌වා වර්ධනය විය. දෙනුවර වැසියෝ සවස්‌ වෙලේ හමුදාව ද සමග ගඟ දෙපස යුද්ධයට කඳවුරු බැන්දාහ. අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ බව දිවැසින් දැක අඳුරේ ම අහසින් වැඩ අඳුර දැඩි කොට ගඟ මත උතුම් බුද්ධ ශ්‍රීයෙන් පෙනී සිටි සේක. දෙපාර්ශ්වය ම බුද්ධ ගෞරවයෙන් ආයුධ පසෙකලු කල්හි කුමක්‌ නිසා රැස්‌ වූයේ දැයි උන්වහන්සේ ඇසූ සේක. යුද්ධයකටැයි ඔවුහු කීහ. කුමක්‌ නිසා යුද්ධ කෙරේද යි ඇසූ විට ජලය නිසා යෑයි කීවෝ ය. ජලය කොපමණ වටීදැයි උන් වහන්සේ නැවත ඇසූ විට එතරම් වටින්නේ නැතැයි ඔවුන් පිළිතුරු දුන් අතර පොළොව කොපමණ වටීදැයි උන්වහන්සේ නැවත ඇසූ විට බොහෝ වටී යෑයි ඔවුහු පිළිතුරු දුන්හ. රජවරුන් කොපමණ වටීදැයි බුදුරදුන් විමසූ විට පොළාවටත් වඩා වටී යෑයි ඔවුහු කවුරුත් කීහ. එසේ නම් එතරම් වටින්නේ නැති දේවල් වෙනුවෙන් වටිනා රජවරුන් විනාශ වන්නේ මන්දැයි විමසූ බුදුරජාණනන් වහන්සේ ඵන්දන ජාතකය ශාක්‍ය හා කෝලිය වංශිකයන්ට දේශනා කරන ලද අතර එම ජාතකය ම ලක්‌ වැසි නාග පිරිසට ද උන්වහන්සේ දේශනා කළ සේක. එහි අතීත කථාව මෙසේ ය.

යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රජකෙනෙකුන් වාසය කරන කාලයේ නුවරින් පිටත වඩු ගමක්‌ විය. එහි එක්‌ වඩුවෙක්‌ කරත්තයකට අවශ්‍ය දැව සොයමින් හිමාලය වනයට ආසන්න පෙදෙසේ ඇවිදිමින් සිටියේය. මේ අතර එක්‌ වලසෙක්‌ වනයේ ඇවිදිමින් යන්නේ කොළොම් ගසක්‌ මුල නිදා සිටි අතර ගසේ අත්තක්‌ කැඩී උගේ පිටට ඇද වැටුණි. ගසේ වෘක්‌ෂ දේවතාවා තමන් සමඟ අමනාප ව අත්තකින් ගැසුවේ යෑයි සිතා වෛර බැඳගත් මේ වලසා හොඳ වැඩක්‌ කරමියි සිතා යන අතර අර වඩුවා දැක කරුණු විමසා කොළොම් ගස පෙන්වා එය කපන්නැයි කීය. වඩුවා ද ගස කපන්නට විය. එවිට වෘක්‌ෂ දේවතාවා සිතනුයේ තමන් විසින් මේ වලහාට කිසිදු කරදරයක්‌ නොකළත් නිකරුණේ වෛර බැඳගෙන තම වෘක්‌ෂය කැපීමට කටයුතු කළ හෙයින් උගෙන් පළිගත යුතුය කියාය. ඒ නිසා මිනිස්‌ වෙසක්‌ මවාගෙන වඩුවා ළඟට පැමිණ වලසකුගේ කර සමින් කරත්ත රෝදයේ නිම් වළල්ල වට කොට ඇණ ගසා සකස්‌ කළහොත් ඉතා ශක්‌තිමත් ය, වස්‌තුව ද ලැබෙන්ණේ ය යනුවෙන් කියා උපායෙන් වලසා ද මැරවී ය.

මේ අනුව වෛරයෙන් උනුන් නසනු විනා වෙනත් ප්‍රතිඵලයක්‌ නැති බවත් ගැටෙන්නේ නැතුව සාමයෙන් ජීවත් වන ලෙසත් බුදුරජාණන් වහන්සේ ලක්‌වැසි නාග සමූහයාට දේශනා කළ සේක.

තව ද බුදුරජාණන් වහන්සේ ලක්‌වැසි නාග සමූහයාට ලටුකික ජාතකය ද දේශනා කරමින් උසස්‌ හෝ පහත් ඕනෑම අයෙකු පෙලීමෙන් වෛරයක්‌ ඇති වන බවත් වෛරය නිසා විපතට පත්වන බවත් දෙසූ සේක.

ඒ ලටුකික ජාතකය කෙසේද යත්, බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවසන සේක්‌, "මේ දේවදත්ත භික්‍ෂුව කාටවත් දයාවක්‌ නොමැත" යනුවෙන් භික්‍ෂූන් වහන්සේලා කතා කරනු අසා -

"මහණෙනි, මෙකල පමණක්‌ නොව පෙර කාලයේදීත් දේවදත්ත භික්‍ෂුව කාටවත් දයාවක්‌ නොදැක්‌වීයෑ'යි දෙසූ සේක. ඒ පිළිබඳ උත්සුක වූ භික්‍ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මුලදී ම මෙම ලටුකික ජාතකය දෙසූ සේක. එහි අතීත කථාව මෙසේය. අතීතයේ බරණැස්‌නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙණෙකු රාජ්‍යය කරන සමයේ අප මහා බෝධි සත්වයාණන් වහන්සේ අසූ දහසක්‌ ඇතුන්ට නායක ඇත් රාජයාව උපන් සේක. මෙකල එක්‌ කැට කිරිල්ලියක්‌ පාර අද්දර කූඩුවක්‌ තනා බිත්තර දා කුරුලු පැටවුන් හැදී එන විට බෝසත් ඇත් රජු ඇතුළු ඇත් සේනාව එමගින් ගමන් කරන්නේ, කිරිල්ලියගේ ආයාචනාව පරිදි ඇත් රජු කුරුලු කුඩුව නොපෑගෙන සේ එය මැදි කොටගෙන සිට පසුව මෙසේ කීවේය. "පස්‌සෙන් එන ඇතෙක්‌, චණ්‌ඩ යි, පරුෂ යි, පුළුවන්නම් උගෙන් මේ කුරුලු කූඩුව බේරාගන්න."

කිරිල්ලිය මේ චණ්‌ඩ හා පරුෂ ඇතාට ද සිය ඉල්ලීම කළමුත්, නුඹ වැනි දුර්වලයෙක්‌ මට කුමක්‌ කරයි ද? මම වම් පයින් පමණක්‌ නුඹේ පැටවුන් පාගමි යි කියා පැටවුන් පාගා දා ඊට මූත්‍ර ද කළේය. මේ නිසා මෙම ඇතා කෙරෙහි වෛර බැඳගත් කැටකිරිල්ලිය, තම කථාව කවුඩෙකුට කියා ඇතාගේ දෙඇස්‌ වලට කොටවා අන්ධ කරවීය, එසේම නිල මැස්‌සෙකුට කියා ඇස්‌ දෙකට ඉහඳ තැබ්බවීය, මේ නිසා අසරණ වූ ඇතා ජලය සොයමින් වනයේ අතරමං විය. මෙවිට කැට කිරිල්ලිය ගෙම්බෙකුට කියා නාද කරවා කඳු මුදුනකට ඇතාව ගෙන්වා ගෙන නැවත කඳු පාමුල සිට නාද කරවා කන්දෙන් පහලට ඇතා පෙරළා ඌ මරා පලිය ගත්තාය.

කුඩා හෝ පහත් අයෙකුට වුව ද හිංසා පීඩා කිරීමෙන් වෛරයක්‌ ඇති විය හැකි බවත් මේ නිසා කිසිවෙකුට හිංසාවක්‌ නොවන ආකාරයෙන් හැසිරිය යුතු බවත් උන්වහන්සේ ලක්‌වැසි නාග සමූහයාට දෙසූ සේක. තව ද අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වට්‌ටක ජාතකයෙන් ද ඔවුන්ට ධර්මය දෙසූ සේක. ඒ කෙසේ ද යත්, සැවැත්නුවර උත්තර සිටාණන්ට බොහෝ සේ ධනය ඇත. ඔහුට දාව බ්‍රහ්ම ලෝකයෙන් චුත වූ අයෙකු පුතෙකු ලෙස ඉපිද උත්තර කුමාරයා යෑයි ප්‍රකට විය. නගරයේ පැවති කාර්තික නම් උත්සවයේ දී මිත්‍රයන් ඔහුට වෛශ්‍යා ස්‌ත්‍රියක්‌ පාවා දුන්නත් ඔහු ඇය සමග ඇසුරක්‌ නොමැති වූ යෙන් ඇය ඔහුව අත හැර යන ගමනේ දී පොහොසත් අමාත්‍යයෙකු සමඟ හාද වී ඔහුගේ නිවසට ගියේ ය. මේ වෛශ්‍යා ස්‌ත්‍රියගේ මව සිය දියණිය නොදැක උත්තර කුමාරයන් අල්ලාගෙන රජ ළ`ගට ගෙන ගොස්‌ ඔහු විසින් තම දියණිය ව නැති කළේ යෑයි කියා මරණ දඬුවම දෙන ලදී. මෙසේ මරන්නට යන ගමනේ දී තමන් බේරුණොත් බුදු රදුන් අබියස පැවිදි වෙමියි උත්තර කුමාරයා සිතීය. අර වෛශ්‍යා ස්‌ත්‍රිය ද මොහු දැක ළඟට ආ හෙයින් උත්තර කුමාරයා පැවිදිව විදර්ශනා වඩා රහත් විය. මේ සිද්ධිය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ අතීත කථා ප්‍රවෘත්තිය මෙසේ ගෙන හැර පෑ සේක. ඒ කෙසේ ද යත්,

බරණැස්‌ නුවර බ්‍රහමදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කරන කාලයේ අප මහා බෝධි සත්වයන් වටුවෙකුව උපන්නාහ.

වැද්දෙකු දිනක්‌ උගුලක්‌ අටවා මේ වටුවා අල්ලාගෙන ගෙදරට ගෙන ගොස්‌ ආහාර දී ලොකු කොට මරා විකිණීමට සිතුවත් බෝසත් වටුවා කල්පනා කළේ ආහාර කා මහත් වී මැරෙනවට වඩා නොකා සිටීම හොඳ බවයි. ඒ අනුව බොහෝ කෘශ වූ බෝසත් වටුවා දුටු වැද්දා දුර්වල සතෙකැයි සිතා කූඩුවෙන් එළියට ගෙන බලනවිට ඌ වහා පියඹා ගොස්‌ දිවි බේරා ගත්තේ ය.

මෙම ජාතක කතාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ කවරෙකු හෝ තමන්ට විපතක්‌ කරන්නට උත්සාහ කරන විට ඒ අය සමග වෛර කරමින් පලි ගැනීමට උත්සාහ කිරීමට වඩා තමන් ඔවුන්ගෙන් ගැලවී යාමට උත්සාහ කිරීම වඩා ඵලදායී වන බවත් ය. ඒ අනුව බෝසත් වටුවා දිවි බේරා ගත්තා සේ, මෙන්ම උත්තර කුමාරයා ද ජීවිතය රැකගෙන කෙළෙසුන් දුරුකර රහත් වූවා සේ අනෙකාට වෛර නොකර තම යහපත සඳහා කටයුතු කරගන්නා මෙන් බුදුරජාණන් වහන්සේ ලංකා වාසි නාග පිරිසට මේ අවස්‌ථාවේ දී දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ එදා ශාක්‍ය හා කෝලිය දෙපාර්ශ්වය වෙනුවෙන් දේශනා කරන ලද ජාතක කථාවලින් බහුතරයක්‌ උන්වහන්සේ ලංකාවට වැඩි ගමනේ දී නාග පිරිසට ද දෙසූහ. මේ නිසා ලංකා වාසී නාග සමූහයා පිළිබඳව ද උන්වහන්සේ තම ඥාතීන්ට බඳු හැ`ගීමක්‌ ඇතිකරගෙන දහම් දෙසූ බව මැනවින් පැහැදිලි වේ. ඒ අනුව අප කල්පනා කළයුතු වන්නේ බුදුරදුන්ගේ දේශනාවලට අනුකූලව වෛරය, ක්‍රෝධය, පලිගැනීම වැනි නරක සිතුවිලි දුරුකර බක්‌ මස අව පසළොස්‌වක පෝදා බුදුරදුන් ලක්‌වැසි නාග පිරිසට දෙසූ අමා දහම පිළි පැද මෙලොව සුවසේ ජීවත් වීමට අවැසි පරිසරය නිර්මාණය කර ගැනීමයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.