බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සොයාගැනීම

බටුවංගල සමිද්ධි හිමි
ජර්මනියේ සමාධි බෞද්ධ මධ්‍යස්‌ථානය

සිද්ධාර්ථ ගෞතමයාණෝ සුවිශේෂ පර්යේෂණයකට මුල පිරේ. එනම් දුක නැති කරගන්නේ කෙසේද යන්නයි. මෙය මානව ඉතිහාසයේ සුවිශේෂ අවස්‌ථාවකි. බොහෝ ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් මිනිසුන්ගේ ආත්ම විශ්වාසය හීන කරවයි. ආත්ම විශ්වාසයෙන් දෛනික ජීවිතය දුකෙන් මුදා සැනසීම ඇතිකරගැනීමේ ක්‍රමවේදය බුදුරජාණන් වහන්සේ අනුදත් මගයි. උන්වහන්සේගේ සොයාගැනීම දුක නැතිකරගැනීමයි. මෙය ධර්මය ලෙස ප්‍රචලිතය.

ධර්මය යනු බුදුරජාණන් වහන්සේගේ මැවීමක්‌ නොවේ. එය උන්වහන්සේගේ උත්සාහයේ හෙවත් කළ පර්යේෂණයේ ප්‍රතිඵලයකි. ධර්මය සැම කල්හිම පවතී. නමුත් මිනිසුන් භාවිතයට නොගන්නා නිසා සහ ධර්මය සහ අධර්මය වෙන්කරගැනීමේ නොහැකියාව නිසා ධර්මය මිනිස්‌ මනසෙන් අමතක වේ. අමතකව ගිය දහම සොයාගැනීම බුදුවරයෙකුගේ උත්සාහයේ ප්‍රතිඵලයයි.

ධර්මය සොයාගැනීමේ හැකියාව සැම මිනිසෙකු සතුය. මෙම හැකියාව මිනිසා උසස්‌ මනසක්‌ ඇත්තෙකු කරවයි. ධර්මය පිටස්‌තර බලවේගයකින් ලැබෙන්නක්‌ නොවේ. එය උත්සාහයෙන් ඇතිකරගත යුත්තකි. එය අවබෝධය මගින් ඇතිකරගැනීමකි. බුද්ධ යන වචනයේ අර්ථය අවබෝධයෙන් අවදිවීම යන්නයි. ධර්මය අවබෝධකරගන්නා තරමට දුක අවම වේ. දුක අවම ජීවිතය ප්‍රසන්නය.

ප්‍රසන්න ජීවිතයක මූලික කරුණු දෙකක්‌ ප්‍රදර්ශනය වේ.

1) යහපතින් නැවුම්වීම

2) යථාවබෝධයෙන් ජීවත්වීම

ජීවිතය යහපතින් නැවුම්කරගැනීමට යහපත් සිහිය අත්‍යවශ්‍ය සාධකයකි. එදිනෙදා ජීවිතයේදී විවිධ දුෂ්කරතා සහ සුවදායී අවස්‌ථා හමුවේ. ඒ සැම අවස්‌ථාවකදී මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපෙක්‌ෂාව උපදවාගැනීමේ සිහිය යහපත් සිහියයි. මෙය සතර බ්‍රහ්ම විහරණ ලෙස නම් කෙරේ. නිතර වාසය කළ යුතු හෙවත් සිහිය පැවැත්විය යුතු කරුණු සතරකි. එය පියවර කිහිපයකින් පුහුණු කළ හැකි ධර්මයකි.

පළමු පියවරේදී මෛත්‍රිය, කරුණාව,මුදිතාව සහ උපෙක්‌ෂාව තමන් කෙරෙහි උපදවාගත යුතුය. ඇතිවන කේන්තිය, තරහව, වෛරය, ඊර්ෂියාව, හැඟීම්බර බව, ආවේගය ආදී ලාමක මානසික තත්ත්වයන් විසින් තමන් දුකට පත්කරවයි. එය හඳුනාගෙන ඉන් මිදෙන තරමට සැනසීම ඇතිවේ. නැතිනම් දුක නැති වී සැනසුම ඇති වේ.

දෙවන පියවර නම් බ්‍රහ්ම විහරණ තමන්ගේ පවුලේ අය, මිත්‍රයන්, හිතවතුන් කෙරෙහි උපදවාලීමයි. තමන්ගෙන් ඔවුන්ටද, ඔවුන්ගෙන් තමන්ටද සිදුවියහැකි මිනිස්‌ දුර්වලතා ගැන සංවේදිවීම සහ සමාවදීම, අමතක කරදැමීම ආදී කුසලතා ඇතිකරගැනීම සතුට ඇති කරවයි. තෙවන පියවරේදී සියලු දෙනාගේ යහපත පිණිස තම ක්‍රියා වැඩිකළ හැකිය.මේ සැම අවස්‌ථාවකදීම මිනිස්‌ ගුණාංග දියුණු වේ. මිනිස්‌ ගුණාංග දියුණුවන තරමට සන්තානගත දුක අවම වේ. යහපතින් ජීවිතය නැවුම් වේ.

2) යථාවබෝධය ලැබීම අධ්‍යාත්මික ජීවිතයේ වැදගත්ම කොටසකි. මිනිසා ඉදිරියේ ඇති අප්‍රිය අභියෝගයක්‌ වන්නේ ලෙඩවීම, වයසට යැම, මරණයට පත්වීම සහ වෙනත් වෙනස්‌වන තත්වයන්ට මුහුණපෑමයි.

මෙහිදී මානසික ඒකාග්‍රතාවය රැකගැනීමට නම් සියලු සංස්‌කාර හෙවත් සියලු දෙයෙහි යථාස්‌වරූපය තෙරුම්ගත යුතුය. අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් දැකීම පුරුදු කළ යුත්තේ මානසික වියවුල නැතිකර අභ්‍යන්තරික සාමය පවත්වාගැනීමටය.

මෙම දහම සොයාගැනීම පුද්ගලයා සතු පුද්ගලික කාර්යයකි. කිසිකෙනෙකුට එය ලබාදීමට නොහැකිය. තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. නිතර තම ක්‍රියාව සහ ක්‍රියාවේ ප්‍රතිඵලය නිරීක්‌ෂණය කිරීම ප්‍රායෝගික භාවිතයයි. අප්‍රසන්න තත්වයන් ඇතිවීමට අප්‍රසන්න හේතු මුල්වේ. එම හේතු වෙනස්‌ කිරීමෙන් අප්‍රසන්න තත්ත්වයන් මගහරවා ගතහැකිය. ප්‍රසන්න තත්ත්වයන් ඇතිවීමට ප්‍රසන්න හේතුකාරක ප්‍රධාන වේ. ප්‍රසන්න හේතුකාරක පවත්වාගැනීමට සිහිය අවශ්‍යය.

මනසේ ප්‍රසන්න බව ආරක්‌ෂා කරගැනීමට සිහිය පැවැත්වීමෙන් විවිධ යහපත් ගුණාංග දියුණු වේ. මනා අවබෝධයෙන් ජීවත්වීමේ අභ්‍යන්තරික කුසලතාවය තියුණු වේ. මෙම ක්‍රියාවලියේදී මනස විවිධ අන්දමින් වෙනස්‌ වන බව මුල් බුදු දහමෙන් පෙන්වා දෙන්නේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අරහත් වශයෙනි.

විශේෂත්වය නම් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ අරහත් වැනි තත්වයන්ට පත්වීමට නොව දුක නැතිකරගැනීමටය. දුක නැතිකිරීමට ධර්මය තමන් තුළින් සොයා ගන්නා තරමට අනාගාමී සහ අරහත්වැනි විවිධ මානසික තත්ත්යන්ට පත් වේ. වැදගත් වන්නේ දුක නිවීමට, සැනසුම ලැබීමට ධර්මය සොයාගැනීමය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.