සැනසීමේ ක්‍ෂේමභූමි සතිපට්‌ඨානයයි

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි

ඔබට යම්කිසි කෙනෙක්‌ හෝ දෙයක්‌ ගැන දකිනකොට ප්‍රිය ස්‌වභාවයක්‌ ඇතිවුනොත් ඔබ හොඳට හිත හඳුනාගන්න. මගේ හිතේ මේ කැමැත්ත යෙදිලා නේද, මේ හිත දැන් සරාගයි නේද කියල හිත හඳුනාගන්න. ඔබට හිත හඳුනාගන්න බැරිවෙන වෙලාවට ඔෙරී හිතේ තියෙන හැඟීම රූපෙට බැඳෙනවා. ආදරය මේ ළමයාට කියල හිතෙනවා, ආස මේ මලට යි කියල හිතෙනවා, ආස මේ ගෙදරට යි කියල හිතෙනවා. ඔබ චිත්තානුපස්‌සනාවට හිත තබන කොට ඔබේ ආසාව කියන ගතිය ඔෙරී හිතේ ඇතිවෙන ගතියක්‌ බව එන්න එන්න ඔබට පැහැදිලියි. ඒ එක්‌කම ඒ ආසාව බාහිර වස්‌තුවකට තබපු ගමන් වේගයෙන් අතීතයට ගහගෙන යනවා, වේගයෙන් අනාගතයට ගහගෙන යනවා. මාරයා ඔබව බාහිරයටම අරගෙන යන්න ඉඩ ලබනවා. ඔබ යම් කැමැත්තක්‌ වේවා මේ කැමැත්ත ඇතිවෙලා තියෙන්නේ හිතට නේද කියල ''සරාගං වා චිත්තං 'සරාගං චිත්ත'න්ති පජානාති'' රාග සහිත සිත ඔබ හඳුනාගන්න.

අකමැත්තක්‌ ඇතිවුනොත් කෙනෙකුට, යම් දෙයකට අකමැත්ත නෙමෙයි,

කෙනෙක්‌ දෙයකට අකමැතිකම හිතේ ඇතිවෙලා. අහවල් කෙනාට කැමති නැහැ, අහවල් දේට කැමති නැහැ කියන අකැමැති ගතියක්‌ සිතේ ඇතිවෙලා. මේ අකමැති සිත නේද කියල හිත හඳුනාගන්න. ඒ වගේම මේ වෙලාවේ දී මෝහ සහගත සිත මෝහ සහගත බව හඳුනාගන්න. මෝහ සහගත සිත හඳුනාගන්න හරි පහසුයි ඔබට. රූපය සිහි කරලා රූපය අරමුණු කරලා පෙන්වන සිත මෝහයි නේද කියල, ශබ්දය පැත්තට නැඹුරු කරලා සිත ඉපදිලා මට මේක මෝහයි නේද මේ සිත. කැමැත්ත අකමැත්ත නැති වෙන්න පුළුවන්. බාහිර කෙනෙක්‌ව දෙයක්‌ව සිහි කරලා පෙන්නපු සිත හඳුනාගන්න මේ මෝහ සහිත සිත. ඒ එක්‌කම මගේ සිත විසිරිච්ච සිතක්‌ මේ වෙලාවේ දී හඳුනාගන්න. ඔබ සිත පැත්ත හඳුනාගත යුතුයි.

අම්මා මතක්‌ වුණා, දරුවා මතක්‌ වුණා, ගෙදර මතක්‌ වුණා, රත්තරන් මතක්‌ වුණා, රිදී මතක්‌ වුනා කියන ඔබ සිතුවිලි හඳුනා ගත යුතුයි. දැන් මේ කාමච්ඡන්දය මගේ හිතේ යෙදිලා නේද, ව්‍යාපාදය හිතේ යෙදිලා නේද. සතිපට්‌ඨානයට හිත තැබුවොත් කයත් නාම ධර්ම ටිකත් කියන සම්පූර්ණ පුද්ගල ජීවිතයම ආවරණය කරලා තියෙයි. ඔබට මේ කය කෙරෙහි හිත තබන්න බැරිවෙන හැම වෙලාවකම ඔබ රූප ශබ්ද ගන්ධ රස පොට්‌ඨබ්බ කියන බාහිර රූප ටික ඇසුරු කරලා ඇති. වේදනාව කෙරෙහි හිත තබන්න බැරිවෙන හැම වෙලාවකම රූපයෙන් මෙබඳු සැප දුක්‌ එනවා, ශබ්දයෙන් මෙබඳු සැප දුක්‌ එනවා, ගන්ධයෙන් මෙබඳු සැප දුක්‌ එනවා, රසයෙන් මෙබඳු සැප දුක්‌ එනවා, ස්‌පර්ශයෙන් මෙබඳු සැප දුක්‌ එනවා කියල එක එක දේවල් සිහි කළාම මෙබඳු සැප දුක්‌ එනවා කියල සැප දුක්‌ දෙක බාහිරෙන් ඔබට පෙන්වලා ඇති. හිත කෙරෙහි ඔබට සිහිය පිහිටවන්න බැරිවෙන හැම වෙලාවකම අර කෙනාට මම කැමති, අර කෙනාට මම අකමැති, අහවල් දේටයි මම රැවටුනේ කියල ඔබේ සිතේ කැමැත්ත, අකමැත්ත, මෝහය බාහිර වස්‌තු ටිකකින් පෙන්වයි. සිතුවිලි ටිකට ඔබට හිත තබන්න බැරිවෙන හැම වෙලාවකම බාහිර තියෙන දේවල් සිහි වුණා කියල, බාහිර දේවල් සිහිවෙනවා කියල බාහිර දේවල්වල වටිනාකම් නොවටිනාකම් ඔබට තියෙනවා දැනෙයි.

කය වේවා, වේදනාව වේවා, සිත වේවා, ධර්මතා වේවා ඔබට නාම ධර්ම පැත්තෙන් හෝ රූප ධර්ම පැත්තෙන් තමන් කෙරෙහි පිහිටි සිහියකින් ජීවත්වෙන්න ඔබ හුරු වුනොත් උපාය තමයි මේ බාහිර ස්‌පර්ශ ආයතන හය මත පතිත වෙන්න තිබ්බ ඉඩ නැති කරලා. මාරයාගේ විෂයට යන්න තියෙන ඉඩ නැති කරලා ඔබ මේ ලෝකෙට අයිති කෙනෙක්‌ නෙමෙයි. බාහිර ස්‌පර්ශ ආයතන පැත්තේ ඉන්න ලෝකයා ඔබට අයිතිත් නැහැ, ඔබ එයාලට අයිතිත් නැහැ. ඔය ආදරණීය සංයෝජන කිසිදු වෙහෙසක්‌ නැතිව එකින් එක එකින් එක ගැලවිලා යනවා. යම්කිසි උලක්‌, ඊතල පහරක්‌ ඇනුනොත් ඊතල පහර නිසාත් වේදනාවක්‌ විඳිනවා. ඊතල පහර ගලවන්න ඒ ඊතලේ කටු තුඩ පාදගන්න හාරනකොටත් රිදෙනවා, ඊතලේ ගලවලා අදිනකොටත් රිදෙනවා. තෘෂ්ණාව නමැති ශල්‍යත් ඒ වගේ. ඒත් කිසිම විදිහකින් චුට්‌ටක්‌වත් රිදෙන්නේ නැතිවෙන්න තෘෂ්ණා නමැති විෂ ශල්‍ය කිසිදු

වේදනාවකින් තොරව ඔගොල්ලොන්ගෙන් උදුරලා දාන්න බුදුරජාණන් වහන්සේ නමැති ශල්‍ය වෛද්‍යවරයා හරි දක්‌ෂ වෙලා තියෙනවා.

''සත් හට වන භව දුකට වෙදාණන්'' සත්වයන්ට වෙන භව දුකට එකම වෙදා. ඒ මගේ බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වුනේ සියළුම දුක නිමා කරලා නිවී සැනසෙන ලෝකයක්‌ ඔබට තනලා දෙන්න. ලෝකයක්‌ මට තනලා දෙන්න. ඒක වෙනම රාජ්‍යයක්‌. සතිපට්‌ඨානය කියල කියන්නේ අඛණ්‌ඩව තමන්ගේ සිත හා සිහිය කාය, වේදනා, සිත, ධම්ම පැත්තට නැඹුරු වෙලා ජීවත්වෙන්න වාසය කරන්න පෙන්වන ධර්මයක්‌. මේක විශාල අර්ථයක්‌ කරලා තියෙයි. අනවරාග්‍ර වූ සංසාරයකම දුක අයින් කරලා දානවා. ඔබට අද ස්‌පර්ශ ආයතන හයට නැඹුරු වෙලා හිතීම්, කීම්, කිරීම් කරලා පුරුදු නිසා සතිපට්‌ඨානය ඔබ පුරුදු විය යුතුයි, පුහුණු කළ යුතුයි. භාවනා පුහුණු වෙනවා කියල කියන්නේ ඒකට. කය කෙරෙහි හිත තබාගෙන කයෙන් ඇතුල් පැත්තේ ඇතිවෙන වේදනාව ගැන කයෙන් ඇතුල් පැත්තේ ඇතිවෙන සිත ගැන, කයෙන් ඇතුල් පැත්තේ ඇතිවෙන සිතුවිලි ගැන බලන්න ඔබ හුරු පුරුදු විය යුතුයි. ඒ සඳහා ඔබ පුහුණු විය යුතුයි.

ඒක අපහසුයි. කය කෙරෙහි සිත තබාගන්න හදන කොට ඔබට තේරෙයි කෙලෙස්‌ වල මට්‌ටම. ඕඝ කියල

කියන්නේ ගහගෙන යනවා, ඔබ අධ්‍යාත්මික පැත්තේ හිත තබාගන්න හැදුවට බැහැ, කාම ඕඝ - පංච කාමයටම ඔබව ගහගෙන යනවා, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ පැත්තට මනස නැඹුරු කරන ගතියටයි ඕඝ කියල කිව්වේ. ඔබ සතර සතිපට්‌ඨානයේ වාසය කරන්නයි උත්සාහවත් වෙන්නේ ඒත් ඔබව පංච කාමය පැත්තටමයි යොදවනේ, ස්‌පර්ශ ආයතන හය පැත්තටමයි යොදවන්නේ. කාම යෝග - කමය, භව යෝග - රූප තියෙනවා, ශබ්ද තියෙනවා කියල බාහිර පැත්තටමයි ඔබව යොමු කරවන්නේ. ඔබ සතිපට්‌ඨානයේ වාසය කරන්න පුරුදු වෙන්නයි උත්සාහත් වෙන්නේ ඒත් ඔබව රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ පැත්තටමයි ගොතවන්නේ. ඒකටයි ග්‍රන්ථ කියල කියන්නේ. ඔබ සතිපට්‌ඨානය තුළ සිහියෙන් වාසය කරන්න උත්සාහවත් වෙන්නේ ඒත් ඔබේ හුරුව තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්‌ඨබ්බ, ධම්ම පැත්තට නැඹුරු වෙලා හිතීම් කීම් කිරීම් කරන්නමයි. ඒකටයි ආස්‍රව කියල

කියන්නේ. ඔබ සතිපට්‌ඨානය තුළ වාසය කරන්නයි උත්සාහවත්

වෙන්නේ ඒත් රූපයම අල්ලගන්නවා, රූපයටමයි පමුණුවන්නේ, ශබ්දයටම පමුණුවනවා, ගන්ධයටම පමුණුවනවා, උපගමනං උපාදානං. ඔබ සතිපට්‌ඨානය තුල වාසය කරන්නේ පෙනෙන රූපය සත්වයෙක්‌ කියල හෝ, රූපය ඇසුරු කරගෙන සත්වයෙක්‌ කියල හෝ, රූපය නිසා සත්වයෙක්‌ කියල හෝ, සත්වයා නිසා රූපය කියල හෝ සක්‌කායට මයි ඔබව බඳවන්නේ.

මේ ඔක්‌කොම ගති ටික සතිපට්‌ඨානයෙන් උදුරලා දානවා. මේ කය කෙරෙහි හිත තබාගෙන ඉන්න ඔබට වේදනාව හසුවෙනවා නොබෝ දවසකින් හරි පහසුයි. වේදනාව ප්‍රකටයි. කයේ වේදනාව කෙරෙහි නිතරම සිහියෙන් ජීවත්වෙන කෙනාට උපදින හිත හඳුනගන්න හරි පහසුයි බාහිරේට පතිතවෙන්න කලින්. තරහව ඇතිවෙන්නේ සිතටනේ, ආදරණීය අම්මා, ආදරයට හිතයි රූපය. ආදරය තමන් ගාව. සංයෝජනීය යි රූපය - සංයෝජනය ට හිතයි රූපේ, සංයෝජනය තමන් ගාව. මේවා ඔක්‌කොම තමන්ට තේරෙනවා. උපදින සිත තේරෙනවා. සිත තේරෙන කොට සිතේ ඇතිවෙන ගතිත් තමන්ට තේරෙනවා. මේ මට්‌ටම ඔබ නොබෝ කලක්‌ හුරු කලොත් කිසිදු වෙහෙසක්‌ නැතුව බාහිර ලෝකේ තියෙන වටිනාකම් දියවෙලා යනවා. අයිස්‌ කැටයක්‌ අරගෙන එළියේ තියල තිබ්බහම කිසිවෙකුගේ උත්සාහයක්‌ නැතුව ඉෙරීම දියවෙලා යනවා වගේ භෞතික වස්‌තු කෙරෙහි ඔබේ මනසේ ඇති වටිනාකම් නිරායාසයෙන් දියවෙලා යයි.

ඔබ වටිනාකම ලබා දුන්න දේ තුල සිටිමින් වටිනාකම නැති කරන්න හැදුවට නැති කරන්න හදන එකම ඔබ වටිනාකම අළුත් කරනවා. ඔබ වටිනාකම සිහි කරලයි වටිනාකම නැති කරන්න හදන්නේ. වෙන්නේ නැහැ. පංච කාම ගුණය කෙරෙහි යම් ඡන්ද රාගයාගේ නැති කිරීමක්‌ වේ නම් ඒකයි තණ්‌හාවගේ නැති කිරීම. ඔබ පංච කාමයට ඡන්ද රාගය නැහැ කියන්නේ ඔබ ඒ පැත්තට යන්නේ නැහැ. ඔබ කැමති එයින් මිදෙන්න. ඒ සදහා බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් අනුකම්පාවෙන් හදලා දුන්න භූමියයි සතිපට්‌ඨානය කියල කියන්නේ. ඒක ඔබගේත් මගෙත් ජීවිතයේ පැය කාලක, පැය භාගයක, පැය දෙකක, පැය හයක, පැය දොළහක, දවසක, දවස්‌ පහක භාවනාවක්‌ නෙමෙයි. ජීවිතය පුරාම. ආස්‍රවක්‌ර්ෂය කළ ක්‌ෂීණාස්‍රව මහරහතන් වහන්සේත් පිරිනිවන් පාන තාක්‌ ජීවත් වෙන්නේ කාය, වේදනා, චිත්ත, ධම්ම කෙරෙහි එළඹ සිටි සිහියෙන් සතර සතිපට්‌ඨානයට හිත තබලා. වෙනසක්‌ තියෙයි එතන සතිපට්‌ඨානය අව්‍යකෘතයි, සේඛ පුද්ගලයාගේ සතිපට්‌ඨානය කුසල සහගතයි. එච්චරයි වෙනස.

ඔබ සතිපට්‌ඨානයේ වාසයට පැමිණියේ ඇයි? ඔබ සතිපට්‌ඨානයේ වාසය තෝරාගත්තේ ඇයි? පංච උපාදානස්‌කන්ධය දුකක්‌ කියල දැක්‌ක හින්දා. මොකක්‌ද පංච උපාදානස්‌කන්ධය? ලෝකේ පැත්තෙන් දකින්න එපා,

බාහිරෙන් දකින්න එපා පංච උපාදානස්‌කන්ධය. ඔබේ පැත්තෙන් දකින්න. ඔබේ උපාදානය පතිත වෙච්ච ස්‌කන්ධ ටික දුකක්‌. දුකට හේතුව මේ උපාදානය. උපාදානය නැතිවුනොත් දුක නිවෙනවා. උපාදානය ගෙවා දමන්න පහසුයි මට සතිපට්‌ඨානය. ඒකයි ඔබේ ප්‍රතිපදාව. මේ අර්ථය සමස්‌තයක්‌ම වූ ලෝකවාසී බෞද්ධයෝ කෙරෙහි පිහිටි දවසටයි මේ ශාසනය නිර්මල බුද්ධ ශාසනයක්‌ වෙන්නේ. සතිපට්‌ඨානය වැරදුනා නම් වැරදුනේ නිවනයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.