කිසිවක්‌ නොසොයන්න හමුවීමට කිසිවක්‌ නැත

පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරි සීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, ප්‍රධාන අනුශාසක
යටියන, මිනුවන්ගොඩ

යථාභූත ඤාණ දර්ශනය යනු ඇත්ත ඇති සැටියෙන් ප්‍රඥාවෙන් දැකීමයි. යථා + භූත + ඤාණ + දර්ශනය "යථා" යනු ප්‍රකෘතියයි. ප්‍රකෘතිය යනු ඇත්තයි. එකම ඇත්ත අනිත්‍යයි. "භූත" යනු ප්‍රකට බවයි. විද්‍යමාන වන බවයි. හටගත් බවයි. "ඤාණ දර්ශනය යනු විදසුන් නුවණින් දැකීමයි. ප්‍රඥවෙන් දැකීමයි. නිරන්තරයෙන්ම අතොරක්‌ නැතිව පටිච්ච සමුප්පන්න බව හෙවත් ඉධප්පච්චයතාව, ධම්මට්‌ඨ§තිතාව, ධම්ම නියාමතාව, අනිත්‍යය තුළ විද්‍යමානයි. "ඇත" හෝ "නැත" නොපැනවිය හැකි බවයි. "ඇත" (අත්ථි) හෝ "නැත" (නත්ථි) හෝ පනවන්න හටගත් බවක්‌ හෝ නිරුද්ධ වීමක්‌ පෙන්නුම් කළ නොහැකිය. සියලුම ශක්‌ති (සුද්ධ ධර්මතා) වල ප්‍රකෘතිය මසැසට දැකිය නොහැක. ගෝචර වනුයේ නුවණැසටය. "යථාභූත" ස්‌වභාවයි ගෝචර වනුයේ ලෞකිකත්වයට නොව ලෝකෝත්තර විදසුන් නුවණටය.

ලෝකෝත්තර ස්‌වභාවය යනු අසංකතයි. අසංකාරයි. ලෞකික ස්‌වභාවය සංකතයි. සංකාරයි. සංකාර යනු හටගන්නා වූ ශුද්ධ ධර්මයන්ගේ (පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ) සාමූහික ප්‍රවර්තනයයි. මේ ස්‌වභාවය ඉතා ගැඹුරුයි. අතක්‌කාවචරයි. පණ්‌ඩිත වේදනීයයි. නිපුණයි. දුද්දසයි. දුරනුබෝධය. සුවිසුද්ධයි. පරිසුද්ධයි. ඉඳුරන්ට ගෝචර නොවන ප්‍රඥවෙන්ම දත යුතු ධර්මතාවකි.

මේ ධර්මතාව ආධ්‍යාත්මික, බාහිර බවද ඉක්‌මවා ගිය තත්ත්වයකි. නිර්මාණාත්මක සිතුවිලිවල අක්‍රීය තත්ත්වයකි. සිතුවිලි ලෝක ධර්මයකි. සංකතයි. භෞතිකත්වය පදනම්ව මොනයම් හෝ පනවා ගැනීමක්‌ අපේක්‍ෂාවක්‌ බලාපොරොත්තුවක්‌ වේ නම් ඒවා සීමා මායිම්ව වැටකොටු ගසා හිර කරගෙන මානසික ක්‍රියාකාරකමකට යටත්ය. එවිට "යථාර්ථය" - "ඇත්ත" වැසී යනු ඇත. ස්‌කන්ධ විරහිත යථාර්ථය යනු ශූන්‍ය හෙවත් හිස්‌ බවකි. සංඥ නිරෝධයයි. එයට අනිමිත්ත නමද යෙදේ. අනි + මිත්ත - නිමිති - සංඥ නොමැති බවයි. සුඤ්ඤත සමාධිය නම ද යෙදේ. "සුඤ්ඤත" යනු හිස්‌ බවයි. පරම + අනු + උත්තර පරමානුත්තර. සිතා ගැනීමටත් නොහැකි ඉතා සියුම් "අනු" හෙවත් සංඥ ඉක්‌මවා ගිය "අනු" ඉක්‌මවා ගිය ශක්‌තීන්, ඉක්‌මවා ගිය පරමානුත්තර ධර්මතාවකි. විඤ්ඤාණ විරහිත ප්‍රඥ විමුක්‌තියයි. ෙච්තනය නොවීමේ ධර්මතාවයි. දස අංගයන්ගෙන් සමන්විත අර්හත් ඵල චිත්තයයි. "දස අංගෙහි සමන්නාගතො අහරතොති වුච්චති" ති. ආර්ය අෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ වූ පසු ඇතිවන සම්මාඤාණ - සම්මා විමුක්‌ති ඤාණ දර්ශනයයි. මේ අංග දෙක හෙවත් සම්මාඤාණ - සම්මා විමුක්‌ති දෙක පරිපූර්ණ වීමේදී නිරාවරණ ඤාණය පහළ වේ. ඒ අර්හත් ඵල සිතයි.

ආර්ය පර්යේෂණයේ දී ධර්මය ගවේෂණයේ දී ඉතාමත් වැදගත් වන්නේ සතියයි. සසරින් එතෙර විය හැක්‌කේ සතියෙනි. "යානි සෝතානි ලෝකස්‌මිං සති තේසං විවාරණං" තථාගත දර්ශනයයි. (කාමෝඝ - දිට්‌ඨ§ඕඝ - භවෝඝ - අවිඡ්ජා ඕඝ) සසර සැඩ පහරට හසුවී භවයට යැම වළකාලීමට නම් සතිය අත්‍යවශ්‍යයි.

මොනයම් හෝ ක්‍රමයකින් සංකත වූ රූප සංඥ, ශබ්ද සංඥ, ගන්ධ සංඥ, රස සංඥ, පොට්‌ඨබ්බ සංඥ, ධම්ම සංඥවන්හි යථාර්ථය හෙවත් ඇත්ත ඇති සැටිය ඉඳුරන්ට ගෝචර නොවේ. භෞතික කිසිම දෙයක හටගත් කිසිම දෙයක ඒකීයත්වයක්‌, ස්‌වකීයත්වයක්‌ එකම මොහොතක, එකම අයුරින් ස්‌ථාවර පැවැත්මක්‌ ප්‍රකට නොවේ. නිරන්තරවම හෙවත් අතොරක්‌ නොමැතිව වෙනස්‌ වේ. ඒ නිසා ලෝක ධර්මයන් පදනම්ව හටගන්නා සිත හා සිතුවිලි සත්‍ය පදනම්ව සිදු වන බව කිව නොහැක.

සිතුවිලි යනු භෞතිකත්වයකි. භෞතිකත්වය යනු ලෞකිකත්වයකි. ලෞකිකත්වය මත හටගන්නා සිත දෘෂ්ටි සම්මිශ්‍රණයකි. සම්මා දිට්‌ඨ§යද මිච්ඡාදිට්‌ඨ§යද දිට්‌ඨ§ වේ. ක්‍රියා සිත් හෙවත් ලෝකෝත්තර සිත් ලෞකිකත්වය ඉක්‌මවා ගිය බැවින් දෘෂ්ටිගතව නැත. "දිට්‌ඨ§ංච අනුපගම්ම" යනුවෙන් වදාළේ සම්මාදිට්‌ඨ§යත් මිථ්‍යා දෘෂ්ඨියත් නොමැති බවයි.

යථාභූතයේ සිතුවිලි හට නොගැනීම, නිර්මාණය නොවීම නිසා සංඥ නොමැති තැන සිතීම තුළ අල්ලාගන්නට පවතින්නට තැනක්‌ නොයෙදේ. "නිමිති" නැත. සිතුවිලිවල සාපේක්‍ෂතාවක්‌ නොමැත. "ඇත" හෝ "නැත" නොයෙදේ. විඤ්ඤාණයේ නිරෝධයෙන් පිරිසිදු මනසේ ප්‍රකෘතියට පත්වේ. එහි සංඛාර නොමැත.

"විඤ්ඤාණස්‌ස නිරෝධෙන
නත්ථි දුක්‌ඛස්‌ස සම්භවො"

හිත හෙවත් දුක හට නොගැනීම යනු විඤ්ඤාණයාගේ නිරෝධයයි. සංකල්ප විරහිත බවයි. විදර්ශනාවද ඉක්‌මවා ගිය බවකි. අමනසිකාරය නම්වූ තත්ත්වයකි. රූප සංඛාර විරහිතයි. ඉධප්පච්චයතාවයි. විඤ්ඤාණයාගේ ප්‍රකට වීමක්‌ නොයෙදෙන තැන මහා ප්‍රඥවයි. රෝධයේ සමාපත්තියයි. යථාභූත ඤාණ දර්ශනයේ දී "එය" හෝ "මෙය" නැතහොත් "ඇත" හෝ "නැත" මත මනදෝලනය නොවේ. අස්‌ථි - නස්‌ථි සංකල්ප බවෙන් මිදීමයි. එනම් අමනසිකාරයයි.

මේ සම්මා දැක්‌ම අසා ගැනීමෙන්, පොතපතින්, උගත්කමින් නොපිහිටයි. ආධ්‍යාත්මික නිවීමෙන් ලබන සුවය තවත් කොපි කිරීමක්‌ නොවේ. වෙස්‌වලා ගැනීමක්‌ද නොවේ. චරිත නිරූපණයක්‌ ද නොවේ. චිත්ත පාරිශුද්ධියෙන්

ලෝකෝත්තර සැප විඳිමි" යි අපේක්‍ෂා කිරීම ආත්මගත දෘෂ්ටියකි. හේතුව, නිවන හේතුවක ඵලයක්‌ නොවන නිසා. හුදකලාව හුදකලාවක්‌මය. අනිමිත්තය අනිමිත්තය පමණකි. සුඤ්ඤතය සුඤ්ඤතය පමණි. යථාභූත ඤාණ දර්ශනය යථා භූත ඤාණ දර්ශනයක්‌මය. අමනසිකාරය අමනසිකාරයම පමණි. ද්වතාවයක්‌ නැත. නිවීම නිවීමක්‌ම පමණි. නිවන නිවනමයි. හුදකලාව හුදකලාවක්‌මයි. එහි පදනම් නැත. නිවීම හෙවත් නිවන් ලබමියි සංඥත්මක ක්‍රියාදාමයකට අවතීර්ණ වීම වරදවා ගැනීමකි. සත්‍ය සෙවීමට අනවශ්‍යයි. හේතුව සත්‍ය සත්‍යයක්‌ම නිසා. ඔබට තියෙන්නේ ලෝකයෙන් හෙවත් හිතෙන් නිදහස්‌ වීම පමණි. ප්‍රකෘතියෙන්ම සිත පිරිසිදුයි. සත්‍යය දකින විට සිත වසාගෙන සිටින කෙළෙස්‌ ධර්ම දුරු වෙනවා ඇත. විඤ්ඤාණය යනු ක්‍රියාදාමයකට සමාරම්භයකට අවතීර්ණ වීමකි. බුද්ධ භාෂිතය වනුයේ

අනිස්‌සිතොච විහරති - නච කිංචි ලොකෙ උපාදියති" යනුවෙනි.

නොඇලුනෙක්‌ව වාසය කරන්නේ නම් උපාදානයට නොයන්නේය. මෙහි "අනිස්‌සිතො" යනු විඤ්ඤාණය හට නොගැනීමේ ස්‌වභාවයයි. නිමිති නොගැනීමයි. නිමිති නොගැනීම නිසා විඤ්ඤාණය හට නොගනී. එවිට විතක්‌ක විචාර නොමැත. නිර්වින්දිතයි. අනාත්මයි. රූපය හා සාපේක්‍ෂ නොවන විදර්ශනාවයි. ඒකචාරී වීමයි. මුනි බවයි. මනසින් මවන දේ මායාවයි. සතිය ඇති තැන මායාව ඉවත් වේ. ධාතු රාශිභූත වීමේදී සංඥ මැවෙනවා. මේ රූප සංඥවන්හි ප්‍රකෘතිය ධර්මානුකූලව නොදැනීම නිසා නිත්‍ය සැප ආත්ම දෘෂ්ටිගත වෙනවා.

කල්පනා කරනවා යනු මනසිකාරය කිරීමයි. එයට සතිය එක්‌වූ විට ප්‍රඥවට පරිවර්තනය වේ. සතිය යනු එළඹ සිටි සිහියයි. එයම පරිණත බුද්ධියම වේ. එවිට යමක යථාර්ථය විනිවිද නුවණැසින් දැකීමේ ශක්‌තිය ජනිත වේ.

ප්‍රඥවෙන්, සතියෙන්, අප්‍රමාදීව, සිහියෙන් අවදියෙන් සිටී නම් ඔබේ මනසින් අනවශ්‍ය දෑ අනායාසයෙන් බැහැර වේ. එය ප්‍රභාෂ්වර සිතකට සම්ප්‍රාප්ත වීමේ ක්‍රමෝපායයි. ප්‍රසන්න මනසකට හිමිකම් ඇති වේ. පිරිසිදු සිතක හටගැනීමේ පදනමයි. සිත පිරිසිදු කිරීමට අමුතු වෑයමක්‌ උත්සාහයක්‌ අනවශ්‍යයි. මුල් සිත ප්‍රභාෂ්වරයි. පිරිසිදුයි. එයයි ප්‍රකෘතිය.

වැරැදි දෘෂ්ටි ජාලයකින් වැරැදි මතිමතාන්තරවලින් වසාගෙන ඇත. එනිසා විකෘති වී ඇත. සතිය පිහිටුවා ගැනීමෙන් "නිසල මන" නම්වූ ප්‍රකෘතිය උදාමත් වේ.

නිවන ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැත. නිදහස විමුක්‌තිය සොයා නොයන්න. "මම" සංකල්පයෙන් නිදහස්‌ වීම තුළ නිදහස ඇත. නිදහස තුළ "මම" නැත. සත්‍ය අවබෝධයේදී "යමක්‌ ලැබේවායි" ඉලක්‌ක කර ගමන් කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ නම් නාමිකව පනවා ගැනීම් ඇත. අනවබෝධයේ අවබෝධය ඇති කල්හි එකඟවීම් හෝ ප්‍රතික්‌ෂේප වීම් නැත. ලාභ පාඩු නැත. තීන්දු තීරණ නිගමන එහි නොවේ. ප්‍රඥවන්තයා සත්‍යයෙන් නිහඬයි. හේතුව නිහඬ බව ප්‍රඥවන්ත බවයි. මෝඩයාට සත්‍යය ද දෘෂ්ටියකි. සත්‍යය ඇත්තයි. දෘෂ්ටියක්‌ නොවේ. ඒ නිසාය සම්මා දිට්‌ඨ§ය ද අතහැරීමක්‌ සිදු වන්නේ. ඒ නිසා තීන්දු තීරණ නිගමනවලට නොගොස්‌ නිසල මනට සම්ප්‍රාප්ත වන්න. "සබ්බේසු ධම්මේසු සමූහතේසු - සමූහතා වාද පථාපි සබ්බේ" නිර්වාණය සාක්‍ෂාත් පුද්ගලයාට ලෞකික වූ මිණුම්, ඇගයීම්, ප්‍රමාණයන් සීමා මායිම් නොමැත.

ශාන්ති නායකයාණන් වහන්සේ මහා මෛත්‍රියෙන්, මහා කරුණාවෙන් ඔබේ සියලු බලාපොරොත්තු අභිමතාර්ථයන් සුණු විසුණු කරනු ඇත. "ධුනාථ මච්චුනො සේනං නලාගාරංව කුඤ්ජරෝ" බට කැලෑවක්‌ වනසන හස්‌ති රාජයෙක්‌ වගේ මාර සේනාව විනාශ කරන්නේය. සියලු බලාපොරොත්තු අභිමතාර්ථයන් යනු සංකල්පයි. සංකතයි. ලෞකිකයි. එහි ඇත්තක්‌ නැත. දර්ශනයක්‌ නැත. මනෝ භාවයන් පමණි. මවාගත් දෘෂ්ටි ජාලයකි. කවදාවත් ඉටු නොවන පුහු පැතුම් වේ. ඔබේ සැබෑ ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ ඔබේ සැබෑ ගුරුවරයාණන් වහන්සේ ශාස්‌තෘවරයාණන් වහන්සේ ඔබේ සියලු දෘෂ්ටිවලින් මුදාලනු ඇත. සියලු බලාපොරොත්තු ලෝක ධර්මයන් නිසාය. ඒවා අනිත්‍යයි. දුකයි. අනාත්මයි. සම්මා සම්බුදුවරු පසේ බුදුවරු, මහ රහත් උතුමෝ සියලු ලෞකික බලාපොරොත්තු සුණු විසුණු කළ උතුමෝ වෙති. බලාපොරොත්තු නොමැති විරහිත, බුද්ධ භූමියට ඇතුළු වන්න. එහි අතීත අනාගත වර්තමානය නැත.

පරමාර්ථ ධර්මය අවබෝධයේ දී සාක්‍ෂාත් කර ගන්නවා යන්නෙන් අදහස්‌ කරන්නේ ගන්නෙක්‌ හෝ ගැනීමක්‌ නොමැති බවයි. යමෙක්‌ නිර්වාණය බලාපොරොත්තු වන්නේ නම් යමෙක්‌ යමක්‌ බලාපොරොත්තු වන්නේ නම් සොයන්නා සහ දෙයක්‌ ගම්‍ය වේ. හැඟේ. සෙවීම තුළ සොයන්නා පැනවෙන බැවිනි. "මම" නම් ආත්මගත ස්‌වභාවය තුළ කර්තෘත්වය පාදක වේ. "මම" විවෘත වීමට ඉඩ හැරීමකි. ඉස්‌මතු වීමකි. කිසිවකු කිසිවක්‌ නොසොයන්න. හමුවීමට කිසිවක්‌ නැත. අර්ථ ශූන්‍ය ක්‍රියාවකි. සෙවීම තුළ අහංභාවය වැඩියාවක්‌ද, නිරහංකාර භාවයට බාධාවක්‌ද වේ. ඇස ස්‌වභාව ධර්මයකි. එය ස්‌වභාව ධර්මයට අයත්ය. එහි ඔබේ අවනත භාවයට යටත් කිසිවක්‌ නැත. ඇසේ චක්‌ඛු ප්‍රසාද රූපයද ස්‌වභාව ධර්මයකි. ස්‌වභාව ධර්මයට අයත්ය. එහි ඔබේ පරිපාලනයට අවනත භාවයට අණසකට යටත් කිසිවක්‌ නැත. බාහිර ලෝකයෙන් චක්‌ඛු ප්‍රසාද රූපයේ ඔපවත් ස්‌වභාවයට ඇදී පවතින වර්ණ රූපයද ස්‌වභාව ධර්මයකි. එහිද ඔබේ අවනත භාවයට යටත් කිසිවක්‌ නැත. මේ අභ්‍යන්තර ඇස නම් රූපය බාහිර වර්ණ රූපය හා සම්බන්ධ වීම ස්‌වභාව ධර්මයකි. මේ ධර්මතා දෙක එකට "ඵස්‌සය" වීම ස්‌වභාව ධර්මයකි. මේ ස්‌වභාව සංසිද්ධියේදී ඵස්‌සයේ දී චක්‌ඛු විඤ්ඤාණය නම් ධාතුව හටගැනීමද, ස්‌වභාව ධර්මයකි. න්‍යාය ධර්මයකි. එය ධම්ම නියාමතා යනුවෙන් හැඳින්වේ. මේ ධම්ම නියාමතාවට ඔබට අමුතුවෙන් එකඟවීමක්‌, විරුද්ධ වීමක්‌ අදාළ නොවේ. හේතුව ලෝක ස්‌වභාව ධර්මයේ ස්‌වභාවය නිසා.

ඒ සමඟම පෙර පසු නැතිවම "ඵස්‌ස, වේදනා, සංඥ, ෙච්තනා, මනසිකාරය නම් චෛතසික ස්‌වභාවයක්‌ සබ්බ චිත්ත සාධාරණ නමින් සත්වයා නම්වූ ස්‌වභාව ධර්මය තුළ ඇස ඇසුරු කරගෙන හටගැනීම විද්‍යමාන වීම ප්‍රකට වීම ස්‌වභාව ධර්මයකි. ඒ සමඟම සැලෙන මන, සසල සිත ප්‍රකට වීමද ස්‌වභාව ධර්මයකි. එහි ප්‍රකට වීමට පංච උපාදානස්‌කන්ධය නම්වූ හැඳින්වීමක්‌ සම්මුතියක්‌ දී ඇත.

මේ ආකාරයෙන් මේ අනුසාරයෙන් සත්වයා නම් ග්‍රහ වස්‌තුව ආශ්‍රිතව මේ ස්‌වභාව ධර්මය ආශ්‍රිතව ආයතන මින්ද, ද්වාර නමින්ද, ඉන්ද්‍රිය නමින්ද ප්‍රකට වන ඇස, කන, නාසය, දිව, කය, මන, රූපවල ප්‍රසාද ගතියට බාහිරෙන් පැමිණෙන වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්‌ඨබ්බ රූප, ධම්ම රූප, ස්‌වභාව ධර්ම "ඵස්‌සය" වී එකතු වීමක්‌ සිදුවී "විඤ්ඤාණය" නම් ශක්‌තියක්‌ හටගෙන ක්‍රියාකාරිත්වයක්‌, සවිඤ්ඤාණක ස්‌වභාවයක්‌ ස්‌වභාව ධර්මතාවක්‌ විද්‍යමාන වේ.

මේ විශ්ව ධාතූන්ගේ සංකලනයෙන් සවිඤ්ඤාණක, අවිඤ්ඤාණක ග්‍රහ වස්‌තූන්ගෙන් ප්‍රකට වන දෑ සංකත වේ. මේ හටගත් දේ සතා, පුද්ගලයා, මම, අපි, ගස්‌, ගල්, පර්වත, ඇළ, දොළ ආදි වශයෙන් එහි හැඩතල මත සම්මුති නාම ව්‍යවහාරයේ පවතී. මෙය ස්‌වභාව ධර්මයේ ස්‌වභාවයකි. මේ සවිඤ්ඤාණකත්වය තුළ "මම" නැත. සතෙක්‌ නැත. පුද්ගලයෙක්‌ නැත. ශුද්ධ අවකාශය තුළ ශක්‌ති පුංජයක්‌ ප්‍රකට වේ. මේ ස්‌වභාව ධර්ම ගොනුවේ, පුංජයේ, කැටියේ පරිවර්තනශීලී ස්‌වභාවය, මහා විශ්වය තුළ දිදුලන ශුද්ධ ධර්ම පහක ප්‍රවර්තනය නිසා ප්‍රකට වන ස්‌කන්ධ පංචකයට, ප්‍රේතයා, කුම්භාණ්‌ඩයා, දෙවියා, බ්‍රහ්මයා, මනුෂ්‍යයා නම යෙදී ඇත. ඒවා සම්මුති නාම වේ. මේ නිසා සම්මුතියෙන් හෙවත් ලෝකයෙන් මිදීමේදී බලන්න, අසන්න, දරන්න, අවබෝධ කරන්න, දෙයක්‌ නැත, කෙනෙක්‌ නැත. මේ ස්‌වභාව ධර්මතා පෙනෙන නොපෙනෙන විශ්ව ශක්‌ති සමූහය සෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම, ධර්මතා වශයෙන් ග්‍රහ වස්‌තූන්ගේ විවිධ වෙනස්‌කම් වන බවක්‌ ප්‍රකට වේ. දෙවියෙක්‌, බ්‍රහ්මයෙක්‌, මිනිසෙක්‌, තිරිසනෙක්‌ පනවා ගැනීම් මිස විශ්ව වස්‌තුවක්‌ පමණි. සවිඤ්ඤාණක ග්‍රහ වස්‌තුවක්‌ පමණි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.