හුඹස්‌වලාන කඳුවැටියේ පිහිටි පිං බිම
ශ්‍රී ශෛලබිම්බාරාමය


කොටියාකුඹුර - රම්‍යපාල

බුදුබල මහිමයෙන් ජනතාවට සෙත්පතා පිරිත් නූල් පළඳවමින් බැතිමතුන්ගෙන් ලබන සම්මාදම් මුදලින් ලෝකයේ විශාලතම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගලෙන් නෙළීමට වෙර දරන ධෛර්යවන්ත බුද්ධ පුත්‍රයන් පිරිසක්‌ සොයා පසුගිය දිනක රුවන්වැල්ල හුඹස්‌වලාන කඳු පියස සොයා පිය නැඟුවෙමි.

කෑගල්ල දිසාවේ තුන්කෝරළයට අයත් රුවන්වැල්ල නගරයේ සිට කිලෝමීටර් 4 ක්‌ පමණ දුරින් පිහිටි මෙම ස්‌ථානයට වාහනයකින් යා හැකි පහසුකම් තිබුණද පොදු ප්‍රවාහන සේවය වූ ලංගම බස්‌රථය ඇත්තේ දිනකට සීමිත වාර ගණනකි.

ක්‍රම ක්‍රමයෙන් ඉහළට ඇදෙන ගමන් මඟකින් හමුවන හුඹස්‌වලාන කඳු වැටියේ පිහිටි ශ්‍රී ශෛල බිම්බාරාම පුරාණ විහාරස්‌ථානය මෙම විස්‌කම් නිර්මාණයට අත ගසා ඇති පුද බිමයි.

ඈතට දිස්‌වන එම විහාරස්‌ථානයේ චෛත්‍ය රාජයාණන් වෙත ළඟාවීමට එතැන්සිට තවත් මීටර් 50 ක්‌ පමණ වූ පඩිපෙළකින් ඉහළට ගමන් කළ යුතුය. ඊට වම්පසින් පිහිටි විශාල ගල් පර්වතය මතුපිට මේ වන විට දල සැළසුම් නෙළමින් පවතින නව නිර්මාණය දැක ගත හැකිය.

අතීතයේ වැඩ විසූ ඕවිටිකන්දේ සුමනතිස්‌ස නාහිමියන්ගෙන් ආරම්භව, හුඹස්‌වලාන හේමාලෝක හිමියන් ඇතුළු සංඝ පරම්පරාව විසින් වැඩි දියුණු කරමින් ආරක්‍ෂා කරමින් පවත්වා ගෙනැවිත් ඇති මෙම විහාරස්‌ථානයේ වර්තමාන අධිපතිත්වය දරනු ලබන්නේ, අමරපුර අරියවංශ සද්ධම්ම යුක්‌තික මහා නිකායේ සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති නාරංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමියන් විසිනි.

මෙම මහා කලා නිර්මාණයේ ප්‍රධාන අනුශාසකවරයා ද වන නාරංගස්‌තැන්නේ ධම්මකිත්ති හිමියන් සිදු කරනු ලබන කාර්යභාරය මෙසේ විස්‌තර කළේය.

අපේ වෑයම කෑගල්ල දිසාවේ තුන්කෝරළයට ඓතිහාසික වටිනාකමක්‌ ඇති නිර්මාණයක්‌ බිහිකිරීමයි. දේශීය කලා ශිල්පීන්ගේ දෑතින් නිම වන මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ දිගින් අඩි 80 ක්‌ වෙනවා.

මෙහි වැඩ නිම වී දහස්‌ ගණනින් ජනතාව දෑත් එක්‌කොට වඳින දවසට එය මීට දායක වූවන්ට දිනෙන් දින පිංපෙත් වැඩෙන උතුම් පිංකමක්‌ වේවි.

ආරම්භ කර ඇති ප්‍රතිමා වහන්සේ නෙළීම සඳහා රුපියල් හත්කෝටි තිස්‌තුන් ලක්‍ෂ දාසයදාහක (73316000) මුදලක්‌ වැය වෙන අතර ඒ සඳහා ගතවන කාලය වැඩ කරන වර්ෂ තුනකි.

යෝජිත කලා නිර්මාණයේ ප්‍රතිපාදනයන් සපයා ගන්නා අයුරු විස්‌තර කළ විහාරාධිපති ධම්මකිත්ති හිමියෝ.

ලෝකයේ විශාලම ශෛලමය සැතපෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළන බව ජනතාවට පණිවිඩයක්‌ ලෙසින් ගෙන යනවා. පන්සලේ වැඩවසන භික්‌ෂූන් වහන්සේලා විසින් දිනපතාම බුදු මැඳුරේදී පිරිත් සඡ්Cධායනා කර පේ කරන ලද පිරිත් නූල්ද එම අවස්‌ථාවලදී ගෞරවයෙන් භක්‌තියෙන් ගම් දනව්, නගර කරා රැගෙන යනවා. අපේ ප්‍රචාරක රථ අසලට එන බැතිමතුන්ට සෙත්පතා අපි පිරිත් නූල් බඳිනවා. ඔවුන්ගේ ප්‍රාර්ථනයන් ඉටුවේවායි පතමින් අපේ පිංකැටයට එක්‌ කරන පඬුරු අපි මේ මහා නිර්මාණයේ මූල්‍යමය දායකත්වය ලෙස සලකනවා. නාගරික කොමසාරිස්‌වරුන් පළාත් පාලන අධිකාරීන්ගේ කාරුණික අනුග්‍රහය අපගේ මෙම සම්මාදම් රථවලට ලැබෙන්නේ නම් එය විශාල උපකාරයක්‌ වෙනවා.

මේ සඳහා "රන්වැලි ශෛලමය ප්‍රතිමා නිර්මාණ කමිටුව" නමින් ක්‍රියාකාරී සංවිධානයක්‌ද පිහිටුවා ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්‌තර දුරකථන අංක 0363862259 සහ 0719990409 ඇමතීමෙන් ලබා දීමට හැකි බවද මේ සඳහා මුදල් ආධාර රුවන්වැල්ල මහජන බැංකුවේ 081-2001-5-0014319 හා ස. ණ. ස බැංකුවේ ගිණුම් අංක 1078481 ට යොමු කළ හැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.