අසංඛත වූ නිවන නොතිබෙන්නට...

පූජ්‍ය කොටියාගල අනුරුද්ධ හිමි
බිබිල යක්‌කුඹුර,
මො/ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණ

සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝක හුල් උදුරා දමන උත්තම ශල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ ලෙස තුන්ලොවේ ගුණරාව පැතිර ගියේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ගැනයි. එක්‌දිනක්‌ සම්බුදුහිමියන් සම්මුඛ වීමට පැමිණි තැනැත්තෙක්‌ උන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ''මේ වේගයෙන් ගලායන සංසාරය නවතින්නේ කොතැනකද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කොතැනකද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොතැනද? යනුවෙනි.

සසර ගමනින් නිදහස්‌ නොවූ කෙනකු නම් මෙබඳු පැනයක්‌ කෙසේ විසඳන්නේද? එහෙත් ලෝ තතු මනාව දුටු අනාවරණ වූ ප්‍රඥ ඇති සම්බුදු හිමියෝ ඉහතින් විමසූ පැනයට මෙසේ පිළිතුරු දේශනාකොට වදාළ සේක.

යම් තැනක ආපෝ ධාතුවත්, පඨවි ධාතුවත්, තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් පිහිටන්නේ නැතිනම් අන්න එතැන තමයි වේගයෙන් ගලා බසින සංසාරය නවතින තැන. එතැන තමා ඇවිද, ඇවිද යන සංසාර ගමන නවතින තැන. එතැන තමයි නාමයත්, රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වන තැන.

එමෙන්ම සංසාර ගමන තුළ දුක උරුම කරගෙන ගමන් කරන ලෝ සතුන්ට බුදුරජාණන් වහන්සේ විසින් ඒ අමා නිවන නම් වූ දුක්‌ බිය රහිත ක්‌ෂේම භූමිය

පෙන්වා නොදුන්නා නම් කිසිවකුටත් මේ දුක්‌ත සංසාර කතරින් අත්මිදීමක්‌ නම් නැත්තේමය.

අප සියලු දෙනා අද දැනගන්නේ සංසාරයේ දුක දැනුණු දිව්‍ය පුත්‍රයකුට දේව තිදේව වූ සම්බුදුහිමියන් වහන්සේ පිහිට වූ ආකාරයයි. ඒ දිව්‍ය පුත්‍රයාගේ නාමය සුබ්‍රහ්ම. සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා දිව්‍ය අප්සරාවන් දහසක්‌ පිරිවරාගෙන තව්තිසාවේ දිව්‍ය විමානයක සැප සේ කල් ගෙවමින් සිටියා. තව්තිසාවේ නන්දන උයනේ තිබෙන පරසතු වෘක්‌ෂයේ මල් පිපෙන කාලයයි මේ. දෙවිවරු සියලු දෙනා මල් පිපී ගිය පරසතු රුක්‌ සෙවණේ සන්තෝෂවීම පිණිස ඒ දිනවලදී නන්දන උයනට යනවා.

ඉතින් මේ සබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාත් තම පිරිස පිරාවරාගෙන නන්දන උයනට සැපත් වෙනව. එක්‌ දිනක්‌ මේ ආකාරයෙන් තම දහසක්‌ වූ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන නන්දන උයනේ පරසතු වෘක්‌ෂය ළඟට පැමිණරුකට පිටදී අසුන්ගෙන සිටියා. මේ පරසතු වෘක්‌ෂයේ ස්‌වභාවය තමයි යම් කෙනෙක්‌ මේ ගසෙහි මලක්‌ නෙළා ගැනීමට කැමති වේ නම් වෘක්‌ෂයේ ශාඛාවක්‌ බිමට නැමීමයි. එය සිදුවන්නේ ඉබේටමයි. එසේ වුණත් සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා ඇතුළු දිව්‍ය අප්සරාවන් කිහිප දෙනෙක්‌ මේ පරසතු වෘක්‌ෂයේ අතු දිගේ ඉහළටම නැග්ගා. නැගලා අතු සොළවන්නට පටන් ගත්තා. එවිට පරසතු මල් බිම වැටෙනවා. ඒ වැටුණු පරසතු මල් දිව්‍ය අප්සරාවන් එකතු කරගත්තා. ඇතැමෙකු එයින් මල්මාලා සැදුවා. තවත් අයෙක්‌ ඒ මාලා දාමයන් උරහිසෙහි රුවා ගත්තා. තවත් අය මල් වොටුණු සාදා සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාගේ ගෙලෙහි පැලැන්දුවා.

එක්‌ වරම පරසතු වෘක්‌ෂයේ නැග සිටි දිව්‍ය අප්සරාවන්ගේ ශබ්දය නෑසී ගියා. පරසතු මල් ගසෙන් බිමට වැටෙන එකත් නතර වුණා. සුබ්‍රහ්ම දෙවියා කලබලයෙන් වගේ ඒ මේ අත බැලුවා. ක්‌ෂණයෙන් පරසතු ගස ලෙස බැලුවා. දිව්‍ය

අප්සරාවන් පන්සිය දෙනකු නැහැ. කෝ මේ දිව්‍ය අප්සරාවන්? සුබ්‍රහ්ම දෙවියා පිරික්‌සා බලන්න වුණා.

මීට සුළු මොහොතකට පෙර දිව්‍යාලංකාරයෙන් කුල්මත්වී සිටි ඒ පන්සියයක්‌ අප්සරාවියන් අතරින් චුතවී නිරයේ ඉපදී සිටියා. නිරයේ ගිනිදැල් අතරින් වේදනාවෙන්, දුක්‌විඳින ඒ අප්සරාවියන් දුටු සුබ්‍රහ්ම දෙවියාට මහත් සංවේගයක්‌ ඇතිවුණා. මට තව කෙතරම් කාලයක්‌ මේ තවුතිසාවේ ඉන්නට

හැකිවේද? යනුවෙන් හැඟී ඒ මොහොතේ ඔහු කල්පනා කළා. ඔහුට වැටහුණා අවශේෂ පන්සියය අප්සරාවියන් ද සමග තව සත් දිනකින් තමාටත් නිරයේ ඉපදීමට සිදුවන බව. ඔහුගේ සිත බියෙන් තැති ගැනීමෙන් ශෝකයෙන් දැවී ගියා. ඔහු විමසා බැලුවා මාගේ මේ ශෝකය නිවා දැමිය හැකි කෙනෙක්‌ මේ ලෝකයේ ඉන්නවාදැයි කියා. ඇත්තෙත්ම සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා වාසනාවන්තයෙක්‌. තුන් ලෝකයට අග්‍රවූ ශාන්තිනායක වූ සම්බුදුහිමියන් වහන්සේ ජීවමානව වැඩ සිටින බව ඔහු දැනගත්තා. ඉතින් මේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පැමිණියා.

බුදුරජාණන් වහන්සේට ආදරයෙන්, ගෞරවයෙන් යුතුව වන්දනා කළා. එකත්පසෙක සිටගත්තා. එසේ සිටි සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ පවසා සිටියා.

නූපන් කරදර ගැනත්, ඇතිවෙලා තියෙන කරදර ගැනත් මේ සිත නිතර නිතර තැති ගන්නවා. මේ සිත නිතර නිතර බියට පත්වෙනවා. මම මේ අසන කරුණු නිසා දෙනු මැනවි. මේ සිතේ කිසි තැති ගැනීමක්‌ නැත්නම් ඒ ඇති වෙන්නේ කොහොමද? සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ විමසන්නේ නූපන් කරදර ගැන කිවවේ ඔහුට තව දින හතකින් නිරයේ ඉපදීමට තිබීම නිසා දුකක්‌ තිබෙනවා. ඇතිවෙලා තියෙන කරදර ගැන කියා කිව්වේ ඔහුගේ පිරිවර වූ පන්සියයක්‌ දිව්‍ය අප්සරාවියන් අහිමිවීමෙන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔහුට තිබුණ නිසා. ඒ දුකට විසඳුමයි ඔහු විමසා සිටියේ. මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ ඔහුට ගාථාවකින් පිළිතුරු දේශනා කොට වදාළා.

නාඤ්ඤත්‍ර බොජCධංගා තපසා

නාඤ්ඤත්‍ර ඉන්ද්‍රිය සංවරං

නාඤ්ඤත්‍ර සබ්බනිස්‌සග්ගා

සොත්ථිං පස්‌සාමි පාණිතන්ති

'බොඡ්Cධංග ධර්මයන් වැඩීමෙන් තොරව කෙලෙස්‌ තවන ජීවිතයෙන් තොරව තමනගේ ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමෙන් තොරව ඒ සියලු දුකින් නිදහස්‌ වූ අමා නිවන අවබෝධ කිරීමෙන් තොරව මේ සත්වයන්ට සෙතක්‌ මා නම්

දකින්නේ නෑ. මේ සංසාර ගමනෙ ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයට පත්වීම, ශෝකය, වැළපීම, දුක්‌-දොම්නස සුසුම් හෙලීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්‌වීම ආදිය වූ අනේක ප්‍රකාර වූ දුක උරුම කරගත් ලෝ සතුනට විශ්මිත සම්බුද්ධ නුවණින් අමා නිවන නම් වූ අමෘතය දායාද කර නොදෙන්නට මෙලොවේ දුකින් නිදහස්‌ වීමක්‌ නම් නැත'' ඒ බව මෙසේ පෙන්වා දුන් සේක.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරමින් පෙන්වා දෙන ලද්දේ සුබ්‍රහ්ම දෙවියා සෝවාන් පලයට පත්විය. සතර අපායෙන් සදහටම නිදහස්‌ වුණා. ඒකාන්තයෙන්ම ඒ අමා නිවන අත්දකින ශ්‍රාවකයෙක්‌ බවට පත්වුණා. අපත් සංසාරගත දුකින් නිදහස්‌ව ලබන ඒ උතුම් නිර්වාණය ලැබීම පිණිස කටයුතු සංවිධානය කර ගනිමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.