වඳිමු මුතියංගණ සෑරදුන්

ඩබ්. පී. දයාරත්න
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති

මුතියංගණ මහ සෑරදුන් කියන්නේ සොලොස්‌ මස්‌ථාන වලින් එක්‌ ස්‌ථානයකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාදස්‌පර්ශයෙන් පවිත්‍ර වු මෙම සොලොස්‌මස්‌ථාන අප බෞද්ධයන් මෙන්ම අනෙකුත් ජනයාගේ ගෞරවාදරයට පත්වු ස්‌ථානයන්ය. ගෞතම බුදුරාජාණන් වහන්සේ තුන්වරක්‌ මෙම ශ්‍රී ලංකාවට වැඩි බව මහාවංශයේ මෙන්ම වෙනත් පුරා විද්‍යාත්මක සාක්‌ෂිවලින්ද තහවුරු වේ. බුද්ධත්වයෙන් මාස 09කට පසු යක්‌ෂයින් දමනය කිරීම සඳහා මයියංගණයට වැඩම වූ අතර, දෙවන වතාවට බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ බුද්ධත්වයෙන් වසර 05 කට පසු චූලෝදර මහෝධර නාරජුන් අතර ඇතිවන්නට ගිය යුද්ධය සමථයට පත් කිරීමටයි. තුන්වනවර ශ්‍රි ලංකාවට වැඩමවා වදාලේ බුද්ධත්වයෙන් 08 වන වසරේ වෙසක්‌ පුන් පොහෝ දිනයක කැළණි පුරවරයටයි. මීට ඉහත වාර දෙකේම බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ තනිවමයි. නමුත් තුන්වනවර වැඩියේ මහරහතන් වහන්සේ පන්සිය නමකුත් සමගයි. තුන්වනවර ලංකාවට වැඩිය අවස්‌ථාවේ ප්‍රථමයෙන් වැඩියේ කැළණි පුරවරයට වන අතර ඒ මණිඅක්‌ත නා රජුගේ ආරාධනාවකටයි. මෙම අවස්‌ථාවට සහභාගි වූ නමුණුකුල කන්දට අධිපති ඉන්දක දෙවියන් බුදුරදුන්ගෙන් කරන ලද ආරාධනාවකට අනුව බුදුන් වහන්සේ රහතුන් වහන්සේලා 500 සමග මුතියංගන සෑරදුන් පිහිටි ස්‌ථානයට වැඩමවා සමාපත්ති සුවයෙන් සිට ඉන්දක දෙවියන් ඇතුළු දෙවියන්ට ධර්මය දේශනා කරන ලදී.

මුතියංගන චෛත්‍ය පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේය. ඌව පළාතේ ස්‌ථාන තුනකට බුදුන් වහන්සේ වැඩිබව පොත්පත්වල සහ ලේඛනවල සනාථ වේ. කතරගම කිරී වෙහෙර පිහිටි ස්‌ථානය මහියංගනය සෑරදුන් පිහිටි ස්‌ථානය සහ මුතියංගන සෑරදුන් පිහිටි ස්‌ථාන වලටය. ක්‍රි(පූ( 1900 - 1800 අතර කාලයේ පැවැතුන රාවණා රාජ්‍ය තුළ රාවණා රජුන් බදුලු පුරවරය අගනුවර කරගෙන රාජ්‍ය කරගෙන ගිය බව ජනප්‍රවාදයේ පවති . රාම ,රාවණා යුද්ධය පැවති සමය නුවරඑළිය, සීතාඑළිය, රාවණාඇල්ල, සීතාකොටුව යන ස්‌ථාන බදුලු පළාතට සම්බන්ධව පැවති බව අනුමාන කරයි. රාවණා රජුගෙන් පසුව එම රාජ්‍ය වංශය බිඳ වැටී ඇති බව ජනයාගේ විශ්වාසයයි. ඉන්පසු ලක්‌දිව බලයට පත්ව ඇත්තේ යක්‌ෂ හා නාග ගෝත්‍රිකයන්ය. මේ අනුව ලංකාව තුළ පාලන ප්‍රදේශ කීපයක්‌ ඇති වී ඇත. නාග ගෝත්‍රිකයින් සදහා උතුරු ප්‍රදේශයත්, කැලණිය ප්‍රදේශයත් වෙන්වී ඇති අතර යක්‌ෂ ගෝත්‍රිකයින් මහියංගනය අගනුවර කොටගෙන ඌව ප්‍රදේශය පාලනය කොට ඇති බව පෙනේ. විජය රජු ලංකාවට එනවිට යක්‌ෂ ගෝත්‍රිකයින් ඌව ප්‍රදේශයට අමතරව අනුරාධපුරය සහ පුත්තලම ප්‍රදේශ දක්‌වා ව්‍යාප්තව පැවතුන බව පෙනේ. කුවේනිගේ කථාව අනුව තම්මැන්නාව ප්‍රදේශයේ රැජින හැටියට කුවේණිය වාසය කළ බව තහවුරු වේ.

විජය රජු කුවේණිය පලවා හැරීමෙන් පසු ඇය පිටව ගොස්‌ ඇත්තේ ලංකා පුරයටයි. ඉතිහාසගත කරුණු අනුව ලංකාපුරය ඌව පළාතේ පිහිටි බව අනාවරණය වේ. කුවේණිගේ දරු දෙදෙනා කදුකරයට පලාගිය බව සඳහන් වන අතර මෙම දෙදෙනාගෙන් පැවත එන පිරිස බිම් තැන්නේ නිලගුල ප්‍රදේශයේ වැදි ජනයා බව ඌවේ ජනතාව අදත් විශ්වාස කරයි. ලොව්තුරා බුදුන්ගේ පාද ස්‌පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ බදුලු මුතියංගන රජමහ විහාරය බෞද්ධ ජනතාවගේ අග්‍ර ආගමික ස්‌ථානයකි. මෙම චෛත්‍යය මුලින්ම ඉදිකර ඇත්තේ ඉන්දක දෙවියන් බව බෞද්ධ පොතපත අනාවරණය කරයි. බුදුන් වහන්සේගේ මුක්‌තක ධාතුන් (බුදුන්ගේ ඇගේ දහඩිය මුතු බවට පත්කරන ලද මුතු ඇටයි) සහ කේශ ධාතුන් නිදන් කොට මුතියංගන චෛත්‍යය ඉදිකර ඇති බව අනාවරණය වෙයි. මෙම චෛත්‍ය බුබ්බුලාකාරව නිමවා ඇති අතර උසින් අඩි 65ක්‌ද වට රවුම අඩි 170ක්‌ පමණ වේ. රත්තල් 14ක්‌ පමණ බර ඇති චුඩා මාණික්‍යයක්‌ සහිත රන් ආලේපිත අඩි 07ක්‌ පමණ උස කොත් වහන්සේ චෛත්‍ය මුදුනේ තැන්පත් කර ඇත. අක්‌කර 10කට වැඩි භූමි භාගයක මුතියංගණ පූජා භූමිය පිහිටා ඇත. මෙම විහාර භූමිය තුළ අනුරාධපුරය ජයශ්‍රිමහ බෝධින් වහන්සේගේ දෙතිස්‌ඵල බෝධින් වහන්සේලාගෙන් එක්‌ බෝධින් වහන්සේ නමක්‌ මෙම විහාර භූමියේ සිටුවා ඇත.ඊට අමතරව ආනන්ද බෝධින් වහන්සේගේ ශාඛාවක්‌,මලියදේව රහතන් වහන්සේ වැඩ සිටි ස්‌ථානයේ මලියදේව බෝධිය නමින් බෝධියක්‌ද වැඩසිටී. ඈත අතීතයේ මෙම විහාර භූමිය ඉතා උස්‌ව පිහිටා තිබූ බවත් මුතියංගන චෛත්‍ය වටා ආරක්‌ෂක දිය අගලක්‌ තිබූ බව පැරන්ණන්ගේ මතයයි.ඉන්දක දෙවියන්ගෙන් පසුව මිහිදුමහ හිමියන්ගේ උපදෙස්‌ අනුව දේවානම්පියතිස්‌ස රජතුමා විසින් මෙම චෛත්‍යය තිබුණාට වඩා විශාල කොට සංරක්‌ෂණය කර ඇති අතර ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ හටගත් දෙතිස්‌ඵල බෝධි අංකුරයක්‌ එතුමා විසින් රෝපණය කර ඇත. දේවානම්පියතිස්‌ස රජතුමාගෙන් පසුව ධාතුසේන, විජයබා, මහපරාක්‍රමබාහු, රාජසිංහ යන රජවරු මෙම විහාරස්‌ථානය නගා සිටුවීමට විශාල වශයෙන් උදව් උපකාර කර ඇති බව බෞද්ධ පොතපත පරිශීලනය කිරීමෙන් පෙනී යයි.

ඉහත රාජවංශවලින් පසු කලින් කලට රටේ ඇති වූ විදේශ ආක්‍රමණ හමුවේ. මෙම විහාරස්‌ථානයද විනාශ කිරීමට ගොදුරු වී ඇත. විශේෂයෙන් ක්‍රි(වර්ෂ 1818 ඇති වු කැරැල්ලේදි ඉංග්‍රීසි ජාතිකයින් විසින් මෙම විහාරස්‌ථානයට අලාභහානි සිදු කර ඇත.

කලින් කලට රට තුළ ඇති වූ ස්‌වභාවික විපත් හා දෙස්‌ විදෙස්‌ පර සතුරු ආක්‍රමණ හමුවේ මෙම විහාරස්‌ථානයට සිදු වූ අලාභ හානි හා විනාශවි ගිය චෛත්‍යරාජයා නැවත දැන් තිබෙන ආකාරයට ප්‍රතිසංස්‌කරණය කරවන්නට හැකිව තිබෙන්නේ එවකට මෙම විහාරස්‌ථානයේ වැඩ සිටි විහාරාධිපති වහන්සේ හා පළාත්වාසී ගිහි පැවදි පිංවත් සියලු දෙනාගේ ආධාර උපකාර ඇතිව බව ගෞරව පූර්වකව සඳහන් කළ යුතුව ඇත.

මෙවන් පිංවන්ත පූජා භූමියක්‌ දැක වැඳපුදා ගන්නට ඔබටත් වාසනාව උදා වුනොත් මොනතරම් ඔබ පුණ්‍යවන්ත වේවිද? පමා නොවි හැකි ඉක්‌මනින් මෙවන් ස්‌ථාන වැඳපුදාගෙන කුසලයෙහි සිත පිහිටුවාගෙන පිං රැස්‌කරගෙන මරණයට මුහුණදීමට සුදානම් වන්න.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.