හැබෑ බුද්ධ පූජාව

ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

නමෝ තස්‌ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්‌ස!

"නහි මය්හං මාලා ගන්ධාදීහි පූජං කරොන්තා මම පූජං කරොන්තී නාම ධම්මනුධම්මං පටිපඡ්ජන්තා එව පන මං පූජෙන්තී නාම"

"මල් සුවඳ ආදියෙන් මට පූජා පවත්වන්නෝ (නියම ලෙසින්) මා පුදන්නෝ නොවෙත්. ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝම (නියම ලෙසින්) මා පුදන්නෝ වෙත්"

(ධම්මපදට්‌ඨ කතා - ධම්මාරාම වත්ථු)

බුදු රජාණන් වහන්සේ මෙයින් තෙමසකට පසුව පිරිනිවන් පාන්නෙමියි වදාළ විට දහස්‌ ගණනින් භික්‌ෂුහු රැස්‌ව භාග්‍යවතුන් වහන්සේගේ වටා වැඩ සිටියහ. රහතන් වහන්සේලා ධර්ම සංවේගය ඇතිකරගත් අතර පුහුදුන් අය ශෝකයට පත්වූහ. මේ අතර ධම්මාරාම නම් භික්‌ෂුව භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර අර්හත්වයට පත්වන්නෙමියි අදිටන් කරගෙන භාවනාවෙහි යෙදුනහ. ධම්මාරාම භික්‌ෂුව ගැන භාග්‍යවතුන්සේට දන්වන ලදුව භාග්‍යවතුන් වහන්සේ විසින් ධම්මාරාම භික්‌ෂුව කැඳවන ලදහ. අනෙක්‌ භික්‌ෂුන්ගෙන් වෙන්ව හුදකලාව වැඩ සිටින්නේ කවර කරුණකින් දැයි විමසන ලදුව මෙසේ පැවසීය. භාග්‍යවතුන් වහන්ස. මම තවමත් අවීතරාගී වෙමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරාතුව අර්හත්වයට පත්වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ දෙසූ මඟ අනුගමනය කරමින් සිටිමි. මම ඒ පරමාර්ථ - ධර්මයම මෙනෙහි කරන්නෙමියි පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ සාධු කාරදී මෙසේ වදාළහ. මලින්, සුවඳ ආදියෙන් පූජා පවත්වන්නෝ නියම ලෙසින් මා පුදන්නෝ නොවෙති. ධර්මානුධර්ම ප්‍රතිපත්තියම මට සිදුකරන උතුම්ම වූ පූජාවයි. භාග්‍යවතුන් වහන්සේ මෙම ගාථා රත්නය ද වදාළහ.

"ධම්මාරාමො ධම්මරතො

ධම්මං අනුවිචින්තයං

ධම්මං අනුස්‌සරං භික්‌ඛු

සද්ධම්මා න පරිහායති"

"සමථ විදර්ශනා ධර්මයෙහි නිතොර යෙදෙන බැවින් ධර්මය වාසස්‌ථාන කොට ඇති, ඒ ධර්මයෙහිම ඇලුණා වූ, ධර්මය නැවත නැවත මෙනෙහි කරන භික්‌ෂුව බෝධිපාක්‌ෂික ධර්මයන්ගෙන් නොපිරිහෙයි".

මෙම ධර්ම කතාව ඔබ අප සියලු දෙනාටම යහපත් වූ ධර්ම අවවාදයක්‌ දීමකි. වක්‌කලී නම් භික්‌ෂුන් වහන්සේට ද භාග්‍යවතුන් වහන්සේ දුන්නේ මෙවැනිම අදහසකි. භාග්‍යවතුන් වහන්සේගේ බාහිර රූපකාය ගැන ඇලුණු වක්‌කලී තරුණයා පැවිදි වූයේ රුව නිතොර බලා සිටින්නමය. පැවිදිව භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය දෙස බලා සිටි වක්‌කාලී භික්‌ෂුවට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ දෙතිස්‌ කුණපයන්ගෙන් පිරුණු ශරීරය දෙස බලා සිටිනවාට වඩා පරමාර්ථ ධර්මයම දකින ලෙසය. පටිච්චසමුප්පාද ධර්මයම මෙහි පරමාර්ථ ධර්මය වෙයි. අප අතරින බොහෝම පිsරිසක්‌ පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමට වඩා භාග්‍යවතුන් වහන්සේ විසින් මහත්සේ ප්‍රශංසා නොකරන ලද ආමිසයෙහි නියුක්‌තව සිටිති. ආමිස පූජාව නොකළ යුතුය යන්න මින් අදහස්‌ නොකෙරේ. ශ්‍රද්ධාව පහළ කර ගැනීම පිණිසත්, පස්‌පව් දස අකුසල් වලින් මිදී සීල සමාධි ප්‍රඥ මඟට යොමුවීමේ පළමු පියවර සේම පිළිවෙත් මාර්ගය පිරිසිදු කරගැනීමටත්, තම සිත උනන්දුකර ගැනීම පිණිසත් මල්, පහන්, සඡ්Cධායනා ආදී පූජා පැවැත්වීම කළ යුතු වන්නේය. එනමුත් බොහෝ පිරිසක්‌ එම ආමිස පූජාවෙහිම නතර වී සිටිනා විනා, භාග්‍යවතුන් වහන්සේ වදාළ "සසර දුකෙන් නිදහස්‌ වීම" නම් වූ මඟට උපකාර වන විදර්ශනා මඟ පුරුදු කිරීම අල්පය. විදර්ශනා මඟට පැමිණි බව පවසන පිරිස්‌ ද නියමාකාරයෙන් ඒ මඟට සකස්‌ වී නොමැති බව වැටහෙන්නේ කණ්‌ඩායම් වලට බෙදෙමින් ලෞකික අරමුණුවලට වක්‍රාකාරයෙන් යොමුවී කටයුතු කරන බැවිනි. ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගය උගන්වන බොහෝ සූත්‍ර දේශනා අතර මහා සුඤ්ඤත සූත්‍ර දේශනාව ද ප්‍රධාන තැනක්‌ ගනී. එහි මෙසේ දැක්‌වෙයි, "නාහං ආනJද, ඒකරූපම්පි සමනුපස්‌සාමි, යත්ථ රත්තස්‌ස යක්ථාහි රත්තස්‌ස රූපස්‌ස විපරිනාමඤaඤථාභාවා න උප්පඡ්ජෙයුං සෝක පරිදේව දුක්‌ඛ දොaමනස්‌සුපායාසා"

"ආනJදය යම් රූපයක රාග වශයෙන් හා තදින් ඇලුණු කෙනකුට, ඒ රූපයේ වෙනස්‌වීම, අන්‍ය ස්‌වභාවයට පත්වීම හේතුයෙන් ශෝක හඬා වැළපීම්, දුක්‌, දොම්නස්‌, බලවත් සිත්තැවුල් නූපදිත් නම් මම එබඳු එකද රූපයක්‌ නුවණැසින් නොදක්‌මි".

එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක, උපාසිකා සිවු පිරිසටම රූපාදී අරමුණු, කෙලෙස්‌ ඉපදීම පිණිස හේතුවන නිමිති නොගෙන, තම අධ්‍යාත්මයෙහි කෙලෙස්‌ සන්සිඳෙන ඵල සමාපත්තිය පිණිස වාසය කිරීම පිණිසම දහම් දෙසන ලදහ. මේ බව මැනවින් අවබෝධ කරගන්නා වූ ගිහිවූ ද, පැවිදි වූ ද, ශ්‍රාවක, ශ්‍රාවිකාවන් විසින් පළමුව, මනාකොට කායික වාචසික හික්‌මීම නම් වූ සීලයෙහි පිහිටීම අවශ්‍යය. "අනුමත්තේසු වඡ්ඡේසු භයදස්‌සාවි" යනුවෙන් සඳහන් පරිදි කුඩා අණුකුඩා වරදෙහි පවා අවබෝධයෙන් යුතු බිය දක්‌නා යුතු බැවින්ම සීලයෙහි හික්‌මීමට පැමිණීම අවශ්‍යය. සෝණදණ්‌ඩ සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාළේ "සීලපරිධෝතාහි" බ්‍රාහ්මණ පඤaඤ, පඤaඤපරිධෝතං සීලං" යනුවෙනි. එනම්, ප්‍රඥව සීලයෙන් පිරිසිදු වෙයි. සීලය ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි. මේ නිසා මේ සම්බුදු සසුනට පැවිදි හෝ උපාසක ස්‌වභාවයෙන් පැමිණෙන සෑම අයෙක්‌ම මනාකොට සිල් ඇත්තෙක්‌ වීම අවශ්‍යය. සිත, කය, වචනය නම් වූ තිදොරින් අසංවරව "චාරිත්‍ර වාරිත්‍ර" වලට පමණක්‌ පුරුදු වී සිටින පිරිසකට හැබෑවටම භාග්‍යවතුන් වහන්සේට ගෞරව කළ නොහැකිය. සිරිත් විරිත් වුව ද සීලයක්‌සේ අවබෝධයෙන් පවත්වන්නේ නම් එය යහපත්ය. එහෙත් වර්තමාන බොහෝ "සිරිත් විරිත්වල" ඇත්තේ ඇලීම් සහ ගැටීම්ය. එනම් තණ්‌හා මද මාන වඩන මාර්ගයන්ය. මෙසේ සිරිත් ලෙස දන් දෙන්නෝ ද, සිරිත් ලෙස සිල් සමාදන් වෙනවා යෑයි පවසන්නෝ ද, අසවල් පිංකම් කරන්නේ යෑයි පවසන්නෝ ද වෙති.

භාග්‍යවතුන් වහන්සේට හැබෑ ආකාරයෙන් කරන පූජාව නම් පරමාර්ථ ධර්ම මාර්ගය අනුගමනය කිරීමමයි. කාමච්ඡන්දාදී නීවරණ ධර්ම බැහැර කරමින් සප්ත බෝධි අංග වැඩෙන මඟ අනුගමනය කිරීම අවශ්‍යය. සීල විසුද්ධියේ පටන් සප්ත විසුද්ධි පවත්වමින් උදවය්‍ය ඤාණ, භංග ඤාණ ආදී ලෙසින් නව මහා විදර්ශනා මාර්ගයට අවතීර්ණ වීම කළ යුත්තේය. එසේ නොමැතිව, දැඩි මසුරු වලින් ද, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් ද, අකෘතඥබවින් ද, තම වැරැදි සඟවා අන්අයගේ නිතොර වැරැදි දැක ගනිමින් ද, තමා උසස්‌ කොට හුවා දක්‌වමින් අන් අය පහත්කොට දක්‌වමින් ද ආ දී ලෙසින් ජීවිත පවත්වන්නෝ හැබෑ ලෙස ධර්මය නොදකින්නෝය. තමා තමාට කල්‍යාණවන්තයෙක්‌ විය යුත්තේය. එනම් තමා විසින්ම අත්හැරීමෙනි. තමා.අත්හැරීම යනු අපිරිසිදුව සිටීම හෝ තම ශරීරය නිරෝගීව පවත්වා නොගැනීම හෝ ලෞකික ඉගෙනීම, වෘත්තිය, ගේගදාර පවත්වා නොගැනීම යයි අදහස්‌ නොකෙරේ. සීලයහි පිහිටා ඒ සියල්ලම දැහැමිව අවශ්‍ය ආකාරයෙන් කළ යුතු වන්නේය. එනමුත් මේ ස්‌කන්ධ පඤ්චකය නම් වූ "මම" අනිච්ච, දුක්‌ඛ, අනන්ත නම් වූ ත්‍රිලක්‌ෂණ ධර්මයට යටත් බවට සිත පුරුදු කොට, තමා කෙරෙන් හෝ බාහිර ආරම්මණ නිසා හෝ උපාදානයන් සකස්‌ නොවිය යුත්තේය. සම්මුතියෙහි "මම" පැවැත්වුවත් පරම සත්‍යයෙන් "මම" යය ස්‌ථිර වූ යමෙක්‌ හෝ යමක්‌ නැති බව භාග්‍යවතුන් වහන්සේ ශාස්‌තෘත්වයෙහි පවත්වාගෙනම ධර්ම මානසිකාරය කළ යුතු වන්නේය. මෙහිදී "තමා අත්හැරීම" වැටහෙන්නට පටන් ගන්නේය. එනම් අවබෝධයෙන්ම පස්‌පව්, දස අකුසල් වලට සිත, කය, වචනය නතු නොවීමෙනි. සම්මතයෙහි කොපමණ ප්‍රිය යමෙක්‌ හෝ යමක්‌ වුව ද උපාදානය නොකර ගනී. කවර අකමැති හෝ අශුභ අරමුණක්‌ කෙරේ වුව ද ගැටීමක්‌ ඇති නොවේ. කර්ම සංස්‌කාර රැස්‌වීම දුර්වල වෙයි. සතිය, සම්පඡ්ඤaඤය, වීර්යය, මාර්ග ඵල, සමාධි මඟ වැටහිය යුත්තේය. ජීවිතයේ වැඩිපුරම කාලයක්‌ බාහිර පුද පූජාවන් සමඟ රැඳුනු අයකුට හැබෑම බුද්ධ පූජාව කුමක්‌දැයි, ධම්මාරාම ථේර කතා පුවතින් අවබෝධ කොටගත යුතු වන්නේය.

උතුම් වූ චතුසච්ච අවබෝධය පිණිසට වේවා!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.