සංසාරය නොවියන්න...

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභනීය මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හොda රුව පවා හෙළි කිරීමට අකමැති වූ උන්වහන්සේගේ මුව මඩලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ මෙසේ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාදය සටහන - සුගත් වීරසූරිය

නිමාවක්‌ නොපෙනෙන අප්‍රමාණ දුක්‌ සහිත සංසාර පැවැත්මෙන් අත්මිදීම අනවරාග්‍ර (තෙරක්‌ නොපෙනෙන) සංසාරයෙහි තෙර දැකීමයි. අමෘත අමාමහ නිර්වාණය අවබෝධ කර ගැනීමද මෙයම යෑයි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. සංසාර ජීවිතයෙහි ඇති අති භයංකාර බවත්, එමෙන් එහි කෲරත්වයන් පිළිබඳ තියුණු වැටහීමක්‌ නැති අයකුට මේ සසර නම්වූ උවදුරු කතරින් ලේසියෙන් එතෙරවී ගන්නට බැරිය. ඒ යළි යළිත් දුඃත සංසාරයටම ඇද වැටෙන දේ ඔවුන් සිතින් කයින් මෙන්ම වචනයෙන්ද සිදුවන නිසාය.

සංසාරය නපුරුය. සාහසිකය. නපුරු සාහසික නාම ධර්ම අනුව ක්‍රියාකර සසරට වැටෙන අවාසනාවන්තයන්ට ඊළඟට හිමිවන ආත්මගත නාම කායද කණවැල අල්ලන්නේ සංසාරයේ දුඃත නවාතැන් වලටම නොවේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ වූ මේ නාම නම් සැබවින්ම මොනවාද? සත්ත්වයාගේ නැත්නම් පුද්ගලයාගේ සිතෙහි නිමාවක්‌ නොමැතිව ඉපදෙමින්, බිඳෙමින්

නොනැවතී යන සිතිවිලි පරම්පරාවයි. බියකරු සසරට බිජුවට වූ කෙලෙස්‌ යනුද මේවාමවැයි පැවැසිය හැකිය. මේ නාම කය නැත්නම් කෙලෙස්‌ සදාතනිකවම නතර කළ හැක්‌කේ නැවත කවදාවත් නූපදින ආකාරයෙන් නසා වනසා දැමීමෙන්ය. එනම් අමාමහ නිවන් දැකීම තුළිනි. මෙසේ නොවන තාක්‌ ඔබ සංසාරයට, සංසාර දුකට නැවත නැවතත් වැටෙන එක නවත්වන්නට කිසිවකුටත් නොහැකිය. ඉදින් දැන් ඔබට වටහාගත නොහැකිද? මේ කුරිරු නාම කයෙහි සාංසාරික සාහසිකත්වය. බලන්නෘ සම්මා සම්බුදුන් ධරමාන කාලයේදීම සිදුවූ මේ සරල කතා පුවත දෙස.

ඔහු නමින් ආනන්ද වී. සියලු යස ඉසුරින් ජීවිතය සමෘද්ධකරගත් සිටුවරයෙකි. සැවැත්නුවර වාසය කළ ඔහුගේ ධනය පමණක්‌ සතළිස්‌ කෝටියකි. ආහෝෘ අවාසනාව කොතෙක්‌ නම් මහත් වීද? මෙපමණ ධනවතෙක්‌ වුවත් ආනන්දගේ නාම කය හෙවත් සිතැඟි ධහර කවදාවත් කාටවත් හාල් මිටක්‌වත් දෙන්නට ඔහු මෙහෙයවනු සමත් නොවීය. අධික තෘෂ්ණාව, ලෝභය මසුරුකම ආදී ඈ නොයෙක්‌ කැත කෙලෙස්‌වලින් එය ඉඳුරා කෙලෙසී තිබුණේය. තම නෑයන් අතරවූ කෙනෙක්‌ තවත් කෙනකුට යමක්‌ දෙන්නට උත්සාහ කළේනම් ආනන්ද එයද වැළැක්‌වීය. ඒ වෙනුවට සියලු නෑයන් රැස්‌ කළ ඔහු ඔවුන්ට ඉගැන්වූයේ ධනය උපයන ආකාරය ගැනමය. ආනන්ද මේ පාඩම ඔහුගේ පුත්‍රයාට වෙනම ඉගැන්වූයේය. ඒ ඔහුට දවසකට තුන් වතාවක්‌ එක දිගට අවවාද දෙමිනි.

මේ අතර තුරදී කාලයේ ගඟ හෙමි හෙමින් ගලා ගියේය. ජරා, ව්‍යාධි ආදී කොටගත් අකාලික ලෝ දහම් ඔහුගේද පවිටු ජීවනය සොයා ආවේය. කම්

පරිද්දෙන් ඔහු මිය ගියේය. දීර්ඝතර සංසාරයේදී පෘතග්ජනයකුට මුහුණ දෙන්නට සිදුවන ඊළඟ විපත කුමක්‌ද? අවිනිශ්චිත වූ පුනර්භවයක්‌ ලබන්නට සිදුවීමයි. අවිනිශ්චිත යෑයි කීවේ එය කවරාකාර වූ ආත්මභාවයක්‌ සහිත වේ දැයි කියන්නට බැරි නිසාය. අද සක්‌විති රාජ්‍යය කරන්නා ඒ අනුව ඊළඟ භවයේ තිරිසන් ආත්මයකට ඇද වැටෙන්නට බැරි නැත. එමෙන්ම ඔහුට ප්‍රේත ආත්මයද විවරවීමට ඉඩ තිබේ. මසුරු මලකඩිනුත්, අහිතකර තණ්‌හාවෙනුත් සිත කෙලෙසා ගත් ආනන්ද සිටු අන්තිමට මළේය. ඔහු මේ ජීවිතයේ ගත කළ ආකාරය අනුව ඊළඟට ඉපදුණේ සැවැත්නුවර රොඩී ගමක අන්ත දිළිඳු ගැහැණියක කුසයේය. ඔහු එලෙස උපන්දා පටන්ම ඒ ගමටම වගතුවක්‌ නැතිවිය. හැම ජීවිතයක්‌ම යටකරගෙන දිළිඳුකම ගලාගියේය. අන්තිමට කාලකන්ණියකු ලෙස උපත ලැබූ ආනන්දට පොල් කට්‌ටකුත් ගෙන ගමෙන් හා සිය පැල්පතින්ද නික්‌මී හිඟමනට යන්නට සිදුවූයේ සෙස්‌සන් විසින් ඔහු එළවා දමනු ලැබූ හෙයිනි.

බලන්නෘ චිත්ත සංතානයක්‌ යටකොට එය කෙලෙස කෙලෙසා ඇතිවුණ, නැත්නම් හටගත් නාම කායක ප්‍රතිවිපාකය. ඒ විපාකය විසින් ආනන්ද සිටු තෙම සංසාරයේ නපුරු නවාතැන්පළක්‌ තුළ නතර කරනු ලැබීය. මේ තුළින් පැහැදිලි කර ගත හැකි තවත් සදාකාලිකවූ යථාර්ථයක්‌ද තිබේ. එනම් ඒ තෘෂ්ණාව හා වෙලී ගත් නාමකය හුදෙක්‌ම ජාති ජරා මරණාදී වූ අනන්ත සසර දුක්‌ උපදවන්නේ යෑයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මෙයින් පෙනෙන්නේ එය මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන්ද සිදුවන බවයි. ඒ අනුව අකුසල් පමණක්‌ නොව කුසල් ද සිදුකර සංසාරයේ ජීවිතයක්‌ ලැබීම හොඳ නැත.ඒ නොයෙක්‌ බය සහිත සංසාරය තුළදී එය කොයි මොහොතේ කොයියම් විපතකට ඇද වැටේදැයි කිව නොහැකි බැවිනි. සත්ත්වයා භවයෙන් භවයට ගෙනයන චිත්ත සංතානගත නාම කාය කොතෙක්‌ අවදානම් සහගත වූවක්‌ දැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කර්මයේ විපාක ආශ්‍රිත අවස්‌ථාවලින්ද අපට දකින්නට පිළිවන. ඔබට හරිහැටි අවබෝධයක්‌ නැතිවුවත් අනන්ත වූ කර්ම විපාක විඳීම් විෂයෙහි එන 'උපධි විපත්ති' අවස්‌ථාවට ඔබ කාටත් නොයෙක්‌ විටදී මුහුණ පාන්නට සිදුවේ. උපධි විපත්ති යන්නෙහි තේරුම වන්නේ රූපකාය දුබලවීමය. මනුෂ්‍ය ජීවිතය තුළදී මේ රූපකාය විරූප වූවන් කොතෙක්‌ නම් ඔබට හමුවී ඇත්ද? ලෝකය නමැති මහ මිනිස්‌ වනයේ එවැන්නන් සොයා බැලුවහොත් ඔබට ප්‍රමාණ කළ නොහැකි පරිද්දෙන් ඔවුන් මුණ ගැසෙණු ඇත්තේය.

ගොළු බව, බිහිරිබව, අන්ධ බව, අඟපසඟ නැතිව හෝ විකෘති වී තිබීම මේ ආදී වශයෙන් වූ නොයෙකුත් උපධි විපත්ති අවස්‌ථා ඒ ඒ රූප කායයන් තුළ දැකගන්නට ලැබේ. මෙවැනි අවස්‌ථාවලදී යමෙකු පූර්ව පින් බලවත්ව තිබුණත් එනම්, රජකමක්‌ ලැබෙන්නට තිබුණත් එයද නොලැබී යන්නේය. අපිරිසිදු සිතුවිලි සහිත නාම කාය සත්වයා සංසාරයෙහි සියුම් දුක්‌ අතර නවතා තබන තවත් අවස්‌ථාවක්‌ ලෙස මෙය හඳුනාගන්නට පිළිවන.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාර්ගය නමැති ඇසින් සසරෙහි නූපදනා සේ රාගය, ද්වේෂය, මෝහය දුරුකරන නිවන් ස්‌වභාවය දැකිය යුතු බවයි. නානාවිධ අකුසල් සහගත නාම කායයන් ඔස්‌සේ පුහුදුන් සිත මෙහෙයවනු හට ඉහත සඳහන් කළ අවස්‌ථාවන්වලදී සිත නිශ්චල කර ගත නොහැකිය. බුදුපියාණන් වහන්සේගේ ජීවමාන කාලයට නැවතත් මොහොතක්‌ පියනගන්න. මේද එයින් ඇසුණු කතාවකි. එහෙත් ඒ පුද්ගලයකුගේ සිතෙහි ඇතිවන නාම කයෙහි අතිශය භයංකාරත්වය පිළිබඳ හෙළි පෙහෙළිකර දෙන හොඳ අවස්‌ථාවකි.

එනම් අජාසත්ත එදා දේවදත්ත හා එක්‌ව අපායගාමීත්වයට පාර සකසා ගත්තේය. අසත්පුරුෂයකු වූ දේවදත්තයන්ගේ අනුශාසනා අනුව ගිය අජාසත්තගේ නාම කාය බෙහෙවින් කිළිටි විය. ඔහු රාජ්‍යය ලබා ගැනීම පිණිස බිම්බිසාර මහ රජතුමා ඝාතනය කළේය. පසුව ඔහු බුදු සසුනෙහි සැදැහැවත් හොඳ අයකු වුවත් ඔහුට නිවන් දැක සංසාරයේ තෙර දැකගන්නට නොහැකි විය. ඒ පියා මරා දමා මහා ආනත්තරීය පාප කර්මයක්‌ සිදුකර ගැනීමෙන් ඔහු යළිත් අතිශය දීර්ඝවූ සංසාරයට ඇද වැටුණු බැවිනි. බුදුහාමුදුරුවන්ගේ සිරිපා අභිමුව වැඳවැටී අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔහු ධර්මය ශ්‍රවණය කළත් එමගින් සකලවිධ කෙලෙසුන් මුල්සුන් කොට නිවන් දැක ගන්නට තරම් ඔහුට හිත ඉඩ නොදුන්නේය. ඒ අපිරිසිදු කෙලෙස්‌ සහිත නාම කයට ගොදුරුවී එහිවෙලී කළ අකුසලය ඔහුගේ සිත මහත් සේ චංචල බවට පත් කළ හෙයිනි.

මේ අන්දමට බලන විට අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් තොරවූ ඒ අමා නිවන් සුව දකින සඳහා ඔබ කළ යුත්තේ කුමක්‌ද? හෙමි හෙමින් නාම කාය නැතහොත් සිත වසාගත් කෙලෙස්‌ නිවි නිවී තුනීව තුනීව යන්නට කටයුතු සලස්‌වා ගැනීමයි. එසේ නොවුවහොත් දිගින් දිගටම සිදුවන්නේ ඔබට කෙළවරක්‌ නොපෙනෙන සංසාරයේ කෙළවරක්‌ නොමැති තරමටම ජීවිතද ලැබෙන එකයි. සංසාරයේදී සත්වයාට ජීවිත ලැබෙන විට සිදුවන්නේ කුමක්‌ද? ඒ ජීවිත උපයෝගීකරගෙන ඔවුහු සිත්වල පහළවන නාම කාය තුළින් සංසාරයම වියති. මේ වියන විවීම විටෙක මිනිස්‌ ලෝවට විය හැකිය. විටෙක දෙව්ලොවට විය හැකි.ය. විටෙක බඹ ලොවට විය හැකිය. කොහොම වුණත් මේ සංසාර වියමන නිසා ලෝකයා වැඩිපුරම වැටෙන්නේ නිරය, තිරිසන්, ප්‍රේත හා අසුර ආදී කොටගත් සතර අපාය වෙතටය. මෙහි ඇද වැටෙන සත්ත්වයින්ට ගැණ නිම කළ නොහැකි කාලයක්‌ මේවාගේ අනේක විධ දුක්‌ විඳිමින් ජීවත්වෙන්නට සිදුවේ. කුසල් සිදුකර අනෙක්‌ යහපත් ලෝකවල උපත ලැබුවත් ඒ සියල්ලක්‌මද අනිත්‍යය.

එහෙයින් සංසාරය නොවියන්න. ඊට හේතුවන නාම කාය හෙවත් කෙලෙස්‌ නිවා නිවනින් සැනහී ගන්නට වීරිය කරන්න.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.