බුදු දහමින් ඔපවත්වූ අවුරුදු උළෙල

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති ,
පූජ්‍ය නාලන්දේ විමලවංශ නාහිමි

සූර්යයා පොළොව සහ සමගාමීව කරනු ලබන ගමන් මාර්ගය කොටස්‌ දොළසකට බෙදා එයින් එක්‌ කොටසකට අනුගත වීම මාසයක්‌ වශයෙන් ගනිමින් එක්‌ වටයක්‌ නිමා කර නැවත ආරම්භක ස්‌ථානයට අළුත් ගමන් වාරයක්‌ ආරම්භ කිරීම අවුරුදු උදාව වශයෙන් සැලකෙයි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම්, සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමයි. සිංහල මාස ක්‍රමය අනුව දොළොස්‌ මහෙන් පළමුවැන්න බක්‌ මාසයයි. අප සිංහල අවුරුදු උදාව වශයෙන් සලකන්නේ ශක වර්ෂ ක්‍රමයටයි. 'ශක' යනු භාරතයේ විසූ බෞද්ධ රජ පරපුරකි. සූර්යයා උදා වන ආකාරයත්, බැස යන ආකාරයත් සැලකූ මෙම රජ වරුන් සූර්යයා පෘතුවිය වටා ගමන් කරන බව විශ්වාස කළහ. ඒ අනුව ඔවුන් විසින නිර්මාණය කළ වර්ෂ ක්‍රමය ශක වර්ෂ වශයෙන් සැලකෙයි. මෙම ශක වර්ෂය රාශි දොළසකට බෙදා ඇත. ඒවා මීන රාශියෙන් අවසන් වෙයි. ඒ අනුව අලුත් අවුරුදු උදාව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිදු වෙයි. එහිදී රාශි දෙක වෙන් කරන රේඛාව තුළින් සූර්යයාට ගමන් කිරීමට ගත වන කාලය පරාශය සූර්ය සංක්‍රාන්තිය වශයෙන් හඳුන්වයි. එම අවස්‌ථාව නොනගතය යනුවෙන් ද හඳුන්වයි. සුභ නැකත් නොමැති නොනගත කාලය තුළ කිසිදු සුභ වැඩක්‌ නොකළ යුතු බව විශ්වාශ කරයි. එසේම සත්ත්ව ප්‍රජාවගේ පරිහරණය සඳහා අත්‍යවශ්‍ය ජලය, කිරි, ගින්දර යනාදියද එම නොනගත කාලය තුළ පරිහරණය කිරීම ද සුදුසු නොවෙයි. වර්තමානයේ මෙන් විවිධ සන්නිවේදන ක්‍රම නොතිබූ යුගයෙහි සොභා දහමින් ගෙනෙන අවුරුදු පණිවුඩය ග්‍රහණය කර ගැනීමේ හැකියාව පැරණි සිංහලයාට තිබිණි.

අලුත් අවුරුද්ද උදාවීමේ දී ස්‌වභාව ධර්මය විසින් ද එයට උචිත පරිසරයක්‌ නිර්මාණය කරනු ලබයි. බක්‌ හෙවත් භාග්‍යවත් මාසය ලංවෙද්දී ගහ කොළ මලින්, ඵලින් බර වෙයි. ඒ නිසා සතා සිව්පාවා පවා එයින් පෝෂණය ලබමින් තෘප්තිමත් වෙයි. කොහා විසින් නගන මිහිරි නාදයත්, එරමුදු වැනි ගස්‌ වල පිපෙන මල් වලිනුත් නව අවුරුදු උදාව ළඟම ළඟම පැමිණෙන බව වටහා ගත් පැරණි සිංහලයා තම ගොවිතැන් කටයුතු නිමවා අස්‌වැන්න ගබඩා කර ගැනීමටත්, පියවර ගත්හ. එසේම අලුත් ඇඳුම් පැළඳුම් සූදානම් කර ගනිමින්, කැවුම් කොකිස්‌ අතිරස වැනි කැවිලි පෙවිලි සකස්‌ කර ගනිමින් නැවුම් ප්‍රබෝධමත් හැගුමෙන් කටයුතු කළහ. අවුරුදු සමග බැඳුන චාරිත්‍ර වාරිත්‍ර රැසක්‌ අප සමාජය තුළ ස්‌ථාපිතව තිබිණි. ගම්බද ප්‍රදේශවල අදද ඒවා එසේම දැක ගත හැකිය. එම සිරිත් විරිත් සියල්ල බුදු දහම ඇසුරින් පෝෂණය වූ ඒවා බව පෙනෙයි. ගොවිතැන ජීවනෝපාය කර ගත් හෙළ ගැමියා තම ගොවිතැන් සඳහා උපකාරී වන ගවයාට දක්‌වන්නේ අසීමිත සැලකිල්ලකි. ගවයා තම පවුලේ සාමාජිකයකු වශයෙන් සලකති. රත්ත, හඳයා, වැනි සුරතල් නම් පවා ගවයාට තිබිණි. පරණ අවුරුද්දේ වැඩපල අත් හරිනු ලබන්නේ ගව ගාල් පිරිසිදු කර, කහ දියර ඉස, ගවයින් නාවා, ජලය හා ආහාර දීමෙනි. වර්තමානයේ අවුරුදු කෑම මේසයට ගව මස්‌ අත්‍යවශ්‍ය අංගයක්‌ බවට පත්ව ඇත. එදා එවැනි දේවල් නොගත්තේ ඔවුන් ගවයා තම දරුවන් වශයෙන් සැලකූ බැවිනි. ගොවිතැන් කටයුතු වලට උපයෝගී කර ගත් උදළු, කැති, නගුල්, වැනි උපකරණ ද සෝදා පිරිසිදු කර, ඒවා නිසි තැන්වල තැන්පත් කරන්නේ ඉමහත් ගෞරවයෙන්ය.

හෙළ ගැමියා විදහා දැක්‌ වූවේ සැලසුම් සහගතව ජීවිතය පවත්වාගෙන යාමේ වැදගත්කමය. පරණ අවුරුද්දේ කළ යුතු කාර්යයන් නිම කිරීමේ චාරිත්‍රයක්‌ වශයෙන් නව සඳ බැලීම, හිස සෝදා නෑම, ලිපෙහි අළු ඉවත් කර, භාජනවල පරණ ජලය ඉවත් කිරීමත්, නාන ළිං සහ බොන ළිං ඉස පිරිසිදු කිරීමත්, නිවසට අළුත් හට්‌ටි මුට්‌ටි ගෙන ඒම වැනි කටයුතු මගින් සංකේතවත් කළේ පරණ දෙය ඉවත් කර, භෞතික වශයෙන් පිරිසිදු භාවයට පත් වීමයි. පසුව එළඹෙන සියලු චාරිත්‍ර සිංහල බෞද්ධයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසාම පවත්වන ඒවා බව පෙනෙයි. ඒවා සියල්ලම ආගම දහමට නැඹුරුව සිදු කරනු ලබයි. නොනගතය අවස්‌ථාව පූර්ණ වශයෙන් ආගමානුකූලව ගත කරයි. ලබන අළුත් වසර සඳහා අවශ්‍ය චිත්ත ශක්‌තිය ජනනය කරනු ලබන්නේ නොනගත කාලය තුළින් ය. නොනගත කාලයේ සියලු වැඩපල අත් හැරිය යුතු අතර, ඒ වෙනුවට පුණ්‍ය කටයුතුවල යෙදෙතිs. ඒ නිසා එය පුණ්‍ය කාලය වශයෙන් ද හඳුන්වයි. එයින් ප්‍රධාන වන්නේ විහාරස්‌ථානයට යාමයි.

වසරක්‌ තිස්‌සේ වැඩපල වල නිරතව සිටි බොහෝ දෙනකුට අමතකව පැවති ගමෙහි පන්සල සහ එහි භික්‌ෂුන් වහන්සේලා දැක බලාගෙන පිළිසඳර කථා කිරීමටත් , අනෙකුත් පුද පූජා පැවැත්වීමටත්, උපයෝගී කර ගන්නේ නොනගතය හෙවත් පුණ්‍ය කාලයයි. ඉතාමත් අසුභ වෙලාවක්‌ වශයෙන් සැලකෙන මෙම මොහොතෙහි තම තමන්ට ඇති වන අපල උපද්‍රව, අතුරු අන්ත්‍රා, වස්‌ දොස්‌ දුරු කර ගැනීමට තමන්ට තිබෙන එකම රක්‌ෂිත ස්‌ථානය වන ගමෙහි පන්සල තෝරා ගත්හ. එහිදී පුණ්‍ය කටයුතු වල යෙදීමෙන් දැහැමි සමාජයකට පදනම වැටෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඒ අනුව මල් පහන් පුදා, බුදුන් වැඳීම මගින් , තෙරුවනෙහි ආශීර්වාදය ලබා ගැනීමට පියවර ගත්හ. භික්‌ෂුන් වහන්සේගෙන් සැලකියයුතු අනුශාසනාවක්‌ ද ඇසිය හැකිය. එසේම මවු-පිය, ගුරුවරුන් වැඩිහිටියන් පාදාභිවන්දනය කර, ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගන්නේ ද නොනගත කාලය තුළය. මේවා මගින් සෝමනස්‌ස සහගත ඤාණසම්ප්‍රයුක්‌ත කුසල කර්ම සිදු කර ගත් අතර, අභිනව වර්ෂයට ඒවා ඉමහත් ආශීර්වාදයක්‌ විය. සිංහල අළුත් අවුරුද්දේ සිදුවන ඉතා වැදගත් දෙයක්‌ නම් පවුල් තුළත්, අනෙකුත් පවුල් අතරත් ඇති වන අෙන්‍යාන්‍ය සම්බන්ධතා තහවුරු කර ගැනීමයි. පව්ලේ සමගිය සමාදානය වැඩි දියුණු කර ගැනීමට අනුගමනය කරන ක්‍රියා මාර්ග රැසක්‌ ඇත. නොනගතයේ සියලු වැඩ අත් හැර, පුණ්‍ය කටයුතු වල යෙදීමෙන් අනතුරුව, ක්‍රීඩා කෙරෙහි සිත යොමු කරති. වෙනත් දිනවල ළමා ළපටීන් කෙළි සෙල්ලම් වල නිරත වුව ද දෙමාපියන් , වැඩිහිටියන්, ඒවාට සම්බන්ධ නොවෙති.

වැඩිහිටියෝ දරුවන්ට ක්‍රීඩා නවත්වා , පොත පතේ වැඩ කරන ලෙස තරවටු කරන අවස්‌ථාවන් ද ඇත. එසේ වුව ද අවුරුදු දින වල සියලු වැඩ රාජකාරි නවත්වා , කුඩා දරුවෝ ක්‍රීඩා වලට එකතු වෙති. සියලු දෙනා එක්‌ව අවුරුදු ක්‍රීඩාවල නියෑලෙති. රබන් ගැසීම , ඔන්චිලි පැදීම, පංච දැමීම, චක්‌ගුඩු ගැසීම, තාච්චි පැනීම, පොරපොල් ගැසීම, වැනි ජන ක්‍රීඩා වලට ප්‍රධාන තැනක්‌ හිමි වෙයි. වසරක්‌ තිස්‌සේ කායිකව, මානසිකව, වෙහෙසට පත්ව සිටි කාටත් පාහේ මෙම ක්‍රීඩා මගින් තෘප්තියක්‌ ලබා දෙයි. එය නිරෝගි දිවි පැවැත්මට හේතු වන්නාක්‌ මෙන්ම, මිනිසුන් අතර සමගිය වර්ධනය වීමට ද හේතු වෙයි. ගතවූ මාස දොළහක කාලය තුළ පවුලෙහි ද අමනාපකම් නොහොඳ නෝක්‌කාඩු ඇතිවීමට ඉඩ ඇත. එපමණක්‌ නොව, අසල්වාසීන් සමග ද හිත් බිදීම් ඇතිවන්නට පිළිවන. මේවා දීර්ඝ කාලීන කෝන්තර බවට පත් වුවහොත් ඇතැම් විට ලේ වැගිරීම් වලින් හෝ මරණයකින් නිමාවට පත් විය හැකිය. සිංහල අවුරුදු චාරිත්‍ර වලින් බලාපොරොත්තු වන්නේ එසේ සමාජ බිඳ වැටීමකට පත් නොවී ආරක්‌ෂා කර ගැනීමය. සිංහල අවුරුදු චාරිත්‍ර වලදී මවුපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට බුලත් හුරුළු පිළිගන්වා වැඳීම සුවිශේෂී චාරිත්‍රයකි. ඇතැම් විට දෙපා පිටි පතුලෙහි තෙල් තවරා වඳින අවස්‌ථාවන් ද ඇත. මේ සඳහා බෙහෙත් තෙල් වර්ගයක්‌ උපයෝගී කර ගනියි. මෙම චාරිත්‍රයන් ගෙන් බලාපොරොත්තු වන්නේ වසරක්‌ මුළුල්ලේ තමාගෙන් නොදැනුවත්ව හෝ වරදක්‌ සිදු වුනා නම් එයට සමාව භජනය කළ යුතු බවයි.

දරුවන් රැකියා කටයුතු සඳහා දුර බැහැර ගොස්‌ සිටිය ද අවුරුද්දට කවුරුත් පාහේ දෙමාපියන් වසන මහ ගෙදරට පැමිණෙති. ඔවුන් පැමිණෙන තුරු දෙමාපියන් ද මග බලමින් සිටිති. තම දරුවන් කුඩා කල සිට රුචියක්‌ දැක්‌වූ ආහාර පාන සූදානම් කර තැබීමට ද වග බලා ගනිති. යම් හෙයකිsන් එක්‌ දරුවකු හෝ නොපැමිණියහොත්, දෙමාපියන්ට එය දරා ගැනීමට අපහසු දුකක්‌ බවට පත් වෙයි. දරුවන් ද දෙමවුපියන්ට සහ අසල්වැසි නෑදෑ හිතවතුන් වෙනුවෙන් හැකි පරිදි තෑගිබෝග රැගෙක එති. නව අවුරුද්දේ කවුරුත් අළුත් ඇඳුම් පැළඳුම් වලින් සැරසෙති. කාසමගත් එක්‌ව කැවුම් , කොකිස්‌ , අළුවා, කිරිබත් , වැනි රස කැවිලි බෙදාහදා ගනිමින් රිසිසේ අනුභව කරමින්, සතුටු වෙති. සිංහල බෞද්ධ ජනයා තුළ පවතින මෙම සුහදශීලී බව ලබැඳියාව අන් කවර ජාතියක, සංස්‌කෘතියක දැකීමට නොහැකිය. අවුල් වියවුල් සහිත අසංවර සමාජයක ජීවත් වන අපට ඇතිවන අනන්ත සිත් තැවුල් වලට මෙම චාරිත්‍ර ඉටු කිරීම මගින් අපමණ සැනසිල්ලක්‌ ලබා ගත හැකිය. නැකතට ආහාර පිසීම සඳහා අළුතෙන් ලිප් බැඳිය යුතුය. කුස්‌සිය පිරිසිදු කළ යුතුය. අධික වැඩ කටයුතු නිසා මෙතුවක්‌ කල් මෙම වැඩ වලට කාල වේලාව නොතිබුණි. හදිසියේ යමක්‌ උයා පිහාගෙන, පාර්සල් බැඳගෙන

රැකියාවලට ගියා මිසක කුස්‌සියේ පිරිසිදු බව පිළිබඳ හෝ භාණ්‌ඩ පිළිබඳ සිත් යොමු කිරීමට නොහැකි වූවා විය හැකිය. එබැවින් කැඩී බිඳී ගිය ලිපෙහි ගොම, මැටිගා ප්‍රතිසංස්‌කරණය කර ගනිති.

මෙකල බොහෝ දෙනෙකු ප්‍රයෝජනයට ගන්නේ ගෑස්‌ කුකරයයි. ඒවා ද අබලන්වී ඇතැම් අවුරුදු අවසානයේ අළුත්වැඩියා කර ගැනීමට උනන්දු වෙති. නිවසෙහි බිත්ති සුණු පිරියම් කරති. නිවෙස්‌ තීන්ත ගා අළුත් බවක්‌ ඇති කර ගනිති. නැවුම් කළගෙඩි, හට්‌ටි මුට්‌ටි වලින් වහනය වන සුවඳ ගම පුරා පැතිරෙයි.

ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය සමගින් පිළිබිඹු වන්නේ විශ්වයේ පැවැත්ම සඳහා අවශ්‍ය කරන ශක්‌තියයි. එම කාර්යය කරන්නේ පවුලේ සාමාජිකයන් ඒකරාශී කර ගැනීමේ හැකියාව තිබෙන ගෘහණිය විසිනුයි. ආහාර පිසීමේදී දේශීය ආහාරවලට ප්‍රමුඛතාවය ලැබෙයි. ගනුදෙනු කිරීමේදී ද ප්‍රධානත්වය හිමි වන්නේ ගෘහනියටයි. ගනුදෙනු කිරීමට උපයෝගී කර ගන්නේ ජලය ලබා ගන්නා ළිඳයි. එමගින් පෙන්නුම් කළේ කළගුණ සැලකීමේ උතුම් ගුණයයි. වසරක්‌ තිස්‌සේ බීමට ජලය ලබා දුන් ළිඳ තමන්ට කළ උපකාරය අමතක කිරීමට සිංහල බෞද්ධයාට හැකියාවක්‌ නැත. තමන්ට සෙවණ දුන් බෝමැඬ දෙස සතියක්‌ ඇසිපිය නොහෙලා බලා සිටීමෙන් බුදු හිමියන් දැක්‌වූ කළ ගුණ සැලකීම සිහියට නැගෙයි. ජලයට හිතකර ඖෂධ වර්ග ඇතුළත් පසුම්බියක්‌ ළිඳට දමා , වන්දනා කර , වතුර කළයක්‌ රැගෙන පැමිණීම ළිඳ සමග ගනුදෙනු කිරීම වශයෙන් සැලකෙයි.

අතීත සිංහලයා කවදත් ආගන්තුක සත්කාරයට කැමැත්තක්‌ දක්‌වන ලදී. ආගන්තුක සත්කාරය සිංහල අවුරුද්දේ කැපී පෙනෙන අංගයකි. සතුරු මිතුරු කවර අයකුට වුව ද ආහාර පාන වලින් සංග්‍රහ කිරීම ගැමි සංස්‌කෘතියෙහි විශේෂ ලක්‌ෂණයකි. එතෙක්‌ කල් විරසකව, නඩු හබ කියාගත් උදවිය සිංහල අවුරුද්දේ සියලු අමනාපකම් අත් හැර , සමගිය තහවුරු කර ගනිති. එතෙක්‌ අමනාපයෙන් සිටි අයගේ නිවෙස්‌ වලට ගොස්‌ ආචාර සමාචාර කර ගනිමින් සුහදතාවය ප්‍රකාශ කරති.

හිස තෙල් ගෑම සිංහල අවුරුද්දේ අවසන් වශයෙන් කරනු ලබන වැදගත් චාරිත්‍රයකි. මෙහිදී ගමෙහි විහාරස්‌ථානයට ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි වෙයි. ඇතැම් විට වෙද ගෙදරදී මෙම චාරිත්‍රය ඉටු කරයි. සිල්වත්, ගුණවත් වැඩිහිටියකු ලවා සුභ මොහොතින් හිස තෙල් ගෑම සිදු කරති. තමන්ට උපකාර වන ගවයන්ගේ මෙන්ම අලි ඇතුන්ගේ ද හිස තෙල් ගාති. එම තිරිසන් සතුන් තම පවුලේ සාමාජිකයන් වශයෙන් සැලකීම සිංහල බෞද්ධයාගේ සිරිතයි. එම උතුම් සිතිවිලි ඇති වූයේ අන් දෙයක්‌ නිසා නොව, බුදු දහමෙහි ආභාෂය ලැබුණ නිසාය. ආහාර පිසීමෙන් පසු නොයිඳුල් කොටසක්‌ බුද්ධ පූජාවට තැබීමත්, විහාර වාසී භික්‌ෂුන් වහන්සේලාට පිළිගැන්වීමත් අළුත් අවුරුදු චාරිත්‍රවල ප්‍රධාන තැනක්‌ ගනියි. අනතුරුව භික්‌ෂුන් වහන්සේලා පිරිත් දේශනා කර ආශීර්වාද කරති. සියලු සුභ වේලාවන් දැනුම් දෙන්නේ පන්සලෙනි. මේ සඳහා ගණ්‌ඨා නාද කිරීමත් , හේවිසි ශබ්ද පූජාවන් පැවැත්වීමත් කරනු ලබයි.

මෙකල බොහෝ විට දක්‌නට ලැබෙන්නේ සුරාවෙන් මත්ව, සූදුවෙහි නිරත වන, බෞද්ධ කමට ඉඳුරාම පටහැනි අවුරුදු සමයකි. තමන් පවුලේ සාමාජිකයකු වශයෙන් සලකා කටයුතු කළ ගවයාගේ මාංශ පවා අනුභව කරමින් අවුරුදු චාරිත්‍ර ඉටු කළ හැක්‌කේ කෙසේද? සමගිය සමාදානය තහවුරු වන ජන ක්‍රීඩාවලට වඩා , ඔවුනොවුන් අභිබවමින් ජයග්‍රහනය ලබා ගැනීමට වෙර දරන, වෛරය, ද්වේෂය ඇති කරවන ක්‍රීඩා බොහෝ විට නිමාවට පත් වන්නේ අසමගියෙනි. ඇතැම් විට මනුෂ්‍ය ඝාතන පවා සිදුවනු දැක්‌ම කනගාටුවට කරුණකි. සමගිය සමාදානය සපිරි , වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක්‌ ඇති වේවා යන්න කාගේත් අවුරුදු පැතුම විය යුතු ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.