කෑලගසේ උපමාව - කිංසූකෝපම සුත්‍රය

පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම.

ධර්මය අවබෝධකර නො ගත් එක්‌තරා භික්‌ෂුවක්‌, රහතන් වහන්සේලා සතර නමක්‌ වෙත පිවිස, 'මහණහුගේ දර්ශනය කෙතෙකින් සුවිශුද්ධ වේ ද?' යන ප්‍රශ්නය විමසූ කල්හි, දුන් පරස්‌පර පිළිතුරු කෙරෙහි සතුටු නොවූ හෙයින්, භාග්‍යවතුන් වහන්සේ වෙත පිවිස, එම කාරණය සැලකරන ලදී. එවිට සර්වඥයන් වහන්සේ කෑල ගසක්‌ (එරබදු ගසක්‌) උපමා කොට, එම රහතන් වහන්සේලා දුන් පිළිතුරු නිවැරදි බව සනාතකර කළ දේශනය, කිංසූකෝපම සූත්‍රයේ (සං.නි-බු.ජ4-368) සඳහන් ව ඇත.

කෑල ගසක්‌ (ඉන්දියාවේ ඇති එරබදු විශේෂයකි) නොදුටූ පුද්ගලයෙක්‌, කෑල ගස දැක ඇති පුද්ගලයන් සිව් දෙනෙකුගෙන් කෑල ගස කෙසේ ද? කියා විමසූ විට තමන් කෑල ගස දැක ඇති ආකාරය විස්‌තර කරයි. කෑල ගස කලින් කලට වෙනස්‌ ස්‌වරූපයන් ගනී. එසේ හෙයින් පළමු පුද්ගලයා Ñකෑලගස දාගිය කණුවක්‌ මෙන් කලුය. ලෙස විස්‌තර කරයි. සමහර කාල වලදී කොළ හැලී පිලිස්‌සුන කළුපාට දණ්‌ඩක්‌ මෙන් කෑල ගස දිස්‌ වේ. දෙවන පුද්ගලයා 'කෑලගස මස්‌ වැදැල්ලක්‌ මෙන් ලේ පාටය' ලෙස විස්‌තර කරයි. රතුපාට මලින් පිරීගිය කාල වලදී කෑල ගස ලේ පාට වන්නේය. තෙවන පුද්ගලයා 'කෑල ගස මහරී ගසක්‌ මෙන් පැලුණු කරල් ඇත්තේ ය, ගැලවුණු පොතු ඇත්තේය' ලෙස විස්‌තර කරයි. සමහර කාලවලදී කෑල ගස අසිපත් වල කොපු මෙන් පැලුණු කරල් සහ පොතු ගැලවී පවතී. සිව්වන පුද්ගලයා 'කෑල ගස නුගරුකක්‌ මෙන් ගනසෙවණ ඇත්තේ ය' ලෙස විස්‌තර කරයි. සමහර කාල වලදී කෑල ගස කොළවලින් පිරී පවතින බැවින් නුගරුකක්‌ වැනිය.

එසේ ඒ ඒ මොහොතේ කෑල ගස දුටු පුද්ගලයා විස්‌තර කරනුයේ ඒ අවස්‌ථාවේ දුටු අයුරිනි. නමුත් පිළිතුරු වැරදි නැත. මන්ද? ඒ ඒ පුද්ගලයා කෑල ගස දකින අවස්‌ථාවේ පැවති ස්‌වභාවය ම ඔහු විස්‌තර කර ඇති බැවිනි. මෙලෙස ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලා තමතමන්ගේ අවබෝධය විවිධ

ආකාරයෙන් ප්‍රකාශ කර ඇත.

සිත පිරිසිදු කිරීමට නම් සියල්ල අවබෝධ කළ යුතුය. සර්වඥතා ඤාණයෙන් අවබෝධවන සියල්ල රහතන් වහන්සේ නමකට අවබෝධ කළ නොහැක. නමුත් අවිද්‍යාව සහ තණ්‌හාව දුරු කිරීමට අවශ්‍ය සියල්ල අවබෝධ කළ යුතුය. මෙසේ පෙර කී රහතන් වහන්සේලා තමතමන්ගේ අවබෝධය පිළිවෙලින් මෙසේ වදාරන ලදී.

භික්‌ඛු ඡන්නං ඵස්‌සායතනානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ ස්‌පර්ෂ ආයතන සයෙ හි සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

පළමු රහතන් වහන්සේ ස්‌පර්ෂ ආයතන සයෙ හි සමුදය-අස්‌තôගමය කමටහන වඩා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග ඵල වලට පත් වූ බැවින් තමන් පිරිසිදු වූ ක්‍රමය දේශනා කර ඇත. ඇස, කන, නාසය, දිව, කය සහ මන ආධ්‍යාත්මික ෂඩායතනයි. මේවා ඇතිවී (සමුදය) ඇත්තේ වර්ණ, ශබ්ද, ගන්ධ ආදී බාහිර අරමුණු ගෙන විඳීමට ඇති කැමැත්ත හෙවත් තෘෂ්ණාව නිසාත්, ඇස ආදී ආයතන ජරා-මරණ කරා යන බව නොදන්නා අවිද්‍යාව නිසාත්ය. වර්තමානයේ නැවත එසේ තෘෂ්ණාවත්, අවිද්‍යාවත් ඇතිකර නොගත්තා නම්, නැවත සළායතන හටනොගනී .එනම් අස්‌තôගමය හෙවත් නිරෝධය සිදු වේ.

භික්‌ඛු පඤ්චන්නං උපාදානක්‌ඛන්ධානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ පඤ්ච උපාදානස්‌කන්ධයාගේ සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

දෙවන රහතන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණය යන පංච උපාදානස්‌කන්ධයාගේ ඇතිවීම සහ නැතිවීම හෙවත් උදය-ව්‍යය දැකීමෙන් නිවනට පත් වූ උත්තමයෙකි. එනම් රූපයේ ඇතිවීම අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, ආහාර, උත්පාද ලක්‌ෂණය ලෙස ප්‍රත්‍ය පස්‌ ආකාරයකින්, වේදනා, සංඥා, සංඛාරවල ඇතිවීම අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, උත්පාද ලක්‌ෂණය, ස්‌පර්ෂය ලෙස ප්‍රත්‍ය ආකාර පහ බැගින් සහ විඤ්ඤාණයේ ඇතිවීමට අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නාමරූප, උත්පාද ලක්‌ෂණය ලෙස පස්‌ ආකාර බැගින් පංච උපාදානස්‌කන්ධයේ ඇතිවීමේ ප්‍රත්‍ය

විසිපහක අවබෝධයෙන් සහ ඉහත ඇතිවීමේ ප්‍රත්‍ය විසිපස්‌ ආකාරය නිරෝධයෙන් වන පනස්‌ ආකාරයක උදය-ව්‍යය අවබෝධ කරගෙන නිවන සාක්‌ෂාත් කළ බව දැක්‌වේ.

භික්‌ඛු චතුන්නං මහාභූතානං සමුදයඤ්ච අත්ථගමඤ්ච යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ සතර මහාභූතයන්ගේ

සමුදය-අස්‌තôගමය තතුසේ දත යුතුය.

තුන්වන රහතන් වහන්සේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන භූත රූපයන් සතරේ ඇතිවීම-නැතිවීම අවබෝධයෙන් නිවන සාක්‌ෂාත් කළ බව දැක්‌වේ. මෙම ස්‌වභාව ධර්මයේ පවතින ශක්‌තීන් සතර වේගයෙන් වෙනස්‌ වේ. එකිනෙක අතර ඇති සංකලනය සෑම මොහොතක දී ම වෙනස්‌ වේ. එබැවින් මේවායින් සෑදී ඇති සියලුම රූප වෙනස්‌ වේ. එනම් රූප එක්‌ ස්‌වභාවයක සිට තව ස්‌වභාවයකට පත්වන බැවින් එනම් විපරිණාමයට පත්වන බැවින්, තමන්ගේ යෑයි ගැනීමට යෝග්‍ය නොවේ. එනම් සියලු ම රූප අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම බව අවබෝධයෙන් විශුද්ධිය ලැබිය හැකි බව දැක්‌වේ.

භික්‌ඛු 'යං කිඤ්චි සමුදය ධම්මං සරීබන්තං නිරෝධධම්මන්ති යථාභූතං පජානාති - පිරිසිදුවීමට නම්, යම් භික්‌ෂුවක්‌ යම් ධර්මයක්‌ හටගැනීමේ ස්‌වභාවය ඇත්තේ නම් ඒ සියල්ල ම නැසීයාමේ ස්‌වභාවය ඇති බව' තතුසේ දත යුතුය.

සිව්වන රහතන් වහන්සේ සියලු ධර්මයන් හේතු-ප්‍රත්‍ය නිසා හටගන්නා බවත් හේතු-ප්‍රත්‍ය නිරුද්ධවීම නිසා නැසීම සිදුවන බවත් යථාභූතව අවබෝධ කරගෙන නිර්වාණය සාක්‌ෂාත් කළ උත්තමයෙකි. එනම් පටිච්චසමුප්පාදය අවබෝධයෙන් උන්වහන්සේ යථාර්ථය අවබෝධ කරගෙන ඇත. පෙර අවිද්‍යාව නිසා සකස්‌කළ සංස්‌කාරය ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ, නාම-රූප, සළායතන, ඵස්‌ස, වේදනා යන ඵලය හෙවත් විපාකය ඇතිවී ඇති බවත්, එම ඵලය නැවත දැන් අවිද්‍යාවෙන් ප්‍රත්‍යක්‌ෂ නොකර ගතහොත් නැවත ඵලයක්‌(විපාකයක්‌) ඇති නොවන බවත්, අවබෝධයෙන් ඇතිවන තැනම නැතිවන බව දන්නා යථාභූත ඥානය ඇති වී නිවන වන බව දැක්‌වේ.

භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්න අසන භික්‌ෂුවට තවදුරටත් ධර්මය අවබෝධ වන පරිදි උපමා උපමේය ඇසුරින් ධර්මය දේශනා කළ සේක. අවසානයේ භික්‌ෂුව සෝතාපන්න විය.

ප්‍රධාන රාජධානියේ සිටින චක්‍රවර්ති රජතුමා, හොඳින් පවුරු බැඳි දොරටු හයක්‌ ඇති ප්‍රත්‍යන්ත නුවරක රජ වූ, පාප මිත්‍රයන් සමඟ එක්‌ වී සුරාවට ලොල් වූ, තමන්ගේ පුත් කුමාරයා ඉන් මුදවා ගැනීමට, බලසම්පන්න යෝධයෙකු සහ පණ්‌ඩිත ඇමතියෙකු එම ප්‍රත්‍යන්ත නුවරට යවයි. නුවර දොරටුවේ සිටින නුවණැති දොරටුපල්ලා විසින් හඳුනන අය පමණක්‌ නුවරට ඇතුළු කර ගනී. නාඳුනන අය ඇතුල්කර නොගනී. යෝධයා සහ ඇමති දොරටුපල්ලාගෙන් නුවර කුමාරයා

කොහේදැයි අසා, ඇතුලේ සතර මං සන්ධියේ බව දැනගෙන, ඇතුලු නුවරට පිවිසෙති. ඇමති, පාප මිත්‍රයන් සමඟ සුරා බොමින් සිටින කුමාරයාට ඉන් මිදී යහපත් ලෙස රාජ්‍ය පාලනය කරන ලෙස

දැන්වුවත්, නො ඇසුණා මෙන් සිටි නිසා, යෝධයා කඩුව රැගෙන, කුමාරයාගේ හිසෙන් අල්ලාගෙන 'චක්‍රවර්ති රජතුමාගේ කැමැත්ත ඉටුකරනු, නැතිනම් තගේ හිස කපා දමන බව' කියා තර්ජනය කළේය. එවිට පාප මිත්‍රයෝ පලාගියහ. කුමාරයා ද බියට පත් වී අවවාදය පිළිගත්තේය. ඉන් පසු කුමාරයාව අභිෂේක කොට 'හොඳින් රාජ්‍ය පාලනය කරන ලෙස දන්වා' දෙදෙනා ම පැමිණි මගට පිළිපන්හ.

මෙහි චක්‍රවර්ති රජතුමා යනු සර්වඥයන් වහන්සේය. ප්‍රත්‍යන්ත රාජ්‍ය යනු අපගේ ශරීරයයි. දොරටු සය යනු සළායතනයි. සුරාවට ලොල් වූ කුමාරයා යනු අපිරිසිදු සිතයි. දොරටුපල්ලා යනු සතියයි. පාප මිත්‍රයන් යනු පංච නීවරණයි. යෝධයා යනු සමථය යි. පණ්‌ඩිත ඇමති යනු විදර්ශනාව යි. සතර මං සන්ධිය යනු වස්‌තු රූපය යි. අවවාදය යනු නිවන යි. ආ මග යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.

භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය වන්නේ නිවන් අවබෝධ කරන ලෙසයි. නමුත් අප ශරීරය නැමති නුවර පංච නීවරණයන් නැමති පාප මිත්‍රයන් සිටින නිසා, සිතේ යථාභූත ඤාණය ඇති නොවේ. එබැවින් සමථය වඩා නීවරණ පහ කරමින් පළමු, දෙවන, තෙවන, සිව්වන ආදී ධ්‍යාන ඇතිකරගෙන, ඒ තුළින් විදර්ශනාව වඩවා යථාර්ථය අවබෝධ කළ යුතුය. මේ සඳහා සිහිය පැවතිය යුතු අතර, ආර්ය අෂ්ටාංගික මාර්ගය ම භාවිත කළ යුතු වේ. නිවන අවබෝධයේ දී සමථයත්, විදර්ශනාවත් දෙකම අතහැරේ. අතහැරිය යුතු නැත. අවබෝධයෙන් ම අතහැරේ.

මේ අනුව බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මය අවබෝධ කරගැනීමේ ක්‍රම බොහොමයක්‌ ඇත. ඒ අනුව ගමන් කරමින් නිර්වාණය ම සාක්‌ෂාත් කරගැනීමට වීර්ය කරමු.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.