ගත සිත නිවන ගමේ පන්සල

අලුතැපොල ගණේකන්ද පුරාණ රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ ඳ
කථිකාචාර්ය ආචාර්ය, රාජකීය පණ්‌ඩිත පූජ්‍ය
නැදලගමුවේ ධම්මදින්න හිමි



පසුගිය දිනක අපේ පන්සලට පැමිණි එක්‌තරා පිරිසක්‌ අපේ පන්සලේ පහන් වැටක්‌ ඉදිකිරීමට කැමැත්ත ප්‍රකාශ කළ හ. ''මේ පිංවතුන් කොයි ප්‍රදේශයේ ද?'' මම ඇසුවෙමි.

''ස්‌වාමීන්වහන්ස අපි අනුරාධපුරය පැත්තේ පිරිසක්‌, දැනට රස්‌සාව කරන්නේ කටුනායක වෙළෙඳ කලාපය තුළ යි.'' ඒ පිරිස පිළිතුරු දුන්හ.

''මහත්තයාලගේ අදහස බොහොම හොඳයි. නමුත් ඇයි ඔයගොල්ලන්ගේ ගම්පලාතේ පන්සලේ මේ වගේ කටයුත්තක්‌ කරන්න හිතුවේ නැත්තේ?'' මම නැවතත් ඇසුවෙමි.

''හාමුදුරුවනේ, අපේ පන්සල්වලට වඩා මේ පන්සල් ලොකු යි නේ. අනික පන්සලත් ප්‍රසිද්ධ යි'' අපි මෙහේ පහන් වැටක්‌ ඉදි කළා ම ඒක වැඩි පිරිසක්‌ දකිනවා, ප්‍රයෝජනයක්‌ ගන්නවා. ඒ වගේම අපිටත් සතුටක්‌.'' ඒ පිරිස නැවතත් කීවෝය.

''නමුත් මහත්මයාලා ගමේ පන්සලේ පහන් වැට ඉදි කළොත් එහෙ පිංවතුන් ඒක පාවිච්චි කරනවා නේද? ගමේ පන්සලට කරන ලොකු පූජාවක්‌ නේද? ගමේ දායකයන්ටත් ලොකු ශක්‌තියක්‌ නේද?''

මම එසේ ඇසුවෙමි. ඒ සියලු දෙනා නිශ්ශබ්දව සිටියා මිස උත්තර දෙන්නට ගියේ නැත.

ගමේ පන්සලේ වටිනාකම මැනවින් තේරුම්ගෙන සිටියේ අතීත බෞද්ධයා ය. පෙර රජ දවස පටන් බටහිර ජාතීන් ලංකාව ආක්‍රමණය කරන තුරු ම ගමක තිබුණ ඉතාමත් ම බලසම්පන්න ස්‌ථානය වූයේ ගමේ පන්සල යි. දරුවෙකු උපදින්නටත් පෙර පටන් ඒ දරුවන්ගේ ජීවිතයට Rජුව ම බලපාන ස්‌ථානය වූයේ ගමේ පන්සල යි.

අම්මලා දරුවන් වෙනුවෙන් පුද පූජා පවත්වමින් බාරහාර වූයේ ගමේ පන්සලේ බෝධීන් වහන්සේට යි. දරුවා ඉපදීමට පෙර සිට ඒ වෙනුවෙන් සෙත් පිරිත් දේශනා සිද්ධ කරවා ගත්තේ ගමේ පන්සලේ හාමුදුරුවන් වහන්සේලාගෙනි. දරුවා ලොකු මහත් වූ විට අකුරු කියවූයේ ද, වේලාපත්කඩය හදවා ගත්තේ ද ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙනි. ගමේ පන්සලේ හාමුදුරුවෝ හොඳ උගතෙකි. ඒ නිසා මූලික අධ්‍යාපනය ලබා දුන්නේ ද ගමේ පන්සලේ හාමුදුරුවෝ ය. ඉහළ අධ්‍යාපනයක්‌ ලබා ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම දරුවන්ට ලබා දුන්නේ ද ගමේ පන්සලේ හාමුදුරුවන් විසිනි.

මීට අමතරව උපතේ පටන් මරණය තෙක්‌ සාමාන්‍ය ගැමියෙකුට අවශ්‍ය කරන සියලු ආගමික හා සාමාජික මඟපෙන්වීම් කෙරුණේ ගමේ පන්සලෙනි. සාමාන්‍ය ගැමියන් උපන් දින හෝ විවාහ දින පිළිබඳව එතරම් සැලකිලිමත් නොවුණත් කෙනෙකු මියගිය දිනය පිළිබඳ ඉතාමත් ම සැලකිලිමත් වූ අතර එය ආගමානුකූල ව සිහිපත් කළයුතු බව වටහාගෙන සිටි බව පෙනේ. හත් දවස, තුන් මාසය හා අවුරුද්ද නමැති කාල වකවානු මුල් කරගෙන මියගිය අය වෙනුවෙන් ඔවුන් දානාදී පිංකම් කළේ ඒ නිසා ය. මේ සෑම අවස්‌ථාවක ම ප්‍රමුඛස්‌ථානය ලැබුණේ ගමේ පන්සලට ය.

ගමේ පන්සල හොඳට ඉඩකඩ තිබුණු කාටත් රැස්‌විය හැකි වඩාත් පහසු ම ස්‌ථානය විය. එහි ධර්ම ශාලාව මේ සඳහා කදිම නිදසුනකි. සාමාන්‍යයෙන් ගමේ පන්සලේ තිබුණ පැරණි ධර්මශාලාව හරි හතරැස්‌ ගොඩනැඟිල්ලකි. එය කොට බිත්තිවලින් වටවුණු හතර පැත්තෙන් ගේට්‌ටු සහිත දොරටු හතරක්‌ ඇති හරි මැද උස්‌ව තැනූ හරි හතරැස්‌ වේදිකාවක්‌ සහිත කැණිමඬලකින් යුක්‌ත ශාලාවකි. සතර දිශාවෙන් ම පැමිණෙන සතර පේරුවේ සැමට ධර්මශාලාව විවෘත වූ අතර ඔවුන් උදෙසා පන්සලේ හාමුදුරුවෝ ධර්මය දේශනා කළේ මෙම මැද පිහිටි වේදිකාවේ සිට ය. ඊට හරියට ම ඉහළින් පිහිටා තිබුණේ කැණිමඬල ය. මුළු වහළයේ ම ලී ටික එකට අල්ලාගෙන සිටින මේ කැණිමඬල සත්වයාගේ සියලූ ආශාවන් එකට අල්ලාගෙන සිටින තෘෂ්ණාව බඳු යෑයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ විගස තමාට ම දෙසා ගත් සේක.

ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉතාමත් ම හොඳ සවන් දෙන්නා වූහ. සවසට පන්සලට පැමිණෙන ගැමියන් එකා දෙන්නා තම තමන් කළ කී දේවල් පිළිබඳ නොවලහා කීවේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට ය. ඒවා ඇතැම් විට දුක්‌ගැනවිලි විය. තවත් විටක පුරාඡේරුකම් විය. සමහර විට චෝදනා ය, නැත්නම් කුමක්‌ හෝ ගැන ප්‍රශ්නයක්‌ ය, පවුල් ප්‍රශ්න ද බොහෝ ය, අසල්වැසියන්ගේ නොපනත්කම් ද අඩු නැත. මේ සෑම අවස්‌ථාවකදීම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ හොඳ ම සවන්දෙන්නා වූහ. උන්වහන්සේ කාටවත් දොස්‌ නොකීවද උන්වහන්සේ සමඟ කථා කිරීමෙන් ගැමියන්ගේ සිත් සතුටට පත් විය.

ගමේ පන්සලේ විහාරගේ පන්සලේ හාමුදුරුවන් වැඩසිටි ලැගුම්ගෙටත් වඩා සැලකුම් ලැබුවේ ය. ආවාස ගෙවල් තනා තිබුණේ බොහෝ සරල සේ ය. නමුත් විහාර ගේ බොහෝ සේ ආටෝප සහිත ය. එහි මකර තොරණ විය. මුරගල් විය. දේව රූප හා කොරවක්‌ගල් ද විය. මුලට ම සඳකඩපහණ ද නොතිබුණාම නොවේ. බුදුපිළිම වහන්සේ සහිත බුදු කුටිය හැමදාම අඩ අඳුරෙන් යුක්‌ත ය. පහනක්‌ දැල්වුවත් එහි අඩ අඳුර නොමැකෙන සුලු ය. ඒ අඩ අඳුර තුළින් බුදුරදුන්ගේ මුහුණ අපැහැදිලිs සේ පෙනේ. එය ඉතා විශාල ය, නිශ්චල ය, නමුත් කිව නොහැකි තරම් ශාන්ත ය. මේ නිසා බුදු කුටියට වන් ගැමියා බිය මුසු ගෞරවයක්‌ හා භක්‌තියක්‌ ඇති කර ගනී. සාමාන්‍ය ගැමියා දකින්නේ විහාර ගේ තුළ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ ජීවමාන ලෙස ය. ඒ නිසා ඔවුහු උන්වහන්සේට දානය පූජා කරති. වන්දනා කරති. දුක්‌ ගැනවිලි ඉදිරිපත් කරති.

ගමේ පන්සල කවදාවත් ගැමියාට බරක්‌ නොවිණි. පන්සලට දානය ගෙන ගොස්‌ බුද්ධ පූජාව පවත්වා හාමුදුරුවන්ට දානය පූජා කිරීම තමන්ගේ වගකීමක්‌ ලෙස ගැමියෝ සැලකූහ. ගමේ පන්සලේ සෑම ඉදිකිරීමක්‌ ම තිබුණේ ගමට සෑහෙන පරිදි ය. ගමේ පන්සලේ වන්දනා කරුවෝ නොසිටියහ. සෑම දිනක ම එහි නිශ්ශබ්ද හා කිව නොහැකි තරම් ශාන්ත බවක්‌ දක්‌නට තිබුණ මුත් පොහෝ දා බොහෝ කලබලකාරී විය. විවිධ පිංකම් එදිනට පැවති අතර පන්සලට අවශ්‍ය මුදලක්‌ එකතුකර ගන්නට එදිනට යම් යම් වැඩසටහන් යොදා නොගත්තා නොවේ. එබඳු වැඩසටහන් අතර ප්‍රමුඛස්‌ථානය ගත්තේ සල්පිල් ය. සල්පිලේ ප්‍රධානත්වයක්‌ ගත් අංගයක්‌ නම් මල් වට්‌ටි වෙන්දේසිය යි. ඉතා අලංකාර හා සිත්ගන්නා සුලු අයුරින් ලොකුවට සකස්‌ කළ මල්වට්‌ටිsයක්‌ වෙන්දේසියට තබන අතර වැඩිම ඉල්ලුමට එය අලෙවි වේ. එය මිලට ගන්නා අය ඉතා ආඩම්බරයෙන් එය බුදුරදුන්ට පුදති. මල් වට්‌ටි වෙන්දේසිය අද ඇතැම් අය විවේචනය කළත් එයින් ගමේ පන්සලට සැලකිය යුතු මුදලක්‌ ලැබුණු අතර සල්පිල ද වර්ණවත් විය. නිතරම ගැමියන් සල්පිලට රැගෙන ආවේ විවිධ රසකැවිලි මුල්, අත්කම් භාණ්‌ඩ, අල මුල්, කජු මුල් වැනි දේ ය. ඒවා අතර නියම 'කජු මුල්' ද විය.

ගමේ පන්සලේ සුදෝ සුදු පැහැති දාගැබ එතරම් විශාල නැත. එය දුටු විගස ගැමි සිත තැන්පත් වේ. නමුත් අතුපතර විහිදා වැඩී ඇති බෝරුක දුටු විට ගැමියන්ගේ සිත් තුළ භය පක්‌ෂපාත ස්‌වභාවයක්‌ ඇති වේ. එය වඩාත් තීව්‍ර වන්නේ සුළඟට බෝ කොළ ළෙල දෙන විට ය. එවිට නැඟෙන හඬ සිලි සිලියකට වඩා 'හෝ හෝ' ගානා හඬකට සමාන ය. මේ නිසා බෝ ගස මුල වඩා හාස්‌කම් ඇති බවත් දෙවියන් පවා බෝධියට අධිගෘහිත බවත් ගැමියෝ විශ්වාස කරති.

ගමේ පන්සලේ විවිධ මල් වර්ග ද දක්‌නට තිබුණි. කිරි ඉද්ද, වතු සුද්ද, අරලිය, සමන් පිච්ච වැනි මල් ගස්‌වලින් පන්සල පිරී තිබිණි. අලුයම පිබිදෙන ලොකු හාමුදුරුවන් මල් වට්‌ටියක්‌ නෙළාගෙන විහාරයට වැඩම කොට බෝමළු, සෑමළු ඇමදීම අපේ ගමේ පන්සලේ අසිරිය දෙගුණ තෙගුණ කිරීමට සමත් විය.

ගමේ පන්සලට තිබුණු ළපටි දැඟලිල්ල තමයි පන්සලේ චූටි හාමුදුරුවෝ. චූටි හාමුදුරුවෝ ළපැටි සිනාවෙන් මුව සරසාගෙන එහෙ මෙහෙ දුව යන විට වැඩිපුර ම සෙනෙහස පෑවේ ගමේ අම්මලා ය. ඒ අම්මලා ලොකු හාමුදුරුවන්ට පෙනෙන හෝ නොපෙනෙන සේ රසකැවිලි මුල්, කජු මුල් හෝ සූකිරි මුල් චූටි හාමුදුරුවන්ගේ අතට දුන්නේ පුදුම සෙනෙහසකිනි.

ගැමියා නිවන ගැන වැඩි යමක්‌ නොදනී. නමුත් ඒ අයගේ සිත් බොහෝ සේ නිමල ය. මහා බලාපොරොත්තු ගොඩක්‌ ඔවුන්ගේ සිත් වල දක්‌නට නොවීය. ඒ නිසා සිත්තැවුල් අඩු නිසාදෝ භාවනා කරමින් බලෙන් සිත තවන්නට ඔවුන්ට අවශ්‍ය නොවූ සෙයකි.

ගමේ පන්සල විශාල නොවුණත් ගැමියාට ගමේ පන්සල හැර වෙනත් තැනක්‌ ගැන සිතීමට අවශ්‍ය නොවීය. ඒ මන්ද කිවහොත් ගැමියාට අවශ්‍ය සැනසීම බොහෝ දුරට ගමේ පන්සලෙන් ලැබුණු නිසා ය. රටපුරා කොහේ කරක්‌ ගැසුවත් ගැමියා අලුත් අවුරුද්දට ගමට එයි. ගමට ආ ගැමියා ගමේ පන්සලට යැමට අමතක නොකරයි. ගමේ පන්සලට යන ගැමියා කුමන තරාතිරමක අයෙකු වුවත් ලොකු හාමුදුරුවන්ට බුලත් අතක්‌ දී වැඳ බිම වාඩි වී සුවදුක්‌ කතා කරයි.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.