බෝධි මළුව ඇමදීමේ ආනිසංස

සකංසම්මඡ්ජක හිමි විපස්‌සී බුදු රජුන් බුදුවීමට පිටදුන් පළොල් බෝධි මළුව ඇමදීමේ පිනෙන් පහත සඳහන් අනුසස්‌ ලැබුවා හ.

- නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ.

- පිරිසිදු පුද්ගලයෙක්‌ වේ.

- වැරදි නැති නිර්මල පුද්ගලයෙක්‌ වේ.

- ශෝක නො දැනේ.

- චිත්ත පීඩා දැවිලි නො වේ.

- කුෂ්ඨ රෝග නො සෑදේ.

- ගෙඩි රෝග නො සෑදේ.

- කැසිලි රෝග නො සෑදේ.

- මී මැස්‌මොර නො සෑදේ.

- විතච්කා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නො සෑදේ.

- දද රෝග නො සෑදේ.

- කසා සැරව ගලන රෝග නො සෑදේ.

- වැලපීම් නැත්තෙක්‌ වේ.

- තැති නො ගනිත්.

- සෘජු සිත් ඇත්තෙක්‌ වේ.

- පැහැදිලි සිත් ඇත්තෙක්‌ වේ.

කැමති කැමති සමාධීන් ලැබීමේ ශක්‌තිය ලැබේ.

(අපදාන පාලි 421 වන අපදානය)

බෝධි සම්මඡ්ජක හිමි ට පෙර ජීවිතයකදී බෝමළුවේ ගොඩ ගැසුණු බෝපත් දැක එය ගෙන බැහැරට දැමූ පිනින් අනුසස්‌ 20 ක්‌ ලැබී ඇත. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් තැන්පත් සිතින් නුවණ යොදා බෝමළුව ඇමැද්දත් පහත සඳහන් විපාක ලැබේ.

- දුගතියට නො වැටී දෙව් මිනිස්‌ සැප ලැබේ.

- උසස්‌ කුලයකම ඉපදේ.

- මනා අඟ පසඟ ඇත්තෙක්‌ වේ.

- ආරෝහ පරිණාහ දේහයක්‌ ලැබේ.

- පිරිපුන් අවයව ඇත්තෙක්‌ වේ.

- විශිෂ්ට රූප සම්පත් ලැබේ.

- රන්වන් පාට දේහයක්‌ ලැබේ.

- මෘදු මොලොක්‌ සිවියක්‌ ඇත්තෙක්‌ වේ.

- සිනිඳු සියුමැලි ජීවිතයක්‌ ලැබේ.

- සිරුරේ දැලි කුණු නො තැවරේ.

- අවු සුළං වලින් පීඩා නො වෙයි.

- සිරුරින් දහඩිය නො වැගිරේ.

- කායික මානසික රෝගාබාධ නැත්තෙක්‌ වේ.

- සතුරන් නැත්තෙක්‌ වේ

- නො අඩු වූ භෝග සම්පත් ලැබේ.

- ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් බියක්‌ නො වේ.

- තමාගේ සිත නො රිදවන සේවක සේවිකාවන් ලැබේ.

- අකල් මරණයන්ට පත් නො වේ.

- සියල්ලෝ ම තමාට සැප කැමැත්තෝ ම වෙත්.

- මහා යසස්‌ ඇත්තේ වේ.

(අපදාන පාලි 526 වන අපදානය)

අවසානයේ මේ පින නිවනට ද උපනිශ්‍රය වී නිවන් සැප ද ගෙන දෙන්නා හ.

සත්පුරුෂයිනි, ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්‌තව එකඟ වූ නොවිසිරුණු සිතින් කරන පුංචි දෙයක්‌ වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

ඉදිකටු පූජාවේ අනිසංස

සුවිදායක හිමි විපස්‌සී බුදුරජුන්ට ඉදිකටු පූජා කළ පිනින් හත් වරක්‌ සක්‌විති රජවිය. (94 වන අපදානය)

පිළින්දිවච්ඡ අපදානයට අනුව මේ විපාක ලැබෙන්නා හ.

කුකුස්‌ සිඳලීමේ ශක්‌තිය ලැබේ. සැක නැත්තෙකු වේ.

- විශිෂ්ට රූප සම්පත් ලැබේ.

- බොහෝ භෝග සම්පත් ලැබේ.

- තීක්‌ෂණ නුවණක්‌ ලැබේ.

ගැඹුරු වූ සියුම් ධර්ම කාරණා වහා වටහා ගැනීමේ ශක්‌තියක්‌ ඇත්තෙකු වන්නේ ය.

සත්පුරුෂයිනි, ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්‌තව එකඟ වූ නොවිසිරුණු සිතින් කරන පුංචි දෙයක්‌ වුව ද මහත් ඵල මහානිශංස ගෙන දේ.

වස්‌ත්‍ර පූජාවේ ආනිසංස

ඒකදුස්‌ස දායක හිමි පැහැදුණු සිතින් නුවණ යොදා පියුමතුරා බුදුරජුන්ට එක්‌ වස්‌ත්‍රයක්‌ පිදූ පිනින් තිස්‌හය වතාවක්‌ සක්‌ දෙවිඳු විය. තිස්‌තුන් වතාවක්‌ සක්‌විති රජ වුණේ ය. මනුලොව දී පහත සඳහන් අනුසස්‌ ලැබී ඇත්තා හ.

- රූමත් පුද්ගලයෙකු වේ..

- ගුණවන්තයෙකු වේ.

- සතුරන්ට නො මැඬිය හැකි ය.

- බොහෝ වස්‌ත්‍ර ලැබෙත්.

- බොහෝ භෝග සම්පත් ලබති.

- උඩු වියන් ලැබේ.

- රන්වන් පාට ශරීරයක්‌ ලැබේ.

මීට අමතරව පිළින්දිවච්ඡ අපදානයට අනුව මේ ආනිශංස ද ලැබෙන්නා හ.

- දූවිලි නො ඇලෙන සමක්‌ ඇත්තෙකු වේ.

- කාන්තිමත් ශරීරයක්‌ ලැබේ.

- සිනිඳු ශරීරයක්‌ ලැබේ.

සත්පුරුෂයිනි, ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්‌තව එකඟ වූ නො විසිරුණු සිතින් කරන පුංචි දෙයක්‌ වුව ද මහත් ඵල ආනිශංස ගෙන දේ.

පහන් පූජාවේ අනුසස්‌

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේගේ චෛත්‍යයට එක්‌ රැයක්‌ එක්‌ පහනක්‌ පුදා පහත සඳහන් ආනිශංස ලැබූ බව ථේරි අපදානයේ දක්‌වා ඇත්තේ ය.

- සෑම තැනම තමාට ප්‍රදීප දැල් වේ.

- දිවැස්‌ ලැබේ.

- තීක්‌ෂණ නුවණ ලැබේ.

- යසසින් දිලිසෙත්.

- ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්.

- උසස්‌ කුල සම්පත් ඇත්තෙකු ඟෙ.

සත්පුරුෂයිනි, ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්‌තව එකඟ වූ නො විසිරුණු සිතින් කරන පුංචි දෙයක්‌ වුව ද මහත් ඵල මහානිශංස ගෙන දේ.

ධර්ම ශ්‍රවණයේ ආනිසංස

ඒකධම්ම සවනීය හිමි පියුමතුරා බුදුසසුනේදී එක්‌ ධර්ම දේශනයක්‌ ශ්‍රවණය කළ පිනින් තිස්‌ එක්‌ වාරයක්‌ සක්‌ දෙවිඳු විය. විසි එක්‌ වතාවක්‌ සක්‌විති රජ විය.

(අපදාන පාලි 427 වන අපදානය)

ධම්ම සවනීය හිමි පෙර තැන්පත් සමාධිගත සිතින් නුවණ යොදා අනිච්ච සඤ්ඤා පටිසංයුක්‌ත එක්‌ ධර්ම දේශනයක්‌ ශ්‍රවණය කළ පිනින්,

- කල්ප තිස්‌ දහසක්‌ දෙව් සැප වින්දේ ය.

- පනස්‌ එක්‌ වතාවක්‌ දිව්‍ය රාජ්‍යය ලැබුවේ ය.

- හැත්තෑ එක්‌ වාරයක්‌ සක්‌විති රජවිය.

අප බුදු සසුනේ දී ඒ පින ද උපනිශ්‍රය වී සත් හැවිරිදි වියේදීම රහත් බව ලැබුඟෙ ය. එබැවින් තැන්පත් සිතකින් ධර්මය ශ්‍රවණය කරත්වා.

(අපදාන 339 වන අපදානය)

සත්පුරුෂයිනි, ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්‌තව එකඟ වූ නො විසිරුණු සිතින් කරන පුංචි දෙයක්‌ වුව ද මහත් ඵල මහානිශංස ගෙන දේ.

සුවඳ දුම් පූජාවේ අනුසස්‌

පිළින්නවච්ජ මහ රහතන් වහන්සේ සුවඳ දුම් පිදූ පිනෙන් අනුසස්‌ දහයක්‌ ලැබූ බව දක්‌වා ඇත.

- සුවඳවත් සිරුරක්‌ ඇත්තෙකු ඟෙ.

- කීර්තිමත් ජීවිතයක්‌ ලැබේ.

- යසස්‌ ඇත්තෙකු වේ.

- වහා වැටහෙන නුවණක්‌ ලැබේ.

- තීක්‌ෂණ නුවණ ලැබේ.

- භූරි පඤ්ඤ යන නුවණ ලැබේ.

- හාසු පඤ්ඤ නුවණ ලැබේ.

- ගැඹුරු නුවණ ඇත්තෙකු වේ.

- විපුල වූ නුවණ ඇත්තෙකු වේ.

- ජවන ප්‍රඥාව ලැබේ.

පිළින්දිදවච්ජ මහ රහතන් වහන්සේ, පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර ඉපිද රජතුමා ගේ මාළිගයේ දොරටු පාලකයෙකු ලෙස සේවය කරන කාලයේ එම බුදුරජුන් ගේ පියා වූ ආනන්ද මහ රජතුමා, තම නුවර දී වෙන කිසිවෙකුට අවස්‌ථාවක්‌ නොදී බුදුන් ප්‍රමුඛ මහා සංඝ රත්නයට සිව්පසයෙන් උපස්‌ථාන කළේ ය. රජු හා කුඩා කල සිට මිතුරන්ව සිටි හෙයින් රජුගෙන් ලද වරයක්‌ සඳහා බුදුන් ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම පිණිස අවස්‌ථාවක්‌ ලබා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටින ලදී. මෙයට අකැමැති වූ රජු පසුව අධිකරණ විනිශ්චයකින් ලබා දුන් තීන්දුව මත නො කඩවා මාස තුනක්‌ බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් ඇප උපස්‌ථානය සඳහා මොහුට ඉඩ සලසා දෙන ලදී. මේ ලද අවස්‌ථාවෙන් නො කඩවා තුන් මසක්‌ මුළුල්ලේ බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට සිව්පසයෙන් උපස්‌ථාන කළ පිනින් මේ තරම් අනුහසක්‌ ලැබ අවසානයේ ගෞතම බුදුසසුනේ දෙවියන්ට ප්‍රිය වූවන් අතර අග තනතුරද ලබන ලදී. එබැවින් සත් පුරුෂයෝ තැන්පත් සිතින් යුතුව ම කුසල කර්ම කරත්වා.

සත්පුරුෂයිනි, ශ්‍රද්ධාව අවදි කරගෙන නුවණින් යුක්‌තව එකඟ වූ නො විසිරුණු සිතින් කරන පුංචි දෙයක්‌ වුව ද මහත් ඵල මහානිශංස ගෙන දේ.

(අපදාන පාලිය පිළින්දිදවච්ජ අපදානය)

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.