සැප ආසන භාවිතය බුදු දහමට පටහැනිද?

ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද,
රාජකීය පණ්‌ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

''උච්චාසයන මහාසයනා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යන ශික්‌ෂාපදය ඔබ හොඳින් අසා ඇතිවාට සැකයක්‌ නැත. පෝයදාට පන්සල් ගොස්‌ සිල් සමාදන් වීමේදී අපි මේ ශික්‌ෂාපදය සමාදන් වෙමු. අටසිල් දස සිල් යන සීල දෙවර්ගයේම මේ ශික්‌ෂාපදය දක්‌නට ඇත. බොහෝවිට අපි සිල්සමාදන්ව එදින බිම වාඩිවී දහම් අසමින් භාවනා කරමින් කාලය ගත කරන්නෙමු. මන්ද නිවසේදී මෙන් පුටුවල, සෝපාවල මෙලෙස සිල් සමාදන්ව අසුන් ගැනීම නුසුදුසු බව අප සිතන බැවිනි. උච්චාසයන නමින් හැඳින්වෙනුයේ උස්‌ අසුන්ය. ඇඳන්, සෝපා, පුටු ආදි සැප පහසුකම් ඇති ආසනයි. මහ අසුන් නම් හිඳගත්විට හෝ සයනය කරන විට සිරුර ඒ අසුන් හෝ සයන තුළට ගිලාබස්‌වන අයුරින් විල්ලුද ආදියෙන් නිම වූ ඉතා සුවපහසු සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ ආසන, පුටු, සෝපා, ඇඳන්, කවිච්චි ආදි හිඳීමට, සයනයට භාවිත වන සැප පහසු උපකරණයි. සාමාන්‍ය නිවසක පුටු, ඇඳන්, සෝපා, කවිච්චි ආදියෙහි මේ ලක්‌ෂණ අඩු වැඩි වශයෙන් දක්‌නට ඇත. ගිහි නිවෙස්‌වල ඔවුනට ඇති වත්පොහොසත්කම්වල ප්‍රමාණයට මේවායේ සුඛෝපභෝගී බවේ අඩුවැඩිකම් තිබේ. මිල මුදල් යහමින් ඇති නිවෙස්‌වල දක්‌නට ලැබෙන පුටු, සයන, කවිච්චි, සෝපා ආදියෙහි ඇති සුඛෝපභෝගිත්වය එසේ මිල මුදල් නොමැති නිවෙස්‌වල ඇති එබඳු දේවලට වඩා වැඩි බව දැකගත හැකිය. මෙසේ හිඳීමට,සයනයට භාවිතකරන උපකරණවල සුඛෝපභෝගිත්වය උපරිමව තබාගැනීමට ඒ සඳහා මිනිසුන් මෙලෙස යහමින් මිල මුදල් වියපැහැදම් කරන්නේ මන්ද? ස්‌පර්ශකාමය කෙරෙහි ඇති තෘෂ්ණාව මීට හේතුවයි. මානව සිරුරේ සම පිහිටි සෑම ස්‌ථානයකම සංවේදී ස්‌නායුතන්තු ඇත.සමට ස්‌පර්ශ වන සෑම දෙයක්‌ම වේදනා ලෙස මොළයට සංඥා යවනු ලබන අතර මානව මොළය මෙය හඳුනාගෙන එය කුමන ස්‌වරූපයක වේදනාවක්‌දැයි ක්‌ෂණිකව සංජානනය කරනු ලබයි.

මානව ස්‌නායු පද්ධතියේ කාර්යභාරය වේදනා දැනීමේ ක්‍රියාවලිය වේදනා සංජානනය ලෙස හැඳින්වේ. මේ වේදනා දැනීම ඇසීම, ආඝ්‍රාණය, රසදැනීම, පෙනීම, ස්‌පර්ශය, සිතීම ආදී සය අයුරකින් සිදු වේ. ඒ අනුව ස්‌පර්ශය යනු වේදනා දැනීමේ සමස්‌ත ක්‍රියාවලියේ 1/6ක කොටසකි. එම කුඩා 1/6ක කොටස තෘප්ත කරනු පිණිස මෙලෙස මනුෂ්‍යයෝ වියපැහැදම් කරති. කාම යන පාලි වචනයේ අර්ථය කැමැති වේ යන්නයි. කැමැත්ත, රුචිකත්වය, ආශාව මෙලෙස වර්ධනය වීමෙන් තෘෂ්ණාවද, තෘෂ්ණාව වැඩිදියුණුවීමෙන් උපාදානයද, උපාදානය වැඩිදියුණුවීමෙන් පරිලාහයද ඇතිවේ. ලෝකය සමඟ බැඳීම් ඇතිවීමේදී ඒ බැඳීම ක්‍රමිකව වර්ධනය වනුයේ කාමයේ සිට පරිලාහය දක්‌වා වේදනාව දැඩිව රසවිඳීමේ වුවමනාව ඇතිවීම නිසාය. සීලය නම් විරතියයි. හෙවත් විරමණයයි. කායික හා වාචසිකව විරති ඇතිකර ගැනීම සීලයෙන් සිදු වේ. හේතු සහිතවම මේ විරතිය ඇතිකර ගනියි. අහේතුකව නොවේ. ස්‌පර්ශය ඇතිවීම හැමවිටම සැප සහගත නැත. ඇතැම්විට කටුක, දුක්‌ ස්‌පර්ශ ද ඇති වේ. වඩා නිවැරදිව කිවහොත් එලෙසට මොළය යම් යම් ස්‌පර්ශ වේදනා වටහාගනු ලැබීමයි. මේ අයුරින් ඇතැම් ස්‌පර්ශ වේදනා දුක්‌, කටුක ලෙසද තවත් ස්‌පර්ශ වේදනා සැප, සුඛ සහගත ලෙසද, ඇතැම් ස්‌පර්ශ වේදනා මේ දෙවර්ගයටම අයත් නොවන බැවින් මධ්‍යස්‌ථ උපේක්‌ෂා වේදනා ලෙසද මොළය විසින් වටහාගනු ලැබේ. සෑම ස්‌පර්ශයක්‌ම මොළය වෙත ස්‌නායු පද්ධතිය මගින් ලැබෙනුයේ සංඥාවක්‌ ලෙස පමණකි. එම සංඥා විග්‍රහකරන මොළය ඉන් පසු ඒ සංඥා, සැප, දුක්‌, උපේක්‌ෂා ලෙසට වර්ගීකරණය කරනු ලැබේ. එසේ වර්ගීකරණය කරගැනීමෙන් පසුව ඊට අදාළ ප්‍රතිචාර දක්‌වනු ලබයි. ඒ අනුව සැප වේදනාවට ආකර්ෂණය ලෙසද, දුක්‌ වේදනාවට විකර්ෂණය ලෙසද උපේක්‌ෂා වේදනාවට මධ්‍යස්‌ථ ලෙසද ප්‍රතිචාර දැක්‌වේ. මෙසේ තෙවදෑරුම් ප්‍රතික්‍රියා දැක්‌වීමට හේතුව අපගේ මනස කාලයක්‌ තිස්‌සේ වැරදි ආකල්ප පද්ධතියකට හුරුකරවනු ලැබ තිබීමයි.

කාලයක්‌ තිස්‌සේ වැරදි ආකල්ප දත්ත ලෙස ලබාදෙමින් අපගේ මනස ක්‍රමලේඛනය කිරීම මෙසේ ස්‌පර්ශ ඇතුළු සියලු වේදනා වර්ගීකරණය කිරීමටද ඒ අනුව ප්‍රතිචාර දැක්‌වීමටද හේතුවයි. මෙසේ වර්ගීකරණය කරගැනීමේ හා ප්‍රතිචාර දැක්‌වීමේ ක්‍රියාවලිය අඛණ්‌ඩව සිදුවීම වැරදි ආකල්පවලට මනස හුරුවීමට හේතුවයි. මෙය මෝහය නමින් හැඳින්වේ. මෝහය බැහැරින් ඇතිවන දෙයක්‌ නොව ඒ සමස්‌ත ක්‍රියාකාරිත්වය වරදවා වටහා ගැනීමයි. මෙලෙස හේතුඵල ක්‍රියාකාරිත්වයක ඵලය හා ඵලසමූහය යළිත් හේතු සමූහයක්‌ ලෙස ඵල සමූහයක්‌ හටගැන්වීමට සාධකය ලෙස ඉදිරිපත්වේ. චක්‍රීය ක්‍රියාවලියක්‌ ලෙස මෙය හැඳිනගත හැකිය. පටිච්ච සමුත්පාදය තුළ විග්‍රහ වනුයේ මේ චක්‍රීය ක්‍රියාවලියයි. හේතු ප්‍රත්‍යවල ක්‍රියාකාරිත්වය සූවිසි පට්‌ඨානයේ වඩා ගැඹුරින් විග්‍රහකර ඇත. පටිච්ච සමුප්පාදය හා පට්‌ඨාන ඉගැන්වීම් තුළ ෂඩ් සංවේදන ක්‍රියාකාරිත්වය පමණක්‌ නොව ඒ ඇසුරින් සත්වයා, භවගමන එහි නිරෝධයද විග්‍රහ කර ඇත.මේ ඉගැන්වීම් ගැඹුරුය. විද්‍යාත්මකය. මේ සූක්‍ෂම විශ්ලේෂණය ගණිතයේ, ශුද්ධ විද්‍යා විෂයන්වලද විද්‍යමානය. බුදු දහම කලා විෂය ධාරාවට අයත් වුවද බෞද්ධ ඉගැන්වීම් නිසි අයුරින් අවබෝධ කර ගැනීමට පාලි වචන කටපාඩම්කර තාලයකට සඡ්Cධායනා කිරීමෙන් කළ නොහැකිය. මේ පරම ගැඹුරුවූ ඉගැන්වීම් නිසි පරිදි අවබෝධ කරගත හැක්‌කේ ඊට අවශ්‍ය විශ්ලේෂණ හැකියාව සහිත ජීව විද්‍යාත්මකව බුද්ධිමත් අතලොස්‌සකට පමණකි. ත්‍රිහේතුක පටිසන්ධිය ලබා ඇතිඅය පමණක්‌ මාර්ගඵල අවබෝධයට පත්වනබව බුද්ධ දේශනාවේ සඳහන් වනුයේ එබැවිනි. ගිහිපැවිදි බොහෝ දෙනෙකු මෙකල බුදුදහම යෑයි සිතනුයේ කලා විෂය ධාරාවට අයත් ඉහතකී ජනප්‍රිය ලක්‌ෂණවලින් යුතු නොගැඹුරු කටපාඩම් බුද්ධාගමයි.

වේදනා දැනීම් ක්‍රියාවලිය ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය ඇසුරින් නිවැරදිව විග්‍රහ කර විශ්ලේෂණයකර අවබෝධ කිරීමට වෑයම් කිරීම විදර්ශනා භාවනා වැඩීමයි. එය හුදකලා ස්‌ථානයක බද්ධ පර්යංකගතව දෙනෙත්වසා සිදුකළද මෙබඳු ලිපියක්‌ කියවමින් සිදු කළද උගත් ධර්ම ධර අය හා සාකච්ඡා කරමින් සිදුකළද යමෙකු සිදු කරන දේශනයකට සවන්දෙමින් සිදුකළද කිසිදු වෙනසක්‌ නැත.වඩා වැදගත් වනුයේ ක්‍රමය නොව අවබෝධය ලැබීමයි. එකම තැනකට යාමට පාරවල් බොහෝ ගණනක්‌ ඇති සේ අවබෝධය ලැබීම පිණිස ක්‍රම විශාල සංඛ්‍යාවක්‌ තිබේ. තමාට ගැළපෙන ක්‍රමය තෝරාගෙන ඒ අනුව කටයුතු කර අවබෝධය ලැබීම තමන්ගේ රාජකාරියයි. එක්‌ අයෙකුට ගැලපෙන ක්‍රමය තවත් අයෙකුට ඒ අයුරින්ම සාර්ථක නොවේ. ඒ නිසා අනුගමනය කරන ක්‍රම පිළිබඳ වාද විවාද තර්ක කරමින් කාලය නාස්‌ති කිරීම තේරුමක්‌ නැති දෙයකි.

වේදනා දැනීම් ක්‍රියාකාරීත්වය නිසි ලෙස අවබෝධ කර ගැනීමට නම් පළමුව ඒ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම පහසුවකි. ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා බෞද්ධ ඉගැන්වීම්වල සීල විරතිය දක්‌වා ඇත. ඒ අනුව ස්‌පර්ශ වේදනා ක්‍රියාකාරීත්වය අවබෝධ කරගැනීම පහසුවීම පිණිස කායික සුඛය ඇතිවන දේ පරිහරණය කිරීමෙන් වැළකීම ශීල ශික්‌ෂාවක්‌ ලෙස දක්‌වා තිබේ. මේ ලිපියට මාතෘකා වූ උස්‌ අසුන් මහ අසුන් භාවිතා කිරීමෙන් වැළකීම සීල ශික්‌ෂාවක්‌ ලෙස ගිහි පක්‌ෂය සිල් සමාදන් වීමේදී අනුගමනය කරනු ලබයි. ගිහියන් පමණක්‌ උස්‌ අසුන් මහ අසුන් පරිහරණයෙන් වැළකීම පමණක්‌ සෑහේද? නැතහොත් පැවිදි පක්‌ෂය ඉහත කී සීල ශික්‌ෂාවෙන් නිදහස්‌ කර තිබේද? බුදුරදුන් ගිහියන්ට වෙනම නිවනකුත් පැවිද්දන්ට වෙනම නිවන් අවබෝධයකුත් දේශනා කර තිබේද? නිවැරදි බුදු දහමේ නිවන් අවබෝධය පිණිස ප්‍රතිපදා දෙකක්‌ නැත. නිවන් අවබෝධය පිණිස ඇත්තේ එකම ප්‍රතිපදාවයි. එය සමථවිපස්‌සනා, ආර්ය අෂ්ටාංගික මග්ග, මධ්‍යම ප්‍රතිපදා, සප්ත විශුද්ධි වැඩීම ආදී වශයෙන් දක්‌වා ඇත. ගිහි පැවිදි බේදය ඇතිවනුයේ මේ එකම ප්‍රතිපත්තිය අනුගමනය කරන වේගයේ ඇති වෙනස මත පමණකි. පැවිද්දා එකම ප්‍රතිපදාවේ හංසයා මෙන් වේගවත්ව ගමන් කරන අතර ගිහියා මොනරා මෙන්ද මන්දගාමී ගමනය නිරත වන බව දක්‌වා ඇත. බුද්ධ කාලයේ දී මෙය අකුරටම මේ අයුරින්ම ක්‍රියාත්මක වූ බැවින් එකල සසුන රහතුන්ගෙන් පිරී පැවතිණ. අනාගාමීඵලය ලැබූ ඡත්තපාණි, චිත්ත ආදී ගිහි උපාසකයෝද විසූහ. නමුදු මෙකල දෙපක්‌ෂයම බෙහෙවින් පිරිහී සිටිති. ඒ අතරින් ගිහියෝ අඩුම තරමින් පොහෝ දිනයට හෝ සිල් සමාදන්ව උස්‌ අසුන් මහ අසුන් පරිහරණයෙන් වැළකී මහරහතුන් අනුගමනය කරති. නමුදු පැවිද්දෝ වසරේ තුන්සිය හැටපස්‌ දවසේම උස්‌ අසුන් මහ අසුන් පරිහරණය කරති. මෙය දක්‌වනුයේ කිසිවෙකු ගැන ද්වේෂයෙන් නොව කාරුණිකව වරද පෙන්වා දී නිවැරදි කර ගැනීමේ කාරුණික සද්ෙච්තනාවෙන් බව සලකනු මැනවි. කවුරු සිදුකළත් වරද වරදමය.

බ්‍රහ්මචරිය ප්‍රතිපදාව තුළ නෙක්‌ඛම්මයට මූලිකත්වය හිමිව තිබේ. කාමයෙන් නික්‌මීම බාහිරව, අභ්‍යන්තර ලෙස සිදුවීම අත්‍යවශ්‍යය. කාමයේ ප්‍රබලම ස්‌ථානය ස්‌පර්ශ කාමයයි. කාමාශාව ඉස්‌මතු වනුයේ ස්‌පර්ශයට ඇති තෘෂ්ණාව නිසාමය. උස්‌ හා මහ අසුන් ආසන පරිහරණයෙන් සිදුවනුයේ ස්‌පර්ශ කාමය විඳීමට සිත්හි තෘෂ්ණාව වර්ධනය වීමයි. ලිංගික තෘෂ්ණාව ද ස්‌පර්ශ කාමය මැයි. ගිහි ප්‍රතිපදාව තුළ ස්‌පර්ශකාමය විරතියට මුළුමනින්ම යොමු නොවුනද පැවිදි ප්‍රතිපදාව තුළ ස්‌පර්ශකාම විරතිය අනිවාර්යය. එබඳු පැවිද්දෙකු විරතිය අත්හැර ස්‌පර්ශ කාමය විඳීමට උස්‌ අසුන් මහඅසුන් පරිහණයට යොමුවීම තුළ බෞද්ධ ප්‍රතිපදාවෙන් ඉවත් වීම පැහැදිලිව සනිටුහන් වේ. පැවිද්දා මෙලෙස මෙයට යොමුවීමට ප්‍රබල සමාජ හේතුවක්‌ පැවතිය යුතුය. මෙයට ප්‍රධාන හේතුව බුද්ධ චීවරයට මෙරට ලැබී ඇති ගරුත්වයයි. ඒ ගරුත්වය අනුව තමාගේ පැවැත්ම සකසා ගැනීම වෙනුවට ඒ ගරුත්වය අවභාවිතයට ගැනීමට යොමුව තිබීම අද දින බුදු දහමේ පරිහානියට ප්‍රබල හේතුවක්‌ව තිබේ. ඒ ගරුත්වය ඕනෑ දෙයකදී ගැලවීම ලැබීමට, සැඟවීමට භාවිත කරන ඉබිකටුවක්‌ බවට පත්කරගෙන ඇත. පාලි ත්‍රිපිටක අධ්‍යයනයට යොමුවී ඒ පිළිබඳ ගැඹුරු දැනුමක්‌ ලැබීමට භික්‌ෂුහු යොමු නොවෙති. බුදුදහමේ මතුපිට ඔපයේ ජනප්‍රිය ලක්‌ෂණ හුවා දක්‌වා චීවරය උපයෝගී කරගනිමින් මිනිස්‌ සිතේ ජාගර හැඟීම් වන ආවේගශීලිත්වය ඉස්‌මතුකරවීමට මෙකල ඔවුන් බහුලව යොමු වනුයේද එබැවිනි. සත්‍යාවබෝධය පිණිස සැබෑ බුදු මඟට ප්‍රවේශ වීමට ඔබට ශක්‌තිය ලැබේවා. ඔබ සැමට තෙරුවන් සරණයි!

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.