සාංඝික දේපළ පරිහරණය

සම්බුද්ධ ශාසනයේ අනාගත, වර්තමාන, අතීත යන කාල තුනටම අයත්වන සාංඝික දේපළ පැවිදි පිරිසට මියගිය පිරිසට කිසිම අයිතියක්‌ නොමැති වස්‌තූන් ලෙස සැලකේ. ඒ දේපළ තුළ ගරු භාණ්‌ඩ මෙන්ම ලඝූ භාණ්‌ඩද ඇත. අටමහා කුසල්වලට අයත් පූජා වස්‌තූන් අතර කෙත් වතු ආදිය ගිහියන්ට භුක්‌ති විඳීමට කිසිම අයිතියක්‌ නොමැත. නමුත් නරක්‌ වී යන ආහාර ආදිය හිරු අවරට හැරුණු පසුව පැවිදි උතුමන්ගේ අවසරය මත ගිහියන් පරිභෝජනයට ගැනීමෙන් වරදක්‌ නොවේ.

අද පන්සල්වලට ලැබෙන බොහෝ සාංඝික දේපළ දකින සමහර ගිහියන් ''පන්සල්වලට ලැබෙනවා. ඉතින් කාටවත් මුකුත් දෙන්නේ නැහැ'' යෑයි දොස්‌ කියයි. ඒ වගේම සමහර ස්‌වාමීන් වහන්සේලා සියලු සාංඝික දේපළ ගිහියන්ට ලබාදෙමින් පවුල් පෝෂණය කරයි. අතැමුන් පන්සල් සතු කෙත්වතු, ඉඩම්, ආවාස ගෙවල්, ගස්‌කොළන්වල ගෙඩි පළතුරු වර්ග රිසි සේ තමන්ට වුවමනා සේ භුක්‌ති විඳියි. ගිහියනට තමා භාරයේ තිබෙන සාංඝික දේපල නොමනා ලෙස ලබාදෙන පැවිද්දාත්, ඒවා ලබාගනු ලබන අයත් ආරාමික දේපල ගසාකන්නාත් අපාගත වනවා හැර එයින් මෙහා සුගතියක්‌ නූපදී. ඒ නිසා සාංඝික දේපල ආරක්‌ෂා කිරීමත්, රැක දීමත් සියලු ගිහි පැවිදි බෞද්ධ අපගේ යුතුකම වන්නේමය. අප ඒ ගැන විමසිලිමත්ව සොයා බලමු.

බුදුරජාණන් වහන්සේ කිසිවක්‌ තනියම බභුක්‌තිවිඳීම අගය කළේ නැත. යමක්‌ භික්‌ෂුවකට පූජා කරන්නේ නම් එය සාංඝික විය යුතුය. සාංඝික යනු අතීත, වර්තමාන, අනාගත යන භික්‌ෂු තුන් කොටසම වෙනුවෙන් පූජා කිරීමයි. අතීතයේ භික්‌ෂුන් වෙනුවෙන් වැඩ විසීමට ගල්ගුහා ආදිය පූජා කිරීමේදී එම ගුහාවේ සටහන් කළ ප්‍රසිද්ධ වැකියක්‌ විය. 'චතුදිස අගත අනගත සගස දිනෙ' එහි අදහස වූයේ සතර දිසාවෙන්ම පැමිණෙන වත්මන්, අනාගත හා අතීත සඟරුවන වෙනුවෙන් මෙම ගල් ගුහාව හෝ ලෙන පූජා කළ බවයි. ලෙන් පමණක්‌ නොව ඇඳ, පුටු, මේස, ඉඩම්, ආහාර, සිවුරු, පාත්‍රා ආදී සියල්ලම මෙම සාංඝික ක්‍රමයට යටත්ය. පුද්ගලික පිළිගැන්වීම් ප්‍රතික්‌ෂේප විය. මෙම පොදු දේපළ පරිහරණය සංඝ සමාජයේ පොදු පූජනීය හරය හා අගය විය. බුදුරජාණන් වහන්සේද මෙම නීතියට යටත්ව ක්‍රියා කළහ. දිනක්‌ තම සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරදුන් වෙත පූජාවක්‌ පිරිනැමූ විට එය තමාට නොව සංඝයාටම පූජාකරන ලෙසට ඇයට දැන්වූ අයුරු සංඝෙ ගෝතමී දේහි' යනුවෙන් මඡ්Cධිම නිකායේ දක්‌ණා විභංග සූත්‍රයේ සඳහන් වේ. ස්‌වාමීන් වහන්සේලා වෙනුවෙන් ලැබෙන දානයන්හි කල්තබා ගත හැකි ආහාරයන් ලැබුණහොත් එම ආහාර සුපිරිසිදුව පසු දිනයට පරිභෝජනයට ගැනීම සඳහා සුදුසු ආහාරයන් තබාගන්නා ලෙසද භික්‌ෂුන් වහන්සේලාට උපදෙස්‌ දුන් බුදුරජාණන් වහන්සේ සකසුරුවම, ඉතිරි කරන දේවල් අපතේ නොයවා ප්‍රයෝජනවත්ව තබා ගැනීමට වදාළේ එම දේවල් පිරිeනැමූ අයගේ වෙහෙස, මහන්සිය, වියදමද අපතේ නොයවා අර්ථවත් වීම සඳහාය.

මහින්දාගමනයෙන් පසු සිරිලක සම්බුද්ධ ශාසනය ඇතිවීමෙන් අප රට පුරාම මෙම ශාසනික නීති රීති පන්සල් අරබයා බල පැවැත්විණි. වලගම්බා රජු විසින් අභයගිරි විහාරය තනවා පෞද්ගලිකව එය එක්‌ භික්‌ෂු නමකට පූජා කරන ලද්දේ ඉපැරැණි සාංඝික නීතිය අනුගමනය නොකරමිනි. එබැවින් විනයධර මහා විහාරික භික්‌ෂු සංඝයා වහන්සේ එය අනුමත නොකළෙන් අභයගිරිය මහා විහාරයෙන් ඉවත්වී වෙනම සඟ පෙළපතක්‌ ලෙස පැවත එන්නට විය. මෙය අප රටේ ශාසන වංශ කතාවේ පළමුවන වෙන්වීම බවට පත්විය.

අප රට පාලනය කළ ඇතැම් සැදැහැවත් බෞද්ධ රජවරුන්හට රාජ්‍ය භාණ්‌ඩාගාරයේ වියදමෙන් නොව තමාගේ දහඩිය මහන්සියෙන් හරිහම්බ කරගත් මුදලින් දුප්පත් මිනිසුන් මෙන් දන් පින් කිරීමට සිත් පහළවූ අයුරු පොත්පත්වල සඳහන් වේ. එවන් අවස්‌ථාවලදී ඔවුන් ගම්වැසියන්, කුලීකාරයන් ලෙස වෙස්‌ වලාගෙන ගොස්‌ කුඹුරුවල ගොයම් කැපීමෙන්, සිටු ගෙවල්වල දර පැලීමෙන්, හරක්‌ බැලීමෙන් එදිනෙදා මිල මුදල් සපයාගෙන දන් පින් සිදු කර ඇත. මෙයින් හැඟී යන්නේ ස්‌ව උත්සාහය, ස්‌වයං රැකියාව ආදියෙන් හොයාගන්නා මිල මුදල, කුලිය, වැටුප නිරායාසයෙන් ලැබෙන දේපළට වඩා වටින බවයි. ඒ අනුව එම දිනපතා එකතු කරගන්නා සුළු මුදල් යම් තරමකට වැඩිකර සකසුරුවමින් පිළියෙළ කර පුදන පූජාව, දානය ඉතා ඉහළ ආනිශංසයක්‌ ලබාදෙන බවට සාමාන්‍ය මිනිසාගේ සිට මහ රජු දක්‌වා සිත් සතන්වල මුල් බැසගෙන තිබිණි.

අතීතයේ සිට අපිට අරපිරිමැස්‌ම පුරුදු වූයේ එහෙමය. එදා සියලුම නිවෙස්‌වල 'පිංහාල්' නැතිනම් 'මිටිහාල්' මුට්‌ටියක්‌ තිබිණි. එදිනෙදා ආහාර පිසීමේදී ලබාගන්නා සහල් නෑඹිලියට දමා ගැරීම සඳහා ගත්විට එයින් සහල් මිටක්‌ රැගෙන නිවසේ තිබෙන මුට්‌ටියට දැම්මේ කරුණු කාරණා කිහිපයක්‌ මුල් කරගෙනය.

1. යදියෙක්‌, සිඟන මිනිසෙක්‌ ආ විට දීමටය.

2. පන්සලට දානය පිරිනැමීමට ප්‍රයෝජනය පිණිසය

3. නිවසේ හිඟ පාඩුවකදී ප්‍රයෝජනයට ගනු පිණිසය.

4. අහල පහළ අයකුට අවශ්‍ය වූ විටෙක දීමටය.

මෙය පුරාණයේ නිවෙස්‌වල තිබුණු අරපිරිමැස්‌ම සංකේතවත් කරන්නකි. මීට අමතරව තවත් මෙවන් ඉතිරි කිරීමක්‌ නිවෙස්‌වල තිබිණි. එය පිං පොත් ගසයි. නිවෙසක යමෙකු මියගිය පසු ඔහුට පින්පතා පොල් ගසක්‌ පන්සලට පූජා කළේය. එම ගසේ සියලුම පොල් පන්සලට හිමිවිය. මෙවන් පිං පොල්ගස්‌ 50 ක්‌ 60ක්‌ පමණ අතීතයේ ගම් නිවෙස්‌වල පන්සල සතු විය. මෙම ගස්‌වල පොල් දායක සභාවේ අනුමැතියෙන් කඩවා විකුණා පන්සලේ දියුණුවට යොදාගන්නා ලදී. වෙසන් මාසවලදී මෙම පොල් කඩවා ඒවායෙන් තෙල් සිඳ පන්සලේ පහන් පින්කම්වලටද, වෙනත් දිනවල ආරාමයේ ආලෝකය පිණිස ද යොදා ගැනීමට දායකයෝ පුරුදු වී සිටියහ. පන්සලට අයත් පිං කුඹුරුද දායක ගොවියන් විසින් අස්‌වද්දවා ආරාමයේ වෙසෙන සිය ගණන් භික්‌ෂුන් වහන්සේගේ දන්වැට සඳහා යොදා ගත්හ. වර්තමානයේ පන්සලක ස්‌වාමීන් වහන්සේලා තුන් හතර නමක්‌ වැඩ සිටියදී අතීයේදී එසේ නොවිණි. සිතුල්පව්ව රජමහා විහාරයේම ස්‌වාමීන් වහන්සේ 12,000ක්‌ වැඩ සිටියහ. අනුරාධපුර මහා විහාරයේද, අභයගිරියේද, තිස්‌සමහාරාමයේද එක්‌ එක්‌ තැන දහස්‌ ගණනින් භික්‌ෂුන් වහන්සේ වැඩ සිටියහ. උන්වහන්සේලා දාන පිරිනැමීම සඳහා කුඹුරු ඉඩම් අක්‌කර දහස්‌ ගණනින් සාංඝික කර පූජාකර තිබිණි. මේවා ආරාමික ඉඩම්, විහාර, දේවාල ඉඩම් හා නින්දගම් ආදී වශයෙන් නම්කර පාලනය විය. අතීත දීඝවාපී මහා විහාරයට මෙවැනි ඉඩම් අක්‌කර 24000ක්‌ තිබුණු බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

මෙලෙස එම ගොඩබිම්වල, ආරාම භූමිවල සේවය කිරීමට පිරිමින් හා කාන්තාවන් අතීතයේ සිට වැටුප් ලබමින් සේවය කර ඇත. ඔවුන්ට අවශ්‍ය සියලු වියපැහැදම් සඳහා ආරාම පාලක සභා මගින් බත් වැටුප් ගෙවා ඇත. දුටුගැමුණු රජතුමන් රුවන්වැලි සෑ කර්මාන්තය කරවන විට එහි සේවය කරන සියලු දෙනාට වැටුප් ගෙවා ඇත. සමහර අය ශ්‍රද්ධාව නිසා වැටුප් නොගෙන පිනට සේවය කිරීමට ක්‍රියාකිරීම නිසා ඔවුන් වැටුප් නොගැනීම ගැන ඇසූ රජු ඔවුන්ගේ පවුල්වල සිටින දෙමාපියන්, අඹුදරුවන් සඳහා සහල් කුරක්‌කන්. උඳු වැනි ධාන්‍ය වර්ගද, ගිතෙල්, උක්‌, සකුරු ආදී මී කැකුණ තෙල්ද නිවෙස්‌වල ප්‍රයෝජනය සඳහා පිරිනමා ඇත. රජු මෙසේ කළේ පිනට දහමට ඔවුන් යෙදුණද ඔවුන්ගේ පවුල් නඩත්තු වීම අත්‍යවශ්‍ය කරුණක්‌ ලෙස සලකාය.

අරපිරිමැස්‌ම හා සාංඝික දේපළ ගැන කියෑවෙන ඓතිහාසික කතාවක්‌ මිහින්තලා විහාරය හා සබැඳිව පවතී. ඒ කතාව මෙසේය. 'අභය' නමින් හඳුන්වන සොර නායකයකු තම සොර පිරිවර සමග මිහින්තලා මහා විහාරයට රාත්‍රියක ඇතුළුවූයේ විහාරය සතු වටිනා දේපළද, ආරාමික සේල චෛත්‍යද බිඳ එහි ඇති වටිනා දේවල් සොරාගෙන යැමටය. එකල ආරාමාධිපති වශයෙන් වැඩ සිටියේ දීඝභානක අභය මා හිමියන්ය'. ආරාමයට සොරු ඇතුළුවී ඇති බව දැනගත් නායක මාහිමියෝ කුසගින්නේ සිටින අභය සොර නායකයා ඇතුළු සොර රංචුවට රාත්‍රියේ රසැති ආහාරයෙන් සංග්‍රහ කළහ. ඔවුන් අහාර ගැනීමෙන් සතුටට පත්ව රස නහර පිනාගොස්‌ නාහිමියන් අභියස වැඳ වැටී ආරාමයේ කිසිවක්‌ පැහැර නොගන්නා බවත්, මෙතැන් සිට ආරාමය වෙනත් සොරුන්ගෙන් රැකගන්නට තමන් පිරිස රැකවල් සලසන බවත් පවසා ඔවුන් පිටත්ව ගියහ. පසුදින දීඝභානක අභය හිමියන්ට චෝදනාවක්‌ දායකයන්ගෙන් එල්ල විය. චෝදනාව වූයේ සොරුන් හට ආහාරයෙන් සංග්‍රහ කොට ඔවුන්ගේ කුස්‌ පුරවා යෑවීම නොකළ යුත්තක්‌ සිදු කිරීමක්‌ ලෙසය. එසේ සාංඝික දේපළ සොරුන්ට ස්‌ව කැමැත්තෙන් පිරිනැමීම 'දුෂ්පරිහරණයක්‌' ලෙස ආරාමික ස්‌වාමීන් වහන්සේලාද නාහිමියන්ට චෝදනා කළහ. එවිට දායකයන් සහ ස්‌වාමීන් වහන්සේලා රැස්‌කරවූ නාහිමියෝ මෙසේ පවසා ඇත. එම සොරුන් ආරාමයට පැමිණියේ ආරාමය සතු වටිනා සාංඝික දේපළ කොල්ලකන්නටත්, සේල චෛත්‍යය බිඳ වටිනා නිධන් වස්‌තු පැහැරගෙන යන්නටත්ය. නමුත් මම ඔවුනට ආහාර වේලක්‌ ලබාදීමෙන් ඒ සියල්ල රැකගත්තා. මා ලබාදුන් ආහාර සියල්ලේ වටිනාකම ආරාමයේ තිබෙන පාපිස්‌නක වටිනාකම තරම්වත් නොවටී යනුවෙන් කීය.

එවිට සියලු දෙනා නාහිමියන් අරපිරිමැස්‌මෙන් තබාගත් ආහාර ඔවුනට දී වටිනා සාංඝික දේපළක්‌ රැක ගැනීමට ක්‍රියා කිරීම පිළිබඳව සතුටු වී අනුමත කර ඇත. මෙම කතා පුවත 'සමන්ත පාසාදිකා' නම් ග්‍රන්ථයේ විස්‌තරාත්මකව සඳහන් වේ.

මේ අනුව සංඝයා සතු දේපළ තමාට වුවමනා අයුරින් පාවිච්චි කළ නොහැකි අතර, තමාගේ ජීවිතය වටිනා දේපළ ආරක්‌ෂා කිරීමට සොරුන්ට මං පහරන්නන්ට පිරිනැමීම මහා සංඝයාට අවසර හිමිව ඇත. ඊට අමතරව ස්‌වාමීන් වහන්සේ නමකට දෙමාපියන්, දෙමාපියන්ගේ රැකවරණයට සිටින්නන්, තමාගේ රැකවලුන් හා පැවිදි වීමට සිටින පුහුණු වන අයට හැර වෙනත් අයට සාංඝික වූ දේපළ තම පරිභෝජනයෙන් පෙර පිරිනමන්නට හැකි බවට සංඝයා වහන්සේට නීති පැනවී ඇත. එසේ නොවන අයට තමා පරිභෝග කිරීමට පෙර කිසිවක්‌ ලබාදීමට නොහැක.

අතීතයේ අප රටේ බැංකු ක්‍රමයක්‌ ද තිබී ඇත. එය 'වෙළෙඳ ශේ්‍රණිය' ලෙස හඳුන්වා තිබේ. සිරිලක පාලනය කළ ශ්‍රී මේඝවර්ණ සිව නම් වූ ඇමැතිතුමන් මෙවන් වෙළෙඳ ශ්‍රේණියක ධාන්‍ය තැන්පත් කොට එයින් ලැබෙන පොලියෙන් බෞද්ධ ආරාමයක වාර්ෂිකව වස්‌ කාලයේ පින්කම් කිරීමට කටයුතු යෙදූ බව සෙල් ලිපියක සඳහන් වේ. (ලබු ඇට බැඳිගල සෙල් ලිපිය)

බුදුදහමින් පෝෂිත වූ අප රටේ ජීවත්ව සිටි මිනිසුන් ද, පැවිදි උතුමන් ද කොතරම් අරපිරිමැස්‌මෙන් තම දේපළත්, පොදු දේපළත්, සාංඝික දේපළත් පරිහරණය කළාද යන්න අතීතයට එබී බැලීමෙන් වටහාගත හැක.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.